චමත්කාරජනක ලෙසින් ලොව දැකිය හැක්කේ කෙසේද? | සිළුමිණ

චමත්කාරජනක ලෙසින් ලොව දැකිය හැක්කේ කෙසේද?

‘ලෝකයේ භාෂා 32කට පරිවර්තනය වී ඇති Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතිය භාවනාවේ ආචාර්යවරයකු ලෙස පෙන්වා දිය හැකිය. පහසුවෙන් භාවනාව වැඩිය හැකි මේ කෘතියේ සිංහල පරිවර්තනය සිළුමිණ පාඨකයන් වෙනුවෙන් මෙසේ කොටස් වශයෙන් පළ වේ. අද පළ වන්නේ ඒ ලිපි පෙළේ දෙවැන්නයි.‘

නුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉලක්කයන් වන්නේ සතුට හා සාමකාමී බවයි. අප සැමදෙනා සොයන්නේ එයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට, සතුට යන්න හුදෙක්ම සංකල්පයක් පමණි 

අප නිරතුරුවම උත්සාහ කරන්නේ හොඳ යැයි ලේබලය ඇලවූ දැකීම ළඟ කාලය නවතාලීමට බව අපි පසුගිය සතියේ දැන ගතිමු. එමෙන්ම එම සිතිවිල්ලට ඉවත්ව යෑමට ඉඩ නොදෙන්නට ද අපි උත්සාහ දරමු. එය සිදු කරන්නට නොහැකිව අසමත් වූ විට, එම සිතිවිල්ල ජනිත කළ අත්දැකීම නැවත නැවත විඳීම සඳහා අවශ්‍ය සියලු උත්සාහ යළි යොදා ගැන්මට ද අප පසුබට නොවන්නේ "ඇලීම" යනුවෙන් හැඳින්වෙන්නේ එම මානසික පුරුද්ද නිසාය.

අනෙක් පස ඇත්තේ "නරක" ලේබලය සහිත කූඩුවයි. යමක් නරක යැයි දකින විට, අපි එය පසෙකට තල්ලු කරමු. ප්‍රතික්ෂේප කර එසේ නොවේ යැයි පවසා කෙලෙසක හෝ එය ඉවත දැමීමට උත්සාහ කරමු. අප සටන් කරන්නේ අපගේම අත්දැකීම් සමඟයි. අපි අප වෙතින්ම පලා යමු. එසේ කිරීමේ මානසික පුරුද්ද "ගැටීම" කියා හඳුන්වමු. මේ ප්‍රතිචාර දෙක අතර තිබෙනේනේ මධ්‍යස්ථ කූඩුවයි. හොඳ හෝ නරක නොවන උදාසීන, ඇල්මැරුණු හා නීරස අත්දැකීම් දමන්නේ මේ තුළටය. මධ්‍යස්ථ අත්දැකීම් අසුරා තැබූ අපගේ අවධානය යොමු වන්නේ කෙළවරක් නැති ආශාවන් හා ද්වේශයන් වෙතටයි. මේ හේතුවෙන් මධ්‍යස්ථ අත්දැකීම්වලට හිමි විය යුතු අවධානය නොලැබී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ "නොසලකා හැරීම" නැමති මානසික පුරුද්දය. මෙවන් උන්මත්තක වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලය කෙළවරක් නැති, වෙහෙසකර ධාවන තරගයකි. ආශාවන් ලුහුබඳින, වේදනාවලින් පලා යන මේ ගමනේ දී, අප ලබන අත්දැකීම්වලින් සියයට අනූවක් ම නොසලකා හැරීම සිදු වෙයි. පසුව, ජීවිතය මෙතරම් නීරස මන්ද කියා ළතවෙයි. මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බව කිව යුතුය.

කෙතරම් වෙහෙස දරා විනෝදය හා සාර්ථකත්වය හඹා ගිය ද, ජයගත නොහැකි අවස්ථා එමට ඇත. සමහර අවස්ථාවලදී කොතරම් වේගයෙන් වේදනාවලින් පලා ගිය ද ඔබ එයට හසුවීමට පුළුවන. ඒ අතරතුර යටිගිරියෙන් කෑ ගැසීමට සිතෙන තරමට ජීවිතය නීරස විය හැකියි. විවිධ මත හා විවේචනවලින් අපේ සිත පිරී පවතියි. අපිම මවා ගන්නා බිත්ති අතර සිරවී අපේම රුචි අරුචිකම් නැමැති උගුලට හසු වී දුක් විඳිමු. "දුක" යන්න බෞද්ධ චින්තනයේ පුළුල් තේරුමක් ඇති වදනකි. ඉමහත් වැදගත් කමකින් යුත් එම වදන හොඳින් වටහා ගත යුතුයි. පාලි බසින් "දුක්ඛ" යන්නෙන් ශාරීරික වේදනාව පමණක්ම අදහස් නොකරයි. සිතෙහි වෙහෙසකාරී බව, හා සෑම මානසික අත්දැකීමකම කොටසක් වන සියුම් හා ගැඹුරු අතෘප්තකාරී හැඟීමක් මින් අදහස් කරයි. ජීවිතයේ මූලික හරය "දුක" බව බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. මෙය බැලූ බැල්මට අශෝභන මෙන්ම අශුභවාදී ප්‍රකාශයක් ලෙස දිස්වෙයි. එය සත්‍යයෙන් තොර යැයි ද ඇතැම් විට සිතිය හැකිය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අප සිටින්නේ ප්‍රීතියෙනි. එසේ නොවෙයි ද? නැත. එය එසේ නොවෙයි. එලෙස පෙනෙනවා පමණි. ඔබ මහත් සොම්නසින් හා තෘප්තියකින් ගෙවන අවස්ථා දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලන්න. ඊට යටින් පැතිර පවතින සියුම් ආතතිය එවිට ඔබට දැක ගැනීමට පුළුවන. ඒ, කොතරම් ප්‍රමෝදවත් මොහොතක් වුව ද අවසාන වන බව දැනීමෙන් ගොඩනැඟුණ අප්‍රසාදයයි. ඔබගේ දිනා ගැනීම් කෙතරම් විශාල වුව ද, එයින් කොටසක් හෝ ඔබට අහිමිව යනු ඇත. ඉදිරි කාලය ඒවා රැක ගැනීමට හා තවත් වැඩිකර ගැනීමේ උපාය මාර්ග සෙවීමට වැය කිරීමට ඔබට සිදුවනු ඇත. අවසානයේදී ඔබ මරණයට පත්විය යුතුය. ඔබට සියල්ල අහිමි වෙයි. ඒ, සියලු දේ අස්ථිර අල්පකාලික බැවිනි.

එය කනස්සල්ලට හේතුවක් නේද? වාසනාවකට එය එසේ නොවේ. කොහෙත්ම නැත. එහි කනස්සලු බවක් පෙනෙන්නේ ඔබ ඒ දෙස සාමාන්‍යයෙන් පවතින අතෘප්තිකාරී දෘෂ්ටියකින් බැලූ විටයි. විශ්වය දෙස බැලිය හැකි හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් එයට යටින් ඇත. එනම්, කාලය නවතාලීමට උත්සාහ නොකරන, ගලා එන අපගේ අත්දැකීම් ග්‍රහණය කිරීමට හෝ නවතාලීමට හෝ නොසලකා හැරීමට උත්සාහ නොකරන මානසික ක්‍රියාකාරී මට්ටමකි. එය හොඳ සහ නරක ඉක්මවාලූ මෙන්ම තෘප්තිය හා වේදනාවට එපිටින් පවතින, චමත්කාර අයුරින් ලොව දැකිය හැකි මානසික මට්ටමකි. එය අප තුළ වර්ධනය කරගත හැකි කුසලතාවකි. පහසු නැති මුත් එය ඔබට ඉගෙන ගත හැකියි

සතුට හා සාමකාමී බව සැබැවින්ම මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉලක්කයන් වේ. අප සැමදෙනා සොයන්නේ මෙයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට, සතුට යන්න හුදෙක්ම සංකල්පයක් පමණි. "බලන්න, මම හරිම ප්‍රායෝගිකයි. ඇති තරම් මුදල් ඇත්නම් මට සතුට මිලට ගන්න පුළුවන්" අවාසනාවකට මෙය අසාර්ථක ආකල්පයකි. සුපරීක්ෂාකාරී ලෙස බලන කල, සෑම අරමුණක්ම හුදෙක් මතුපිටින් පමණක් පවතින බව ඔබ දකියි. ඔබට ආහාර අවශ්‍යයි. මක්නිසා ද?

කුසගින්න නිසා.

ඔබට කුසගිනියි.

ඉතින් මොකද?

ආහාර ගත් විට කුසගින්න නිවී හොඳ හැඟීමක් දැනෙයි.

අහා! "හොඳ හැඟීමක්"

අත්දැකීම සැබෑ අරමුණය. අප සැබැවින්ම සොයන්නේ මතුපිටින් පවතින අරමුණු නොවේ. ඒවා ඉලක්කය කරා යන උපාය මාර්ග පමණි. අප ඇත්ත වශයෙන් ම බලාපොරොත්තු වන්නේ ආශාව සපුරා ගැනීමෙන් පසු ඇතිවන සැනසිලිදායක හැඟීමයි. සහනය, විවේකය මෙන්ම ආතතියෙන් මිදීමයි. දැඩි ආසාවේ කෙළවර ඇති සාමය හා සතුටයි.

කුමක්ද මේ සතුට? අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා ගැනීම, සෑමදෙයකම පාලනය තමා අතට ගැනීම හා සීසර්ගේ භූමිකාව රඟපාමින් සිතු මනාපයට මුළු ලෝකයම නැටවීමට හැකිවීම අප බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන සම්පූර්ණ සතුටයි. නමුත් එලෙස සිදුවන්නේ නැත. ලෝක ඉතිහාසයේ සඳහන් මෙවැනි අසීමිත බලයක් දැරූ පුද්ගලයන් දෙස බලන්න. ඔවුන් සතුටින් සිටි පුද්ගලයන් නොවේ. ඔවුන් තමන් සමඟ සාමයෙන් නොසිටිය බව සහතික කළ හැකියි.

ඒ ඇයි? මුළු ලොවම මුළුමනින්ම පාලනය කිරීම ඔවුන්ගේ තිබුණු බලවත් ආශාව නමුත් එය ඉෂ්ට නොවීමයි. මුළු මිනිස් සංහතියම පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුව ද සමහර පුද්ගලයන් එම පාලනයට නතු වීම ප්‍රතික්ෂේප කරන ලදී. ග්‍රහලෝක හා තාරකා පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහු ද සාමාන්‍ය පරිදි රෝගී වූහ. මිය ගියහ.

අප ආශා කරන සියලු දේ දිනා ගැනීම කිසිදාක කළ නොහැකියි. නමුත් වාසනාවකට මෙන් එයට විකල්පයක් ඇත. හිත පාලනය කිරීම තුළින් ආශාවෙන් හා ද්වේශයෙන් සැදුණ මේ චක්‍රයෙන් මිදීමට අපට හැකියාව ඇත. ආශාවන්හි නොඇලී සිටීමට ඉගෙන ගෙන, එම ආශාවන් හඳුනා ගෙන, ඒවායේ පාලනයට හසු නොවී සිටීමට ඔබට පුළුවන. ඔබව පාගා, ඔබගේ සිරුර මතින් ගමන් කිරීමට මුළු ලෝකයටම ඉඩ හැරීමක් මින් අදහස් නොකෙරෙයි. එය බාහිරින් සාමාන්‍ය ලෙස පෙනෙන ජීවිතයක් නමුදු, සම්පූර්ණයෙන්ම නව දෘෂ්ටියක් ඇතිව ගත කරන්නකි. ඔබ සාමාන්‍ය පුද්ගලයකු කරන සියලු කටයුතුවල නිරත වන නමුත් ආශාවන්ගේ පීඩාකාරී වහල් භාවයෙන් නිදහස් වී ඇත. ඔබට යමක් වුවමනා කරන නමුදු එය ලුහුබැඳ හඹා යෑමට අවශ්‍ය නොවෙයි. ඔබ යම් දෙයක් නිසා බියට පත් වූ විට, බියෙන් වෙව්ලමින් එතැනම ගල්ගැසී සිටීමට අවශ්‍ය නැත. මෙවැනි මානසික ශික්ෂණයක් දියුණු කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි. එයට වසර ගණනාවක් ගත විය හැකියි. සෑමදෙයක් ම තම පාලනයට නතුකර ගැනීම කිසිදිනෙක කළ නොහැක්කකි. එබැවින් උත්සාහයෙන් හෝ ඉටුකර ගත හැකි දේ කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයකට වඩා වටින්නේය.

අප කුමක් ගැන ද කතා කළේ? සාමය සහ සතුට! අප ශිෂ්ටාචාරය කියා කියන්නේ මෙයට අදාළ සියල්ලට නොවේ ද? අපි අහසට උස ගොඩනැඟිලි හා අධිවේගී මාර්ග තනමු. වැටුප් සහිත නිවාඩු, රූපවාහිනි යන්ත්‍ර, නොමිලේ වෛද්‍ය සේවා හා ලෙඩ නිවාඩු, සමාජ ආරක්ෂාව හා සුභසාධන සේවා ආදිය අපට ලැබේ. මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ යම් තරමක හෝ සාමයක් හා සතුටක් ළඟා කර දීමයි. එහෙත් මානසික රෝග පීඩා හා අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අසරණයන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් වීදි පිරී යයි. ඔබගේ ගෙමිදුලේ සිට පාරට අත දිගු කළහොත්, ඔබේ අත්ඔරලෝසුව කඩාගෙන යෑමේ තත්ත්වයට අද සමාජය පිරිහී ඇත. කොතැනක හෝ වරදක් ඇත. ප්‍රීතිමත් පුද්ගලයෙක් සොරකම් නොකරයි. තමා සමඟ සාමයෙන් පසුවන්නෙක් තවත් මිනිසෙකුගේ ජීවිතය නැති කිරීමට නොපෙලඹෙයි. හුදෙක් ප්‍රීතිය හා සාමය අත්කර ගැනීම සඳහා ම අපගේ සමාජය හැකි සෑම ආකාරයකින් ම මිනිසාගේ දැනුම උපයෝගී කරගන්නා බව සිතීමට අපි කැමැත්තෙමු. එහෙත් එය එසේ නොවේ.

මිනිස් පැවැත්මේ ගැඹුරු භාවමය හා ආධ්‍යාත්මික අංශ පරදුවට තබා, ජීවිතයේ භෞතික අංශය අනවශ්‍ය ලෙස වර්ධනය කර ඇති බව දැන් දැන් අවබෝධ වීමට පටන් ගෙන තිබේ.

එම වරදෙහි පල විපාක දැනටමත් අපි අත්විඳිමු. අද සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම් පිරිහී ඇති බව පුන පුනා ප්‍රකාශ කිරීම එක දෙයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම තවත් දෙයකි. මෙය පටන් ගත යුත්තේ අප තුළින්මයි. සුපරීක්ෂාකාරීව, අවංකව හා නිර්පාක්ෂිකව ඔබගේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න. "අපචාරියා" හා "උන්මත්තකයා" අප තුළින්ම දැකගත හැකි අවස්ථා අප කාටත් පැහැදිලි වනු ඇත. එබඳු අවස්ථා ගැරහීමට ලක් නොකොට, පැහැදිලිව හා පිරිසිදුව දැකීමට අප පුරුදු වීමත් සමඟ එම තත්ත්වයෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කිරීමට අපට හැකිවනු ඇත.

ඔබගේ වර්තමාන ස්වභාවය ඒ ආකාරයෙන් ම දකින තෙක් ඔබගේ ජීවන රටාවේ ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමට පුළුවන්කමක් නැත. එම ස්වභාවය දුටු වහාම වෙනස්කම් ඉබේම සිදුවනු ඇත. කිසියම් පාලන අධිකාරියක බල කිරීමක් හෝ අධික වෙහෙස දැරීමක් හෝ අවශ්‍ය නොවේ. වෙනස්වීම ඉබේම සිදුවෙයි. එහෙත්, මීට වුවමනා කරන ආරම්භක ගැඹුරු නුවණ ලබා ගැනීම අසීරු කාර්යයකි. මොනම ආකාරයක හෝ විනිශ්චයක්, මුළාවක් හෝ ගැටීමකින් තොරව "ඔබ කවුද, කොයි විදිහේ කෙනෙක් ද" යන්න දැකිය යුතුයි. සාමාජීය සත්වයකු ලෙස, එහි ඔබට හිමි තැන, හා ඔබේ ක්‍රියාකාරිත්වය ඔබ තේරුම් ගත යුතුයි. සියල්ලට ම පෙර, පුද්ගලයකු ලෙස ඔබට ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් ද එමෙන්ම සෙසු මිනිස් සංහතියට ඔබගෙන් ඉටු විය යුතු වගකීම් ද දැක ගැනීම අවශ්‍යය. අවසාන වශයෙන් මේ සියලු සම්බන්ධතා තනි ඒකකයක් ලෙස කිසිලෙසකින්වත් එකිනෙක වෙන් කළ නොහැකි අන්තර් පුද්ගල සම්බන්ධතාවක් ලෙස පැහැදිලි ව දැකිය යුතුයි. මෙය සංකීර්ණ එක ක්ෂණයකින් සිදුවිය හැකිය. මෙවැනි අවබෝධයක් හා නිසංසල සතුටක් අත්කර ගැනීමට ඔබට නියත වශයෙන් උපකාරී වනුයේ භාවනාව තුළින් ගොඩනැඟෙන මානසික ශික්ෂණයයි.

ෆ්‍රොයිඩ් නම් වූ දාර්ශනිකයා පෙන්වාදීමට වසර දහස් ගණනකට පෙර ධම්මපදයේ සඳහන් බුද්ධ වචන මෙසේ කියයි. "අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාසයෙනි.

පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයන්, මිතුරන් මේ කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි".

භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ සිත පවිත්‍ර කිරීමයි. සිත පීඩාවට පත් කරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව වැනි කෙලෙස් කසට සෝදා හැර, ආවේගයන්ට වහල්වීම නිසා අවුල් වී ඇති සිතුවිලි ක්‍රියාවලිය පිරිසිදු කරයි.

සිත නිසංසල හා අවදිමත් තත්ත්වයකටත්, සමාධිමත් හා තැන්පත් බවක් සහිතව සිහියෙන් කටයුතු කරන තත්ත්වයටත් රැගෙන එයි. තවද, සිත එක අරමුණක රැඳවීමේ හැකියාව හා විනිවිද දකින අවබෝධය පහළ කරවයි.

(ලබන සතියේ අලුත් භූමියක වගා කළ හැකි භාවනාව කුමක්ද?)

Comments