සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 

මේෂ - අධ්‍යාපනික ජයග්‍රහණ

සඳු ගමන් ආරම්භ කරන්නේ 4, 5, 6 සහ 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය තුළ තමන් බලාපොරොත්තු වූ කරුණු කාරණාවලට වැඩි ඉඩක් හිමි වෙන අතර, සුබ ප්‍රතිඵල අත්වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ මෙන්ම වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් ද ලාභ ප්‍රයෝජන අත්වේ. සුළු අනතුරු අසනීප ගති ද ඇතිවිය හැකිය. අපල අවම කර ගැනීමට ඇස් පෙනීම දුර්වල වූ කෙනකුට උදවු කරන්න. උදේට මෝර පිරිත කියන්න. කලබලකාරී බවින් මිදී ඉවසීමෙන් කටයුතු කරන්න. සුබ අංක 5, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

වෘෂභ - ගෘහ ජීවිතය සතුටින් ගතවේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. ගේ දොර, යාන වාහන අලුත්වැඩියා කිරීම්, දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවල දක්ෂතා පෙන්නුම් කරයි. දරුඵල ලැබීමටත් විවාහ කටයුතුවලටත් සුබ සතියකි. දරු මුනුපුරන් සමඟ සතුටුදායකව ගත කරන අතර ආර්ථිකය ද යහපත් වේ. රැකියා කටයුතු සඳහා ඇවිදිලි අධික වේ. හදිසි සුළු අනතුරු, සතුරු කරදර ද අසනීප ගති ද පෙන්වයි. වචන පිට කිරීමේදී දෙවරක් සිතන්න. සතුන්ට, පක්ෂීන්ට ආහාර ජලය තබන්න. රතන සූත්‍රය ශ්‍රවණය කරන්න;කියන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා

මිථුන - දරුවන් ගැන සුබ ආරංචි

සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. මිල මුදල් අතමිට ගැවසිය හැකි අතර, සහෝදර උපකාර ද හිමිවේ. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. ගෙදරදොර දියුණුවට කටයුතු සලසා ගනියි. සහජ දක්ෂතා වැඩි දියුණු වේ. පුණ්‍ය කටයුතුවල යෙදෙයි. දරුවන් ගැන සුබඵල අසන්නට ලැබෙයි. සුළු අපල අසනීප ගති මතුවේ. අපල අවම කර ගැනීමට පමණට වැඩියෙන් අනුන්ට උදවු කිරීමට යෑමෙන් වැළකී තම දියුණුව සලසා ගන්න. සුබ අංක 3, 5, සුබ වර්ණ - කොළ, කහ, සුබ දවස් - බදාදා, සිකුරාදා

කටක - ශක්තිමත් ආර්ථිකයක්

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 සහ සිවු වැන්න මතිනි. අන්‍යයන්ගේ දුකට පිහිට වෙමින් අනුකම්පා සහගතව ගත කරන සතියකි. ආර්ථිකය ශක්තිමත් වෙන, සහජ දක්ෂතා මතු වෙන දින කිහිපයකි. පදිංචි ස්ථානයේ වැඩ කටයුතුවලට මුල් තැනක් දෙයි. ධන ලාභ හිමිකම් ඇත. ප්‍රාථමික අංශවල දරුවන්ගේ හැකියා වර්ධනය වේ. සුබ අංක සඳු අටවැන්නේ ගමන් කරන බැවින් අපල අනතුරු ද දක්නට ලැබෙයි. අපල අවම කර ගැනීමට ජය පිරිත උදේ හවස කියන්න.

සුබ අංක 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා

සිංහ - ධෛර්යවන්තව ගතවෙන සතියක්

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 හා තුන්වැන්න මතිනි. ආරම්භය එතරම් සුබ නොවේ. වියදම් අධික සහ ගැටලු පැන නැඟේ. ඉන්පසු කාගෙත් සිත් දිනා වැඩකටයුතු කර ගත හැකිය. ධෛර්යයෙන් හා උත්සාහයෙන් දියුණුවට අදාළ දේ සම්පාදනය කර ගනියි. ආර්ථිකය ශක්තිමත්ය. අපල අවම කර ගැනීමට උදේට මෝර පිරිතත් සවසට ඡන්ද පිරිතත් ශ්‍රවණය කරන්න.

සුබ අංක 1, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

කන්‍යා - මිශ්‍රඵල සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. ධන ලාභ, ආර්ථික ලාභ හිමිවෙන අතර, ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි සතියකි. දුවා දරුවන්ගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේ. එහෙත් සතිය මැද හරියේදී නීතිමය ගැටලු, අධික වියදම්, නිෂ්ඵල ගමන් සහ රැවටිලි වැනි දේවලට ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. අපල අවම වීමට සතිය ආරම්භයේ කුඩා දරුවන්ට ආදරය, කරුණාව දක්වමින් ඔවුන්ගේ වැඩ කටයුතුවලට උදවු කරන්න. හවසට රතන සූත්‍රය කියන්න.

සුබ අංක 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

තුලා - විදෙස් ගමන් සඵල වේ

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. ලැබීම් සහිතය. විදේශ ගමන් යෙදේ. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. ප්‍රසිද්ධිය, කීර්තිය ඇති වේ. දූ දරුවන්ගේ ඉගෙනීමේ ශක්තිය වර්ධනය වේ. එහෙත් අපල උපද්‍රව, සිත් රිදීම්, කලකිරීම් ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් බුද්ධිමත්ව වැඩ කටයුතු කරගෙන යන්න. අපල අවම කර ගැනීමට තරුණ දරුවන්ගේ කටයුතුවලට උපකාර කරන්න. පක්ෂීන්ට ආහාර ජලය තබන්න.

සුබ අංකය 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය පුණ්‍ය සිතුවිලි සහිතව හොඳින් පවත්වා ගත හැකි අතර විදෙස් ගමන් ද සාර්ථක වීමක් දක්නට ලැබෙයි. රැකියා ව්‍යාපාරවලින් ආදායම් හිමි වේ. වෙනත් ලැබීම් ද ඇත. දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබෙයි. යම් යම් සිද්ධීන් මත කලකිරෙන ස්වභාවයක් ද පවතී. සුළු අනතුරු මෙන්ම පාඩු සහගත අවස්ථා පෙන්නුම් කරයි. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින බෝමළුව අමදින්න. පැන් කළයක් බෝධියට වත්කර මල් පහන් පුදන්න. සුබ අංක 2, 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා

ධනු - රැකියා දියුණුව සහ ධන ලාභ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබඵල නොදේ. කනගාටුදායක පුවත් අසන්නට ලැබේ. ඉන්පසු දින කිහිපය පුණ්‍ය කටයුතුවලට දායක වීමට අවස්ථා සැලසේ. දූ දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතු සාර්ථකය. රැකියා දියුණුව හා ධන ලාභ, වෙනත් ලැබීම් ඇත. අපල අවම වීමට වයසක දුර්වල අයට ඇප උපකාර කරන්න.

සුබ අංක 3, 5, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා

මකර - මකර - අනුන්ගෙන් ආධාර උපකාර

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. සහකාර පාර්ශ්වවලින් ආධාර උපකාර හිමිවෙයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැඩි දායකත්වයක් දෙමින් ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හොඳින් සිදුවේ. ආර්ථිකය ශක්තිමත් වන්නේ රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවන බැවිනි. එහෙත් අසනීප, සුළු අනතුරු දක්නට ලැබෙයි. හිතවතුන්ගේ සහ ළඟම, ඥාතීන්ගේ දුක් ගැන කනගාටු ඇති වෙයි. අපල අවම කර ගැනීමට පන්සිල් ගෙන භාවනාවක නිරත වන්න. සුබ අංක 6, 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

කුම්භ - බාධක හමුවේ නොසැලෙයි

ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ආරම්භය එතරම් සුබ නොවුණත් ව්‍යාපාර, රැකී රක්ෂා ආදියෙන් සුබඵල අත් වේ. ගෘහ ජීවිතය සාමයෙන් ගත කළ හැකි වුවත් අවිවේකය බලපවත්වන බැවින් සිතෙහි සැනසීම අඩු වෙයි. එහෙත් සියලු දේ අත් නොහැර කරගෙන යන බවක් පෙන්නුම් කරයි. කිසිවකුටත් පසු නොබැස, තමන්ගේ වැඩ ස්වෝත්සාහයෙන් කර ගැනීම ඔබගේ එකම අරමුණයි. අපල අවම වීමට මෛත්‍රී සහගතව අන්‍යයන්ගේ දුක් දකින්න. හැකි අයුරින් ඔවුන්ට පිහිට වන්න. සුබ අංක 3, 9, සුබ වර්ණය - රතු, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

මීන - උසස් සහ බුද්ධිමතුන්ගේ ඇසුර

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. උසස් අයගේ අනුශාසනා ආධාර උපකාර හිමිවෙන අතර දරුවන් පිළිබඳ සුබ පණිවුඩ, දරු ලාභ ඇති කරයි. ව්‍යාපාර දියුණුව, ලාභ ගිවිසුම්, සහකාර සබඳතා වර්ධනය වෙයි. ඒ සමඟ හිතවතුන්ගේ දුක් තමාට ද දැනෙන තත්ත්වයක් සහ අසනීප, අනතුරු ඇතිවිය හැකි වාතාවරණයක් ද පෙන්වන බැවින් ධාර්මිකව හා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. ගුරු ලග්නගතව සිටීම ද ඔබගේ ගැටලු අවම වීමට හේතුවක් ලෙස සඳහන් කළ හැකිය. අපල අඩු වීමට වචන පිට කිරීමට කලින් දෙවරක් සිතා අන්‍යයන්ගේ සිත් නොරිදා සිටීම මැනවි.

සුබ අංක 3, 9, සුබ වර්ණ - රතු, කහ, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

Comments