සාහිත්‍ය කොල්ලයේ අලුත්ම නාටකය PDF | Page 2 | සිළුමිණ

සාහිත්‍ය කොල්ලයේ අලුත්ම නාටකය PDF

 

හොරකම කෙසේ කළත් හොරකමකි. එයට අටුවා ටීකා ලියූවත් එසේමය. සබුද්ධික සමාජයකට අවැසි වන්නේ නීති ගරුක සේම සදාචාර සම්පන්න ජනතාවකි. පොත් කියවන සමාජයකට නීති අවැසි නොවන්නේ යැයි ඇදහූ අපටම අද පොත් කියවන්නන් හා ලියන්නන් වෙනුවෙන් නීති හදන්න බල කරන්නට සිදුව ඇත

 

සාහිත්‍ය කොල්ලය’ නමින් පොතක් 1961දී වංශනාථ දේශබන්දු නම් අන්වර්ථ නමකින් ලියන ලේඛකයා පාඨක සමාජයට ඉදිරිපත් කළේ අනෙක් සියලු කොල්ලකෑම් සේ සාහිත්‍යයේ ද කොල්ලකෑම් සිදුවන බව කියමිනි. ඒ ඉතිහාසයේම පුනරුච්චාරණයක් නැවත සිදු වෙමින් තිබේ. ඒ සාහිත්‍ය කොල්ලයක් ගැන නැවත මතවාදයක් සමාජගත වෙමිනි.

සාහිත්‍ය කොල්ලයක් සිදු වී ඒ වෙනුවෙන් දැනෙන ආකාරයේ දඬුවමක් ලැබූ සිද්ධියක් ද අප මතකයේ වෙයි. ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතිය අනවසරයෙන් මුද්‍රණය කර බුද්ධිමය දේපළ පනත ප්‍රකාරව දඬුවම් නියම වූ ව්‍යාපාරික මංජුල කීර්ති අබේසේකර ගැනය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර, වරද පිළිගැනීමෙන් පසු අධිකරණය වසර දහයකට අත්හිටවූ මාස 6 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩයක් නියම කර තිබිණි. මේ දිනවල කෙරෙන එක්තරා අන්දමක සාහිත්‍ය කොල්ලය ගැන අප ප්‍රවේශයක් ලබා ගන්නේ මේ ඓතිහාසික තීන්දු සියල්ල මත පිහිටා ය.

මේ දිනවල සාහිත්‍ය ක්ෂේත්‍රයේ දරුණුවට කතාබහට ලක්වෙන්නේ කතුවරයාගේ අනුදැන්මකින් තොරව PDF මුදාහැරීම සම්බන්ධව ය. මේ ගැන සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඕනෑ ම අයකුගේ අවධානය යොමු වෙන තරමට එය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. සමාජ මාධ්‍ය පරිශීලකයන් #යළිනොලියමි හෑෂ්ටෑග් එක භාවිත කරමින් හොර PDF ජාවාරමට විරෝධය දක්වන්නට පටන් ගත්තේ හදිසියේ යැයි කෙනකුට හිතෙන්නට පුළුවන. එහෙත් අලුතින් එක් වූයේ හෑෂ්ටෑගය පමණී. මේ ගැටලුවට දශක එකහමාරක ඉතිහාසයක් තිබේ. එහෙත් ඒ අතීතය ම එක්වර මතක් වී ඇවිළෙන්නට පදනම සැකසුණේ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන මුහුණු පොතෙන් තමන් කරන දෑ වැරැද්දක් යැයි කියාවත් සිතන්නට තරම් හික්මීමක් නැති දෙතුන් දෙනකුගේ වහසි බස් නිසාය.

මේ කරුණු ගොනු කිරීමට ප්‍රථමයෙන් මේ පිළිබඳ ඇති නෛතිකමය රාමුව ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය යැයි හැඟේ. 2003 දී ශ්‍රී ලංකාවේ අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුව බුද්ධිමය දේපළ අවභාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. බුද්ධිමය දේපළ යටතට සංගීතය, සාහිත්‍ය කලා කෘති, සොයා ගැනීම්, වාණිජ වශයෙන් යොදා ගනු ලබන ප්‍රකාශන හිමිකම්, වෙළෙඳ ලකුණු, පේටන්ට් ආදිය ඇතුළත් සංකේත, නාම, රූප, සැලසුම් ඇතුළත් වන්නා වූ නෛතික ක්ෂේත්‍රය ආදිය ගැනේ. ඒ අනුව බුද්ධිමය දේපළ යනු සෞන්දර්යාත්මක හා වාණිජමය වන මනසේ නිර්මාණ සම්බන්ධයෙන් බල පවත්වන්නා වූ පරම අයිතිවාසිකම් පොදියකි. මෙහිදී පළමුවැන්න පොත්, චිත්‍රපට, සංගීතය, සිතුවම්, ඡායාරූප සහ මෘදුකාංග වැනි නිර්මාණාත්මක කෘති ආරක්‍ෂා කරනු ලබන ප්‍රකාශන හිමිකම් පිළිබඳ නීතියෙන් ආවරණය වන අතර, එකී නිර්මාණ කිසියම් නිශ්චිත කාලයකට ප්‍රතිනිෂ්පාදනය හෝ අනුවර්තනය කිරීම හා පාලනය කිරීමේ පරම අයිතිය එහි ප්‍රකාශන හිමිකම හිමි තැනැත්තාට හිමි වේ. ඒ අනුව පැහැදිලිවම ලේඛක අයිතිය සුරකින නීති රාමුවක් ඇත. එසේ නම් මේ දේ සිදු වන්නේ කෙසේද? එසේ නෛතික රාමුවක් තිබියදී ලේඛක පාර්ශ්ව ඒ ගැන මැදිහත් වීමක් සිදු නොකරන්නේ මන්ද යන්නට පිළිතුරු අවැසි ව ඇත.

නීති තිබියදී ඒවාට හසු නොවුණු PDF ජාවාරමේ ස්වරූපය ගැන පැහැදිලි චිත්‍රයක් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ මෙලෙසිනි.

“පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විදියට අනවසරයෙන් PDF බෙදා හැරීම සම්බන්ධයෙන් අපෙත් විරෝධයක් තියෙනවා. හේතුව ලේඛකයාගේ අයිතිවාසිකම් මේ හේතුවෙන් උල්ලංඝනය වෙන්න පුළුවන් නිසා. කර්තෘ සහ ප්‍රකාශකයා කියන්නෙ ගහට පොත්ත වගේ පාර්ශ්ව දෙකක්. එතකොට අපිට වගකීමක් තියෙනවා; කතුවරයාගේ අයිතිය සුරක්ෂිත කරන්න. අන්න ඒ වෙනුවෙන් තමයි අපි පෙනී සිටින්නෙ.”

ඕක පටන් ගත්තේ අවුරුදු 15කට විතර කලින්. එතකොට බොහොම සුළු පිරිසයි ඒ කාර්යයේ නිරත වෙලා හිටියෙ. 2003 බුද්ධිමය දේපළ පනත යටතේ මේ සියලු දේ ආවරණය වෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය ඒක නීතියෙන් ආවරණය වුණාට ප්‍රායෝගික තලයේ බොහෝ රිංගන්න තැන් තිබීම. මේ PDF දාන කිසිම කෙනෙක් ඒ වැඩේ කරන්නෙ තමන්ගෙ හරි IP අංකයකින් නෙවෙයි. ඒවගේම එක IP එකකින් එක PDF එකයි මුදා හරින්නෙ. ව්‍යාජ ගිණුම්වලින් තමයි යන්නෙ. අපි මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ක කතා කළා. එයාලටත් මේක අල්ල ගන්න බැරි ඒකයි.

බුද්ධිමය දේපළ කාර්යාංශයට වෙලා තියෙන ප්‍රශ්නය තමයි ඒගොල්ලන්ට මේ ගැන වැඩිදුරටත් විස්තර ගන්න ඕන විදුලි සන්දේශ නියාමන කොමිසමෙන්. විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් විස්තර ගන්න නම් උසාවි නියෝගයක් ඕන. නීතිමය තත්ත්වය ඕකයි.

බුද්ධිමය දේපළ පනතට අනුව කර්තෘ කෙනකුට නඩු දාන්න පුළුවන් තමන්ට වුණු අගතියට. එහෙම නඩුවක් පවත්වා ගෙන ගිහින් නඩු තීන්දුවක් ගත්තොත් කර්තෘගෙ පැත්තට සාධාරණයක් විදියට ලැබුණොත් අපට පුළුවන් ඒක නීතිමය රාමුවක් විදියට ගන්න. අපි පෙනී සිටින්නෙ කර්තෘගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපි දැන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන්නෙ මේ පනත් යාවත්කාලීන කරගන්න පුළුවන්ද කියන එක ගැනයි. සංගමයක් විදියට අපිට නඩු දාන්න බෑ, මොකද පොතේ අයිතිය තියෙන්නෙ කර්තෘට. කර්තෘ තමයි නඩු දාන්න ඕන”.

ප්‍රකාශකයා වගකීම ගන්නේ ලේඛකයා වෙනුවෙන් බව සමන්ත ඉන්දීවර පැවසුවත් ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි පවසන්නේ මේ ගැටලුවට විසඳුමක් තිබේ නම් ඒ ප්‍රකාශකයන් අත පමණක් බවය.

“මම හිතන්නෙ මෙතන තියෙන්නෙ ප්‍රකාශකයාගේ ප්‍රශ්නයක් සහ ඔවුන් විසඳාගත යුතු දෙයක්. පොතක මිල ගත්තොත් කතුවරයාගේ පිරිවැය අනුපාතය 10% යි. ඉතිරි 90% වේම පිරිවැය ප්‍රකාශකයාගේ. එහෙම දෙයක් වෙනවා නම් එහි බර දැරිය යුත්තේ ප්‍රකාශකයා.

අද පොතක මිල ගත්තොත් කුඩා පොතක් පවා රුපියල් 500ට වැඩියි. විකල්ප කියැවීම් එන්නේ ඒ නිසා. ආර්ථික ව්‍යසනය හා ධනේෂ්වර ක්‍රමය විසින් පොතක වියදම කියවන්නාට දරාගත නොහැකි මට්ටමකට වැඩි කිරීමේ ප්‍රතිඵලයක් විදයටයි මේ ගැටලු නිර්මාණය වෙන්නෙ. මේ වගේ රටවල මිනිස්සු පොත් නොකියවන තරමට තමයි ධනේෂ්වර රටවල මිනිස්සු කැමැති. මාර්ටින් වික්‍රමසිංහ මේ කතාව බොහොම ලස්සනට තමන්ගෙ සම්ප්‍රදාය හා විචාරය පොතේ කියලා තියෙනවා. පොත්වලට බදු ගැහීම පොත් කියවීම අඩු කිරීමේ මාර්ගයක් කියලා. ඒ කාලේ පොත්වලට බදු ගහල තියෙනවා. පොත් කියවන පිරිසක් කියන්නෙ සවිඥානික පිරිසක්නෙ. පොත් කියවන අය අඩු කිරීමට තමයි මේක කරන්නෙ.

මෙහෙන් හොයා ගන්න බැරි ඉංග්‍රීසි පොත් සහ අපට මිල ගෙවන්න අපහසු පොත්වල PDF අපි වුණත් හොයාගෙන කියවනවා.”

ඔහුගේ ඒ මතවාදය ම තවදුරටත් විස්තාරණය කරන විදර්ශන ප්‍රකාශක අධිපති ජනක ඉණිමංකඩ පොත් කියවන්නෝ කොටස් දෙකකට වර්ග කරති. ඒ පොත් කියවන්නන් පමණක් වෙන අය සහ එතැනින් ඉදිරියට ගොස් පොත් එකතු කරන්නන් වශයෙනි. වෘත්තීය ප්‍රකාශකයන්ට වඩා වැදගත් වෙන්නේ මෙයින් දෙවැනි කොටස බව පවසන ඔහු පොත් මිලදී අරන් එකතු කිරීම යන්න සුවිශේෂී තත්ත්වයක් ලෙස දක්වයි. PDF ජාවාරම ගැන ඔහු දරන මතය අනෙක් මතවලට සාපේක්ෂ ව යම් වෙනසක් දරයි. ඒ මේ අයුරෙනි.

“මගේ නිගමනය PDF කියන්නෙ ලංකාවෙ පමණක් නොව ලෝකයේම මුද්‍රණවල තියෙන යටිබිමගත තත්ත්වයක්. ඒක නොසලකා සිටීම හැර ඊට විරුද්ධව සංවිධානය වී අනවශ්‍ය වටිනාකමක් දීම තේරුමක් නෑ. ඕක තාවකාලිකව යටපත් වෙලා වෙනස් හැඩයකින් නැවත එනවා. ළඟදී පිටවුණු හැරී කුමාරයගෙ පොතේ PDF එක ලෝකෙ පුරාම සංසරණය වුණත් ඒකෙ හාඩ් කවර් එක අලෙවි වාර්තා තබමින් විකිණුනා. ෂෙහාන්ගෙ මාලි අල්මේදාත් එහෙමයි”.

එමෙන්ම ජනක වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශකයක් ද ඒ සම්බන්ධයෙන් කරන්නේ ය.

“මේ විරෝධයට එක්වෙන්නෙ එක වර්ගයක පොත් පළ කරන පිරිස සහ එක වර්ගයක පාඨක සමාජයකට ලියන අය පමණයි. ප්‍රධාන ප්‍රකාශකයො, ලේඛකයො එක්වෙන්නෙ නෑ. මේ විරෝධයට එක්වෙන අති බහුතරය ප්‍රකාශන කර්මාන්තයට ආධුනික අය. ඒ වගේම ඒ ජාතියෙ පොත් පළ කරන ප්‍රකාශකයො හතු පිපෙන්නා වගේ බිහි වීම.අනික් අතින් ෆේස්බුක් එකේ කොටස් වශයෙන් ලියන නවකතා වර්ගයක් ඇති වෙලා ඒවා කියවන පාඨක ප්‍රජාව PDF සෙවීම. විශේෂයෙන් කාන්තාවන්”.

නව පරපුරේ සම්මානනීය පරිවර්තකයකු වන රශ්මික මණ්ඩාවල පවසන්නේ PDF ලෙසින් හෝ තමන්ගේ කෘති වැඩි පිරිසක් කියවන්නේ නම් තමා ඊට කැමැති බවකි.

“මම හිතන්නෙ මේක එක්තරා කණ්ඩායමක ප්‍රශ්නයක්. ලේඛකයාගේ අයිතියට සහ ඔහුගේ නිර්මාණ අවභාවිත කරනවට මම කැමැති නෑ. හැබැයි මම ලේඛකයෙක් විදියට මගේ පොතක් කවුරු හරි කියවන එකට කැමැතියි. මේක ලංකාවෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි. ලෝකෙ මීට වඩා මේක තියෙනවා. නමුත් ලංකාවෙ PDF කියවන ප්‍රතිශතය ඉතා අඩුයි. ඒ වගේම එහෙම කියවන්නෙ ජනප්‍රිය ප්‍රවර්ගයේ පොත්. මමත් PDF කියවනවා. නමුත් මට ලැබුණු පළමු අවස්ථාවෙදි මම පොත මිලදී ගන්නවා”.

මේ වන විට PDF ජාවාරම ගැන කෙරෙන කතාබහ උණුසුම් ස්වරූපයක් ගන්නා අතරම ඒ වෙනුවෙන් මීට කලින් නොතිබුණු පෙළගැස්මක් ද නිර්මාණය වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස ලේඛකයන්, ප්‍රකාශකයන් පිරිසක් එකතු වී සංවිධානයක් පිහිටුවා ගති. ඒ, 'අනීතික PDF මංකොල්ලයට එරෙහි ලේඛක, ප්‍රකාශක සහ පාඨක එකමුතුව' යන නමිනි. එහි සභාපතිත්වය දරන්නේ තනෝජා වඩුගේ වන අතර ලේකම්වරයා වන්නේ මංජුල දිසානායකය. ඔවුන් සාමූහික ව පවසන්නේ මේ අනීතික ජාවාරමට එරෙහිව අවැසි දෑ සම්පාදනය කර මිස ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බවකි. මේ වන විට නඩු පැවරීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම්, මාධ්‍ය හමු පැවැත්වීම් ආදී බොහෝ කාරණා සඳහා ඔවුහු සක්‍රිය ව මැදිහත් වී තිබේ. ඔවුන් පවසන ආකාරයට අන්තර්ජාල සමූහයන්හි ලාංකේය ලේඛක ලේඛිකාවන් 700කට අධික ප්‍රමාණයකගේ පොත් අනවසර ලෙස සංසරණය වෙමින් පවතී.

ලංකාවේ ජනගහනයට සාපේක්ෂව පොත් කියවන පිරිස දෙස බැලූ විට පොත් කර්මාන්තය පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක නොවන බව පැහැදිලි කරුණකි. පවතින කඩදාසි අර්බුදයත් සමඟ එය තවත් තීව්‍ර වී තිබේ. එහෙත් මුද්‍රණ කර්මාන්තයෙන් සෘජු හෝ වක්‍ර ලෙස රැකියා කරමින් යැපෙන පවුල් දහස් ගණනකි. එබැවින් මෙය නොතකා හැරිය නොහැකි අවනඩුවක් බව බොහෝ පිරිස් හි අදහසයි.

චන්දි කොඩිකාර ලාංකේය පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ලේඛිකාවකි. ඇය අනීතික PDF මංකොල්ලයට එරෙහි ලේඛක, ප්‍රකාශක සහ පාඨක එකමුතුවෙහි විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස ද මේ ගැටලුවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ලබයි. මේ ඇය PDF ජාවාරම ගැන පැවසූ අදහස් කිහිපයකි.

“මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. මේක පටන් ගත්තෙ අවුරුදු 15කට විතර කලින්. මගේ පොත් කිහිපයකුත් අරන් තිබුණා. එතකොට අපි හිතුවෙ නෑ මේක මෙච්චර බරපතළ තත්ත්වයකට එයි කියලා. කොරෝනා කාලෙ හැමෝම වගේ ඔන්ලයින් කියවන්න පටන් ගත්තා. ඒකත් එක්ක මේ තත්ත්වය වැඩි වෙලා. මේක හරියට පොත් දන්සැලක් වගේ. කවුරුහරි දන්සැලක් දෙද්දි ඒකෙන් ගන්නවා මිසක් කඩෙන් ගන්න අය නැහැනෙ. මේකත් ඒ වගේ. ගොඩක් අය මේක කරන්නෙ තමන්ගෙ මුහුණු පොත ජනප්‍රිය කරගන්න. ටික දෙනෙක් මේක ආර්ථික ප්‍රතිලාභයක් වශයෙනුත් කරනවා. අපේ පොත් ගන්නෙ අපේ කිසිම අවසරයක් නැතිව. හැබැයි එයාලා අපේ පොත් එයාලගෙ වගේ විකුණනවා. පාඨකයෝ සමහර වෙලාවට මගෙන් කතා කරලා අහනවා ඔයා ඊළඟ පොතේ PDF එක දාන්නෙ කවදද කියලා. ගොඩක් පාඨකයො හිතන්නෙ එයාලා PDF ගන්න එකෙන් අපිට ආදායමක් ලැබෙනවා කියලා. ඔවුන් දන්නෙ නෑ, මේ හොරු පිරිසක් තමයි මේක කරන්නෙ කියලා.

සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය කණ්ඩායමක අපේ PDF දැම්මම තිස් හතළිස් දාහක් බලනවා. නමුත් අපි පොත් මුද්‍රණය කරන්නෙ බොහෝදුරට පිටපත් දාහයි. ඒ ටික ගෙදර තියෙද්දි වෙන කෙනෙක් ඒවා PDF කරලා මුදල් උපයනවා. ඉතින් ඒක සදාචාර විරෝධි වැඩක් වගේම නීති විරෝධි වැඩක්.”

එමෙන්ම ඇය සාධාරණ ඉල්ලීමක් ද කරන්නීය. ඒ, බුද්ධිමය දේපළ කාර්යාංශයෙනි.

“බුද්ධිමය දේපළ පනතේ ගොඩක් හිඩැස් තියෙනවා. ඉතින් එයාලට අපිට ඕන තරමට ක්‍රියාත්මක වෙන්න බෑ. ස්මාර්ට් දුරකතන පාවිච්චි වෙන්න ගත්තට පස්සෙ තමයි මේ හැමදේම වෙනස් වුණේ. බුද්ධිමය දේපළ පනත් හැදුණෙ මේ තාක්ෂණය මෙච්චර දියුණු වෙන්න කලින්. අවුරුදු 15කින් විතර මේක සංශෝධනය වෙලා නෑ. ඒක අපි හැමෝටම ප්‍රශ්නයක්. මේක යාවත්කාලීන කරලා දෙන්න”.

සිය නිර්මාණාත්මක අයිතිය වෙනුවෙන් ඍජුව තනිව පෙනී සිටිමින් යම් ආකාර ජයග්‍රහණ අත්කර ගත්තත් තවමත් තමාට ද සිදුවන අසාධාරණය ගැන පුෂ්පානන්ද ඒකනායක විග්‍රහ කළේ එය මේ ගැටලුවට ඍජුව බලපාන්නක් බැවිනි.

“සියලු හොර වැඩවලට මං විරුද්ධයි. අනුන්ගෙ නිර්මාණයක් විතරක් නෙමෙයි කවර දෙයක් හොරෙන් ගත්තත් ඒක කැත වැඩක්. ඉතින් PDF වැඩෙත් අන්තිම කැත හොර වැඩක්. ඒ ගැන මගේ වාදයක් නෑ.

හැබැයි දැන් මේ හොර PDF කතාවට අදාළව යන වැඩපිළිවෙළ ගැන කතා කරන්න වෙන්නෙ ඒකෙ තියෙන ප්‍රායෝගික බව එක්ක ඉඳගෙන මිසක් සංකල්පයක ඉඳගෙන නෙමෙයි. මං මගේ ෆොන්ට් අනවසර භාවිතය එක්ක පැටලුණේ මීට අවුරුදු 25කට ඉස්සර, 1998දී. මං කෙලින්ම රහස් පොලිසියට ගියා. මාත් නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. මගේ නිර්මාණ අයිතිය තහවුරු කළා. හැබැයි එකම නඩුවක්වත් දැම්මෙ නෑ. මගේ ආදායමට බලපාන ලෙස මගේ නිර්මාණ භාවිත කරන මේ රටේ දැවැන්ත ආයතන එක්ක මං අවශ්‍ය දේ කරගත්තා. එහෙම ආයතන අදටත් මා එක්ක නීත්‍යානුකූලව ගනුදෙනු කරනවා.

ඇත්තෙන්ම PDF හොරෙන් කියවන පාඨක සංඛ්‍යාව නිසා නැති වන ආදායම මොන විදියෙන් හරි ගණනය කරන්ඩ පුළුවන් වුණත්, මගේ ෆොනුරූ අනීතිකව භාවිත කරන්නන් නිසා මට අහිමි වන ආදායම ගණන් බලන්ඩ පුළුවන් කෙනෙක් ඉන්නවද?”.

තනි කැරැල්ලක් ගැසූ ඔහු පවසන්නේ හොර වැඩවලට ඇති පහසුව ඒවා වළක්වන්නට ඇති පහසුවට වඩා වැඩි බවකි. එමෙන්ම ඔහු පවසන්නේ PDF එකක් හොරෙන් අරන් කියවන්නා කිසිදු දිනෙක සැබෑ පාඨකයකු විය හැකි යැයි තමා විශ්වාස නොකරන බවකි.

PDF ජාවාරම කෙරෙහි තම අප්‍රසාදය දැඩි ව පළ කළ ලේඛකයන් අතර කුමාර සිරිවර්ධන ද ප්‍රමුඛයෙකි.

“අපි පොතක පිටපත් දාහක් විකුණා ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඒ වගේ රටක වහසි බස් දොඩමින් PDF විකුණා ගන්න සමාජ මාධ්‍ය භාවිත කරනවා නම් ඇත්තටම ඔවුන්ට විරුද්ධව කිසි අනුකම්පාවකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. තව දෙයක් තමයි මේ වගේ වැඩ කරන ඕනෑම කෙනෙක් සාහිත්‍යයට කිසිදු ආදරයක් ඇති පුද්ගලයන් නොවෙයි. ඔවුන් පැහැදිලිවම මංකොල්ලකාරයන්. මේකට වහාම දැඩි පියවරක් ගත යුතුමයි”.

වර්තමානයේ ඊ බුක් පිළිබඳ දැනෙන හඬක් නැඟූ හෙන්රි වර්ණකුලසූරිය පවසන්නේ මේ සියල්ලට වඩා වෙනස් පැතිකඩක් පිළිබඳය. ඔහු PDF හොරකම ගැන කතා කරන අතරේ එකී පොත් නිර්මාණය වීමට අවශ්‍ය මෘදුකාංග ඇතුළු වෙනත් දෑ ගැන ද මෙතෙක් කතා කර නැති බව සමාජයට මතක් කර දෙන්නේ මේ ලෙසිනි.

“පාඨකයන් PDF බෙදන්නේ මුද්‍රණ මිල දරාගත නොහැකිව වෙන්න පුළුවන්. ඒක නීති විරෝධී ක්‍රියාවක් තමයි. ඒත් වර්තමාන මිලට පොත් සල්ලිවලට ගන්න බෑ. මාත් කාලෙකින් පොත් මිලදී ගත්තෙ නෑ. නීති විරෝධි PDFවලට එරෙහිව කෑගහන ලේඛකයන් කී දෙනෙක් තමන්ගෙ පොත් පරිගණකගත කරන්න අකුරු මිලදී අරන් තියෙනවද? කී දෙනෙක් පොත් සැලසුම් කරන්න, කවර නිර්මාණය කරන්න original මෘදුකාංග මිලදී අරන් තියෙනවද?

කීදෙනෙක් හොලිවුඩ් පමණක් නොවේ සිංහල චිත්‍රපටවල පිටපත් සල්ලි නොගෙවා බාගත කරගෙන බලනවද? අනෙක් අතට ඔය PDF කියවන පාඨකයන් පොත් මිලදී ගන්න අය නොවෙයි. PDF නැත්නම් ඔවුන් කියවන්නෙ නෑ. ඒ අතින් ඔවුන් මුද්‍රිත ප්‍රකාශන ව්‍යාපාරයට තර්ජනයක් නොවෙයි. මෙතන තියෙන්නෙ ලේඛකයන්ගෙ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. නීතිය ඉදිරියට ගෙනයනව නම් මුලින් ගෙනියන්න ඕනෙ අනවසරයෙන් අකුරු හොරාගත්, මෘදුකාංග හොරාගත් ලේඛකයන් හා ප්‍රකාශකයන් තමයි”.

මේ සියලු මතවාද එක්තැන් කළ කල්හි පැනෙන පොදු ගැටලුවක් වන්නේ ලේඛකයන්, පාඨකයන් හා ප්‍රකාශකයන් යන තෙවදෑරුම් පාර්ශ්ව ම තමන්ගේ සදාචාරාත්මක සීමාව ගැන දැනුම්වත් විය යුතු බවය. හොරකම කෙසේ කළත් හොරකමකි. එයට අටුවා ටීකා ලියූවත් එසේමය. සබුද්ධික සමාජයකට අවැසි වන්නේ නීති ගරුක සේම සදාචාර සම්පන්න ජනතාවකි. පොත් කියවන සමාජයකට නීති අවැසි නොවන්නේ යැයි ඇදහූ අපටම අද පොත් කියවන්නන් හා ලියන්නන් වෙනුවෙන් නීති හදන්න බල කරන්නට සිදුව ඇත. සමාජ ඛේදවාචකය එයයි. එනිසා සදාචාරාත්මක නොවන සිදුවීමකට උල්පන්දම් නොදීමට වග බලා ගැනීම පාඨක ඔබ සතු යුතුකමකි.

Comments