ආදරය විඳල තියෙනවා වගේම විඳවලත් තියෙනවා | සිළුමිණ

ආදරය විඳල තියෙනවා වගේම විඳවලත් තියෙනවා

- මගේ බලාපොරොත්තුව රංගන ජීවිතේ දී හොඳම නිළිය සම්මානය ගන්න
- මම ලොකුවට බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි

සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලක ආභාසය එක්ක කලා ලෝකයට පායපු සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය බොහෝ දෙනෙකුගේ ආදරේට සහ ප්‍රේක්ෂක ජනප්‍රියතාවයට පත් වුණේ පසුගියදා විකාශය අවසන් වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ‘සුදු චූටි‘ කියන චරිතය තුළින්. සෙනාලිගේ රංගන ජීවිතේ ගැන සොඳුරු කතා බහකට රසඳුන අපි ඇයව සම්බන්ධ කර ගත්තා.

මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ ඇයි? 

මම හිතන්නේ රංගන ශිල්පිනියක් විදියට හැම කාලෙම පෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඔය දේ තමයි මම මේ ක්ෂේත්‍රයට ආව කාලයේ ඉඳන්ම මම අනුගමනය කරපු දේ. ඒ නිසා හැමදාම මම පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි. හොඳ නිර්මාණ හරහා මිනිස්සුන්ට මතකයේ රැඳෙන නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා අතරට එන්න තමයි මම හැමවෙලේම උත්සහ කරන්නේ. නාඩගම්කාරයෝ හරහා ඇතිවෙන්න ප්‍රේක්ෂකයාට සමීප වුණා. . පෞද්ගලික ජිවිතේ පවා මගේ අතින් විය යුතු දේවල් කිහිපයක් තියෙනවා ඒ දේවල් වෙනුවෙන් සහ අම්මා වෙනුවෙන් විවේකයක් ගත්තා. ඒ කාලය තුළ විදෙස්ගතවත් හිටියා. මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතරට එන්න සුදුසු නිර්මාණයක් ලැබෙනකම් ඉන්නවා.

පසුගිය කාලේ “සුදු චූටි“ හරහා ලැබුණු ජනප්‍රියත්වය තවමත් ලැබෙනවද?

පහුගිය කාලේ නාඩගම්කාරයෝ හරහා සුදු චූටිට ලැබුණු ආදරේ මට හිතාගන්න බැහැ. මට ලැබුණු ඒ ආදරේ නිසා දැනුණු සතුට ගැන වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම්. අදටත් ප්‍රේක්ෂකයාට නිර්මාණය සහ නිර්මාණයේ හිටිය චරිත මතක විදිය ගැන හරි පුදුමයි. ප්‍රේක්ෂක ආදරේ අදටත් එදා විදියටම දැනෙනවා.

නාඩගම්කාරයෝ හි දෙවැනි කොටසක් නිර්මාණය වෙන කතාවක් තියෙනවනේ. නැවත සුදු චූටි දකින්න ලැබෙයිද?

මම දන්නේ නැහැ එහෙම දෙවැනි කොටසක් නිර්මාණය වෙයි ද කියලා. ප්‍රේක්ෂකයා හරි ආදරෙන් වුවමනාවෙන් බලන් ඉන්නවා නාඩගම්කාරයෝ හි දෙවැනි කොටසක් හෝ නැවතත් ඒ චරිතවලින් අපිව දැකගන්න ලැබෙයි කියලා. ඉතින් අපිත් හරි ආසයි ඒ චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට එන්න. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මේ ටෙලි නාට්‍යය ජනප්‍රිය වෙන්න එක හේතුවක් තිබුණේ නැහැ. ඒක අපිට සරා - සුදු චූටි නිසා හෝ තව කෙනෙක් නිසා හෝ සිද්ධියක් නිසා ජනප්‍රිය වුණා කියලා කියන්න බැහැ. මම දකින්නේ මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණු හැමකෙනාම ඒ කියන්නේ තිරයේ ඉදිරියේ ඉන්න අපි විතරක් නෙවෙයි තිරයෙන් පිටුපස හිටිය හැමෝගෙම එකතුව නිසයි මේ තරම් ජනප්‍රිය වුණේ.

සෙනාලි නිර්මාණ තෝරා ගන්නෙ කොහොමද?

මම නිර්මාණයක් භාර ගන්නේ මට දැනෙනවා නම් විතරයි. එතැනදී ඒක රිදී තිරයේද, පුංචි තිරයේද මියුසික් වීඩියෝ එකක් ද කියලා මම බෙදන්නේ නැහැ. ලැබෙන තිර පිටපත කියවද්දී මට දැනෙන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ.

තිරපිටපත මම මුලින්ම දකින්න කැමති ප්‍රේක්ෂකයෙක් විදියට. ඊට පස්සේ තමයි මේ චරිතය තුළින් ප්‍රේක්ෂකයාට වෙනසක් කරන්න පුළුවන් ද කියන එක ගැන හිතන්නේ.

ඉදිරියට සිනමාවෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ “යාත්‍රා“ චිත්‍රපටය. ජැක්සන් ඇන්තනී මහතාගේ “එකගෙයි සොකරි“. ධනුෂ්ක රේමන්ඩ් මහතාගේ

“පරිස්සමෙන් ඉන්න“. ඒ වගේ නිර්මාණ හය හතක් ඉදිරියට එන්න තියෙනවා.

සමාජ මාධ්‍යය තුළ නම් සෙනාලි විවාහ ගිවිසගෙන නැවත එංගලන්තයට පදිංචියට ගියා කියලත් තිබ්බා. එහි ඇත්තක් තියෙනවා ද?

මම විවාහය දකින්නේ හරිම බැරෑරුම් දෙයක් විදියට. ඒ නිසා ආවට ගියාට විවාහය සම්බන්ධ තීරණ ගන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් දික්කසාදය ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එකට ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන එක වෙනයි. නමුත් දැන දැන ඒ දේට යන්නේ නැහැ. 

ඒ නිසාම මම විවාහ වෙනවා නම් ගොඩක් හිතලා බලලා මගේ ඉදිරි අවුරුදු ගණනාව ඔහු එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන හිතලා විවාහ ගිවිස ගන්න කෙනෙක්. මගේ මූණටම ඔය කතාව අහපු අය ඉන්නවා. ඒ හැමෝටම කියන්නේ මම බැන්ඳේ නැහැ කියලා. මොන කටකතා පැතිරුණත් තවම මම බැන්ඳේ නැහැ.

මේ වෙද්දි ඔබ ආදරවන්තියක් ද?

මම ආදරවන්තියක් වෙලා ඉඳලා තියෙනවා. ආදරේ විඳලා තියෙනවා වගේම ආදරේ නිසා විඳවලත් තියෙනවා. මට නොගැළපෙන අයට ආදරේ කරපු හින්දම ඒ අය මාව දාලා ගිය වෙලාවට ආදරේ විරහවත් මම අත්විඳලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා මම කවදාවත් ආදරේ ගැන තියෙන විශ්වාසය අතහැරලා නැහැ. මම විශ්වාස කරනවා මගේ ආදරේ තේරුම් ගත්ත මගේ ආදරේට ගරු කරන මාව විශ්වාස කරන මට ආදරෙන් සලකන්න පුළුවන් මට ගැළපෙන කෙනෙක් මගේ ජීවිතේට එයි කියලා. ඒ නිසා මම ආදරේට හැමදාමත් ආදරේ කරනවා. මම කවදත් හරි ආදරණීය කෙනෙක්. ඒ නිසා මට මම ආදරවන්තියක් කියලා කියන්නත් පුළුවන්.

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?

එහෙම මම හොයලා බලන ලැයිස්තුවක් නැහැ. මට එහෙම බාහිර රූපයක් හෝ ඔහු සතු වත්කම් ගැනවත් කිසිම උනන්දුවක් නැහැ. මාව තේරුම් ගැනීම මාව විශ්වාස කිරීම සහ කාන්තාවන්ට ගරු කරන කෙනෙක් වීම වගේම සෙනාලි ෆොන්සේකා කියන රංගන ශිල්පිනිය නෙවෙයි සෙනාලි ෆොන්සේකා කියන සාමාන්‍ය ගැහැනු ළමයා තේරුම් ගන්න පුළුවන් ආදරණීය කෙනෙක් තමයි හොයන්නේ.

සෙනාලි විවාහ වුණොත් රංගනයට සමුදෙයි ද?

ඒක නම් තවම මටත් හිතාගන්න බැහැ. මට පුළුවන් කල් මම මගේ රංගන ජීවිතේ සහ මගේ පෞද්ගලික ජීවිතේ කියන දෙකම සමබරව කරගෙන යන්න උත්සහ කරනවා. අද මම කාගෙන් හරි හොඳක් අහනවා නම් ඒ හැමදේටම හේතු වෙන්නේ මගේ මවුපියන් මාව හදපු විදිය. ඒ නිසා මමත් ආසයි මගේ දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න. එහෙම වුණොත් මගේ අම්මි රැකියාවෙන් ඉවත් වුණා වගේම මමත් රංගනයට සමුදෙයි. එහෙම නැතුව රංගන ජීවිතේ සහ මගේ පෞද්ගලික ජීවිතේ කියන දෙකම සමබරව කරගෙන යන්න අවශ්‍ය වාතාවරණය නිර්මාණය වුණොත් සමහරවිට දිගටම රඟපාන්න පුළුවන්.

අනාගත බලාපොරොත්තු මොනවාද?

ලොකුවට බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි මම. නමුත් අපිට ජිවත් වෙද්දී අපි අතින් කළ යුතුයි සහ අපි අපේ ජීවිතේ ඉෂ්ට කර ගත යුතුයි කියලා යම් යම් දේවල් ටිකක් තියෙනවා. මගේ බලාපොරොත්තුව රංගන ජිවිතේ දී හොඳම නිළිය ලෙසින් සම්මාන ගන්න. එහෙම නැත්නම් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න වගේ පුංචි පුංචි බලාපොරොත්තු ටිකක් තියෙනවා.

 අනුෂා රණසිංහ

 

Comments