
කොටපොල, කළුකඳ ඌරු බොක්ක පාරේ සුරංගගේ ගරාජය කොයි කවුරුත් හොඳින් දන්නා ස්ථානයකි. අප යන විටත් ගරාජයට මෑතින් වූ සුරංගගේ නිවස පුංචි කොලු පැටවුන් තිදෙනකුගේ රජ දහනකි. ඝෝෂාව ද නිමක් නැත. විටෙක ගරාජයේ හඬ පරයමින් සංගීතයක් ඇසෙන්නේය. තවත් විටක වාදන භාණ්ඩ හඬකි. තවත් මොහොතකින් මිදුල කෙළි රජදහනකි. සුරංගගේ පැටවු තිදෙනා දැන් රටක් දිනූ පුංචි හපනුන් තිදෙනෙකි. ශිෂ්‍යත්ව විභාගයෙන් ජය රැන්දූ එකම තුන් නිවුන්නු ඔවුන්ම ද?
පුංචි පහේ හපනුන්ගේ හපන්කම් කතා කරන්නට කාලය එළඹ තිබෙන මොහොතක එක වහලක් යට වූ පුංචි තුන් නිවුන් සහෝදර හපනුන් සොයා අප ගියේ දෙනියාය කොටපොලටය. ශිෂ්‍යත්ව විභාගවලදි නිවුන් දරුවන්ගේ සමත් වීම් පසුගිය කාලාන්තරයක් පුරාවට මාධ්‍ය හරහා එළිදරවු කෙරුණ ද තුන් නිවුන් දරුවන්ගේ ජයග්‍රහණ මින් පෙර වාර්තා වූ බවට මතකයක් නැත. අප මතකයේ පමණට විභාග ඉතිහාසයේ එවන් ජයග්‍රහණයක් දුලබය. මේ ඒ වැනි අවස්ථාවක් වාර්තා වූ මුල් වතාව ද වන්නට පුළුවන. මේ අයියා මලෝ පිළිවෙළින් පසිඳු පබසර, ටිනිඳු බිම්සර හා ඔවිඳු පබසරය. මජං නාමින් දෑතේ වෙර වීර්යයෙන් එදා වේල සොයන මේ තාත්තා සුරංග සිසිර කුමාර තවමත් ගරාජයේය. දරුවන් පසුපස සෙවණැල්ල වූ මව එස්. ගීතා කුමාරිය. මේ තුන් නිවුන්නු පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ කොටපොල ජාතික පාසලේ එකම පන්තියෙන්ය. එකම දිනයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී එකම දිනයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සාමාර්ථ්‍යයන් වාර්තා කළ මේ දරු තිදෙනා පාසල් ඉතිහාසයේ පමණක් නොව, විභාග ඉතිහාසයේද සුවිශේෂි කඩඉමක් සනිටුහන් කළේය.
පුංචි අයියා පසිඳු පබසරට ලකුණු 181කි. මද්දුමයා ටිනිඳු බිම්සරට ලකුණු 167කි. බාලයා ඔවිඳු ප්‍රභාසරට ලකුණු 177කි. තිදෙනාම ශිෂ්‍යත්ව විභාගයෙන් පමණක් නොව කඩඉම් ලකුණින් ද සමත්ය. මේ අම්මා තාත්තට ගුරුවරුන්ට දැන් රටක් රාජ්‍යයක් ලැබුණා සේය. පාසලට පමණක් නොව දෙනියාය අධ්‍යාපන කලාපයටම මින් පෙර මෙවන් ජයග්‍රහණයක් වාර්තා වී නොමැති බව අපට වාර්තා විය.
2012 වසරේ ජූලි 24 වැනිදා මුල්ම උපත පසිඳුය. ඊට විනාඩියකට පසු ටිනිදුය. ඔවිඳු මෙලොව එළිය දකින්නේ ටිනිදුට විනාඩියකට පසුය. තමන්ට තුන් නිවුන් දරු උපතක් ලැබෙන බව මුලින් මව දැන සිටියේ නැත. ඇය ඒ බව දැන ගන්නේ දරු පිළිසිඳ ගැනීමෙන් මාස පහකට පමණ පසුය. දරුවන්ගේ ආරක්ෂාවට වෛද්‍ය උපදෙස් මත ගාල්ල මහමෝදර රෝහලේ මෙන්ම කොළඹ සොයිසා කාන්තා රෝහලේද නේවාසිකව ඇය නතර වන්නේ නීරෝගි දරු උපතක් වෙනුවෙනි. පසිඳු, ඔවිඳු හා ටිනිඳු උපන්නේ කොළඹ සොයිසා රෝහලේදීය. තිදෙනාම සිංහ ලග්න හිමියෝය.
“මගේ දරුවෝ තුන් දෙනා වෝටර් බෑග් තුනක ඉපදුණු නිසා එකිනෙකා රූපයෙන් තරමක් වෙනස්. මහත්තයා ගැරේජ් රස්සාව කරලා තමයි දරුවෝ උස් මහත් කළේ. එදා මාසයකට කිරි පැකට් 36ක් ඕන වුණා. දරුවෝ මෙන්ටිසෝරි යන කාලයේ ඉඳන්ම දක්ෂයි. එක් එක්කෙනා එක එක දෙයට දක්ෂයි. අවුරුදු එකහාමාරේ සිටම මේ තුන් දෙනා ඩ්‍රම්ස් ගහනවා. තුන් දෙනාම හිටියේ එකම පන්තියේ. පන්තියේ වාර විභාග වලින් මේ තුන්දෙනා හැම වෙලාවෙම 1,2 හා 4 හිටියා. පුතාලා දෙන්නෙක් බාලදක්ෂ කරන කොට අනිත් පුතා ප්‍රථමාධාර කරනවා. ඔවිඳු චෙස්, ක්‍රිකට්වලට වගේම චිත්‍ර අඳින්නත් දක්ෂයි. ටිනිඳු ලස්සනට සින්දු කියනවා. පසිඳු ඩ්‍රම්ස් ගහනවා වගේම කාර්මික වැඩ කරන්න දක්ෂයි. ඒත් මේ තුන් දෙනා කන්නේ බොන්නේ පාඩම් කරන්නේ, නිදාගන්නේ එකට. තුන් දෙනාට තුන් දෙනා නැතුවම බැහැ.” මව ගීතා පවසන්නීය.
කොතරම් අගහිඟකම් තිබුණත් රැකියාවකට නොයා ඇය දරුවන් පසුපසමය. මීටර් 500ක් දුරින් වූ පාසලට මේ දරු තිදෙනා යන්නේ ද එන්නේ ද දෙපයිනි. උයන පිහන දෙයක් කනවා බොනවා හැර මේ දරුවන් මවට පියාට වදයක් වන්නේ නැත.
පාසලේ ගුරුවරු අපේක්ෂාවෙන් සිටියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මේ තිදෙනාම ලකුණු 180ට ඉහළින් ගනු ඇති බවය. ඒ වාර විභාගවලදී පමණක් නොව අනාවරණ පරීක්ෂණවලදී ද සෑම විටම ලකුණු 180 ට ඉහළින් තිදෙනාම ගන්නා නිසාය. මේ නිසා ගුරුවරු පවා මේ දරු තිදෙනා ගැන විශාල බලාපොරොත්තුවෙන් සිටියහ.
“මේ දරුවෝ තුන් දෙනා විභාගයට පාඩම් කළේ තුන් දෙනාම එකට. එක් කෙනෙක් ප්‍රශ්න අහන කොට අනිත් දෙන්නා උත්තර දෙනවා. ඉන්පස්සේ ඒ අයම ඒවාට ලකුණු දාගන්නවා. අන්තිමට ලකුණු වැඩියෙන් ගත්තු කෙනා ජයගත් කෙනා කියලා පුංචි තෑග්ගකුත් මාරු කර ගන්නවා. තාත්තා තමයි දිනපු කෙනාට තෑග්ගක් ගෙනත් දෙන්නේ. බොහෝ විට ඒක පෑනක්, හයිලයිටර් වගේ පොඩි දෙයක්. එහෙම නැතිනම් තුන් දෙනාම එකවිට ප්‍රශ්න පත්‍ර කරලා මාරු කරගෙන හරි වැරදි බලා ගන්නවා. අම්මා නිතරම මේ දරුවන්ගේ පස්සෙන් හිටියා. 3,4, 5 වසර තුනම මම මේ දරුවන් එක්ක හිටියේ. මුල සිටම දක්ෂයි. තුන් දෙනාම කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෝ. අනිත් දරුවෝ එක්කත් හරිම සමඟියි. මේ තුන් දෙනාම ආසාවෙන් හිටියේ ශිෂ්‍යත්වය පාස් වෙලා මාතර රාහුල විදුහලට යන්න. ඒත් එක්කෙනෙකුටවත් යන්න බැරි වුණොත් තුන් දෙනාම යන්නේ නැහැ කිව්වා. ටිනිඳු ශිෂ්‍යත්වය ලියලා ආවේ ‘අනේ ටීචර් ගොඩාක් ආමාරුයි‘ කියාගෙන. එයාට ලකුණු 167යි. පසිඳු ‘මට නම් වෙලාව හොඳටම ඇති වුණා‘ කියාගෙන ආවා. එයාට 181යි. අපි හිතුවා ඔවිඳු තමයි වැඩිම ලකුණු ගන්නේ කියලා. එයාට 177 ක් තිබුණා. දැන් දරුවෝ තුන්දෙනාගේ ආසාව තමයි මාතර රාහුල විදුහලට ඇතුළත් වන එක...” තමරා අබේවික්‍රම, දරු තිදෙනාගේ පන්ති භාර ගුරුතුමිය අපට පැවැසුවාය.
පසිඳු, ඔවිඳු හා ටිනිඳු වෙනස් වූ දක්ෂතා පෙන්නුම් කළද තිදෙනාම පාඩමට දැක්වූයේ එක හා සමාන දක්ෂතාවයකි. දරු තිදෙනා පාඩම් කළේ ඔවුන්ටම ආවේණික ක්‍රමයකටය. අමතර පන්තිද ගියේ එකටය.
“ශිෂ්‍යත්වය කියලා ඒ මත්තෙම මේ දරුවෝ නැහුණේ නැහැ. තුන් දෙනා විෂය සමගාමී කටයුතුවලට ගොඩාක් කළා. තුන් දෙනා එක් එක දෙයට දක්ෂයි. තාත්තා දිවා රෑ වෙහෙස වෙලා හම්බ කරන ගැරේජ් රස්සාවෙන් තමයි මේ දරුවෝ මේ තත්ත්වයට ගෙනාවේ. උදවු කරන්න කිසි කෙනෙක් නැහැ වගේම වෙනත් ආදායමක් මේ අයට නැහැ.” ඒ කොටපොල ජාතික පාසලේ ප්‍රාථමික අංශභාර සහකාර විදුහල්පති රුවන් තුෂාර මදරසිංහය.
මේ තුන් නිවුන් දරුවන්ගේ සමත්වීම් කොටපොල ජාතික පාසල ලද ඓතිහාසික ජයක් බව විදුහල්පති ප්‍රේමවන්ත අබේවික්‍රම පවසන්නේය.
“අපේ පාසලේ දරුවෝ 1700 ක් ඉගෙන ගන්නවා. ගුරුවරු 58 ක්. පාසල ආරම්භ කර මේ වන විට වසර 145 ක්. පාසලේ මේ වසර 145ටම පමණක් නොවේ මම දන්න තරමින් විභාග ඉතිහාසයේවත් තුන් නිවුන් දරුවෝ ශිෂ්‍යත්වය සමත් වූ බව අසා නැහැ. මෙවර සිසුන් 17 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගය සමත්. 2020 වසරේ 19 දෙනෙක් සමත් වුණා. අපි මේ ගමන යන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලටත් මුල්තැනක් දෙමින්. ඒ නිසා මේ ජයග්‍රහණ ඓතිහාසිකයි...”
දරුවන්ගේ උවමනාකම් වෙනුවෙන් දරුවන්ගේ තාත්තා අසීමිත කැපකිරීමක් කරන්නේය. නිවස ආසන්නයේ වූ ගැරේජයට වී මජං සමඟ ගැටෙන්නේ දරුවන්ට අඩුවක් නොදෙන්නටය.
“මම ගැරේජ් එකේ ගොඩාක් මහන්සි වෙනවා. සමහර දවසට සල්ලි හොයන්න පාන්දර දෙන තුන වෙනකම් ගරාජ් එකේ වැඩ කරනවා. සමහර විට ඒ ඇඳුම් පිටින්ම දරුවන්ව පන්ති ගෙනි යනවා. දරුවන්ගේ වියදම් වෙනුවෙන් විශාල මුදලක් හොයන්න වෙනවා. ප්‍රශ්න පත්‍රයක් ගත්තත් තුන් දෙනාටම ගේන්න ඕන. මේ නිසා අමතර වියදම් සියල්ල අඩු කළා. දරුවන්ට ඕන පොත් පත් සල්ලි තියෙන වෙලාවට අරගෙන තිබ්බා. නමුත් පසුගිය දා මිල වැඩි වුණාට පස්සේ ගොඩාක් අපහසුතා ඇති වුණා. ඒත් කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. දරුවන්ට ඇඳුමක් පවා කාගෙන්වත් ඉල්ලන්න ගියේ නැහැ. අඩුපාඩු තිබුණත් මේ දරුවෝ ඒවා විඳින්න පුරුදු වුණා. දරුවන්ගේ සමහර යාළුවෝ මාතර රාහුල විදුහලට ඇතුළු කළා. මේ තුන් දෙනත් ආසාවෙන් ඉන්නේ මාතර රාහුල විදුහලට යන්න. ඒත් ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. පාසල ළඟින් නවතින්න තැනක් ගන්න ඕන. ඒ සඳහා මාසයකට රුපියල් 35,000ක් වත් යනවා..” මේ පියා සුරංග පවසන්නේය.
පියාට ඉදිරියට ඇති අභියෝග බොහෝය. ඒත් මේ පුංචි පැංචන් තිදෙනාට ඇවැසිව ඇත්තේ ලොකු ඉස්කෝලයකට යෑමටය. දරුවන්ම මාතර රාහුල විදුහල තෝරාගෙන ඇත්තේය. ඒ ලොකු ඉස්කෝලේ ඇති වගතුග යාළුවෝ ඔවුන්ට පවසා ඇති නිසාය.
“මම නම් ශිෂ්‍යත්වයෙන් ලකුණු 180 කට වඩා අරගෙන පාස් වෙන බව දැනගෙන හිටියා. ලකුණු 181ක් ලැබුණා. ප්‍රශ්න පත්‍රය ටිකක් අමාරු වුණා. ඒත් ගොඩාක් හරිය ලේසියි. මමයි මල්ලිලා දෙන්නයි එකම පන්තියේ ඉගෙන ගත්තත්, අපි පන්තියේ හිටියේ එක ළඟ නෙමෙයි. අපි තුන් දෙනා හිටියේ යාළුවෝ එක්ක. ඒත් පාඩම් කළේ එකට. මම ප්‍රශ්න අහද්දි මල්ලිලා උත්තර දෙනවා. ඊට පස්සේ අපි තුන්දෙනා ගන්න ලකුණු බලනවා. වැඩියෙන්ම ගන්න කෙනා දිනුම්. මගේ ආසාව මල්ලිලා එක්ක මාතර රාහුල විදුහලට යාම. හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ඕන...” පුංචි අයියා පසිඳු එසේ පවසන්නේ අඩුව පුරවන්නට සිය දෙවැනි මල්ලීට භාර කරමිනි.
ලකුණු 167 ක් ගත් ටිනිඳු ගේ බලාපොරොත්තුව ගුවන් නියමුවකු වීමය.
“මාත් හිතාගෙන හිටියේ ලකුණු 180ක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් කොහොම හරි පාස් වුණානේ . ඒනිසා දුකක් නැහැ. මට ලස්සනට සින්දු කියන්න ඩ්‍රම්ස් ප්ලේ කරන්න පුළුවන්. ක්‍රිකට් ගහන්නෙත් අපි තුන් දෙනාමයි. ප්ලේන් එකක් එළවන්න ආස නිසා මම කවදා හරි පයිලට් කෙනෙක් වෙලා අම්මවයි තාත්තවයි රටකට එක්ක යනවා”.
පුංචි හිත්වල බලාපොරොත්තු ගොන්නකි. ලකුණු 177ක් ගත් මල්ලි ඔවිඳු ගේ බලාපොරොත්තුව වී ඇත්තේ අයියා මෙන් වෛද්‍යවරයකු වීමටය. පුංචි ඔවිඳු ශිෂ්‍යත්වයට පෙනි සිටින මල්ලිලාට දුන්නේ අපූරු ඔවදන් රැසකි.
“මාත් ලකුණු 180ක් ගන්න හිටියේ. බැරි වුණාට දුක නැහැ. හොඳට පාස් වුණානේ. විභාගය කරන්න ඉන්න මල්ලිලට කියන්නේ වැඩිය ප්‍රශ්න පත්‍ර කරන්න එපා. දවසට පේපර් දෙකක් කළාම හොඳටම ඇති. සෙල්ලම් කරන්න. පොත් කියවන්න. ෆෝන් බලනවානම් ඉගෙන ගන්න තියෙන ඒවා බලන්න...” ඒ මහ ලොකු ඔවදන් පුංචි හිතකිනි.
පවුලට, පාසලට පමණක් නොව රටටද ආඩම්බරයක් ගෙන දුන් මේ පුංචි හපනුන්ගේ වීරකම් රටක් වටින්නේය.
“නිවුන් දරුවන්ගේ දක්ෂතාවලට ජානමය බලපෑම් මෙන්ම පරිසර තත්ත්වයන්ද බලපානවා. ඒ අනුව තුන් නිවුන් දරුවන්ගේ දක්ෂතා අඩු වැඩි වෙන්න පුළුවන්. මේ තුන් නිවුන් දරුවෝ එකම පරිසර තත්ත්ව යටතේ එකට පාඩම් කළේ නම් හෝ වැඩ කටයුතු කළේ නම් දරුවෝ තුන් දෙනාටම එක හා සමාන දක්ෂතා පිහිටන්න පුළුවන්...” ඒ සමාජ හා සෞඛ්‍ය පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාලගේ අදහසයි.
අපි යළි කොළඹට ඒමට පෙර පුංචි පැටවුන්ට සමු දුන්නෙමු. පුංචි පුංචි හිත්වල ගොඩනැඟුණු බලාපොරොත්තු ගොන්නකි. ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයේ එකම කඩඉම මෙය නොවන හෙයින් ඉදිරියට යායුතු මඟ බොහෝය.
පසුබිම් වාර්තා සහ ඡායාරූප - විජිත සල්ගාදු, අකුරැස්ස මධ්‍යම විශේෂ