මේ ආර්ථික අර්බුදයට ප්‍රමුඛ හේතුව 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට පයින් ගැසීමයි | Page 2 | සිළුමිණ

මේ ආර්ථික අර්බුදයට ප්‍රමුඛ හේතුව 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට පයින් ගැසීමයි

මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීම නොකළහොත් අපේ ණය ආපසු ගෙවීමට වැඩ පිළිවෙළක් ඒ මඟින් සකස් කර නොගතහොත් මෙරට ආර්ථීක වශයෙන් මාසයක් හෝ සති දෙකක්වත් පවත්වාගෙන යෑමට හැකියාවක් නොලැබෙයි. ඒ හරහා අන්තර් ජාතික වශයෙන් කිසිම ගනුදෙනුවකට අපි සුදුසුකම් නොලැබෙන තත්ත්වයකට පත් වෙයි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් මත අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මින් පෙර පැවසූ ආකාරයට එනම්, දිගින් දිගටම ආදායම් වැඩි කර නැති නිසාත් වියදම් අඩු කර නැති නිසාත් මෙවර ණය ලබා දීමේදී ඉතා දැඩි ලෙස එම යෝජනා මත පිහිටා කටයුතු කරයි. මේ සඳහා පූර්ණ ලෙස කැපවීම් කර ඇති බව පෙන්වීමට ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙයි. මක්නිසාද යත් මේ රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය අද ඊයේ ඇති වූ අර්බුදයක් නොවෙයි. 

හෘදය සාක්ෂියට එකඟව පවසන්නේ නම්, 2001 වර්ෂය වනවිට මේ අර්බුදය මෙලෙසින්ම උග්‍ර වී තිබිණි. මේ උග්‍ර වීම නිසා එවකට ලංකාවේ ආර්ථීකය - 1.4 අඩු වූ අවස්ථාවේදී, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අවස්ථාවේදී, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය වූ අවස්ථාවේදී, මා ග්‍රාමීය කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසත් මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ කටයුතු කරන අවස්ථාවේදීත් රට මේ අගාධයට පත්වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් අනෙක් මූල්‍ය අංශ මෙරටේ මූල්‍ය නීතියක් බවට පත් කරන ලෙසත්, ඒ වෙනුවෙන් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත් පවසන ලදී. ඒ අනුව ඊට අදාළ පනත 2003 වර්ෂයේදී මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ පනතේ ප්‍රධාන වැදගත් කරුණු තුනක් අන්තර්ගතව තිබුණි. එහි පළමු කාරණය නම්, 2006 වන විට අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5% අඩු කිරීම, ඒ අනුව ඉන් අනතුරුව සියලුම වසරවල අය- වැය පරතරය 5%ට වඩා අඩු කර ගෙන යා යුතු බවට නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ද සිදු විය.

දෙවැනි කරුණ නම් 2013 වර්ෂය වන විට රටේ සමස්ත ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 65% අඩු කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් එහිදී නීතිය අනුව පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී. ඉන්පසු එළැඹෙන වසරවලදී 65% සීමාව නොඉක්මවිය යුතු බවට ඒ නීතියේ සඳහන් කර තිබුණි. තුන්වැනි කරුණ ආණ්ඩුව විදෙස් ණයවලට ඇප වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% වැඩි නොවිය යුතු බවයි.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, 2003 වසරේ සිට බලන විට මේ එළැඹී ඇත්තේ 2023 වර්ෂයයි. එනම්, මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මීට වසර 20කට පෙර වන අතර, එය සම්මත කරගනු ලැබූයේ මේ අර්බුදයෙන් රට මෙතැනට ඒම වැළැක්වීමටයි.

ඉන්පසු බලයට පැමිණි දේශපාලනඥයන්ට මහ බැංකුවේ උපදේශකවරුන්, ආර්ථීක උපදේශකවරුන් විසින් මේ පනත අනුව ගමන් කිරීමට නොහැකි බවට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව මේ පනත් වෙනස් කළ යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනා අනුව එම පනත තුන් වරක් සංශෝධනය කරන ලදී. ඒ සංශෝධනයන් ඇති නොකළේ නම් මේ විපත්තියට රට ඇද වැටීමක් කිසිසේත් ඉඩක් නොතිබෙන්නට තිබිණි.

මේ නිසා පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්පාදනය කර මූල්‍ය කළමනාකරණය කළ යුතු බව සඳහන් කරන ලද එවකට මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු පාර්ශ්වයන් සහ දේශපාලනඥයන්ට උපදෙස් ලබා දුන් පාර්ශ්වයන් විසින් සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් අද අපි භුක්ති විඳිමු. එම පනත ක්‍රියාත්මක වූයේ නම් මේ තත්ත්වයට රට පත් නොවන බවට මට දැඩි විශ්වාසයක් ඇත. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු තුන සරලව පැහැදිලි කළහොත් කුමන පිරිසක් රට ආණ්ඩු කළත් අය වැය පරතරය 5% මට්ටමක පවත්වා ගැනීම අවශ්‍යයි.

එසේම රටේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65% මට්ටමක පවත්වා ගෙන යා යුතුයි. ණයවලට ඇප විය හැක්කේ 4.5 යන කොන්දේසිය අනුවයි යන දේවල් එහි ඇතුළත් විය. ඒ දේවල් ක්‍රියාත්මක විණි නම් මේ තත්ත්වයට අද රට පත් නොවන බව වගකීමෙන් කිව හැකිය. එය වෙනස් කළේ පාර්ලිමේන්තුවෙන්ම වුවත් පාර්ලිමේන්තුවට දොස් කීමට නොහැකිය. එයට හේතුව පාර්ලිමේන්තුවට නීති වෙනස් කිරීම සඳහා උපදෙස් ලබා දීම් සිදුකරන්නේ උපදේශකයන් විසිනි. රට මෙතැනට වැටීම සම්බන්ධයෙන් ඒ උපදෙස් දුන් අය උත්තර බැඳීමට අවශ්‍ය වේ.

Comments