නොසැලකිල්ලයි දියේ ගිලීමයි අතර සම්බන්ධය සමාන්තරයි | සිළුමිණ

නොසැලකිල්ලයි දියේ ගිලීමයි අතර සම්බන්ධය සමාන්තරයි

ටක එළිය දකින සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම එම රට නිශ්චිත පිරිවැයක් දරන්නේය. පුද්ගලයෙකුගේ ජීවිතය ඔහුටම අයත් එකක් නොවී පොදු සමාජ වගකීමක් බවට පත් කරන්නේ ඒ සමාජ පිරිවැය ය.

එහෙත් ඒ පුද්ගල වගකීම ඉතාම ඛේදනීය අයුරින් බිඳ වැටෙන ආකාරය පෙනෙන්නේ රට තුළ සිදුවන දිය අනතුරුවල ස්වරූපය සිහි කරන විටය. මේ අවුරුද්ද පටන් ගත්තේ එවැනි වගකීම් රහිත ඛේදවාචකයකිනි. දිය අනතුරුවල සමස්ත ස්වරූපයම මේ මරණ දෙක විසින් ප්‍රකාශ කර තිබිණි. ඒ ඛේදවාචකය මෙසේය.

පසුගිය ජනවාරි 01 දා සවස තරුණයෝ දෙදෙනෙක් මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානය ඉදිරිපිට මහ මුහුදේ දිය නාමින් සිටියදී ගිලී මළහ. තරුණයන් කීවාට මේ දෙදෙනාම 17 වියැති පාසල් දරුවන්ය. අකුරැස්ස හේනේගම හා මලිදූව ප්‍රදේශයේ පදිංචිව සිටි මේ දරුවන් දෙදෙනාම අකුරැස්ස මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියහ.

ඔවුන් නිවෙස්වලින් පැමිණ තිබුණේ අමතර පන්තියක් සඳහා සහභාගි වන බව කියමිනි. මේ දරුවන් දෙදෙනාම 01 වැනිදා අවුරුදු උදාව සැමරීමට මත්පැන් පානය කර තිබිණි. ඔවුන් සිය මිතුරු පිරිසක් සමඟ මුහුදේ නාන්න ගොස් තිබුණේ බීමතිනි. 

මෙම බීමත් තරුණයන්ට එම ස්ථානයේ දිය නෑම නොකරන ලෙසත් එය අනතුරු සහිත ස්ථානයක් බවත් වෙරළේ ව්‍යාපාරික කටයුතු කරන වෙළෙන්දෝ පවසා තිබුණහ.

ගැඹුරු වළවල් සහිත ස්ථානයක්වූ එම වෙරළ තීරයේ තරුණ පිරිස දියනාමින් සිටියදී හදිසියේම මේ තරුණයන් දෙදෙනා දිය වැලකට හසුව ගසාගෙන ගියහ. වෙරළේ සිටි විදේශීය කණ්ඩායමක තරුණියක් හා වෙරළේ සිටි වෙළෙන්දන් එක්ව තරුණයන් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ දරද්දී මාතර කොටුව ගැමුණු හේවා බළ ඇණියේ බට පිරිස් ද ඒ සඳහා එක් වූහ. තරුණයන් වහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබිණි. රෝහලේ දී ඔවුහු මිය ගියහ.

සිය ජීවිත වටිනාකම් අවතක්සේරු කරන සිය දිවි නසා ගැනීම් බඳු දිය අනතුරක ඇති සමස්ත නොහික්මුණුකම ජනවාරි පළමුවැනිදා රටට ප්‍රකාශ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව පවසා සිටියේ දියේ ගිලීමෙන් සිදුවන අනතුරු බොහොමයක් "වළක්වා ගත හැකි තත්ත්වයේ" ඒවා බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට අනුව දියේ ගිලී සිදුවන මරණ අතිමහත් බහුතරය වළක්වා ගත හැකි ඒවාය. මේ අනතුරුවලට ප්‍රධානම හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ නොසැලකිල්ල, බීමත්කම, අනතුරු ඇඟවීම් නොසලකා හැරීම, සහ නුපුරුදු ස්ථානවල ජලයේ හැසිරීම සම්බන්ධව කුසලතා රහිත පුද්ගලයන් අවිචාරාත්මකව ප්‍රවේශ වීමය.

" මත්පැන් පානය කර දියට බැසීම අවදානම් සහිතයි. එවැනි අයකුට දියේ ගැඹුර තේරෙන්නෙ නැහැ. මත් ගතිය නිසා අවබෝධයක් නැහැ,"

"ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඔබට වෙන කෙනෙක් නැහැ බේරා ගැනීමට. එය ඔබ විසින්ම කල්පනා කර තේරුම්ගත යුතුයි. ඔබගේ ජීවිතයත්, ඔබගේ පවුලේ, ඥාතීන්ගේ, සහෝදරයින්ගේ, මිත්‍රයින්ගේ ජීවිතයත් ආරක්ෂා වන විදිහට ඔබගේ විනෝද වීම සැලසුම් කර ගන්න“ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කර තිබිණි.

ගෝලීය සෞඛ්‍ය ඇස්තමේන්තු ප්‍රකාරව සෑම වසරකම පුද්ගලයන් 2,36,000ක් දියේ ගිලී මිය යන්නේය. දියේ ගිලීම වයස අවුරුදු 1-24 අතර ළමුන් සහ තරුණයන්ගේ මරණවලට ඇති ප්‍රධාන හේතු දහයෙන් එකකි.

ලෝකයේ ගණනයන්ට අනුව දියේ ගිලීමෙන් සිදුවන මරණවලින් 90%කට වඩා සිදු වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලය. ඉන් අඩකට වඩා සිදු වන්නේ බටහිර පැසිෆික් සහ අග්නිදිග ආසියා කලාපවලය.

බටහිර ෆැසිපික් කලාපයේ අවුරුදු 15ට අඩු දරුවන්ගේ මරණවලට, ක්ෂය රෝගය, HIV/AIDS, මන්දපෝෂණය, සරම්ප, මෙනින්ජයිටිස්, ඩෙංගු සහ මැලේරියාව රෝගවලට වඩා වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ දියේ ගිලීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. මෙම කලාපයේ දියේ ගිලී මිය යෑමේ මරණවලින් 34%ක ප්‍රතිශතයක් වාර්තා වන්නේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් අතරය. එක්සත් ජාතීන් විසින් දියේ ගිලී සිදුවන මරණ සලකන්නේ මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙසම පමණක් නොවේ. සමාජ ආර්ථික සංවර්ධන අභියෝගයක් ලෙසය. මානව ප්‍රාග්ධනය කෙරෙහි එහි බලපෑම සහ සමාජයට එහි ආර්ථික බර සලකා බැලීමේදී එය දැවැන්ත අභියෝගයක් ලෙස ඔවුහු එය නිරීක්ෂණය කරති.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2021 අප්‍රේල් 28 වන දින ගෝලීය දියේ ගිලීම වැළැක්වීම පිළිබඳ ඓතිහාසික යෝජනාවක් සම්මත කරන්නේ මේ ගැටලුවේ සමාජ ගැඹුර අධ්‍යයනය කිරිමේන් අනතුරුවය. දිය අනතුරු වැළැක්වීම සඳහා සම්බන්ධීකරණ බහුආංශික ක්‍රියාමාර්ගයක් පිළිබඳ අවධානය යොමු කිරීමට දැන් ලෝක අවධානය යොමු වී ඇත්තේය.

අපේ රටේ දිය අනතුරු

වාර්තා වන පොදු අගය 800 ඉක්මවා යයි. දළ වශයෙන් සෑම පැය 10කටම වරක් රට තුළ පුද්ගලයෙක් දියේ ගිලී මිය යමින් ඇත. ගෝලීය සෞඛ්‍ය ඇස්තමේන්තුවලට (GHE) අනුව ශ්‍රී ලංකාවේ දියේ ගිලී මිය යෑමේ වයස අනුව ගැළපුම් අනුපාතය ජනගහනයෙන් ලක්ෂයක් සඳහා 3.2කි. වයස අවුරුදු 5-29 අතර සිදුවන මරණවලට ප්‍රධානතම හේතු 10 අතර, දියේ ගිලී මිය යෑම වේ.

හදිසි අනතුරුවලින් සිදුවන මරණ අතරින් රිය අනතුරුවලට පසුව වැඩිම මරණ වාර්තා වන්නේ දියේ ගිලීමෙනි. ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමයට අනුව ලංකාවේ වයස අවුුරුදු 1-14 දරුවන්ගේ මරණවලට ප්‍රමුඛම හේතුව දියේ ගිලීමය. වයස අවුරුදු 15-29 අතර මරණ සඳහා තුන්වන හේතුව ද දිය අනතුරුය.

දියේ ගිලී සිදුවන මරණවලින් වැඩි ප්‍රතිශතය වාර්තා වන්නේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් අතරය. එමෙන්ම කාන්තාවන් දියේ ගිලී මරණයට පත්වනවාට වඩා 3.5 ගුණයක් වැඩිපුර පිරිමි මරණ වාර්තා වන්නේය. දියේ ගිලීමෙන් සිදුවන වැඩිම මරණ වාර්තා වන්නේ උතුරු පළාතෙනි. පුද්ගලයන් ලක්ෂයකට එම පළාතේ සිදුවන මරණ අනුපාතය 7.3 කි. සංඛ්‍යා ලේඛන ප්‍රකාරව දිය අනතුරු මරණවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ වැව් ආශ්‍රිතවය. එය සියයට 26කි. ඇළ දොළ ආශ්‍රිතව සියයට 22කි. මුහුදේ ගිලී මිය යෑම් 21 මුළු මරණ ප්‍රමාණයෙන් සියයට 21කි. වගා ළිං ඇතුළු ළිංවලට ඇද වැටී වාර්ෂික මුළු මරණ අනුපාතයෙන් සියයට 18ක් සිදු වේ. 

දිය අනතුරු වැළැක්වීම

මේ රටේ හදිසි අනතුරු වැළැක්වීම සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සහ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කළ ප්‍රකටම විද්වතෙක් වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්නය. ඔහු මේ සම්බන්ධව අතිශය වැදගත් කරුණක් සම්බන්ධව රටේ අවධානය යොමු කරන්නේය. “ තමන් අනතුරකට ලක්වන බව නොදැන සිදුවන අනතුරුවලින් වැඩිපුරම මිය යන්නේ රිය අනතුරුවලිනි. ඉන් පස්සේ දියේ ගිලීම්වලිනි. අපිට නොතේරුණ වැදගත්ම කරුණක් තිබෙනවා. ඒ තමයි අපේ රට වටේම මුහුද තිබුණත් දියේ ගිලීම් නිසා සිදුවන මරණවලින් සියයට හැත්තෑපහකට වැඩි ප්‍රමාණයක් සිද්ධවෙන්නෙ රට ඇතුළෙ. මුහුදෙ නෙමෙයි. “මා යෝජනා කරනවා දියේ ගිලීමෙන් සිදුවන මරණ වැළැක්වීම සඳහා වැඩසටහනක් දියත් කරනවා නම් එය රට තුළ තිබෙන ජලාශ මුල් කරගෙන දියත් කළ යුතුයි. මේ ක්‍රියාවලිය ක්‍රමවත්ව දියත් නොකර මේ රටේ දිය අනතුරුවලින් සිදුවන මරණ අඩු කරන්න බෑ. ඇත්තටම ඒ සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමට දත්ත ගොනු අරන් ශාස්ත්‍රීය විශ්ලේෂණයක් කළ යුතු වෙනවා. වැඩිපුර දිය අනතුරු සිදුවන ස්ථාන, කාල වකවානු, ඒ මරණවලට ඇල්කොහොල් කොයිතරම් දුරට සම්බන්ධ ද වගේ දත්ත අපි හරියටම විශ්ලේෂණය කරගෙන ඒ වැඩපිළිවෙළ දියත් කිරිමට අවශ්‍යයයි. “

“ඇත්තටම අපි සමුද්‍ර තීරයේ දැනුම්වත් කිරීම්, ජීවිතාරක්ෂක සේවා සහ මුහුදට බැසිය යුතු තැන් ගැන දැනුම්වත් කරමින් නිසි වැඩපිළිවෙළක් ප්‍රායෝගික කරලා තියෙනවා. නමුත් ඔබ තිසා වැවේ නාන්න ගියොත් ඔබට ඒ ආරක්ෂාව නෑ...“ මහාචාර්ය සමන් ධර්මරත්න අපේ අවධානය යොමු කරන්නේය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය රට තුළ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක ආයතන ඇතුළු ශ්‍රී ලංකාවේ දේශීය හවුල්කරුවන් සමඟ දියේ ගිලී යෑම වැළැක්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

මේ තත්ත්වය තුළ වර්ෂ 2005 -2007 වසරවලට සාපේක්ෂව සමස්ත මරණ සංඛ්‍යාව සියයට 14ක්, රට පුරා දියේ ගිලීම් නිසා සිදුවන මරණවලින් සියයට 20ක්, දියේ ගිලීම් නිසා සිදුවන කාන්තා මරණවලින් සියයට 32ක් අඩු කරගැනීමට හැකි වී ඇති බව දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳ ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා වාර්තාව පෙන්වා ඇත්තේය.

කෙසේ වෙතත් දළ වශයෙන් සෑම වසරකම 750 -800ක් අතර සංඛ්‍යාවක් දියේ ගිලී මිය යති. දැන්වීම් පුවරුවක අනතුරු ඇඟවීමකට, අවවාදයකට, වලංගු නොවන සමාජයක් විනයක පිහිටන තුරු නිවැරදි වන්නේ නැත. දිය අනතුරු අවම වනු ඇත්තේ ඒ ස්වයං පුද්ගල විනය ඇති වූණුදාටය.

Comments