
අත්තිකාරම විදෙස් කෙටිකතා දොළහක පරිවර්තන එකතුවකි. ඒ අතර ඇන්තන් චෙකොව් වැනි පැරණි නිර්මාණකරුවන්ගේ මෙන්ම මෙරට පාඨකයන්ට නුහුරු හෙන්රි ලොපෙස් (කොංගෝ පසුව ප්‍රංශය) පක් ක්යොන්ග්නි (කොරියාව) එන්.එස්. මාධවන් (කේරළය), දීපා අග්‍රවාල් (උත්තර් ඛාන්ද් පසුව නවදිල්ලිය) වැනි අයගේ ද නිර්මාණ තිබේ.
කෙටිකතා තෝරා ගැනීම සම්බන්ධයෙන් පරිවර්තකගේ වචනවලින්ම මෙසේය.
"මේ කෙටිකතා සංග්‍රහයේ මුඛ්‍ය ලක්ෂණය විවිධත්වයයි. රචිත කාලය අතින් ගත් කළ ඒවා විවිධ ඉතිහාස යුගයන්ට අයත් වන අතර ඒවායේ කතුවරුන් අතර සම්භාව්‍ය ලේඛකයෝ මෙන්ම සමකාලීන ආධුනිකයෝ ද වෙත්.
එසේම කතාවලට පසුබිම්ව ඇති සමාජ සන්දර්භ ද බෙහෙවින් වෙනස්ය. භූගෝලීය වශයෙන් ද ඒවා ආසියා, අෆ්‍රිකා, අමෙරිකා සහ යුරෝපීය මහාද්වීප පුරා පැතිර ඇත.
ආදරය, වෛරය, ඉරිසියාව, ආත්මාර්ථය ආදී සර්වකාලීන මනෝ භාව මෙන්ම පන්ති භේදය සහ සමාජ ස්ථරායනය හේතුවෙන් ජනිත වන මානව ගති පැවතුම් ද විචිත්‍රෘකාරයෙන් නිරූපණයට මෙහි කතුවරු සමත්ව සිටිත්. ඒ අතර අතිශය පෞද්ගලික මානව අත්දැකීම් කිහිපයක් ද සානුකම්පිතව නිරූපණය කෙරෙන කතා කිහිපයක් මෙහි ඇතුළත්ය.
මෙහි නිර්මාණකරුවන් අතරින් ඇතැමුන් ආධුනික බව පරිවර්තක සඳහන් කළද අන්තර්ජාලය පිරික්සූ විට එවැනි අය සොයා ගත නොහැකි විය. සිංහල පාඨකයන්ට සමීප නොවන හෙන්රි ලොපෙස්, පක් ක්යොන්ග්නි, එන්.එස්. මාධවන්, දීපා අග්‍රවාල් යන ලේඛකයන් ද පොත් ගණනාවක් බැගින් ලියා පළ කැර ඇති සම්භාවනාවට පාත්‍ර වූ අයයි. විශේෂය වනුයේ ඔවුන් තවමත් ජීවත්ව සිටීමයි.
මෙහි ඇතුළත් නිර්මාණ දොළහ මෙසේය.
1. අත්තිකාරම (හෙන්රි ලොපේස්), 2. බක්ෆන්ෂෝගේ අවමඟුල (මාක්ට්වේන්) 2. ජීවන සුවඳ (පක්ක්යොන්ග්නි) 4. රන් අබරණ (ගී ද මෝපසාං) 5. කටුස්සා (ඇන්ටන් චෙකොව්) 6. කාබුල් මාමා (රවින්ද්‍රනාත් තාගෝර්) 7. වැස්සේ පූසෙක් (හෙමිංවේ) 8. හඳ මූණා (ජැක් ලන්ඩන්) 9. හදවත් සහ දෑත් (ඕ. හෙන්රි) 10. පූජා බිත්තරය (චිනුවා අචිබෙ) 11. මගේ පියාගේ බිරිඳ (දීපා අග්‍රවාල්) 12. නිල් පැන්සල (එස්. එස්. මාධවන්) අත්තිකාරම කතාවේ එන්නේ ධනවත් නිවෙසක දරුවා බලා ගැනීමේ නිරත ස්ත්‍රියකගේ දුක්ඛිත කතාවයි. තමා බලා ගන්නා දැරිය හා සම වයසේ පුතෙක් ඒ ස්ත්‍රියට ද සිටී. ඔහු අසනීපයෙනි. ඔහුබලා ගන්නට මේ වෙලාවේ තමා ගෙදර සිටිය යුතුමය. එහෙත් එසේ කළහොත් මුදල් නැත. අද ඇයට මුදල් අවශ්‍යය. නෝනාට අද කාඩ් පාටියකි. ඒ නිසා අත්තිකාරමක් ඉල්ලා ගන්නට අසීරුය. අත්තිකාරම ලැබෙන්නේ හෙටය. අමාරුවෙන් පොරොන්දුව පමණක් ලබාගෙන පැය දෙකක දුරක් ගෙවා රෑ බෝවී පයින්ම ඇය සිය නිවෙසට එනවිට පුතා මියගොස්ය.
මාක්ට්වේන්ගේ බක්ෆන්ෂෝගේ අවමඟුල අපූරු නිර්මාණයකි. යම්තාක් දුරට හාස්‍යයට නැඹුරු එය භාෂාව සහ සන්නිවේදනය පිළිබඳ සිද්ධාන්තයක් ඉදිරිපත් කරනු වැනිය. බක්ෆන්ෂෝ යනු නෙවාඩාහි ආකර කම්කරුවන් වෙසෙන නගරෝපාන්තයක විසූ කුප්‍රකට පුද්ගලයෙකි; ධනවතෙකි. එහෙත් ඔහු පොදු ජනයාට උදවු කරන්නෙකි. ඔහු මළ හේතුව සොයා ගත නොහැකි වූ නිසා එය දේව ශාපයක් බව තීරණය කැරිණි.මේ ආකර ප්‍රජාව හරි ආකාර ආගමක් අදහන්නෝ වූහ. එහෙත් පූජකයකු ලවා අවමංගල දේව මෙහෙය පැවැත්විය යුතුය. පූජකයා කාරණය දන්වා කැඳවාගෙන එන්නට ස්කොට් නම් අයකුට පැවරෙයි. මේ නවාඩා ප්‍රජාවගේ භාෂාව ඔවුන්ටම අනන්‍ය එකක් බව අපට මුලදීම දැන ගන්නට ලැබේ. එය කිසියම් ආකාරයක අප භාෂාවකි. හෙවත් බජාර් බසකි. වසමට අලුතින් පත්ව ආ තරුණ පූජකයාට මේ බස ගැන කිසිම අවබෝධයක් නොමැත. ස්කොට්ට තමන් වහරන බසින් පූජකයාට තමා ආ කාරණය සන්නිවේදනය කරන්නට බොහෝ වේලා ගත වෙයි. කෙසේවෙතත් පූජකයා අවමඟුලට පැමිණෙයි. මේ අතර මෙතෙක් ආගමක් දහමක් නැතිව සිටි ස්කොට් කතෝලික දහම ගැන පැහැදී එය වැලඳ ගනී. ඔහු බයිබලය කියවා වටහාගෙන තමන්ගේ බසට පරිවර්තය කර ළමුන්ට ඒවා කියා දෙයි. ළමෝ මහත් අභිරුචියෙන් ඒවා අසා දහමට නතු වෙති.
මෙහි එන කාබුල් මාමා නම් කතාව තාගෝර් විසින් 1892දී රචිත‘කාබුලිවාලා’හි පරිවර්තනයකි. එය කිහිප වරක්ම සිංහලයට පරිවර්තනය වී ඇති බව මතකය. එසේම එය පාදක කැර ගනිමින් බෙංගාල චිත්‍රපට දෙකක් සහ හින්දි චිත්‍රපට දෙකක් නිමැවී ඇති අතර, රූපවාහිනී සෝප් ඔපෙරාවකට ද ගෙන තිබේ. ඉහත හින්දි චිත්‍රපට දෙකෙන් දෙවැන්න 2017 වසරේ නිපදවන ලද්දකි. එයින් එහි ඇති කාලීන වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලැබෙනු ඇත. ඈත ඇෆ්ගනිස්තානයේ කාබුල් සිට එන රහුමාට් නම් මිනිසකු කල්කටා නුවර වීදි දිගේ පයින් යමින් පලතුරු විකුණයි. එහි එක්තරා නිවෙසක වෙසෙන ලේඛකයකුගේ කුඩා දියණියක් ඔහුට ආසක්ත වෙයි. මේ දැරිය ඔහුගේ දියණිය හා සම වියේය. දෙදෙනා අතර ඇතිවන සම්බන්ධයට දැරියගේ මව එතරම් කැමැත්තක් නොදක්වතත් පියාගේ අකමැත්තක් නොමැත. ඔහු දැරියට දිනපතා පලතුරු දෙයි. පියා ඒවාට මුදල ගෙවතත් ඔහු ගන්නේ අදිමදිකරමින් සුළු මුදලක් පමණි. කිසියම් දවසක ඔහු මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන නඩු අසා අච්චු කරනු ලැබේ. හිරෙන් නිදහස් වන ඔහු කෙළින්ම යන්නේ සිය මිතුරු දැරිය බලන්නටය. මෙය සර්වකාලීන මානුෂ ගුණයෙන් සපිරි කතාවක් ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක් වූවකි.
ඉහතින් දැක්වුණු කතා මෙන්ම අනෙක් ඒවා ද මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරමින් රචිත නිර්මාණාත්මක බවින් ඉහළ මට්ටමක පවතින ඒවා වීම විශේෂයකි.
‘අත්තිකාරම’ජයතිලක ද සිල්වාගේ කෘතියකි.