නිවෙසට සිරිදුව කැන්දා ගන්නට බහිරව පූජාව නිවැරැදිව තබන හැටි | සිළුමිණ

නිවෙසට සිරිදුව කැන්දා ගන්නට බහිරව පූජාව නිවැරැදිව තබන හැටි

 

පෙර ලිපියෙන් ඔබ වෙත බහිරව දෙවියන්ගේ පිහිට බහිරව දෙවියන් ගැන විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කළ අතර, එම පුද පූජාවන් සරලව සිදු කර ඔබට යහපත සලසා ගැනීමට වාසනාව උදාකර ගැනීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වනු ඇත.

ගේ දොර කටයුතු කාරණාවලදී සිදු කරනු ලබන බහිරව පූජාවන්වලදී සිදු කරනුයේ ඔවුනට ආරාධනා කර එම ස්ථානයේ දියුණුව ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ පිහිට පැතීමයි.

මේ සඳහා නියමිත අයුරින් බහිරව පූජාවක් තබන්නේ නම් ඒ සඳහා ආරාධනා කරන්නේ ආකාල බහිරවයන් එනම් පොළොවෙන් ඉහළ සෑදෙන දේ සඳහා මෙන්ම පාතාල බහිරවයන් ද සිහිපත්කර කරනු ලබන අතර, මෙහිදී සිදු කරනු ලබන පූජාව නිධානයක් හෝ පොළොවෙන් වෙනයම් වස්තුවක් ලබා ගැනීමට කරනු ලබන පූජාවට වෙනස් විධි ක්‍රමයකට සිදු ‌ෙකරේ එනම්, කෝවිල්වල සිදු කරන පූජාවන් බොහෝ විට කාල බහිරව වෙනුවෙන් සිදු කරනු ලබන පූජා විධි ක්‍රමයකි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ ගෙයක් හෝ නව ගොඩනැඟිල්ලක් සෑදීමට ප්‍රථමයෙන් ආකාල පාතාල බහිරවයන් සමඟ අට කොන ද භාරව සිටින බහිරවයන් කැඳවා සතුටු කර කරදර බාධක අවහිරතා නොමැතිව එම කටයුත්ත සිදු කර ගැනීමට පිහිට ඉල්ලන අතර එම කටයුත්ත අවසන් වූ පසුව නැවත එම පූජාව අලුත් කර පුජාවන් පවත්වා සාදාගත් නිවෙස හෝ ගොඩනැඟිල්ල ආරක්ෂා කර දෙන ලෙසට ඉල්ලා සිටීම සිදු කරනු ලැබීමයි.

විශේෂයෙන්ම නිවෙස්, ගොඩනැඟිලි සෑදීමට ප්‍රථම මෙන්ම සාදා අවසන් වු පසුවත් එම ස්ථානයට මෙවන් වත් පිළිවෙත් බහිරවයන් සඳහා සිදු කරනු ලබනුයේ ඇතැම් විශාල ඉඩකඩම් හිමිකරුවන් මියගිය පසුවද එම ස්ථානවලට ඇති ඇල්ම නිසා එම ස්ථානවලම රැඳී සිටිමින් එහි පදිංචි වන අතර, කරදර බාධාවන් හිරිහැර මඟින් ඔවුනට ලෙඩරෝග, අනවශ්‍ය වියදම් සිදුවන, ධන හානි සහ නොසිතූ කරදර ද ඇති කර ඔවුන් එම ස්ථානයෙන් පිටවීමට කටයුතු කාරණා සිදු කර නැවත ඔවුන් එම ස්ථානයට අරක් ගැනීමට කටයුතු කරන නිසාය.

ඔබ නියම අයුරින් වාස්තු විද්‍යානුකූලව නැකැත් බලා බහිරව පූජාවන් පවත්වා එම කටයුතු ආරම්භ කරන්නේ නම් එම කටයුත්ත ඉතාමත් ඉක්මනින් නිම කිරීමට ඔබට මඟ පෑදෙනු ඇත. මිල මුදල් නොමැති වුවද ඔබටම සිතාගත නොහැකි අයුරින් ඒ සඳහා පසුබිම මෙන්ම උදවු උපකාර ද ඔබට ලැබෙනු ඇත. මෙය අත්දුටු සත්‍යයක් බව කිව හැකිය.

නිසි අයුරින් භක්තියෙන් විශ්වාසයෙන් යුතුව මෙම බාහිරව පූජාවක් සිදු කරන්නේ නම් නියත වශයෙන්ම ඔබගේ බොහෝ ප්‍රශ්න නිරාකරණය වී වාසනාව ගෙන දීමට පිහිට ලැබෙනු ඇත. අප සමාජයේ බහිරවයන් ගැන ඇති වී තිබෙන ආකල්පය ද මෙහිදී බලපාන අතර කෙසේ කීවත් සිංහල කියමනක් වන කියන තරම් යකා කළු නැතිවාක් මෙන්ම යකාගෙන් වුවද වැඩ ගැනීමට අප සිතාගත යුතුය.

නිවෙස්, ගොඩනැඟිලි ආදිය සෑදීමට ප්‍රථම සිදු කරන බහිරව පූජාව සාමාන්‍ය දෙවියන් සඳහා සිදු කරන පූජා විධි ක්‍රමයන්ට වඩා වෙනස් අයුරක් ගනු ලබයි. අෂ්ට බහිරව ආතාල පාතාල බහිරවයන් සඳහා එනම් අට දිශාවට පොළොවෙන් උඩ සහ පොළොව යටින් ඇති කොටස්වල අරක්ගත් අය සඳහා වෙන වෙනම ගොටු 10ක් සූදානම් කරනු ඇත. ඒ සඳහා නැවුම් මුට්ටියක ගිතෙල් මිශ්‍ර බතක්, කෙසෙල් ආදිය මෙන්ම කැවුම්, කොකිස්, කැවිලි මෙන්ම කිරි, අබිං , ත්‍රිලෝක විජයම් (කංසා) දැහැත්, පැන්, නෙළුම් මල්, පහන්, පඬුරු දහය බැගින් ද සුවඳවත් කිරීම සඳහා හඳුන්කූරු සුගන්ධ ධූපය ද සූදානම් කරගත යුතු වෙයි. මීට අමතරව රතු බතක්, කහ බතක්, කුඩා විලක්කු 10ක් ද සූදානම් කර වෙන වෙනම නෙළුම් කොළ මත කොටස් 10කට වෙන් කර සූදානම් කර පූජාව ආරම්භ කළ යුතුය.

මෙහිදී මෙම කැප කිරීම පූර්ව දිශාවෙන් ආරම්භ කර ඊසාන දිශාවෙන් අවසන් කරන අතර, එමඟින් ඒ ඒ දිශාවන් අටට අරක්ගත් බහිරවයන්ට ද ආතාල පාතාල බහිරවයන්ට ද ආරාධනා කර එය පිළිගන්වා අවශ්‍ය අට කොනට අයිති දේ ගෙන්වන්නේ අට කොන අගල් 9ක් පමණ යටට වළ හාරා එහි තැන්පත්කර ඉතිරි ගොටු දෙක තුන්මන් හන්දියක හෝ ගලා යන දොළ පහරකට දමනු ලබයි. ඇතැම් අය මේ සියලුම ගොටු ද තුන්මන් සලකට හෝ ගලායන දොළකට දැමීම ද සිදු කරයි. මෙම බහිරවයන් ප්‍රේත හෝ යක්ෂ කොට්ඨාසවලට අයත් ඥාති අරක්ෂාව සඳහා වගකීමක් ඇති කොට්ඨාසයක් වන අතර, මේ සඳහා මාසයේ අන්තිම බහිරව දිනය බොහෝ විට යොදා ගන්නා අතර එසේ නැතහොත් තමන්ගේ කේන්ද්‍ර සටහන අනුව ශුභ දිනයක් වෙලාවක් යොදාගත යුතුය. එසේම ඒ සඳහා පේ වීමෙන් ඔබට මහඟු ප්‍රතිඵල ලබාගත හැකි වනවා මෙන්ම මේ සඳහා හොඳින් අවබෝධයක් ඇති වත්පිළිවෙත් ගැන දැනුම්වත් අයකු මඟින් සිදු කර ගන්නට හැකියාවක් ඇත්නම් එය ඉතාමත්ම යහපත් වෙයි. සත්‍ය වශයෙන්ම මෙය එම භූමියට ස්ථානයට සෙත ශාන්තිය පතා සිදු කරනු ලබන ශාන්ති කර්මයක් බැවින් සියලුම දෙනා වත් පිළිවෙත් සුරකින්න සිතට ගත යුතුය.

ඔබ නිවෙසක වාසය කරන්නේ නම් ඉතාමත් සරලව බහිරව පූජාවක් තැබීමට ඔබට ද හැකියාව ඇත.

ඒ සඳහා ඔබට යහපත් දිනයක නිවෙසේ පිරිසිදුම ස්ථානය හෝ ගෙමිදුලේ ස්ථානයක් තෝරා ගෙන කොහොඹ හෝ බෙලි කෝටුවක් භාවිත කර හතරැස් සීමාවක් ලකුණු කර එම සීමාව තුළ පිරිසුදු සුදු වැලි අතුරා අට කොන ලකුණු කර ඒවායේ නෙළුම් කොළ තබන්න. එම නෙළුම් කොළය මතුපිට බුලත් කොළය බැගින් තබා මැදට ද නෙළුම් කොළයක් තබා එහි ද බුලත් කොළයක් තබා ගිතෙල් මිශ්‍ර කරන ලද තෙල් සහිත පහන් වැටි තබන්න. මෙහිදී පුෂ්පයක් වශයෙන් නෙළුම් මල් එක බැගින් ඒ සෑම නෙළුම් කොළයකම තබන්න. සුවඳවත් හඳුන් කූරු දල්වා එම කොටුව තුළම තැන්පත් කර ඒ අසල බුලත් කොළයක් තබා ඇස් වැසෙන සේ සුද්ධ කළ පොල් ගෙඩියක් ද තැන්පත් කරන්න. කපුරු පත්තු කිරීමට කුඩා භාජනයක් ද ඒ අසලම තබන්න. ඉන් පසු කහ දියරයෙන් සෝදා පිරිසුදු කරගත් පඬුරු එම නෙළුම් කොළ මත තැන්පත් කරන්න.

දැන් ඔබ මෙම සරල බහිරව පූජාව සඳහා සූදානම් වී ඇත. ඉන්පසු ඔබට ලැබුණු සුබ හෝරාවට පහන් වැටි දල්වන්න. පවුලේ සියලු දෙනා එක්ව පොළොවට අතක් තබා බැති සිතින් බහිරව දේවතාවන් සඳහා ආරාධනා කරන්න. ඒ සඳහා අමුතුවෙන් කළ යුතු දෙයක් නැත.

ඔබ දන්නා තරමින් මෙම පූජාව පිළිගෙන මෙම නිවෙසට, ඉඩමට තිබෙන්නා වූ සියලුම දෝෂ භංගකර මෙම පවුලටත් එහි වාසය කරන්නාවු සියලු දෙනාට පිහිට අරක්ෂාව සලසා කුවේර මාලිගාවේ සිටින්නා වූ බහිරව සේනාවද, සංඛ, පද්ම, බහිරව දේවතාවන් ද ප්‍රධාන කාල බහිරව දේවතාවුන් වහන්සේලාගේ ද පිහිට ආරක්ෂාව ලබා කටයුතු කාරණා සියල්ල ඉෂ්ට සිද්ධ කර දෙන ලෙසට පළමුවත් දෙවැනුවත් හෝ තුන් වැනුවත් ඉල්ලා සිටින අතර දැනුවත්ව නොදැනුවත්ව අත්වැරැද්දක්, සිත් වැරැද්දක් හෝ කට වැරැද්දක් සිදු වූවා නම් සමාවී සියලු දෙනාටම ආවඩා ආයුබෝ වේවා යයි ප්‍රාර්ථනා කරන්න.

ඉන්පසු එම පඬුරු සියල්ල සිද්ධස්ථානයක පින් පෙට්ටියකට දමා පොල් ගෙඩිය බිඳ එහි ජලය වත්තට හොඳින් ඉස පොල් බෑ දෙක ඉදිරිපස ගේට්ටුව අසල දෙපැත්තේ වළ දමන්න. මෙම පූජාව ඔබ වසරකට හෝ මාස 6කට වරක්වත් සිදු කරන්නේ නම් ඔබටත් නිවැසි සියලු දෙනාටත් සියලු කටයුතු සාර්ථක කරගෙන වාසනාව උදා කරගෙන ජීවිතය ජයගන්නට පිහිට වාසනාව උදා වෙනවා වනු ඇත.

Comments