දේශීය ටින් මාළුවලින් ඩොලර් ගේන සූත්තරේ | Page 2 | සිළුමිණ

දේශීය ටින් මාළුවලින් ඩොලර් ගේන සූත්තරේ

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ශිරාන් ෆර්නැන්ඩු මහත්වරු ඔලුවිල් වරාය නිරීක්ෂණ චාරිකාවක.

ටට වඩා දස ගුණයක් විශාල සාගර සම්පතක් ශ්‍රී ලංකාව සතුය. ලෝකයේ එවැනි රටවල් ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. එවැනි විරල වටිනාකමකින් යුතු අපේ සාගර සම්පත ජාත්‍යන්තරයට වුවද ටින් මාළු සපයන්නට තරම් පොහොසත් ය. කනගාටුවට කාරණය, එහෙව් රටක් ටින් මාළු පමණක් නොව කරවල සහ උම්බලකඩ වැනි කරදිය සම්පතින් සුලභව නිපදවිය හැකි සෑම මත්ස්‍ය ආහාරයක්ම ආනයනය කිරීමය.

ඒ සඳහා චීනයට, තායිලන්තයට, ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය, වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500කට ආසන්නය. ඒත් දැන් ඩොලර් නැති නිසා ශ්‍රී ලාංකිකයන්ට හිතේ හැටියට ටින් මාළු කන්නට ද නැත. පණ ගසා එන දේශීය ටින් මාළු කර්මාන්තය නංවන්නට රජය ලහි ලහියේ යමක් කළ යුතු වන්නේ මේ නිසාය. 

Canned Fish Manufacturer's Association Of Sri Lanka හෙවත්, දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය, රජය සහ මාධ්‍ය දැනුම්වත් කිරීම උදෙසා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූයේ එවැනි පසුබිමකය.

එම සංගමයේ සහ පෑලියගොඩ ටෙස් ගෲප් සමාගමේ සභාපති, ශිරාන් ෆර්නෑන්ඩු ඒ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.

" ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස ලක්ෂ හයකට ආසන්නයි. ඔවුන් හා බැඳුණු ධීවර පවුල් සංඛ්‍යාව මිලියන 1.5 ක්.

අපේ ධීවර ප්‍රජාව දැන්වත් යල් පැනපු පැරැණි ක්‍රමවලින් මිදී නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. රිජිෆෝම් පෙට්ටිවල අයිස් දමා මාළු කිලෝ පන්දාහක් ගෙනාවොත්, ගන්න පුළුවන් කිලෝ දෙදාහයි. පහසුකම් සහිත බහුදින යාත්‍රා ඇතුළු නවීන බෝට්ටු රාජ්‍ය මැදිහත් වීමෙන් ගෙන්වන්නට හෝ නිෂ්පාදනය කරන්නට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. එම බෝට්ටුවල Sea Water Cooling System වැනි නවීන ක්‍රමවේද සවි කළ යුතුයි. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ අමාත්‍යාංශ ලේකම්වරයාට කර්මාන්තය නඟා සිටුවීමට උනන්දුවක් ඇති බව පෙනෙනවා. අප සංගමය දිගින් දිගටම කළ ඉල්ලීමට අනුව, ආනයනික ටින් මාළු කිලෝවකට පැවැති රුපියල් 100ක බද්ද තවත් රුපියල් 100කින් ඉහළ දැමීමට කටයුතු කිරීම මේ වෙලාවේ කර්මාන්තයේ උන්නතියට ගත් සාධනීය පියවරක් ලෙස අප දකිනවා.

වෙන රටවල මාළු අල්ලන්නත් ලයිසන් එකක් ගන්න ඕනේ. එක සැරේ විශාල අස්වැන්නක් ගන්න සමහර ධීවරයන් Dynamite Fishing සහ තහනම් දැල් එළීම වැනි විනාශකාරී ක්‍රම පාවිච්චි කරනවා. ඩයිනමයිට් පුපුරද්දී මුහුද යට ඒ අවට සියලු ජීවීන් විනාශ වෙනවා. අපේ මාළු අස්වැන්න ටිකෙන් ටික විනාශ වෙන්න මේකත් ප්‍රබල හේතුවක්. ඒ නිසා මේවාට නිසි නියාමනයක් සහ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ටින් මාළු කර්මාන්තයට අදාළ ප්‍රතිඅපනයනය කියන්නේ, ඩොලර් ඉපැයීමට හොඳම මඟක්.

ලංකාවේ දැනට දේශීය ටින් මාළු කර්මාන්ත ශාලා 11ක් ක්‍රියාත්මකයි. හැබැයි නිසි ප්‍රමිතියට අනුව SLS සහතිකය සහිත කර්මාන්තශාලා තිබෙන්නේ හතක් විතරයි. අනිත් ඒවායේ ප්‍රමිතිකරණය පිළිබඳ සහතිකයක් හෝ පිරිසුදු භාවය පිළිබඳ කිසිදු වගකීමක් නැහැ. ප්‍රමිතියෙන් තොර ටින් මාළු නිෂ්පාදනය කර වෙළෙඳපොළට කොපමණ ආවත්, ජනතාව ඒවා කොපමණ අනුභව කළත් ඒ ටින් මාළුවල මොනවා අන්තර්ගත ද කියා කවුරුවත් දන්නේ නැහැ. ඒ පිළිබඳ සොයා බලන්න කිසිවකුත් නැහැ. දැන්වත් මේවා නිසි නියාමනයකට යටත් කළ යුතුයි.

දේශීය ටින් මාළු කර්මාන්තයේ බහුලව යොදා ගන්නා ලින්නා මසුන් බහුලවම ගැවසෙන්නේ ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේය. මේ පළාතේ ධීවර ජනතාවගේ හොඳම ආදායම් මාර්ගය වන්නේ ද ලින්නා මසුන් දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් වෙත සැපයීමය. ඒ නිසා මේ ප්‍රදේශයේ ජන ජීවිතයට දේශීය ටින් මාළු කර්මාන්තය දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන අතර, ආනයනික ටින් මාළු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, කිලෝවකට රුපියල් 200ක් ලෙස ඉහළ දැමීම, මේ අවස්ථාවේ ඔවුන් ගේ ආර්ථිකයට ද යහපත් බලපෑමක් ඇති කර තිබේ.

" දැනටත් කුඩාවැල්ලෙන් දිනකට ලින්නා ටොන් 2,000-3,000ක් අප මිල දී ගන්නවා. නමුත් අපේ දෛනික අවශ්‍යතාව ටොන් 8000ක්. ධීවරයාගෙන් රුපියල් 95-100ට ගත් ලින්නා මාළු කිලෝවට අපි දැන් රුපියල් 400ක් ගෙවනවා. ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම තුළ ලින්නා මිල ඉහළ ගියත්, අප ඔවුන්ට එම ගණන ගෙවන නිසා ධීවරයා ඒ තුළ ආරක්ෂිතයි. අපිට ඒ ගාණට ගන්න පුළුවන් වී තිබෙන්නේ ලංකාව තුළ දේශීය ටින් මාළු කර්මාන්තයේ පිබිදීමක් ඇති වෙමින් පවතින නිසයි. ජනතාව දේශීය ටින් මාළුවලට හුරු වෙමින් පවතින නිසයි.

ඒ වගේම කාලෙක පටන් අපේ නැඟෙනහිර වෙරළ තීරයේ මත්ස්‍ය අස්වැන්න හොරෙන් සහ වාංචනිකව ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා රිසි සේ සූරා ගෙන යනවා. දකුණු ඉන්දියානු ධීවරයන් ළඟ තිබෙන්නේ ශ්‍රී ලාංකීය මුහුදු සම්පතින් උපයා ගත් ධනය. මේ ව්‍යසනය වහාම නතර කරන්නට රජය මැදිහත් විය යුතුයි.

ඔලුවිල් වරායේ අප සතු ටින් මාළු සැකසීමේ මධ්‍යස්ථානයේ (processing centre) අප වැඩ ආරම්භ කළේ 2012 වසරේ. මේ මධ්‍යස්ථානයේ සියලු පහසුකම් සහිත කූල් රූම් සහ ගබඩා පහසුකම් තිබෙනවා. නමුත් වරාය කට (Harbour Mouth) විවෘත නොකිරීම තුළ ධීවර ප්‍රජාවට බෝට්ටුව ඇතුළු කරන්න බැහැ. රුපියල් මිලියන විස්සකට වැඩිය වැය කර අපගේ පෞද්ගලික වියදමින් යම් ප්‍රමාණයක් විවර කර දුන්නා. එය නඩත්තු කර දිගටම පවත්වාගෙන යෑම රජයේ වගකීමක්. මේ වෙලාවේ ධීවර අමාත්‍යවරයාට පමණක් මේ දේ කරන්න අමාරුයි. රාජ්‍ය මැදිහත්වීම 100%ක් ලැබුණොත්, ධීවර කර්මාන්තයට මීට වඩා අවධානය සහ සහයෝගය දුන්නොත් මේ වෙලාවේ ඩොලර් ගේන වැඩපිළිවෙළකට යන එක ඒ තරම් අමාරු නැහැ.

ශිරාන් ෆර්නැන්ඩු තවදුරටත් එසේ ද පැවසීය. මෙහිදී ටෙස් සමාගමේ ප්‍රධාන ගණකාධිකාරී, සම්පත් කරුණානායක සහ අධ්‍යක්ෂ අලෙවි, ශෙවාන් ෆර්නැන්ඩු යන අය ද අදහස් දැක්වීය.

ඡායාරූප- විමල් කරුණාතිලක

Comments