මන සුව නසා හිතින් අතහැරෙන පුද්ගල සබඳතා | සිළුමිණ

මන සුව නසා හිතින් අතහැරෙන පුද්ගල සබඳතා

මහර මිනිස්සු මා එක්ක තරහ වෙලා වාගෙ දැනෙන්නෙ ඇයි? " ඔහු ඇසූයේ සෑහෙන වේලාවක් දැඩි කල්පනාවක ගිලී සිටීමෙන් පසුවය.

" හරි සරලයි. එක්කො ඒ ඔයාගෙ හිත. එහෙම නැත්නම් ඔයා මිනිස්සුන්ගෙන් ඈත් වෙලා."

" එහෙම වෙන්න දෙන්න බෑ. සමහර මිනිස්සු සෑහෙන කාලයක් මා එක්ක එකට හිටි අය." 

සම්බන්ධතා බිඳවැටීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එය ශාරීරික වියෝවකටත් වඩා වේදනාකාරීය. මේ දැඩි වේදනාව, මානසික පීඩාව සමාජ හෝ පුද්ගල තරාතිරමකින් හෝ තොරවම කාටත් අත්දකින්නට සිදු වන්නකි. මන සුව නසන බොහෝ කාරණා අතරින් එකක් වන්නේ මිත්‍ර සම්බන්ධතා, සමාජ සම්බන්ධතා බිඳ වැටීමෙන් ඇතිවෙන පීඩාවය. නීරෝගි අන්තර් පුද්ගල හා සමාජ සම්බන්ධතා පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය කෙරේ දැඩි බලපෑමක් ඇති කරන බව කිව යුතුමය.

මිනිසුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යෑම කලාවකි. ප්‍රගුණ කළ යුතු හුරුවකි. මිනිසකුට සිය ජීවිත කාලය තුළදී විවිධාකාරයේ සම්බන්ධතා පවත්වන්නට සිදුවේ. මවුපියන්, දූ දරුවන් වශයෙන්, අඹු සැමියන් වශයෙන්, ගුරුවරුන් හා ශිෂ්‍යයන් වශයෙන්, සේවා ස්ථානයේ සම්බන්ධතා ආදී වශයෙන් විවිධාකාරයේ සබඳතා ගණනාවක එකවර පැටලී ගැලී සිටීම මිනිස් ස්වභාවයයි. මේවා කළමනාකරණය කර ගැනීම මනා සිහියෙන් යුතුව, අවබෝධයෙන් යුතුව සිදු කළ යුත්තකි.

මේ සාර්ථකත්වය ඉබේ හටගන්නා දෙයක් හෝ ඉබේ යාවත්කාලීන වන දෙයකැයි කල්පනා කිරීම අප අතින් සිදුවෙන වරදකි. මෙයාකාරයෙන් කල්පනා කිරීම අන්තයේදී අපටත් නොදැනීම අපේ සම්බන්ධතා අප අතින් ගිලිහී යන්නට ද හේතු විය හැකිය. අනෙක් අතට අප අද දවසේ ගෙවන කාර්යබහුල හා තරගකාරී ජීවන රටාව ද අපේ සම්බන්ධතාවල පරාසය එහා මෙහා කරනු පිණිස හේතු වන්නට ඉඩ තිබේ.

එබැවින් අපේ අවධානය යොමු විය යුත්තේ පුද්ගල සම්බන්ධතා ශක්තිමත්ව පවත්වා ගෙන යෑමේ පුරුදු ගැනය. ඒවා සෞඛ්‍ය පුරුදු තරම්ම වැදගත්ය. ඉන් සමහරක් ජීවිතයට එක්කර ගැනීම බෝනස් එකක් වන්නට ද ඉඩ තිබෙන්නේ ආශ්‍රය නිශ්‍රයෙන් තොර, පුද්ගල සම්බන්ධතා නැති මිනිසුන් ලොව නැති බැවිනි.

බොහෝ දෙනා කල්පනා කරන්නේ සබඳතා යනු ඉබේ ගලා ගෙන යන ඒවා බවය. කවර ආකාරයේ හෝ සබඳතාවක සාර්ථකත්වය උදෙසා එහි එක් පාර්ශ්වයක් පමණක් වෙහෙසිය යුතු බව සිතන පිරිසක් ද සිටී. උදාහරණයක් ලෙස පවසතොත්, ඇතැම් විවාහක යුවළක් කල්පනා කරන්නේ සබඳතාවේ සාර්ථකත්වය පිළිබඳ වගකීම පැවරෙන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුට බවය. එහෙත් එය මුළුමනින්ම පාහේ වැරදි අදහසකි. මෙසේ සිතන්නට හේතුව වන්නේ බිඳ වැටෙන්නට යන සබඳතාව රැක ගන්නට දෙපාර්ශ්වයෙන් එක් අයකු මුලින්ම වෙහෙසෙද්දී එහි වගකීම ඔහු හෝ ඇය මත වැටීමය.

සබඳතා සවිමත්ව ගලා යන මන්ත්‍රයක, පුහුණුවක අවශ්‍යතාව අපට දැනෙන්නේ එබැවිනි. ඇතැම් විට මේවා දැඩි නීති රීති හෝ පාඩම් මාලා ලෙස මහා බරසාරෙට ගත යුතු ඒවා ද නොවේ. ඉන් ඇතැම් ඒවා ඒ හැටි ආයාසයකින් තොරවම අපේ ජීවිතවලට කාන්දු කර ගත හැකි පුරුදුය.

ඉන් එකක් වන්නේ හැමවිටම විවේචනයට මුල් තැන දීමෙන් වැළකීමය. එය බොහොම පහසු හා සරල කටයුත්තක් නොවේ දැයි යමකු අසන්නට ඉඩ තිබෙන මුත් විවේචනයම මුල් කොට ගත් තැනැත්තකුට එයින් මිදීම අප හිතනවාට වඩා ඉතා අපහසුය. විවේචනය යනු එක්තරා ආකාරයක සෘජු පහර දීමකි. මේ පහර දීම බොහෝ විට දැනෙන්නේ, විවේචනයට තුඩු දුන් ක්‍රියාව හෝ සිද්ධියට නොවේ. එය සිදු කළ පුද්ගලයාගේ පෞරුෂයටය. සෘජුව පෞරුෂයට කෙරෙන පහර දීමක් කොයි ලෙසකින් හෝ හොඳ සබඳතාවක් ගොඩ නැඟෙන්නේ නොවේ.

මේ සම්බන්ධයෙන් වඩාත්ම හානියක් සිදු කරන්නේ " කවදාවත් යන වචනයයි. " ඔයා කවදාවත් කුස්සියෙ වැඩකට උදවු කරලා නැහැ."බිරියක තම සැමියාට එසේ දොස් නඟන්නට ඉඩ තිබේ. " උඹලා කවදද බන් අපි ගැන හොඳක් කියලා තියෙන්නේ ? " එක් මිතුරකු අතින් තවෙකෙකු මෙසේ විවේචනය වන්නට ඉඩ තිබේ. මෙසේ කීමම අනෙකා තුළ ඇති කරන්නේ දැඩි පීඩාවකි. තමා තළා පෙළා දැම්මාක් බඳු හැඟීමකි. ඒ වෙනුවට, " ඔයාගෙ උදවුවක් නැතුව මේ වැඩ කරන එක අමාරුයි කියලා ඔයා දන්නවනෙ ?" යි අසන්නට අර බිරියට පුළුවන. " උඹලාත් අපි ගැන ඔහොම හිතනකොට අනෙක් මිනිස්සු කොහොම නොහිතයිද? " අර මිතුරාට එසේ අසන්නට පුළුවන් වෙයි.

මෙහිලා තවත් එක් හුරුවක් ලෙස සැලකිය හැක්කේ " ඔබ " යැයි ඇඟිල්ල දිගු කරනු වෙනුවට මම හෝ අපි මුල් කරගෙන කතා කරන්නට, ප්‍රශ්නය සාකච්ඡා කරන්නට මුල් වීමය. ඍණාත්මක විවේචනයක් හෝ කනස්සල්ල පළ කිරීමක් වෙනුවට ධනාත්මක අවශ්‍යතාවක්, අපේක්ෂාවක් ඉස්මතු කරන්නට අපට පුළුවන. එයින් අනෙකාගේ ආත්ම අභිමානය ආරක්ෂා වන අතරම සවිමත් බැඳීමකට අඩිතාලමක් වැටෙයි. අවමන් සහගත ප්‍රකාශවල තත්ත්වය ද එසේමය. උපහාසය ද ඊට යම්තම් අඩු බරකින් මේ හා බැඳී තිබේ. එය විවේචනයෙන් ඔබ්බට ද යන තරම් බැරෑරුම් ය. නම් පට බැඳීම්, දරුණු ලෙස හාස්‍යට ලක් කිරීම්, අභිනයෙන් පෙන්වන ඇද කුද කිරීම්, ඇනුම්පද හා සෝපාහාස සබඳතාවක ජීව ගුණය මරා දමන්නට සමත් ය. බාගවිට, එතැනින් නොනැවත සදාකාලික සතුරකු නිර්මාණය කර දෙන්නට වුව එය සමත් විය හැකිය.

අනෙකා තුට්ටු දෙකට දමා සිදු කරන ප්‍රකාශ මෙහිලා අපේ අවධානයට යොමු විය යුත්තේ, නොදැනීම අප කා අතින් වුව මේ වරද සිදුවන්නට ඉඩ තිබෙන බැවිනි. බාගවිට තම ඥාතීන් ඉදිරියේ බිරිය තම ස්වාමියාට හෝ සැමියා තම බිරියට හෝ මේ ආකාරයෙන් හාස්‍ය, උපහාසය හා ඇනුම්පද ස්වභාව කලවම් වූ වචන කියන්නට ඉඩ තිබේ. මිතුරු සමාජයක වුව මේ ආකාරයේ පිරිසක් මැද කරන විහිළු මුළුමනින්ම පාහේ අසාර්ථක සමාජ සම්බන්ධතාවකට අප ඇද දමන්නට ඉඩ තිබේ. එසේ අපහසුවට ලක් වන පුද්ගලයන් පමණක් නොව ඒ දෙස බලා සිටින අය වුව මෙහිදී අපෙන් ඈත් වන්නට ඉඩ තිබේ. මෙය වටහා නොගන්නා පුද්ගලයන් කල්පනා කරන්නේ මිනිසුන් අහේතුකව තමන්ගෙන් ඈත් වන බවය.

අනෙකාගේ පෙනුම ගැන එනම් බාහිර ස්වරූපය ගැන , ජීවිතය ගැන දුටු තැන අසන මිනිසුන්ට ද අන්තර් පුද්ගල සබඳතා පවත්වා ගෙන යෑමේ අසීරුවක් අපහසුවක් තිබේ. " තාම රස්සාවක් නෑ නේද? " , " බලන්නකො හැටි, ලෙඩ පාටයිනෙ ", " ඔච්චර මහත මොකද ?" ආදී වශයෙන් දුටු තැන අසන පුද්ගලයන් මගහැර ඉන්නට බොහෝ දෙනා කැමතිය. එය නීරෝගි සමාජ සම්බන්ධතාවකට කිසිසේත් හොඳ තත්ත්වයක් නොවේ.

" බයවෙන්න දෙයක් නෑ, එයා අපිව ගොඩ දාලා දෙයි. " සමහරු කවුරුන් හෝ ගැන මෙසේ පවසනු ඔබ අසා ඇතුවාට සැක නැත. මෙයින් අදහස් වන්නේ හැම විටෙකම හයියට ඉන්නා පුද්ගලයකු බවය. එබඳු තැනැත්තන්ට මිනිසුන් කැමතිය. විපතේදී හැර නොයන අභියෝගයකදී හැකි පමණින් ඊට මුහුණ දෙන්නට සූදානම් පුද්ගලයන්ට හොඳ සබඳතා පවත්වාගෙන යන්නට පුළුවන.

මෙයින් අදහස් වන්නේ මුළු ගමක, රටක, ලෝකයක බර අපේ කර මතට ගත යුතු බව නොවේ. මෙය අපට අපේ නිවසින් පටන් ගන්නට පුළුවන. හයියට ඉන්නා තාත්තකු, අම්මා කෙනකු, සැමියකු හෝ බිරියක වන්නට අපට පිළිවන් වෙයි. මේ හයිය නැති දූ දරුවන්, අඹු සැමියන් කොතෙක් අප සමාජයේ ඇතිද ?

අනෙක් අතට මේ වනාහි සුපර්මෑන් කෙනකු වීම යැයි වරදවා වටහා නොගත යුතු වෙයි. මෙහිදී සිදු වන්නේ සිදු විය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ හැකියාව හා වෘත්තිය ක්ෂේත්‍රය මත මිනිසුන් මේ විශ්වාසය හා හයිය අපේක්ෂා කිරීමය.

මගහැර යෑම ද මෙහිලා තීරණාත්මක ලෙස බලපාන්නකි. මෙයින් අදහස් වන්නේ වගකීම්වලින් මිදීම නොවේ. යම් කතාබහකදී, වාද විවාදයකදී හිටි අඩියේ එය නවත්වා විරෝධය පෑමය. එය විවිධ ස්වරූපයෙන් සිදුවන්නට ඉඩ තිබේ. " මා මෙතැනින් ඉවත්ව යනවා"යැයි පවසමින් අදාළ භූමිය මග හැර යන්නට යමකුට පුළුවන. ඔහු හෝ ඇය ඒ මගහැර යෑම, විරෝධය පෑම සිදු කරන්නේ අවසන් තීන්දුවක් එන්නට ද පෙරය. අනෙකා දෙස නොබලා ඉවත බලා ගැනීම, කතා කිරීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කිරීම යනාදිය මේ අතර වෙයි. යහපත් අන්තර් පුද්ගල සබඳතාවක් සඳහා මෙය ද ඒ හැටි හොඳ පුරුද්දක් නොවේ.

මේ අතරමගදී පැනයෑම හෝ විරෝධය දැක්වීම කොයි ලෙසකින් හෝ පුද්ගලයන් අතර ඇතිවන යම් සාකච්ඡාවකට හෝ මත හුවමාරුවකට හෝ පිළිතුරක් වන්නේ නොවේ. " ඔය මිනිහා එක්ක කතා කරලා වැඩක් නැහැ, උත්තර නැති වුණාම පැනලා යනවා " මෙන්න මේ වර්ගයේ මිනිසුන්ට සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑම ඉතා දැඩි අභියෝගයකි. ඉතින් ඒ වෙනුවට අපට කළ හැකි කුමක්ද ?

පළමුවම ඊට ප්‍රතිචාරය විය යුත්තේ සන්සුන් බවයි. අභ්‍යන්තර කැලඹිල්ල කොතෙක් තිබුණද එය නොපෙන්වා යටපත් කර ගැනීම අසීරු පුහුණුවකි. කතා බහ මඳකට නතර කරන්නට අපට අවසර ලබා ගත හැකිය. එළිමහන් විවාදයකදී හැරෙන්නට වෙනත් අවස්ථාවකදී අපට මනස හැදෙන තෙක් විනාඩි කීපයක නිදහසක් ලබා ගන්නට අපට පුළුවන. විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන් අතර මෙබඳු ගැටුම්කාරී තත්ත්වයකදී අපට හිත හදා ගැනීමේ කාලයක් ලබා ගන්නට පුළුවන. ඉන් දෙයාකාරයක ප්‍රතිඵල අත් කර ගන්නට අපට පිළිවන් වෙයි. එකක්, අප අතින් කියවෙන්නට ඉඩ තිබෙන ඇනුම්පද, කටුක සෝපාහාස, අපහාස වැළකෙයි. අනෙක් අතට, ප්‍රශ්නයකින් කෝප ගෙන පලා නොයන, ඊට ඉවසිල්ලෙන් මුහුණ දෙන තැනැත්තකු ලෙස පිළිගැනීමක් ලැබෙයි.

පුද්ගල සම්බන්ධතා අපේ කෑම බීම, නින්ද තරම්ම වැදගත්ය. පරිපූර්ණ අවධානය ද නිරන්තරව විමසිලිමත් සොයා බැලීම ද ඊට අවශ්‍යමය. එසේ නොවුව හොත් එය නොදැනීම පාහේ අපේ මන සුව නසා දමන තවත් ව්‍යසනයක් වීම වළකා ගන්නට අපට නොහැකි වනු ඇත.

Comments