දිවි කුසුම මිලින කරන්න ඇයි මෙච්චර පෙලඹවීමක් | සිළුමිණ

දිවි කුසුම මිලින කරන්න ඇයි මෙච්චර පෙලඹවීමක්

- ලොව සිය දිවි නසා ගැනීම් සම්බන්ධ රටවල් ලැයිස්තු ගත කළ විට ශ්‍රී ලංකාව සිටින්නේ 29 වැනි ස්ථානයේ
- ලංකාවේ සිය දිවි නසා ගැනීමට වැඩිපුර උත්සාහ කරන්නේ කාන්තාවන්ය. එහෙත් සිය දිවි නසා ගැනීමෙන් සිදු වන මරණවලින් සියයට අසූවක්ම මිය යන්නේ පිරිමිය
- 2022 වර්ෂයේ මුල් මාස 09 තුළ සිය දිවි නසා ගැනීම් 2,517ක් වාර්තා වෙලා

කුත් පෙබරවාරි මස හත්වැනිදා පෙරවරුවේ මේ රටේ මාධ්‍ය විසින් වාර්තා කළේ රටම කම්පා කළ ඛේදවාචකයකි. අරණායක, පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද පිහිටි ඉපැරැණි අම්බලමේ මරණ තුනක් සිදු වී තිබිණි. මිය ගොස් තිබුණේ අවුරුදු හයක හා අවුරුදු නවයක දරු දෙදෙනා සමඟ දරුවන්ගේ පියාය. දරු දෙදෙනා එල්ලා මරා 33 හැවිරිදි පියා සිය දිවි නසා ගෙන තිබිණි. පවුල් අරවුලක් නිසා හැර ගිය බිරිය ගෙන්වා ගැනීමට නොහැකි වූ තැන සැමියා තෝරාගෙන තිබුණේ දරුවන් දෙදෙනා ඝාතනය කර තම දිවි තොර කර ගැනීමය. 

ලොව සිය දිවි නසා ගැනීම් සම්බන්ධ රටවල් ලැයිස්තුගත කළ විට ශ්‍රී ලංකාව සිටින්නේ 29 වැනි ස්ථානයේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි වසරකට පුද්ගලයන් 703,000ක් ලොව පුරා සිය දිවි තොර කර ගනිති. දළ වශයෙන් සෑම තත්ත්පර 50කටම වරක් පුද්ගලයකු සිය දිවි නසා ගෙන මෙලොව හැර යයි. එමෙන්ම සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන ප්‍රමාණය සිය දිවි නසා ගැනීමෙන් සිදු වන මරණවලට වඩා 20 ගුණයක් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම සියදිවි නසා ගැනීම් මරණයක්ම බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ 2019 වසරේ සිය දිවි නසා ගෙන ඇති සංඛ්‍යාව 3,135 කි. එයින් 2, 489 ක් පිරිමි වන අතර, කාන්තාවන් 646කි. 1995දී ශ්‍රී ලංකාව ලොව වැඩිම සිය දිවි හානිකර ගැනීමේ මරණ අනුපාතය සහිත රට ලෙස වාර්තා වූ අතර, 1990 දශකය මැද භාගය වන විට එම අනුපාතය ජනගහනය 100,000කින් 47ක් විය. දිනකට සිය දිවි නසා ගැනීම් 25ක් වාර්තා වී තිබිණ. 2019 සංඛ්‍යා ලේඛන අනුව එම අනුපාතය සියයට 14.5ක් ලෙස කැපී පෙනෙන අඩු වීමකි.

ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුව 2019 සිට 2022 දක්වා ලංකාවේ සිය දිවිනසා ගැනීම් ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ඇත. 2021 වසරේ වාර්තා වන සිය දිවි හානි කර ගැනීම් සංඛ්‍යාව 3,279කි. 2022 වර්ෂයේ මුල් මාස 09 තුළ සිය දිවි නසා ගැනීම් 2,517ක් වාර්තා වී ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී ජයතිලක සමාජයේ පවතින ව්‍යාකූල තත්ත්වය මෙසේ පැහැදිලි කළාය.

"ලෝකයේ සිදු වන අපරාධවලින් සහ යුද්ධයෙන් මිය යන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීමෙන් මිය යනවා. ලෝකයේ සිය දිවි හානි කර ගැනීමේ රටවලින් ප්‍රමුඛ පෙළේ රටක් විදිහට ලංකාව සැලකෙනවා. සිය දිවි හානි කරගැනීම කියන්නෙ හැම සමාජයකම තිබෙන ඉතාම අමිහිරි, අහන්න අකමැති දෙයක් දෙයක්. තමා විසින් තමාගේ දිවි තොරකර ගැනීම කෙනෙක් තව කෙනකුගේ ජීවිතයට හානි කිරීමටත් එහා ගිය ඛේදවාචකයක්. හුදෙකලා වූ, කාංසාවේ ඉතාම උපරිම අවස්ථාවට ගිය, විශාදයේ සහ උපරිම මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් තමයි සිය දිවි හානි කරගන්න තීරණය කරන්නේ. එවැනි මනෝ භාවයන් කල් තියා සමීපතමයන් විසින් හෝ හඳුනා ගතහොත් ඒවා වළක්වා ගැනීමට ක්‍රම තිබෙනවා. 

සමාජයක් වුණාම සෑම දෙයකම අන්තර් බැඳීමක් තිබෙනවා. යහපත් සමාජයක් නැතිව මිනිස්සු තුළ යහපත් සංස්කෘතියක්, ආදරයක්, සෙනෙහසක් ඇති සමාජයක් ගොඩනඟන්න බෑ. මේක පද්ධතියක්. ඒ පද්ධතිය තුළ තැනෙක සිදු වන සෝදාපාළුවක් අනෙක් අංශවලට බලපානවා. යහපත් ආර්ථික ශක්තියක් නැති සමාජයක විශාල ආර්ථික අවහිරතා මැද, ණය බරින් පීඩිතව, ජීවිත ප්‍රශ්න එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට කියන්න බෑ, ඔබ හොඳින් ඉන්න, මානසික සමබරතාව රැකගන්න, සෞන්දර්ය කලාව ඇසුරු කරන්න කියලා..."මහාචාර්ය යසාංජලී වැඩිදුරටත් පැවසුවේ මිනිසුන්ට ජීවත් වීම සඳහා බලාපොරොත්තුවක් අවශ්‍ය බවය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ මෙම බරපතළ ව්‍යසනය මනෝ විද්‍යාත්මකව විග්‍රහ කරමින් අප හා සංවාදයට එක්වන්නී මෙසේය.

"ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නෙ අවිනිශ්චිත භාවෙන්. කොවිඩ් කාලෙදි බොහෝ දේ සීමා වුණා. වසර දෙකක් විතර වෙනස් විදිහට ඉඳලා නැවත පුරුදු සමාජ ජීවිතයට හුරු වෙද්දී ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. එයින් නිර්මාණය වූ රැකියා හා අධ්‍යාපන අවස්ථා අහිමි වීම වැඩිපුරම බලපෑවේ කාන්තාවන්ට. ඔවුන් බොහෝ විට අවිධිමත් රැකියාවල යෙදෙමින් පවුලේ ආර්ථිකයට දායක වෙන කණ්ඩායමක්. ස්වයං රැකියා, කුඩා කර්මාන්තවල යෙදුණු අයට රැකියා අහිමි විමෙන් ආර්ථික වශයෙන් පවුලට ලබා දුන් දායකත්වය නැති වුණා. අධ්‍යාපන කටයුතු කරගෙන යද්දි කාටද මූලිකත්වය දෙන්නෙ යන කාරණය පවුල තුළින්ම මතු වීම නිසා තරුණ දරු දැරියන් බොහෝ දෙනකුගේ අධ්‍යාපන සිහිනයත් බොඳ වී ගිය අවස්ථා අපට අහන්න දකින්න ලැබුණා.

සමාජය තුළින් මතුවන එවැනි තත්ත්වයන් එකිනෙකාට බලපෑම් කරන්නේ එකිනෙකට වෙනස් අයුරින්. සියල්ල යථාර්ථවාදීව අවබෝධ කර ගනිමින් සමාජීය වෙනස්කම්වලට මුහුණ දෙමින් ඉදිරියට යන පිරිස අතර මෙවැනි ගැටලු නිසා මානසික සුවය අහිමි වීමෙන් පීඩා විඳින පිරිස තමයි තම මානසික සමබරතාව රැක ගැනීමට අපොහොසත් වු තැන්වලදී ජීවිතය සම්බන්ධ විවිධ තීරණවලට එළැඹෙන්නේ.

අපේ රටේ සිය දිවි නසා ගැනීමට වැඩිපුර උත්සාහ කරන්නේ කාන්තාවන්. එහෙත් සිය දිවි නසා ගැනීමෙන් සිදු වන මරණවලින් සියයට අසූවක්ම මිය යන්නෙ පිරිමි. සියයට 20ක් කාන්තාවන්. සිය දිවි නසා ගැනීම් වැඩිපුරම වාර්තා වෙන්නෙ වයස අවුරුදු 20 -25 අතර කාණ්ඩයේ තරුණ ප්‍රජාව අතරයි. අනෙක් කාණ්ඩය 60ට වැඩි පිරිස. ඔවුන් සිය දිවි තොර ගැනීමට යොමු වෙන්නේ නිදන්ගත රෝගවලින් පෙළීම නිසා ඇති වන විශාද තත්ත්වයන් සහ ඔවුන් රැක බලා ගැනීමට කෙනෙකු නොමැති වීම යන කාරණා නිසා. එවැනි අය එයින් මුදා ගැනීමටයි වසර 2018 සිට අප 1926 දුරකතන සේවාව පවත්වාගෙන යන්නේ. 

1926න් කෙටි පණිවුඩ සහ 075-551926 යන අංකයෙන් වට්ස්ඇප් මඟින් ඒ සේවාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අංකයට වැඩිපුරම ඇමතුම් ලැබෙන්නේ සියදිවි නසා ගැනීමට අදහස් පහළ වන අයගෙන්. ඒ කතා කරන බෙහෝ දෙනෙක් විශාදය තත්ත්වයකයි ඉන්නේ. එවැනි තත්ත්වයකට පත් වීමට බලපාන විවිධ හේතු අතර ප්‍රධානම කාරණය ආර්ථික පීඩනය හරහා ඇති වූ විශාදය. විශාදයේදී තීරණ ගැනීමේ හැකියාව අඩු වන නිසා ඔවුන් සිය දිවි නසා ගැනීමට යොමු වීමේ ප්‍රවණතාව වැඩියි. ඒ අතර හොඳ පවුල් ජීවිත පවත්වා ගෙන ගොස් වෙනත් සබඳතාවලට යොමු වීම නිසා බිරින්දෑවරුන්ගෙන් ලැබෙන ඇමතුම් සහ සැක කිරීම් නිසා පවුල තුළ අර්බුදය වැඩි වීම නිසා ලැබෙන ඇමතුම් තිබෙනවා. බිරින්දෑවරු පවුල් හැර ගිය සිද්ධි දිනකට විශාල ප්‍රමාණයක් එනවා. මෙවැනි ගැටලු සමඟ දිනකට මේ අංකයට ලැබෙන ඇමතුම් ප්‍රමාණයේ වැඩි වීමක් දැන් අපට නිරීක්ෂණය වෙනවා.

මේ තත්ත්වය තුළ අප අපේ පුහුණු වෘත්තිකයන් ප්‍රමාණය වැඩි කරමින් අපේ සේවාව ව්‍යාප්ත කළා. දැන් සෑම දිස්ත්‍රික්කයටම කෙටි පණිවුඩ යවන්න පුළුවන්. ඒත් අපට එන ඇමතුම්වල අඩුවක් නෑ. දුරකතන මාර්ග 04ට දවසකට ඇමතුම් 100කට වඩා සම්බන්ධ වෙනවා. ඒ වගේ තුන් ගුණයක ඇමතුම් මග හැරෙන අවස්ථා තිබෙනවා."

විශේෂඥ වෛද්‍යවරිය පවසන පරිදි සෑම වසරකම තුන් දහසකට වැඩි පිරිසක් රට තුළ සිය දිවි නසා ගනිති. දිනකට 10 දෙනෙක්වත් සිය දිවි හානි කර ගැනීමෙන් මිය යති. මේ ව්‍යසනයෙන් මිදීමට කළ හැක්කේ කුමක්ද?අවසාන වශයෙන් අපි විමසුවෙමු.

"සමාජීය හා ආර්ථික වශයෙන් ඇති වන පීඩාව විඳ දරා ගනිමින් ගැටලුවලට මුහුණ දීමට පුළුවන් මානසික ශක්තිය වැඩි කළ යුතුයි.."

සිය දිවි නසා ගැනීම අපරාධමය වරදක් වන්නේ කෙසේද? සිය දිවි නසා ගැනීමක් හුදෙකලා සිදුවීමක්ද යන්න අපි විමසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ, අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ආචාර්ය කෞශල්‍යා හේවාවසම් ගෙනි. 

"සිය දිවි නසා ගැනීම කියන්නේ අපරාධ නීතිය යටතේ වරදක්. දණ්ඩනීති සංග්‍රහයෙත් එය වරදක් ලෙස සලකා ඊට අදාළ දඬුවමකුත් ඉදිරිපත් කර තිබෙනවා. ඕනෑම ජන සමාජයක ආගමානුකූලව සිය දිවි නසා ගැනීම බරපතළ පවක් ලෙස සැලකෙනවා. සමාජ විද්‍යාත්මකවත් එය විග්‍රහ වන්නෙ වරදක් විදිහටයි. සෑම මනුෂ්‍යයකුටම ජීවත් වීමට අයිතියක් තිබෙනවා. මානව හිමිකම්වලින් හැම අවස්ථාවකම කරන්නේ පුද්ගලයකුගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. එම අයිතිය අහිමි කිරීම හෝ අහිමි කර ගැනීම අපරාධයක් ලෙස සලකනවා.

සිය දිවි නසා ගැනීම අපරාධයක් වුවත් සිය දිවි හානි කර ගැනීමෙන් ප්‍රකාශ වෙන්නේ පුද්ගලයකුට ජීවත් වීමට නොහැකි පරිසරයක් සමාජය තුළ නිර්මාණය වී ඔහුට හෝ ඇයට ජීවත් වීමට අවශ්‍යතාවක් නැති වෙලා කියන එක. අතීත සමාජයේ සිය දිවි නසා ගැනීම අහන්න ලැබුණේ ඉතාම කලාතුරකින්. එහෙම වෙන්න හේතුව වුණේ ඒ වකවානුවෙ සිය දිවි නසා ගැනීම සම්බන්ධව තිබුණ සමාජ කියැවීමයි. නුවර යුගයෙ තිබිලා තියෙනවා "සාක්ෂි බලන්න" කියලා සභාවක්. ඒ සාක්ෂි බලන්න කියන සභාවෙන් සිද්ධ වුණේ ගමේ සිය දිවි නසා ගැනීමක් සිදු වුණොත් ඒ මරණය ගැන සාක්ෂි විමසීමයි. ගමක සිය දිවි නසා ගැනීමක් සිද්ධ වුණොත් ගමේ හැමෝම ඊට වග කියන්න ඕන. හරි ආකාරයෙන් සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි වුණොත් මුළු ගමට දඬුවම් දෙනවා. මනුෂ්‍යයෙක් සිය දිවි නසා ගන්න සමාජයෙ වැරැද්දක් නිසා කියන අවබෝධය ඇතුළෙ තමයි අපේ අතීත මුතුන් මිත්තන් කටයුතු කළේ. තරුණ ප්‍රජාව අතර සිය දිවි නසා ගැනීම් වැඩි වීමට ඇති හේතුව කුමක් දැයි අපි ආචාර්ය හේවාවසම්ගෙන් විමසුවෙමු.

"ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥ එමිල් දුර්ඛයිම් සිය දිවි නසා ගැනීම සම්බන්ධව පර්යේෂණ කෘතියක් කළා. ඒ පර්යේෂණයට අනුව මිනිස්සු සිය දිවි නසා ගන්නෙම ධර්මතා විරහිත වීම නිසයි. මේ ධර්මතා විරහිත වීම තරුණයන් අතර වැඩියි. ඔවුන් විශාල අපේක්ෂා සහිතව මේ ජීවිත ගමන තුළ ඉන්නවා.

ඒවා ළඟා කර ගන්න බැරි වුණාම බිඳ වැටෙනවා. මවුපියන් අතර සම්බන්ධතාව අඩාළ වුණාට පස්සේ දූ දරුවො අතර සම්බන්ධතාව අඩාළ වුණාට පස්සෙ ඇති වන බිඳ වැටීමට අප කියන්නෙ ධර්මතා විරහිත බව කියලා. ඒ වගේ තත්ත්වයක් ඇතිවූ විට ඒ අයට වෙන මඟක් තෝරගන්න බැරි වෙනවා.

සමාජීය වශයෙන් එකතු වෙලා හිටියා නම්, ප්‍රශ්නය කතා කරන්න කෙනෙක් හිටියා නම්, හුදෙකලා නොවී සිටියා නම් කෙනෙක් මේ වගේ දරුණු තීරණ නොගන්න තිබුණා. 

සමාජයක් තුළ සිය දිවි නසා ගැනීම් වැඩි වෙන්නේ එමිල් දුර්ඛයිම් කතා කළ අනෝමීය තත්ත්වය නිසා. අනෝමීය තත්ත්වයකදී බැඳියාවක් නෑ. සිද්ධ වෙන්නෙ හුදෙකලා වීම්. අතීත සමාජය වගේ නොවෙයි, අපි ජීවත් වෙන්නේ දරා ගැනීමේ හැකියාව පුරුදු පුහුණු කරපු නැති සමාජයක. ඒ ජීවිත ශික්ෂණය පුහුණු කිරීම වෙනුවෙන් අපට කාලයක් නෑ. අප විශාල තරගයක ඉන්නවා. තරගය පැරදුනොත් ඊට එහා ජීවත් වෙන්නෙ කොහොමද කියලා මිනිස්සු දන්නේ නෑ. යළිත් අප අවධාරණය කරගත යුතුයි. සිය දිවි නසා ගැනීම් වළක්වා ගැනීමට සෑම කෙනකුටම වගකීමක් තිබෙනවා.

මේ වගකීම පැහැර හැරීමේ ප්‍රමාණය තමයි මේ සිය දිවි නසා ගැනීමේ සංඛ්‍යා දත්ත අපට ප්‍රකාශ කරන්නේ." ඇය මේ කරන පැහැදිලි කිරීම තුළ මතුවන විද්‍යාත්මක කාරණාව නම් සිය දිවි නසා ගැනීමක් යනු හුදෙකලා සිද්ධියක් නොවන බවය. එය සමාජමය කාරණාවක් බවත්, පුද්ගලයකු සිය දිවි නසා ගැනීමේ තැනට පත් නොකිරීම සමාජමය වගකීමක් බවය. අතීතයේ තිබූ සමාජ කියැවීම අප අතරින් විතැන් වී ගොස්ය. අපව අපටම අත්හැරී ඇත. දෙනෝ දාහක් මැද අපි තනි වී සිටිමු. දිනකට රට පුරා සිදුවන 10කට ආසන්න සිය දිවි නසා ගැනීම්වලින් කියැවෙන්නේ හුදෙකලා වූ මිනිස්සුන්ගේ සුන් වූ ප්‍රාර්ථනාය. සරණක් ඇවැසි ඔබට ඔවුනුත් උපකාරී වේවි.

ඔබ වෙනුවෙන් සේවය සැලසීමට 
‘සුමිත්‍රයෝ‘ සෑම දිනකම උදෑසන 9.00 සිට රාත්‍රී 8 දක්වා විවෘතය. 
සුමිත්‍රයෝ 60 බී, 
හෝර්ටන් පෙදෙස, කොළඹ 07 
දුරකතන අංක 011- 2696666/ 2692909

Comments