තනිකඩයන්ගේ මංගල නැකත් කල් යවන කුජ භෞම දෝෂ මිථ්‍යාව | සිළුමිණ

තනිකඩයන්ගේ මංගල නැකත් කල් යවන කුජ භෞම දෝෂ මිථ්‍යාව

 

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

 

ශ්‍රී ලංකාව තුළ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ විවාහ අපේක්ෂා බිඳ වැටීමට හෝ විවාහ අපේක්ෂා කල් පසු වීමට ජ්‍යෝතිෂ්‍ය ද වගකිව යුතු බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදු වේ. එයට හේතුව සෑම විවාහ අපේක්ෂකයකුම නොවුණද ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් බහුතරයක් ද තම දරුවන්ට සාමකාමීව එසේම දිගුකල් පවතින, දියුණුවෙන් දියුණුවට පත් වන විවාහ දිවියක් ගත කිරීමට උචිත සහකාරියක හෝ සහකරුවෙකු සොයා ගැනීම වෙනුවෙන් තම දරුවාගේ යෝජිත අයගේ, කේන්ද්‍ර සටහන්වල පිහිට පැතීමය.

නමුත් එම තේරීම සිදු කිරීමට භාවිත කරන ක්‍රමවේදය ප්‍රායෝගිකව සාවද්‍ය වේනම් එයින් සිදු වන්නේ සමහර විට තමන්ට වඩාත් ගැළපෙන සහකරුවා හෝ සහකාරිය මුලදීම කේන්ද්‍ර පදනම් කර ගනිමින් ඉවත් කිරීම විය හැකිය.

සැබැවින්ම තමන්ට වඩාත්ම ගැළපෙන සහකරුවා හෝ සහකාරිය එවැනි අනිසි ක්‍රමවේදයක් යොදා ගෙන මුලදීම ඉවත් කළහොත් එය අපරාධයක් යැයි සිතේ. ඒ නිසා ඇතැම් ජ්‍යෝතිර්වේදීන් ඉතා උද්‍යෝයෝගයෙන් භාවිත කරන නමුත් ප්‍රායෝගිකව කිසිසේත්ම එකඟ විය නොහැකි එවැනි, කේන්ද්‍ර ඉවත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමු.

එම ක්‍රමවේදය, ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව "අ" යන්න දන්න අය පවා ඉතා හොඳින් හඳුනන "කුජ භෞම" දෝෂයයි.

මෙම දෝෂයේදී සාමාන්‍යයෙන් පවසන්නේ එක් කේන්ද්‍ර සටහනක කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන භාවවල තැන්පත්ව ඇත්නම් ගැළපීම් සිදු කරන අනෙක් කේන්ද්‍ර සටහනෙහි ද කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන භාවයක තැන්පත් වීම, විවාහ ගැළපීමක් සඳහා අත්‍යවශ්‍යය බවය. එනම් එක් අයකුගේ කේන්ද්‍ර සටහනේ කුජ භෞම දෝෂය තිබී අනෙක් තැනැත්තාගේ කේන්ද්‍ර සටහනේ කුජ භෞම දෝෂය නොමැතිනම් කුජ භෞම දෝෂය ඇති තැනැත්තාගෙන් කුජ භෞම දෝෂය නැති තැනැත්තාට අපල ඇති වන නිසා විවාහය සිදු නොකළ යුතු බවය. උදාහරණ විවාහ අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඒ පිළිබඳ කිසිසේත්ම එකඟ විය නොහැකි බවය. මෙම ක්‍රමවේදය යටතේ කිසියම් අයෙකුගේ කුජ භෞම දෝෂය නැත්නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සඳහා අනිවාර්යයෙන්ම කුජ භෞම දෝෂය නැති අයෙකු තෝරා ගැනීමට සිදු වේ.

නමුත් තෝරාගත යුතු කෙනාගේ කේන්ද්‍ර සටහනේ එවැනි කුජ භෞම යෝගයක් තිබීම සඳහා සීයට පනහක ඉඩකඩක් ඇත.

එයට හේතුව කේන්ද්‍ර සටහනේ ඇති කොටු 12න් කොටු 6කට කුජ භෞම දෝෂය නිර්මාණය වීමට ඉඩ තිබීමය. ඒ අනුව යෝජිත විවාහයක් සඳහා ලැබෙන සෑම කේන්ද්‍ර සටහන් 10කින්ම කේන්ද්‍ර සටහන් 5ක් ඉහත ඵලදායක නොවන ක්‍රමවේදය තුළ අනවශ්‍ය ලෙස ඉවත්ව යාමට ඉඩ ඇත.

"කුජ භෞම" දෝෂයෙන් කියවෙන ජනගත වී ඇති ක්‍රමවේදයෙහි නිෂ්ඵල බව පිළිබඳ උදාහරණ ඇසුරින් සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමි.

මා ඉතාම හොඳින් දන්නා දෙපළක් වසර 40කටත් අධික කාලයක් තිස්සේ ඉතා ආදර්ශවත් යුග දිවියක් ගත කරන ලදි. ඉන් එක් අයකුගේ ලග්නය 'කුම්භ' වන අතර කුජ ග්‍රහයා 12 වන භාවයෙහි තැන්පත්ව තිබුණි. ඒ නිසා ඔහුට 'කුජ භෞම' දෝෂය යෙදී තිබුණි. ඔහුගේ සහකාරියගේ ලග්නය 'වෘශ්චික' වූ අතර එම කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා 10 වන භාවය තුළ තැන්පත්ව සිටි නිසා කුමන ආකාරයේවත් භෞම දෝෂයක් යෙදී නොතිබුණි. ඒ අනුව ජනගත වී ඇති සිද්ධාන්තවලට අනුව 'කුම්භ' ලග්නය දරන සහකරුවාගේ කේන්ද්‍ර සටහනේ පමණක් 'කුජ භෞම' දෝෂය ඇති නිසා සහකාරියට කරදරයක් ඇති විය යුතුය.

නමුත් සිදු වී ඇත්තේ වසර 40කට අධික කාලයක් තිස්සේ වාසනාවන්ත විවාහයක් ගත වූ පසු සහ ආයුෂ බොහෝ දුරට සම්පූර්ණ වූ පසු සහකරුවා මියයාම වන අතර කුජ භෞම දෝෂයක් නැති සහකාරිය සාර්ථක ලෙස ජීවත් වෙයි.

නම කියූ පමණින් මුළු රටම දන්න අභාවප්‍රාප්ත ප්‍රභූ කාන්තාවකගේ විවාහ දිවිය වසර 19ක් තිස්සේ පැවතුණ ද ඇගේ ස්වාමි පුරුෂයා අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස වී ඇත්තේ අවුරුදු 43කි. ඇයගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය කන්‍යා වන අතර කුජ ග්‍රහයා 11 වන භාවයෙහි තැන්පත්ව ඇත. එනම් ඇයගේ කේන්ද්‍ර සටහනේ 'කුජ භෞම' දෝෂයක් නැත. නමුත් තර්කානුකූලව නම් සහ 'කුජ භෞම' දෝෂය සිද්ධාන්තය සත්‍යනම් ඇගේ ස්වාමි පුරුෂයාට අපල සිදු වූ නිසා ඇගේ කේන්ද්‍ර සටහනේ කුජ භෞම දෝෂයක් තිබිය යුතුය. නමුත් සෑම කේන්ද්‍ර සටහන් දෙකකින්ම එකක තිබිය යුතු 'කුජ භෞම' දෝෂය ඇයගේ කේන්ද්‍ර සටහනේ නොතිබීම මවිතයට කරුණකි. 'කුජ භෞම' දෝෂය මිථ්‍යාවක් බව මෙම උදාහරණයෙන් ද පැහැදිලි වෙයි.

තවත් ප්‍රභූ කාන්තාවකට ඇගේ විවාහ දිවිය පවත්වාගෙන යා හැකි වූයේ වසර 10ක් පමණ කාලයකි. ඇයගේ ස්වාමි පුරුෂයා අභාවයට පත් වීම නිසා එසේ විවාහ දිවිය නැවතුණ ද ඇගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'කටක' වන අතර ඒ අනුව ඇයට 'කුජ භෞම' දෝෂයක් නැත. නමුත් සෑම කේන්ද්‍ර සටහන් දෙකකින් එකක තිබිය යුතු 'කුජ භෞම' දෝෂය ඇගේ කේන්ද්‍ර සටහනේ ද නොතිබීම මවිතයට කරුණකි. 'කුජ භෞම' යෝග සිද්ධාන්තය මිථ්‍යාවක් බව මෙම උදාහරණයෙන් ද පැහැදිලි වෙයි.

 

 

Comments