ලංකාවේ ක්‍රිකට් වනසන මාෆියාවට එරෙහිව මම සීඅයිඩීයට යනවා | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට් වනසන මාෆියාවට එරෙහිව මම සීඅයිඩීයට යනවා

වුරු කෙසේ කීව ද මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විවිධාකාරයේ මාෆියා මොඩලයන් ක්‍රියාත්මක වේ. නිලවරණයෙන් බලයට පත්වන පුද්ගලයන් වේවා, ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් වේවා, ක්‍රිකට් උපදේශකවරුන් වේවා එකී නොකී තනතුරුවලට පත්වන බහුතරය පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඇත්තේ දැඩි කලකිරීමකි. අප්‍රසාදයකි. නිලධාරිවාදය, කල්ලිවාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය උදා කරදීමේ හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අතහැර යන තත්ත්වයක් නිර්මාණය වන්නේ එබැවිනි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු බොහෝ කරුණු අනාවරණය විය. ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඒ පිළිබඳ සෙවීමට පත් කළ විමර්ශන කමිටුවෙන් බොහෝ කරුණු තහවුරු විය. ඒවාට නිර්දේශ ද ඉදිරිපත් වී ඇත. මීට මාස කිහිපයක සිට ලියුම්කරු විසින් ‘සිළුමිණෙන්‘ හෙළිදරවු කරනු ලැබූ ඒවා ද ලෝක කුසලාන තරගාවලියෙන් පසු හෙළිදරවු වූ බොහෝ කරුණු අතර විය. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ‘සිළුමිණ‘ හා එක්වන්නේ මේ උණුසුම් වාතාවරණය අතරතුරය.

වර්තමානය වෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද ගණනාවක් තිබෙනවා. පරිපාලනයෙන්, ක්‍රීඩාවෙන් කොයි පැත්තෙනුත් එකයි. මේවාට ඔබ දකින හේතු මොනවද?

මම දකින්නේ මේ ක්‍රීඩකයෝ පුදුම දක්ෂ ක්‍රීඩකයෝ ටිකක්. මේ ක්‍රීඩකයන්ගේ විනය හදපු නැති නිසා තමයි මේ ප්‍රශ්න ගොඩකට මුල. අනික මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවෙන් වැඩ කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. මේ ඉන්න කණ්ඩායම හොඳ කණ්ඩායමක්. සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන් කණ්ඩායමක්. විස්සයි20 ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි යම් යම් වෙනස්වීම් එක්ක එක්දින තරගවලදිත්. මම පෞද්ගලිකව දකින දෙයක් තමයි මෙයලාගේ විනය ප්‍රශ්නයක් තමයි සිද්ධ වුණේ. මේගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරගන්න පුළුවන් නම් මේ ක්‍රීඩකයෝ හරි දක්ෂ ක්‍රීඩකයෝ. මේගොල්ලන් නරක ළමයි නෙවෙයි. හැබැයි හදාගන්න දැනගන්න ඕනා. ඒවා පෙන්නලා දෙන්න ඕනා. හරියන්නේ නැතිනම් දඬුවම් දෙන්න ඕනා. ප්‍රශ්නේ තියෙන්නේ පරිපාලනයේ. මේවා පරිපාලනයේ තියෙන විශාල ප්‍රශ්නයක්. අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි දැන් අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. දැනට හරි අපිට මේවා නවත්ත ගන්න පුළුවන් නම් අපිට ඉදිරියේ බලාපොරොත්තුවක් තියෙනවා ක්‍රිකට් ගැන. එහෙම නැතිව මේ විදිහට ගියොත් අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද ක්‍රීඩකයන්ගේ ආකල්ප මේ අය කරන දේවල් තමයි අවුරුදු 19න් පහළ, 15න් පහළ ක්‍රීඩකයොත් බලන්නේ. ඉතින් එ්ගොල්ලන් ඒ තත්ත්වයට යන්න නොදී පාර වෙනස් කරන්න ඕන කාලය ඇවිත් තියෙනවා. හිටපු ක්‍රීඩකයෙක් හැටියට මම හිතනවා එහෙම නොකළොත් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.

ඔබ ක්‍රීඩා කරන කාලේ මේ වගේ ප්‍රශ්න තිබ්බේ නැද්ද ?

නෑ අපි ක්‍රීඩා කරපු කාලෙත් විනය ප්‍රශ්න තිබුණා. හැබැයි අපි ඒවා අඳුනා ගත්තා. අපි ඒ ක්‍රීඩකයන්ව අපේම මල්ලිලා වගේ හැදුවා. වැරදි තේරුම් කරලා දුන්නා. ඒ වගේම ඒ කාලයේ පරිපාලනයේ හිටියා වැදගත් මහත්වරු. කළමනාකරුවන් විදිහට යන අය. බෝඩ් එකෙන් අත ගැසීම් ආවේ නෑ. හැමෝටම එක විදිහට සැලකුවේ. අපි ගහන කාලෙත් එස්එස්සී එකේ වැඩි පිරිසක් හිටියා. හැබැයි එහෙම කියලා ක්‍රීඩා සමාජයේ ප්‍රශ්නයක් අපි කවදාවත් දැකලා නෑ. එළියට යද්දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ එක්ක තරුණ ක්‍රීඩකයොත් ගියා. එ්ගොල්ලන්වත් අපි පුහුණු කරන්න ගත්තා කොහොමද හැසිරෙන්න ඕනා කියලා. සංචාරය කරන කොට යන්නේ කොයි විදිහටද කියලා. අපි ඒ කාලේ කවදාවත් සංචාරයකට යනකොට ෂර්ට් එක ඇඳල ටයි එක දාලා බ්ලේසර් එක නැතිව ගියේ නෑ. මොකද අපි රටක් නියෝජනය කරන කොට තියෙනවා අපිට තියෙනවා අභිමානයක්. සමහර අය හිතනවා මේවා එච්චර ලොකු දේවල් නෙවෙයි කියලා. නෑ පොඩි දේවල්වලින් අපි හදාගන්න ඕන. හැසිරීම හදාගන්න ඕනා.

කතාවක් තියෙනවා පරදින කොට තමයි වැරදි පේන්නේ, දිනන කොට පේන්නේ නෑ කියලා. පරිපාලකයන් පවා එහෙම කියනවා. ඒක ඇත්තද ?

දිනනකොටත් ඒ අයට වැරදි පේනවා නම් ඒ වෙලාවේ ඒවා හදා ගන්න ඕනා. මෙන්න මෙතැනදි තමයි දුර්වල පරිපාලනය මම දකින්නේ. අපි දිනනකොටත් මේ දේවල් තිබිලා තියෙනවා නම් එගොල්ලෝ දන්නවනේ. එතකොට දිනනකොට තිබුණු වැරැදි අපි හදා ගත්තා නම් අපිට පරදින කොට මේවා කතා කරන්න ඕන වෙන්නේ නෑ. මෙන්න මේවා තමයි අත්දැකීම්වලින් එන දේවල්.

අත්දැකීම් තිබෙන ඔබ පවා නිලවරණ කිහිපයකින්ම පැරදුණා. දැක්මක් තිබ්බා නම් ඇයි එහෙම වුණේ ?

ක්‍රිකට්වල ඡන්දය දෙන්න එන්නේ කවුද? ක්‍රිකට් ගහපු අයද නෑ. ක්‍රීඩා සමාජවල ඉන්න එක්කෙනෙක්. ක්‍රීඩා සමාජවලට උදව් කරන අයට තමයි හුඟක් වෙලාවට ඡන්දය දෙන්නේ. ඒකනේ මේ ඡන්ද 147කට ගිහිල්ලා තියෙන්නේ. සමහර ක්‍රීඩා සමාජ තියෙනවා ටීම් එකක් නෑ. සමහර වෙලාවට ග්‍රවුන්ඩ් එකක් නෑ. ක්‍රිකට් ගහන්නෙත් නෑ. හැබැයි ඡන්දයක් තියෙනවා. පේපර් ක්ලබ්ස් කියලයි ඒවාට කියන්නේ. ක්‍රිකට්වල විතරක් නෙවෙයි පාපන්දු, රග්බි වගේ අනිකුත් ක්‍රීඩාවෙනුත් මේ පේපර් ක්ලබ්ස් අයින් වෙන්න ඕනා. මේ පේපර් ක්ලබ්ස් හැදුවේ ක්‍රීඩා මාෆියාවේ ඉන්න මිනිස්සු එයාලගේ පැවැත්ම සඳහා. 1982 වගේ කාලයේ ගාමිණී දිසානායක වගේ මහත්වරු හිටියේ. ඊළඟට ආනා පුංචිහේවා මහතා, උපාලි ධර්මදාස මහතා. මේ වගේ කොලිටි අය හිටියා. එයාලා හැමදාම බැලුවේ ක්‍රිකට් දිහාව විතරයි. කොයි විදිහටද හදන්නේ කියලා. 

ඔබ කියන්නේ ක්‍රිකට්වලත් කල්ලිවාදයක් තියෙනවා කියලද?

මම හිතන්නේ මේ ක්‍රිකට් පරිපාලනය විතරක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ වුණේ ඒ ටිකමයි. එතැන කල්ලිවාදයක් තියෙනවා එගොල්ලෝ සැලසුම් කරලා එන්නේ. කවදාවත් ක්‍රිකට්වලට ආදරය කරන කෙනෙකුගේ ඡන්දයෙන් දිනලා එන්න බෑ. ඒක එක මාෆියාවක් තියෙන්නේ. ඒක මම ඊයෙත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා ඒක නෑ කියන්න බෑ.

තේරීම් කමිටුව ගැනත් ඔය වගේම ප්‍රශ්න තියෙනවා නේද?

ඔව්. හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ ක්‍රිකට් ආයතනයෙන් නම් එවලා තිබුණා දහ දෙනකුගේ. හිටපු අය පස්දෙනයි අලුත් අය පස්දෙනයි. ඔය එන කට්ටියට වඩා සුදුසු කට්ටිය ගොඩක් ඉන්නවා කියන එක ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත් තේරිලා තිබුණා. හැබැයි ඒ නම් ක්‍රිකට් ආයතනයට එන්නේ ක්‍රීඩා සමාජ හරහා. එතකොට අර වැඩිය ක්‍රිකට් ගහලා නැති විධායක කමිටුවෙන් තමයි ඒ නම් අතුරින් දහයක් තෝරලා ක්‍රීඩා අමාත්‍යාංශයට එවන්නේ. ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුවේ නම් යෝජනා කළාට ඒකේ වගකීම තියෙන්නේ ක්‍රීඩා ඇමැතිවරයාට. ඉතින් ඒ වගකියන කොට ක්‍රිකට් ආයතනයෙන් හෝ රග්බි සංගමයෙන් හෝ පාපන්දු සම්මේලනයෙන් සුදුසු නැති නම් ටිකක් එවලා ක්‍රීඩා ඇමැතිවරයා අනුමත කළොත් කවදාහරි දවසක ක්‍රීඩා ඇමැතිවරයාට තමයි වගකීම එන්නේ. ඒ නිසා තමයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ජාතික තේරීම් කමිටුව තීරණය කළේ පුවත්පත් දැන්වීමක් දාලා හැමෝටම අවස්ථාව දෙන්න.

ඒ කාලේ තේරීම් කමිටු හොඳට වැඩ කළා ද?

ඔව්. අපේ කාලයේ හිටපු තේරීම් කමිටු පවා බැලුවම හිටියෙ දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි, ටී. බී. කෙහෙල්ගමුව. මේ වගේ ටොප් කොලිටි අය. ඊළඟට ක්‍රිකට් බෝඩ්වල හිටියේ ඉතාමත් වැදගත් මහත්වරු ටිකක්. සමහර ක්‍රිකට් බෝඩ්වල ඉන්නවා හොඳ ක්‍රිකට් ගහපු අය. ඒ වගේම හොඳ ව්‍යාපාරිකයන්. හැබැයි අද මට ඒ වගේ අය පෙනෙන්නේ නෑ. මම මෑතකදී දැක්කා මාවන් අතපත්තු කියලා තිබුණු දෙයක්. ඒකේ තියෙනවා අද තේරීම් කමිටුව තෝරන්න ඇමැතිවරයාට යවන්න නම් ගෙන්නලා. තෝරන්නේ ක්‍රිකට් විධායක කමිටුවෙන්. ක්‍රිකට් විධායක කමිටුවේ කවුරුවත් නෑ ජාතික කණ්ඩායම නියෝජනය කරපු අය. එතකොට එයාලාට පුළුවන් ද තෝරන්න හොඳම ටික. පිටරටවල්වල එයාලාව තෝරන්නේ වෙනම කණ්ඩායමක්. ක්‍රිකට් සම්බන්ධ කණ්ඩායමක්. ඉන්දියාවෙත් එහෙමයි. අනිත් රටවලත් එහෙමයි. ඔය ක්‍රිකට් ආයතනයේ හරියට ඉන්නවා ක්‍රිකට් ගහපු නැති අය. පොඩියට ක්‍රිකට් ගහපු පළමු පෙළ ගහපු කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි ජාතික කණ්ඩායමට ගහපු අය නෑ. ප්‍රමෝද්‍ය තේරීම් කමිටුවේ සභාපති හැටියට විතරයි විධායක කමිටුවේ ඉන්නේ. ඉතින් එයාව පවා තෝරන්නේ ඔය ඉන්න කට්ටිය. ක්‍රිකට්වල තියෙන සංකල්ප ගොඩාක් දුරට දැන් නෑ. එක එක්කෙනාට ඕන විදිහට තමයි දුවනවා කියන එකයි මට තේරෙන්නේ.

හරියට වැඩ කරපු ක්‍රිකට් බලධාරීනුත් හිටියා නේද?

ඒත් බලන්න පහුගිය අවුරුදු 20ක කාලයේ අතුරු කමිටු 13ක් විතර ඇවිත් තියෙනවා. අතුරු කමිටු පත් කරපු කාලවලදි තමයි බෝඩ් එක හොඳටම දුවලා තියෙන්නේ. මොකද ඒ එන අයට වෙන වෙන දේවල් නෑ එගොල්ලන්ට තියෙන්නේ ක්‍රිකට් හදන්න. එයාලා පත් කරන්නේ ක්‍රීඩා ඇමැති. ක්‍රීඩා ඇමැතිට යටත්ව තමයි ඉන්නේ. ඒ කාලේ තමයි ක්‍රීඩාවත් හොඳට දියුණු වෙලා තියෙන්නේ. අපි බලන්න ඕනා ඇයි ඒ වගේ කාලවලදී විතරක් ක්‍රීඩාව දියුණු වෙලා තියෙන්නේ කියලා. මොකද සැලසුම් හදන්න පුළුවන් වුණේ ඒ කාලේ. දැන් බලන්න මම ඡන්දයකින් පත්වුණොත් මට ඡන්දය දුන්නු ක්‍රීඩා සමාජය ගැන හිතන්න වෙනවා. ඡන්දය දුන්නු පුද්ගලයන් සතුටු කරන්න ඕනා. සංචාරවලට අරන් යන්න ඕනා. එහෙම බැලුවම ක්‍රීඩා සමාජ අඩු කරන එක හරිම වටිනවා.

ඒ කියන්නේ දැනුත් ක්‍රිකට් ක්‍රීඩාවට අතුරු කමිටුවක් එනවා කියන එකද?

මං හිතන්නේ නෑ අපි කාටවත් අතුරු කමිටුවක් දාන්න ඕන කමක් තියෙනවා කියලා. මම හිතන්නේ නෑ, ඇමැතිතුමාටත් එහෙම වුවමනාවක් තියෙනවා කියලා. අපි කාටවත් ඕනකමක් නෑ කිසිම ක්‍රීඩාවකට අතුරු කමිටු පත් කරන්න. අතුරු කමිටුව කියන්නෙ අවසන් විසඳුමනේ. හැබැයි තියෙන වාර්තා අනුව ඒ වගේ තීරණයක් ගන්න වෙනවා නම් ඇමැතිතුමා ඒ තීරණය ගනීවි. ඒක ක්‍රිකට්වලට විතරක් නෙවෙයි හැම ක්‍රීඩාවලටත් එහෙමයි. අපි කවදාවත් මෙතැනට ඇවිත් අතුරු කමිටු පත් කරන්න මටත් කිසිම වුවමනාවක් නෑ.

‘බෝන් අගේන්‘ ආගමික නිකායත් ක්‍රීඩාවට බලපෑවා කියලා ඔබ හිතනවද? 

අර වාර්තාව කියවලා බලපුවම යම් යම් දේවල් තියෙනවා කියලා පෙනෙනවා. මට හිතෙන්නේ මේ ගැන වගකීමකින් තවදුරටත් ගැඹුරට හොයා බලන්න ඕන කියලා. මේ කමිටුවෙන් හොඳ වාර්තාවක් දීලා තියෙනවා.

ලබා දුන්නු නිර්දේශ එක්ක සහ සමහර ක්‍රීඩකයන් දීලා තියෙන තොරතුරු එක්ක මීට වඩා ගැඹුරට හොයන්න ඕනා කියලා. අපි දන්නවා ඕනෑම කෙනකුට ඕනෑම ආගමක් අදහන්න අයිතිය තියෙනවා මේ රටේ. ඒකයි මේ බෞද්ධ රටේ තියෙන වැදගත්කම. ඒත් ආගම හරහා බලපෑමක් එනවා නම් ඒක මම හිතන්නේ කිසිම ආගමකින් පිළිගන්නේ නෑ. මම දකින දෙයක් තමයි මේකේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා නම් එක්කෝ මේක සීඅයිඩී එකට බාර දෙන්න ඕන හොයන්න කියලා. නැතිනම් දූෂණ විරෝධී ඒකකයට දෙන්න ඕනා. දීලා ඇත්ත තත්ත්වය හොයා ගන්න ඕනා. අපි ක්‍රීඩා කරපු කාලයේ ඔය වගේ දෙයක් කවදාවත් සිද්ධ වෙලා නෑ.

අපේ කණ්ඩායමේ සිංහල බෞද්ධයෝ වැඩි වුණාට කතෝලික අය හිටියා. හින්දු අය හිටියා. මුස්ලිම් අය හිටියා. කවදාවත් ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. කවදාවත් ජාතීන් අතර, ආගම් අතර ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මේ බෝන් අගේන් එක ප්‍රශ්නයක් කියලා පහුගිය කාලය පුරාම මාධ්‍ය අතර කතාබහට ලක් වුණා.

බෝන් අගේන් විතරක් නෙවෙයි ක්‍රිකට් ඒජන්තවරුන්ගෙන් මාෆියාවක් තියෙනවා කියලා ඔබ දන්නවද?

මම ඔය ක්‍රිකට් ඒජන්තවරුන්ව නවත්තන්න ඕන කියන එක අවුරුදු ගාණකට ඉස්සර කියපු එකක්. හැබැයි ක්‍රිකට් ඒජන්තවරු ගිහිල්ලා ප්‍රධාන අය අල්ලගෙන ඉන්න නිසා ඕවා නවත්තන්නේ නෑ. ක්‍රිකට් ඒජන්තවරුන්ට මේ ක්‍රීඩයන්ගෙන් 10%ක 15% ක මුදලක් යනවා. මේ මුදල ඇයි අපේ ක්‍රිකට් ආයතනයට ගන්න බැරි? එහෙම නැතිනම් ක්‍රීඩා අමාත්‍යාංශයට ගන්න බැරි? මොකද මේවායින් තමයි අනවශ්‍ය දේවල් ඇතිවෙන්නේ. අපි ගහන කාලේ 1982 ඉඳලා ක්‍රිකට් ඒජන්තවරු කවදාවත් හිටියේ නෑ. මේ ඒජන්තවරු එන්න පටන් ගත්තේ මේ රටට ආවා සුද්දෙක්. ඒ සුද්දව අපේ ප්‍රධාන ක්‍රීඩකයන් දෙන්නෙක් ගත්තා. ඒ ක්‍රීඩකයන් දෙන්නා ඊට පස්සේ කොම්පැනියක් හැදුවා. ඒ ගැන එක එක කටකතා තියෙනවා. මම දන්නේ නෑ ඇත්ත නැත්ත. ඒත් ඔය කියන ඒජන්ත ගාවට හැම ක්‍රීඩකයාටම යන්න සිද්ධ වුණා. එහෙම වුණේ බලපෑම් එක්ක කියලා කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් දෙන්නෙක් එන්න පටන් ගත්තා. ඒජන්තවරු බිහි වෙන්න ගත්තා. ඊට පස්සේ ක්‍රීඩකයන් හිතුවා මට ලේසියෙන් කණ්ඩායමට යන්න පුළුවනි මේ ඒජන්ත ගාවට ගියොත් කියලා. අර අපි බලන්නේ මහන්සි වෙලා ක්‍රීඩා කරලා එතැනට යන්න නේ. ඒත් මෙගොල්ලෝ බැලුවා ලේසි පාර.

ක්‍රීඩා සමාජවලත් ඔය විදිහටම නේද වැඩ සිද්ධ වෙන්නේ ?

ඔව්. පහුගිය කාලවල ක්‍රීඩා සමාජවල ඕවා සිද්ධ වුණා. ක්‍රිකට් සභාපති එස්එස්සී නම් සමහර ක්‍රීඩකයන් එස්එස්සී එකට යන්න ගත්තා. ක්‍රිකට් සභාපති එන්සීසී නම් එන්සීසී එකට යන්න ගත්තා. ක්‍රිකට් සභාපති සීසීසී නම් සීසීසී එකට යන්න ගත්තා. මේවා පහුගිය කාලයේ ඇත්තටම සිද්ධවුණු දේවල්. එහෙම ක්‍රමවේදයක් ඇතිවෙලා තිබුණා. අනික සමහර සභාපතිවරු, ලේකම්වරු පවා කියන්න වුණා අපේ එකට ආවොත් ඔයාලට අවස්ථාව වැඩි වෙනවා කියලා. මේවා පහුගිය කාලයේ ඇත්තටම වෙච්ච දේවල්. ඒ සිදුවීම් මං හිතන්නේ ක්‍රිකට්වලට ලොකු විනාශයක් කළා. ඒක අදටත් සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න දැන්වත් අඳුරගෙන හොයාගෙන ගහ මුලින්ම කපලා ඉවරයක් කළේ නැත්තම් මේ ප්‍රශ්න ඉස්සරහට අපිට ගහ කපන්නත් බැරි වෙන තත්ත්වයකට යනවා.

ඔබ මොනවද මේ සම්බන්ධව ගන්න හිතාගෙන ඉන්න පියවර ?

පෞද්ගලිකව මම සීඅයිඩී එකට ගිහින් යම් යම් වාර්තා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉදිරියේදිත් මට මට ඔය දූෂණ මොනවහරි ආවොත් මම සීඅයිඩී එකට ගිහින් දෙනවා. ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හැටියට දෙන්න ඕන නෑ මම අර්ජුන රණතුංග කියන පුද්ගලයා හැටියට ගිහින් දෙනවා. දැනටත් මට තොරතුරු කිහිපයක් ලැබිලා තියෙනවා. මම ඉදිරියේදී ඔක්කොම බලලා ක්‍රීඩා ඇමැතිතුමාගෙනුත් අවසරයක් අරගෙන සීඅයිඩී එකට, දූෂණ විරෝධී ඒකකයට බාර දෙනවා. මේවා ගැන හොයලා බලන්න කියලා. මේ ප්‍රශ්න මොනවද කියන එක අපි හුඟක් ඇහැගහගෙන ඉන්න ඕන.

දැන් ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් කරන්න පියවර අරන් තියෙනවා. අනිත් ක්‍රීඩාවලටත් ඒක කරන්න අදහසක් නැද්ද ?

වෝහාරික විගණනයක් මේ රටේ ප්‍රධාන ක්‍රීඩා සංගම් හැම එකකම කරන්න ඕනා. දහයක් තියෙනවා නම් දහයේම කරන්න ඕනා. ඒ විතරක් නෙවෙයි කෝප් එකටත් කැඳවන්න ඕනා. විස්තර ඇතිව හොයාගත්තොත් මේක ක්‍රීඩාවට වෙන හොඳක් වෙනවා. ක්‍රිකට්වලට විතරක් නෙවෙයි අනිත් ක්‍රීඩාවලටත්.

එවැනි ක්‍රීඩා සංගම් අඳුනා ගෙන තියෙනවද ?

මුදල් වැඩිපුර එන ක්‍රීඩා සංගම්වල තමයි වැඩිපුර ප්‍රශ්න දූෂණ තියෙන්නේ. ඕනෑම ආයතනයක සභාපති වෙන්න පුළුවන්, ලේකම් වෙන්න පුළුවන් වෙනත් නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපිට එහෙම චෝදනා විවෘතව ඉල්ලනවා කා ගාව හරි කරුණු තියෙනවා නම් අපිට එවන්න. අපි ඒවා සීඅයිඩී එකට බාර දෙනවා. මෙහෙම තමයි හොරකම් කරන පුද්ගලයන්ව අපිට නවත්තන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් මේ ක්‍රීඩාව ඉස්සහරට ගෙනියන්න පුළුවන්.

මේ වගේ තොරතුරු ඔබට ලබා දෙන්න ඕනෑම කෙනකුට අවස්ථාව තියෙනවද?

බදාදා දවස්වල ඕනෙම කෙනෙක්ට මාව මුණ ගැහෙන්න අවස්ථාව තියෙනවා. කාට හරි කෙනෙක්ට ඕනම ක්‍රීඩා ආයතනයක හොරකම් දූෂණ තියෙනවා නම් අපිට ඇවිත් බාර දෙන්න පුළුවන්. මම ඒවා එකතු කරලා සතියකට සැරයක් හරි ගිහිල්ලා සීඅයිඩී එකට බාර දෙනවා. මම මෙච්චර කල් ඒක කළේ නෑ. දැන් ඉතින් කරනවා. ක්‍රීඩා පනතේ සංශෝධනවලට කවුරු හරි විරුද්ධ නම් හොඳම තැන සීඅයිඩී එක. එතකොට සීඅයිඩී එක හොයාගනිවි නේ. සීඅයිඩී එක ගැන ලොකු විශ්වාසයක් අපිට තියෙනවානේ. අපි මෙතැන්ට ඇවිත් තියෙන්නේ එක එක්කෙනාට දඬුවම් දෙන්න නෙවෙයි. වැරදි නවත්තන්නයි. මෙතැනට ආවා කියලා මම කා එක්කවත් ගහන්න ගියේ නෑ. මාව මුණ ගැහෙන්න ආපු සමහර අයට මම කිව්වේ ඔගොල්ලෝ ඕක හරියට කරගෙන යන්න එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. අනවශ්‍ය දේවල් කරනකොට මගේ යෝජනා ඇමැතිතුමාට දෙන්න සිද්ධ වෙනවා. ඇමැතිතුමා හොයලා බලලා ඒ අනුව ක්‍රියා කරාවි. ඒකට ක්‍රිකට් ද, රග්බි ද, පාපන්දු ද මට අදාළ නෑ. හැම ක්‍රීඩාවක්ම මගේ යටතේ තියෙනවා නම් මගේ වගකීමක් තියෙනවා ඒවා හරි විදිහට ගෙනියන්න පියවර ගන්න එක.

ඔබ මේ තනතුරට පත්වෙලා දැන් ඇවිත් මාස 10ක් විතර වෙනවනේ. හිතුවද රටේ ක්‍රීඩාව මෙච්චර බරපතළ ප්‍රශ්න තියෙන තැනක් කියලා?

ඇත්තටම එහෙම හිතුවේ නෑ තමයි. ළඟකදී මම ඇමැතිතුමාටත් කිව්වේ 2015දී ක්‍රීඩා අමාත්‍යාංශය අරගන්න ඕනද කියලා එවකට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් දෙන්නම මගෙන් ඇහුවා කියලයි. එතකොට මම කිව්වේ මට දෙන්න කියලා දූෂිත ආයතන තියෙන අමාත්‍යාංශයක් මම හදලා දෙන්නම් කියලා. ඒක මගේ අතින් වුණා. ඒත් මම ගත්තේ වැරදි තීරණයක් කියලා මට දැන් හිතෙනවා. ඒ කාලේ මම ක්‍රීඩා අමාත්‍යාංශයට ආවා නම් අද වෙනකොට මේ සේරම සුද්ධ කරලා තියන්න තිබ්බා. හැබැයි මම දකිනවා අද ඒ දැක්මම රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමැතිතුමාට තියෙනවා. එතුමා මේ අවුරුදු දෙක හරියට ගියොත් මේ ක්‍රීඩාව හරි විදිහට සුද්ධ කරන්න. ක්‍රීඩා සංගම්වලින් හම්බ කරන සභාපතිවරු බයවෙලා ඉන්නේ ඒකයි. හැබැයි ක්‍රීඩකයන් අද හරියට කැමැති වෙලා ඉන්නේ අපි මේ යන විදිහ ගැන.

Comments