සුවහසක් දනන්ගේ දෙලොව සුව සෙත සෑදූ කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ මිහිමඬලට සමු දෙති | සිළුමිණ

සුවහසක් දනන්ගේ දෙලොව සුව සෙත සෑදූ කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ මිහිමඬලට සමු දෙති

ශ්‍රී ලංකා කතෝලික සසුනට සුවිසල් මෙහෙයක් ඉටු කළ කොළඹ හිටපු අගරදගුරු, අති උතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ ඉකුත් 3 වැනිදා අලුයම ස්වර්ගස්ථ වූහ. අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසුවූහ.

2001 සිට 2021 දක්වා දශක දෙකක කාලයක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කළ ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි, සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත වූ ආගමික නායකයෙකි. 

වින්සන්ට් සහ ෆ්ලෝරිඩා ගෝමිස් යුවළට දාව 1932 දෙසැම්බර් 12 වැනිදා කැලණියේදී උපත ලැබූ ඔස්වල්ඩ් තෝමස් කොල්මන් ගෝමිස් කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලෙන් සහ වරාගොඩ සාන්ත පාවුළු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ සාන්ත ජෝශප් විදුහලට ඇතුළත් විය. පසුව මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් සිය දේවධර්ම සහ දර්ශනවාදය පිළිබඳ උපාධි සම්පූර්ණ කිරීමෙන් පසුව පිලිපීනයේ ඇඩම්සන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. එවකට කොළඹ අගරදගුරු වූ අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් වෙතින් 1958 පෙබරවාරි 3 වැනිදා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පූජකවරය ලැබූ ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් 1968 ජූලි 17 වැනිදා රදගුරුවරයකු ලෙස අභිෂේක ලබන්නේ අවුරුදු 34ක් වැනි තරුණවියේදීය.

1968 - 1996 දක්වා කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු හිමිපාණන් ලෙසත්, 1996 සිට අනුරාධපුර රදගුරු වසමේ රදගුරු හිමිපාණන් ලෙසත් සේවය කළ උන්වහන්සේ 2002 ජූලි 07 වැනිදා කොළඹ අගරදගුරු පදවියට පත් විය. 2009 අගෝස්තු මාසයේදී "Emeritus Archbishop" (සම්මානිත රදගුරු) තත්ත්වයට පත්වූ ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් දෙව්සත්හල්වල ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත්, කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ සහ කර්තෘ පියතුමා ලෙසත්, පිලිපීනයේ රේඩියෝ වෙරිටාස්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කළහ.

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ සාමාජිකයකු, මහලේකම්වරයකු යනාදී ලෙස විවිධ ජාතික හා ජාත්‍යන්තර සංවිධාන, මණ්ඩල, කොමිෂන් සභා ආදියෙහි ආගමික සහ සිවිල් යන දෙඅංශයේ කටයුතු කළහ. දිනපතා සහ සති අන්ත පුවත්පත් සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ලිපි සැපයූ උන්වහන්සේ කෘති විශාල සංඛ්‍යාවක කතුවරයෙකි. කතෝලික පාසල්, ජාත්‍යන්තර පාසල් ශාඛා සහ කාර්මික පාසල් රැසක් ද පිහිටුවීමට ද මූලික වූ උන්වහන්සේට පිලිපීනයේ ඇඩම්සන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද හිමිය. ආසියානු කලාපයේ අධ්‍යාපනය සහ සමාජ සන්නිවේදනය සඳහා කළ මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට චීනයේ "ෆූ ජෙන්" සරසවියෙන් දර්ශනපති ආචාර්ය උපාධියක් ද ප්‍රදානය කර ඇත.

සුවිසල් ආගමික මෙහෙවරක යෙදුණු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ මානව හිතවාදී බවින් පිරුණු ආගමික නායකයකු විය. කිතුනුවන් පමණක් නොව බොදුනුවන් ද ඉතා සමීපව ඇසුරු කළ උන්වහන්සේ සර්ව ආගමික නායකයන් සමඟ විශේෂයෙන් මහා සංඝරත්නය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කළහ. කොළඹ අගරදගුරු මන්දිරයේ භික්ෂූන් වහන්සේලාට දානයක් පිරි නැමූ පළමු හිමිපාණන් ලෙස ද උන්වහන්සේගේ නම කියැවේ. සිය උපන් ගම වන කැලණියේ ජනතාව සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ අක්කර 14ක ඉඩමක වැඩිහිටි නිවාසයක් ඉදිකරන්නට ද කටයුතු කළ ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් දිලිඳු ජනතාව සහ සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා විවිධාකාරයෙන් සහන සැලසීමට කටයුතු කළහ.

කතෝලික ජනතාවටත් රටත් ලෝකයටත් විශිෂ්ට සේවයක් ඉටු කළ අති උතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය දේව මෙහෙය 2023 පෙබරවාරි 06 වැනිදා සඳුදා සවස 3.00 ට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පැවැත්වේ. අවසන් ගෞරව දැක්වීම සඳහා 3 වැනිදා පස්වරු 6 දක්වා කොළඹ අගරදගුරු නිල නිවසේ තැන්පත් කර තිබූ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය උන්වහන්සේගේ උපන් ග්‍රාමය වන පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයට රැගෙන යෑමෙන් පසු 04 වැනිදා දක්වා එහි තැන්පත් කර තැබේ.

ඉන්පසු අනුරාධපුරයේ සාන්ත ජෝසප් ආසන දෙව්මැඳුර වෙත යෑමට නියමිත දේහය 05 වැනි ඉරිදා උදෑසන 11.00 දක්වා එහි තැන්පත් කර තැබෙනු ඇත. එදිනම සවස නැවත කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරට ගෙන එනු ලබන දේහය 06 වැනිදා සවස 3ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරු මණ්ඩලය විසින් පවත්වනු ලබන දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව එම දෙව්මැඳුරු භූමියේම මිහිදන් කිරීමට නියමිතය.

Comments