නෝටි එකාගේ හිත ගත්තු අමෙරිකාවේ කළු කෙල්ල | සිළුමිණ

නෝටි එකාගේ හිත ගත්තු අමෙරිකාවේ කළු කෙල්ල

බ්‍රිතාන්‍ය රජ පවුලේ කීර්තියට අභියෝග කළ හැරී කුමරුගේ Spare කෘතියේ කතාබහ තවමත් ඉවරයක් නැත. රජ සම්පත් හැර දමා මේගන් සමඟ හිස් අතින් අමෙරිකාවට සේන්දු වූ මේ අකීකරු කුමාරයා රජ පවුලේ හෙළි නොවූ කරුණු රැසක් කිසිදු චකිතයකින් තොරව අනාවරණය කිරීම ඇතැමුන්ගේ විමතියට ද කරුණක් වී ඇත. පිටු අටසිය ගණනාවක් පුරා කුරුටු ගෑ Spare කෘතිය ප්‍රකාශයට පත් වූයේ පිටු හාරසිය ගණනකට අඩු කිරීමෙනි. ඉන් කියැවෙන්නේ තවත් පොතකට ගොනු කරන්නට හැරීට ඇති තරම් කරුණු කාරණා ඉතිරි වී ඇති බවය. පිටු අටසිය ගණනම පළ කළේ නම් පියා සහ සොහොයුරා කිසි දිනෙක තමාට සමාව නොදෙනු ඇතැයි ද ඔහුම පසුව කියා තිබිණි. හැරී කියන්නේ ඔහුගේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය රජ පෙළපත බිඳ දැමීමට නොව එය රැක ගැනීමට බවය. ඔහු විශ්වාස කරන්නේ විලියම් කුමරුගේ බාල පුතු ලුයිස් කුමරු ඇතුළු අනාගත ‘අමතර කොටස්‘ වෙනුවෙන් රජ පවුලේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවය. උපන්දා සිට විලියම් කුමරුගේ ‘අමතර කොටස‘ නොඑසේ නම් ආදේශකය බවට පත්වීමෙන් අත්විඳින්නට සිදු වූ දැඩි කනස්සල්ල හා මානසික අවුල ඩයනා මවගේ අතුරුදන්වීමෙන් (හැරී කියන පරිදි) පසු දෙගුණ තෙගුණ වී තිබිණි. මවට පණ මෙන් ආදරය කළ චාල්ස් පවුලේ මේ බඩපිස්සා පසුකාලෙක හිතුවක්කාරයකු වී රජ පවුලෙන් ඉවත් වීමට ඒවා ද අඩුවැඩි වශයෙන් බලපාන්නට ඇත. ඒ සියල්ල අතරතුර බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් විසින් සිදු කරනු ලැබූ බලපෑම ද අතිවිශාලය. 

කාලාන්තරයක් තිස්සේ ලොව වටා රස්තියාදු වෙමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ හැරීට සැබැවින්ම විවාහය ගැන සිතුණේ 2010 නොවැම්බරයේදී බකිංහැම් මාලිගාව විලියම්ගේ විවාහයට දින ප්‍රකාශයට පත් කරද්දීය. විලියම් විවාහයට සූදානම් වීම ගැන අවධානය යොමු කරද්දීය.

‘කාලයකට කලින් මම හිතාගෙන හිටියේ මමයි මුලින්ම විවාහ වෙන්න ඕන කියලා. තරුණ සැමියෙක් වෙන්නයි මම හිතාගෙන හිටියේ. තරුණ තාත්තා කෙනෙක් වෙන්නත්. මොකද මගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් වෙන්නෙ නෑ කියල මුල ඉඳලම මම තීරණය කරලයි තිබුණේ. එය නාකි තාත්තා කෙනෙක්. අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න, බැරියර් එකක් ඇති වෙන්න හේතුව ඒක කියලයි මට නිතරම හිතුණේ. තාත්තා එයාගේ මැදි වයසේදී ඇඟපත හොල්ලලා වැඩක් පළක් නොකර නැතිව ඔහේ නිකරුණේ ඉන්නයි ඇබ්බැහි වෙලා හිටියේ. එයා ඒකට ගොඩාක් ආසා වුණා.‘ හැරී පියා ගැන කියන්නේ එලෙසිනි.

‘‍විලීගේ විවාහය ගැන කියනවා නම් බ්‍රිතාන්‍යයේ කවුරුත් මුලින් බලාපොරොත්තු වූයේ ඔහුගේ දෙවැනි මනාලයා මා විය යුතු බවයි. කොටින්ම රජ මාලිගාව පවා සිතුවේ එහෙමයි. ඒත් ඇත්ත නම් දෙවැනි මනාලයාගේ කතාව මට දෙන්න විලීගේ කොහෙත්ම සූදානමක් නොතිබීමයි. මයික්‍රෆෝනය මගේ අතට දීලා මුලින් සූදානම් කළ කතාවෙන් පිට මොනවා හරි මට කියන්න දෙන්න ඔහුට වුවමනාවක් තිබුණේම නෑ. කිසිම වගවිභාගයක් නැතිව මම නොහොබිනා යමක් කියාවි කියලා ඔහු හිතන්න ඇති.‘

‘ඔහු වැරදි නෑ.‘

අන්තිමේදී එදවස උදා විය. ‘රජ පවුලේ සායම ගියා‘ යැයි කවුරුත් කියන්නට වූ හැරීගේ ආන්දෝලනාත්මක ආදර කතාවේ ආරම්භය සිදු විය. ඉරණම්කාරිය ඔහු සොයා පැමිණියේ වීඩියෝ පටයකිනි.

එදින ඔහු සිටියේ නොටිංහැම් ප්‍රාන්තයේ එක්තරා නිවාඩු නිකේතනයක සිය ජංගම දුරකතනයේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ එහා මෙහා සැරි සරමිනි.

‘මම මගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ වීඩියෝවක් දැක්කා. මගේ මිතුරිය වයලට් සහ තවත් තරුණ කාන්තාවක්.!‘

‘කවුද මේ..?‘ මම ඒ වීඩියෝව කිහිප සැරයක්ම නැරඹුවෙමි.

එය එවා තිබුණේ වයලට්ය. ළමා වියේ සිටම වයලට් වොන් වෙස්ටෙන්හොල්ස් හැරීගේ මිතුරියක වූයේ වංශාධිපතිවරයකු වන ඇගේ පියා චාල්ස් රජුගේ හොඳ මිතුරකු වීම නිසාය. එවකට ලන්ඩන් නුවර ලෝක ප්‍රකට අමෙරිකානු මෝස්තර නිර්මාණ හා ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වූ රැල්ෆ් ලොරේන් සමාගමේ මහජන සම්බන්ධතා නිලධාරිනිය ඇය වූවාය.

‘ඉහළ සිට පහළට මම ලෝකය පුරා සැරි සරන්නට ඇත. මහාද්වීප සියල්ලම තරණය කරන්නට ඇත. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මුණ ගැසෙන්නට ඇත. දෙතිස් විය දක්වා සුරූපි තරුණියන් දහස් සංඛ්‍යාවක් දකින්නට ඇත. ඒත් දෙවරක් බලන්නට සිතුණේ ඉන් අතළොස්සක් දෙස පමණි. දැන් මගේ දෑස් නැවතී ඇත්තේ මේ කාන්තාවගේ මුහුණ මතය. මෙතරම් සුන්දර කාන්තාවක් මම කෙදිනකවත් දැක නැත.‘

‘මේ කාන්තාව කවුද..?‘ මම වයලට් වෙත කෙටි පණිවිඩයක් යැවීමි. 

නිළියක හා මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ මේගන් මර්කල් ලන්ඩන් නුවරට පැමිණියේ වයලට් සේවය කළ සමාගමේ ප්‍රවර්ධන කටයුත්තකටය. ඔවුන් මුණ ගැසුණේ එලෙසිනි. වැඩි කල් නොයා දෙදෙනා හොඳ මිතුරියන් වූ අතර, වයලට් සහ මේගන්ගේ වීඩියෝ පටය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයට එක් වූයේ එලෙසිනි.

හැරීගේ ප්‍රශ්නයට වයලට් ප්‍රතිචාර දැක්වූයේ හැරෙන තැපෑලෙනි.

‘හ්ම්.. තවත් කොල්ලෝ හයදෙනෙක් එයා ගැන ඇහුවා.‘

‘මරු‘ හැරීට කියැවිණි.

‘එයා කවුද වයලට්..?‘

‘නිළියක්. එයා ටීවී ෂෝ එකක ඉන්නවා ‘suits‘ කියලා.‘ එය නීතිඥවරු පිළිබඳ කතා මාලාවකි. ඇය රඟපෑවේ නීති සහායිකාවකගේ චරිතයකි.

‘අමෙරිකන් ද ? ‘හ්ම්‘

‘එයා මොනවද ලන්ඩන්වල කරන්නේ?‘

‘එයා මොඩ්ලින් වැඩකට ආවා. ඔයාට ඕනෙ නම් මම සම්බන්ධ කරලා දෙන්නම්‘

‘හ්ම්. ඔව්. කරුණාකරලා‘

‘ඔයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකට සම්බන්ධ කළාට කමක් නැද්ද? ‘ඔව්. ඇත්තටම‘

එය සිකුරාදා දිනයක් විය. ඊළඟ දිනයේ මම ලන්ඩන් නුවරින් පිටත්වීමට නියමිතව සිටියෙමි. නිකමට මෙන් ජංගම දුරකතනයට යොමු වූයේ ඒ සඳහා සූදානම් වෙමින් සිටින අතරතුරය. ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයක් පැමිණ තිබිණි. එය කාන්තාවකගෙනි. අමෙරිකානු කාන්තාවකගෙනි.

‘හෙලෝ‘

වයලට්ගෙන් මගේ තොරතුරු ලැබුණු බව එහි සඳහන් කර තිබූ අතර, මගේ ඉන්ස්ටර්ග්‍රෑම් මුල් පිටුවෙහි තිබූ ඡායාරූප ඉතා සුන්දර බවට වර්ණනාවක් ද විය.

‘තැන්ක් යූ‘

සෑහෙන කාලයක් ගත වූ එම පණිවිඩ හුවමාරුවේ වැඩි හරියක්ම රට තොට ගැනය. ඒ අතරතුර දුරකතන අංක ද හුවමාරු විය. ඊළඟ දින කිහිපය ගෙවී ගියේ දෙදෙනා අතර කෙටි පණිවිඩ සංවාදය තව දුරටත් දීර්ඝ කරමිනි.

තව කොපමණ කලක් ලන්ඩන් නුවර රැඳී සිටින්නේදැයි එක්තරා දිනෙක රාත්‍රී නින්දට පෙර හැරී ඇගෙන් විමසා සිටියේය. අවාසනාවකට ඇය ඉක්මනින්ම පිටත්වීමට සැලසුම් කර තිබිණි. ඇගේ රූපවාහිනී ටෙලි වෘතාන්තයේ රූගත කිරීම් කිහිපයකට කැනඩාවට යෑමට ඇයට සිදු වී තිබේ.

ලන්ඩන් නුවරින් නික්ම යෑමට පෙර මුණ ගැසිය හැකිදැයි මම ඇගෙන් විමසා සිටියෙමි. ඊට පිළිතුරු ලැබීමට ගතවූ කාලය මට දැනුණේ මහා කාලයක් මෙනි.

‘ෂුවර්...‘ ඊළඟට ‘කොහේදිද...?‘

මම මගේ නිවහන යෝජනා කළෙමි.

‘ඔබේ තැනට..? පළමු හමුවීම...ඔහ්. මම හිතන්නේ නෑ‘ 

‘නෑ මම එහෙම නෙවෙයි අදහස් කළේ‘

රාජකීයයන් කෙරෙහි ඇති පොදු අවධානය සම්බන්ධව ඇයට තේරුමක් නොතිබිණි. අවන්හලකදී හෝ වෙනත් පොදු ස්ථානයකදී මට ඇය මුණ ගැසීමට හැකියාවක් නොතිබිණි. මම උත්සාහ කළේ ඒවා ඇයට තේරුම් කර දීමටය. එහෙත් ඉන් ඵලක් නොවීය.

ඇය යෝජනා කළේ 76 ඩීන් වීදියේ සොහෝ හවුස් අවන්හලේදී මුණ ගැසෙන්නටය. ඇය ලන්ඩනයට පැමිණෙන සෑම අවස්ථාවකදීම එය ඇගේ ප්‍රියතම ස්ථානයක් වී තිබිණි. ඉන් නොනැවතී ඇය අප දෙදෙනා වෙනුවෙන් එහි නිහඬ කුටියක මේසයක් ද වෙන් කර තිබිණි.

කිසිවකු ඒ පිළිබඳ සැක නොකරනු ඇත.

මේසය වෙන් කර ඇත්තේ ඇගේ නමිනි.

මේගන් මර්කල්..!

හැරීගේ සහ මේගන්ගේ ආදර කතාවේ ඇරඹුම සහ විවාහය අතර දිගු කාල පරාසයේ බොහෝ දේ සිදු විය. ඒවා වැඩි ප්‍රමාණයක් රජ පවුල නොරිස්සූ ඒවා ය.

මේගන් නැවත ලන්ඩන් නුවරට පැමිණියේ 2016 ඔක්තෝබරයේදීය. එවට හැරී ඇය රාජකීයයන්ට හඳුන්වා දීමට තීරණය කළේය. ගැටලු ආරම්භ වූයේ හැරී - මේගන් ආදර කතාව බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත්වල ශීර්ෂ පාඨය බවට පත්වීමත් සමඟය. එරට නම් දැරූ සියලු ටැබ්ලොයිඩ් පුවත්පත් හැරීගේ පෙම්වතියගේ පැටිකිරිය හා ඇගේ පවුල් පසුබිම විවේචනය කරමින් රජ පවුලේ කීර්තිය අභියෝගයට ලක් කළ අතර, එය හැරීගේ දැඩි කෝපයට හේතු විය.

එතැන් සිට සෑම මිනිත්තු කිහිපයකට වතාවක්ම මේගන් පිළිබඳ, ඇගේ රංගන ජීවිතය පිළිබඳ පමණක් නොව අමෙරිකාවේ කළු ජාතික කාන්තාවක වීම පිළිබඳ බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් පතුරු හරින්නට පටන් ගෙන තිබිණි. ඒ වනවිට කැනඩාවේ පදිංචිව සිටිය ද, බ්‍රිතාන්‍ය පුවත්පත් පළ කර තිබුණේ 2016 නොවැම්බර් පළමු සතියේදී පළ කර තිබුණේ ඊට පෙර සතියේදී මේගන්ගේ උපන් බිම වන අමෙරිකාවේ කොම්ප්ටන් පළාතේ අපරාධ 47ක් ම සිදු වූ බවකි. ඇය ලේබල් ගත කර තිබුණේ දාමරික පවුල් පසුබිමකින් පැවත එන අසංවර කාන්තාවක් ලෙසිනි. මේවා හැරී විඳ දරාගත්තේ ඉතා අසීරුවෙනි. එපමණක් නොව ඇගේ පළමු විවාහයේ තොරතුරු ද ඇතුළු සියලු අතීත කුණු කන්දල් තොග පිටින් දිග හැර දමා තිබිණි.

‘කමක් නෑ‘ හැරී කීවේය.

‘තාත්තාත් දික්කසාද වුණා. දැන් විවාහ වෙලා ඉන්නෙත් දික්කසාද වුණු කාන්තාවක් එක්ක. මගේ නැන්දණිය ඈන් කුමරිය? ඇය විවාහ වුණෙත් දික්කසාද වුණු මිනිහෙක් එක්ක.‘

මේගන්ගේ දික්කසාදය හා සංසන්දනය කිරීමේදී රාජකීය පවුලේ දික්කසාද ලැයිස්තුව දිගින් වැඩිය. එහෙත් ටැබ්ලොයිඩ් පුවත්පත් මේගන් හඹා යෑමේ මෙහෙයුම අඛණ්ඩව ගෙන ගියේ ඩයනා කුමරිය හඹා ගියාටත් වැඩි වේගයකිනි. එපමණක් නොව එවකට බ්‍රිතාන්‍ය පුවත්පත් මේගන් පිළිබඳ මෙන්ම, ඇය වටා සිටි පුද්ගලයන් පමණක් නොව ඇය ඇසුරු නොකළ පුද්ගලයන් ද සෙවීමට පෞද්ගලික රහස් පරීක්ෂකයන් පවා යොදවා තිබිණි. ඇය සම්බන්ධව පළ කළ ඇතැම් ප්‍රවෘත්ති ඉවත් කිරීමට රාජකීය නීතිඥවරුන්ගේ සහාය ලබාගැනීමට පවා හැරීට සිදු විය. තමා පිළිබඳ පළ වූ ඇතැම් ප්‍රවෘත්ති දැකීමෙන් පසු මේගන් හඬා වැටුණාය.

හැරීගේ පෙම් පලහිලව්ව මේගන්ට ඇගේ පෞද්ගලිකත්වය එහෙම පිටින්ම අහිමි කර දැමූ අතර, ඇගේ පසුපස පැපරාසීන් හඹා යෑමේ කෙළවරක් තිබුණේම නැත. එය කොතෙක්ද කියන්නේ නම් ඇය පිටතට පැමිණෙන තුරු ලන්ඩන් නුවර ඇගේ නවාතැන අවට පැපරාසීන් පොදි බැඳ සිටින්නට වූ අතර, ඇතැම් අවස්ථාවල ඇගේ නවාතැනේ දොරට ද තඩි බාන්නට පටන් ගෙන තිබිණි. ඒ සියල්ල අතරතුර හැරීගේ අතීත පෙම් කතා ඡායාරූප සහිතව පළ කරමින් ටැබ්ලොයිඩ් පුවත්පත් මේගන්ගේ මනස අවුල් කර දැමුවේය.

අවසානයේදී හැරී තීරණයක් ගත්තේය. ඔහු මේගන් සමඟ විවාහ ගිවිස ගැනීමට තීරණය කළේය. ඒ වනවිට මේගන් අරබයා ටැබ්ලොයිඩ් පුවත්පත් පළ කළ බොහෝ ඕපාදූප චාල්ස් කුමරුගේ, කැමිලාගේ, විලියම් කුමරුගේ සහ කේට්ගේ මනසට ද දැඩි බලපෑම් එල්ල කර තිබිණි.

විවාහයට පෙර මේගන්ට බොහෝ දේවල් අතහැර දැමීමට සිදු වනු ඇත. සැබැවින්ම ඇය එසේ කළාය. ඇය සිය වෙබ් අඩවිය වසා දැමුවාය. සියලු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් අක්‍රිය කළාය. ඇගේ මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් සමු ගත්තාය. ඇගේ මෝටර් රථය, ඇගේ බලු සුරතලුන් සියල්ල හැර දැමුවාය. කොටින්ම මේගන් ඇගේ මුළු ජීවිත රටාවම වෙනස් කර ගත්තාය.

එහෙත් රජ පවුලට ඒවා ප්‍රමාණවත් නොවීය. සම්ප්‍රදායික රාජකීය සිරිත් විරිත් සම්බන්ධව හා එළිසබෙත් මහ රැජන හමුවන අවස්ථාවලදී මේගන්ගේ ඇඳුම් පැලඳුම්, ආභරණ, හිස් වැසුම්, නිය ආලේපනයේ පැහැය පවා විවේචනයට ලක් විය. එය සිදුවූයේ එළිසබෙත් රැජන හමුවීමේදී පමණක් නොවීය. විලියම් සහ කේට් ද ඒවා අකුරටම අපේක්ෂා කළ අතර, සම්ප්‍රදායික සිරිත් විරිත් සම්බන්ධව මේගන් දැනුම්වත් කිරීමට කිසිදු අවස්ථාවක රජ මාලිගාව පියවර නොගත් අතර, තත්ත්වය තව දුරටත් නරක අතට හැරුණේ ටැබ්ලොයිඩ් පුවත්පත් ඒවා එකින් එක ඉස්මතු කිරීමෙනි. ඒ සෑම අවස්ථාවකදීම රාජකීයයන් හමුවේ නිදහසට කරුණු කීමට හෝ කනගාටුව ප්‍රකාශ කිරීමට සිදු වූයේ හැරීටය.

කාලයක් පුරා හැරී කල්පනා කරන්නට වූයේ මේගන් සම්බන්ධ බොහෝ තොරතුරු ටැබ්ලොයිඩ් පුවත්පත්වලට යන අයුරු ගැනය. විශේෂයෙන් මහ රැජනගේ කීමට ඇය අමෙරිකාවේ සිටින සිය පියාට ලියූ ලිපිය ටැබ්ලොයිඩ් පුවත්පත් අකුරක් නෑර පළ කර තිබීමේ සිදුවීම හැරීගේ සිතට මහ වදයක් වී තිබිණි. ඔහු සිතුවේම මේගන්ගේ පියා එය ටැබ්ලොයිඩ් පුවත්පතකට සපයා විශාල මුදලක් අත්කර ගන්නට ඇති බවය. සැක කළ හැකි අන් කිසිවකු ඒ වන විට නොසිටියේය. අනිත් අතට රාජකීය රහස් පිටතට මුදා හැරීම රාජකීයත්වයට ද්‍රෝහි වීමක් බව රාජකීය සාමාජිකයෝ දැන සිටියහ.

බොහෝ තොරතුරු වාර්තා වූයේ කේට් සහ මේගන් අතර ගැටුම් ඇති වන ආකාරයේ මෙන්ම විලියම් සහ හැරී අතර ගැටුම් ඇතිවන ආකාරයේ ඕපාදූප ටැබ්ලොයිඩ් පුවත්පත්වල පළවීම පසුපස රාජකීය පවුලේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවටය. අවසානයේ හැරීට රජ පවුලම හැර යෑමටත් මුල් වූ මෙවැනි සිදුවීම් සම්බන්ධව කාලයක සිටම හැරීට සැක පහළවී තිබුණේ සිය කුඩම්මා ගැනය. මේ ගැහැනිය සිහසුනට ගිජු කපටි ගැහැනියක් බව ඔහු මුල සිටම දැන සිටියේය. ටැබ්ලොයිඩ් පුවත්පත්වලට ඕපාදූප සපයන යොමු කළ රජ පවුලේ අදිසි හස්තය, ඔත්තුකාරිය කැමිලාද ? එය අදටත් නොවිසඳුණු අභිරහසකි.

Comments