දෙවැනි භාව‍ෙයන් හෙළි වන වතගොත | සිළුමිණ

දෙවැනි භාව‍ෙයන් හෙළි වන වතගොත

 ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

උපත ලද අවස්ථාවේ, අප සිටි ස්ථානයේ නැඟෙනහිර ක්‍ෂතිජයේ උදාවන රාශිය අපගේ ලග්නයයි. අපගේ ජන්ම පත්‍රයේ ලග්නයට පසුව ඇත්තේ දෙවැනි භාවයයි. බොහෝ පෙරදිග ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රීය ක්‍රමවලදී, වාමාවර්තව රාශිවල ඉදිරියට යයි. එවිට ලග්නය පසුකර යන විට ඇතුළු වන්නේ 2 වැනි භාවයටයි.

පසුගිය සතියේ ඉදිරිපත් කළ ජන්ම පත්‍රය බලන්න. 2 වැනි භාවය ධන ස්ථානයයි. ඕනෑම භාවයකට 2 වැනි භාවය මඟින් එම භාවය පෝෂණය කරයි.

එසේම 2 වැනි භාවය මාරක ස්ථානයක් ලෙසද සලකයි. මෙම ජන්ම පත්‍රයේ 2 වැනි භාව ස්ඵුටය මීන රාශියේ යෙදී ඇත.

එය 2 වැනි භාවයේ ආරම්භයයි. එතැන් සිට 3 වැනි භාව ස්ඵුටය වන මේෂ රාශියේ 16, 02, 15 දක්වා ප්‍රදේශය 2 වැනි භාවයට අයිති වෙයි. මෙහි 2 වැනි භාවය තුළ මේෂ රාශියේ රාහු ග්‍රහයා ළැගුම්ගෙන සිටියි.

නක්‍ෂත්‍ර වළල්ලේ මෙම ස්ථානය යෙදෙන්නේ ශනි හිමි උත්‍රපුටුප නක්‍ෂත්‍රයේ 4 වැනි පාදයේය.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ උපස්ථාන චක්‍රයේ අංක 239 පෙන්වන මීන 12 53 20 සිට මීන 14 53 20 දක්වා ප්‍රදේශයේය. එනම් මෙම 2 වැනි භාව ස්ඵුටය ගුරුගේ රාශියේ, ශනිගේ නක්‍ෂත්‍රයේ සහ රාහුගේ උපස්ථානයේය.

ජන්ම පත්‍රයේ 2 වැනි භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයාගේ හැසිරීම අනුව ජන්මියාගේ ධන තත්ත්වය පිළිබඳව හඳුනා ගත හැකිවෙයි.

ජන්ම පත්‍රයේ 2 වැනි භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයා 2 වැනි, 4 වැනි, 8 වැනි සහ 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකි.

ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 2 වැනි භාවයේ නිවේදක ග්‍රහයන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් ග්‍රහයන්ගේ නක්‍ෂත්‍ර පිහිටීම් සටහන උපයෝගී කරගනිමු.

ජන්ම පත්‍රයේ 2 වැනි භාවයේ නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, බුධ, රාහු, සඳු සහ කේතු යන ග්‍රහයන් වෙති. 2 වැනි භාවයේ උපස්ථානයේ අධිපති රාහු, තැන්පත්ව සිටියේ, කුජගේ නක්‍ෂත්‍රයකය. කුජ ග්‍රහයා කන්‍යා රාශියේ 7 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය.

2 වැනි භාවයේ උපස්ථානයේ අධිපති රාහු ග්‍රහයා, 2 වැනි, 4 වැනි, 8 වැනි සහ 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. 2 වැනි භාවයේ උපස්ථානයේ අධිපති ග්‍රහයා, 2 වැනි, භාව නිවේදක ග්‍රහයෙකු වන විට ජන්මියා ඉතා පහසුවෙන් ආදායම උපයා ගනියි. මවගෙන්, ඉඩකඩම් සහ යාන වාහන මඟින් ආදායම උපයා ගනියි.

8 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන විට ආයාසයෙන් තොරව ආදායම උපයා ගනියි. 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන විට පියාගෙන් ධනය ලබා ගනියි.

ජන්ම පත්‍රයේ 2 වැනි, 6 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාල සීමාවලදී, ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට, ජන්මියාට ආදායම ලැබෙයි.

ජන්ම පත්‍රයේ 2 වැනි, 6 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ, ගුරු, බුධ, රාහු, සඳු, කේතු සහ සිකුරු යන ග්‍රහයන් වෙති. මේ ජන්මියා දැන් ගත කරන්නේ ශනිගේ මහ දශාවේ කේතුගේ භුක්තියයි.

කේතු ග්‍රහයා 2 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන හෙයින් ජන්මියා මෙම කාල සීමාව තුලදී හදිසි ධන ලාභ ලබයි. හරියටම ධනය ලැබෙන කාල සීමා නිගමනය කිරීම සඳහා ශනිගේ සහ කේතුගේ ගෝචර ගමන් බලන්න.

Comments