උද්ඝෝෂණ සහ මිනිස් බිලි | සිළුමිණ

උද්ඝෝෂණ සහ මිනිස් බිලි

ළාත් පාලන ඡන්දය මාර්තු හෝ අප්‍රේල් මාසයේ නොපැවැත්වෙනු ඇතැයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක කියයි. මැතිවරණ කොමිසමේ ඉඟි බිගිවලට අනුව පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් ලැබෙන්නේ මැයි මාසෙන් පසුව බව තමාට තේරුණේ යැයි ජාතික ජනබලවේගයේ නායකයා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය අලුත් වේගෙන එයි.

අවුරුදු 50 ක් පරණ ජනතා විමුක්ති පෙරමුණට Face Lift එකක් හෙවත් අලුත් පෙනුමක් ලබාදී ජාතික ජනබලවේගය යනුවෙන් නැවත සන්නාමගත කර ඇත. එසේම නියම යූඇන්පීය එසේම තියෙද්දී එයින් කෑල්ලක් කඩාගත් සජිත් ප්‍රේමදාස එම කෑල්ල සමගි ජනබලවේගය යනුවෙන් නැවත සන්නාමගත කරගෙන තිබේ. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙමම තිබෙද්දී එයින් කොටසක් කඩාගෙන අවුත් පොහොට්ටු පක්ෂය හෙවත් පොදුජන පෙරමුණ නිර්මාණය කරන ලදී. එහෙත් ශ්‍රී ලංකාවේ පරණම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය තවමත් පැරණි නම්වලින් ඒ ආකාරයෙන්ම පවතී. මේ දෙගොල්ලන්ගේම දේශපාලන මතය ධනවාදයේ දේශපාලන ස්වරූපය වන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේදී ඇල්මැරී ගොස් ඇත. මේ පක්ෂ දෙකට අලුත් පෙනුමක් කර ගැනීමට හෝ නැවත සන්නාමගත කර ගැනීමට හෝ ප්‍රමාණවත් තරම් පිරිසක් නැත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ඔවුන්ට සල්ලිත් නැත. කිසිම දෙයක් සදාකාලික නැත. ඒ ධර්මයට අනුව ජාතික ජනබලවේගය, සමගි ජනබලවේගය, පොදුජන පෙරමුණ යන පක්ෂද නැවත වතාවක් නැවත සන්නාමගත කිරීමට සිදු වෙනවා ඇත. එක්සත් ජාතික පක්ෂය ද මෙවැනි සන්නාම මාරුවකට පිවිසිය යුතු බව අපගේ මතය වේ. ඒ අතර යුඇන්පි ය සහ සජිත් ප්‍රේමදාස එකතු නොවුණොත් ඉදිරි අනාගතයේ මතු යම් දවසක මේ රටේ දේශපාලනයේ ගාමක බලවේගය වනු ඇත්තේ ජාතික ජනබලවේගය තුළ සැඟවී සිටින ජනතා විමුක්ති පෙරමුණය.

ඉහතින් සඳහන් වන්නේ පූර්විකාවක් මිස කතුවැකියක් නොවේ. අද අප කතුවැකියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දේශපාලනය විසින් ගනු ලබන මිනිස් බිලි ගැනය. 71 කැරැල්ල දේශපාලන බිලි පූජාවකි. 1988 / 89 කැරැල්ල ද තනිකරම දේශපාලන බිලි පූජාවකි. ඒ බිලි පූජාව සඳහා පළමුවන වෙඩිල්ල පත්තු කරන ලද්දේ එවකට පැවති ප්‍රේමදාස ආණ්ඩුව නොව ජනතා විමුක්ති පෙරමුණේම සන්නද්ධ සන්නාමය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. උතුරු නැඟෙනහිර ජනවාර්ගික බිලි පූජාවේ පළමු වන වෙඩිල්ල වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් යාපනේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාට තබන ලදී. මෙය සිදු වන්නේ 1976 දීය. ප්‍රභාකරන් දේශපාලනය යන වචනයට දෙන ලද තේරුම වූයේ ත්‍රස්තවාදය යන්නය. ඔහු සිය උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා පලිහක් ලෙස සිවිල් වැසියන් පාවිච්චි කළේය. ඒ සමඟම මිය යාමට සිටින රෝගීන් තෝරා ගෙන ඔවුන් ලවා මාරාන්තික උපවාස කරවා ඔවුන් මළ විට ලෝකයේ අවධානය දිනා ගත්තේය.

උදාහරණයක් වශයෙන් රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් පිළිබඳ සිද්ධිය ගනිමු. යාපනය සරසවියේ උගත් තිලීපන් පිළිකා රෝගියෙකි. එසේම කොටි සාමාජිකයෙකි. වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා මාරාන්තික උපවාසයක් පැවැත්වීම පිණිස කෙනෙක් සොයමින් සිටි ප්‍රභාකරන්ට රෝගී තිලීපන් ගැන ආරංචි විය. තිලීපන් සහ ඔහුගේ පවුලේ අය ගෙන්වා ගත් ප්‍රභාකරන් ඒ අය සමඟ සාකච්ඡා කර පිළිකා රෝගයෙන් කොහොමත් මැරෙන්නට නියමිතව සිටින තිලීපන්ට ගෞරවයක් ලබාදීම සඳහා ඊළමක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් පැවැත්වීමට ඔහු යෙදවීමේ අවස්ථාවක් ඇති බව පෙන්වා දුන්නේය. තිලීපන් එයට වහාම කැමති විය. තමා මළ විට කොටි සංවිධානයෙන් තම පවුලේ උදවියට ලැබෙන ගෞරවය ගැන ඔහු කල්පනා කළේය. අන්තිමේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ තිලීපන් 1987 සැප්තැම්බර් 22දා මළේය. ඔහු සැබවින්ම මළේ පිළිකා රෝගය උත්සන්න වීමෙනි. මාරාන්තික උපවාසය මඟින් ඔහුගේ රෝගය උත්සන්න වීමට විශාල සහයෝගයක් ලැබිණ. තිලීපන්ගේ මළ මිනියෙන් ප්‍රභාකරන් තම ව්‍යාපාරය සඳහා විශාල ප්‍රචාරයක් ලබා ගත්තේය. හැකි නම් ප්‍රභාකරන් මේ මළ මිනිය පුළුන් පුරවා සංරක්ෂණය කරනවා ඇත. එය අභව්‍ය කාරණයක් වූ බැවින් වැළකී යන්නට ද ඇත.

ජාතික ජනබලවේගය ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් සිවිල් වැසියන් ද එකතු කරගෙන මීට දින කිහිපයකට පෙර කරන ලද උද්ඝෝෂණයකදී කඳුළු ගෑස් වැදීමෙන් 61 හැවිරිදි පුද්ගලයෙක් මළේය. නිමල් අමරසිරි නමැති මේ තැනැත්තා ජාතික ජනබලවේගයේ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයෙකි.

කඳුළු ගෑස් යනු විශාල අසාත්මිකතාවක් ඇති ද්‍රව්‍යයකි. එහෙත් එමඟින් මරණය සිදු වන්නේ නැත. මරණයක් සිදු වනවා නම් එයට හේතුව වන්නේ කඳුළු ගෑස් වැදීම නිසා හටගන්නා සංකූලතාවන් හේතුවෙන් ඇතිවන ද්විතියික ක්‍රියාවලියකි. උදහරණයක් වශයෙන් කඳුළු ගෑස් වැදුණු පසු ස්වශනාබාධ හට ගැනීමට පුළුවන. හෘදයාබාධයක් හට ගැනීමටත් පුළුවන. නිමල් අමරසිරි මිය ගියේ මේ දෙකෙන් කොයික නිසාදැයි අපි නොදනිමු. උද්ඝෝෂණවලට පිරිස් කැඳවාගෙන එන විට ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ උනන්දුවකින් කටයුතු කිරීම උද්ඝෝෂණ ප්‍රධානීන්ගේ වගකීම විය යුතුය. එවැනි උද්ඝෝෂණයකට තිලීපන් වැනි කෙනෙක් ගෙනාවොත් කඳුළු ගෑස් පාරක් නොකාම ඔහුගේ මරණය සිදු වේ. මේ රටේ ඇතැම් උද්ඝෝෂණවලට රෝද පුටුවල තබාගෙන ආබාධිතයන් ගෙන එන අවස්ථා ද ඕනෑ තරම් තිබේ. මෙවැනි ආබාධිතයකුට රබර් බුලට් එකක් හෝ ජල ප්‍රහාරයක් හෝ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වූ විට විශාල සංකූලතා ඇතිවිය හැකිය. එවැනි සංකූලතාවකින් ඒ මිනිහා මළොත් එහි දුක හා පාඩුව ඒ මිනිහාගේ පවුලේ අයටය; සතුට හා වාසිය ඒ මිනිහා රැගෙන ආ දේශපාලන පක්ෂයටය. ඒ මළ මිනිය සෑහෙන කලක් විකුණා ගෙන කෑමේ අවස්ථාව උද්ඝෝෂකයන්ට ලැබේ. අභාවප්‍රාප්ත නිමල් අමරසිරිගේ මෘත දේහය දේශපාලන වශයෙන් ඇතැම් උද්ඝෝෂණ කල්ලි විසින් දැනටමත් ආරම්භ කර ඇත. මේ කැත වැඩේ මිනිස්කමට නොහොබිනා ඉතාම පහළ මට්ටමේ, ප්‍රභාකරන් සැම්පලයේ ක්‍රියාවක් බව නොකියා බැරිය.

Comments