පරණ ලිහිණිට ආදරේ කරන පිරිස තාමත් මාව පිළිගන්න සූදානම් නැහැ | Page 2 | සිළුමිණ

පරණ ලිහිණිට ආදරේ කරන පිරිස තාමත් මාව පිළිගන්න සූදානම් නැහැ

මං ගොඩක් උත්සාහ කළා ලිහිණිට සාධාරණයක් කරන්න

ජනප්‍රිය කෙනෙක් දීර්ඝ කාලයක් කළ චරිතයක් කරන්න ලැබීමම අභියෝගයක්

ටෙලි නිර්මාණයක රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක එහි නිමාවට පෙර හදිසියේ ඉන් ඉවත්වීමෙන් එම ටෙලි නිර්මාණයට විශාල හානියක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් තමාගේම කෙනෙකු මෙන් සිතින් බදාගත් චරිතයක් එකවරම නැතිවීම ප්‍රේක්ෂක සිත් ව්‍යාකූලත්වයට පත්කරන්නකි. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතය ද නිර්මාණයට එලෙස ජීවයක් දුන් චරිතයකි. ලිහිණිට පණ පෙවූ රංගන ශිල්පිනිය හදිසියේ ඉවත්වීමෙන් ඒ චරිතයට ආදේශ වෙමින් ඒ අභියෝගය පිළිගන්නට සිදුවූයේ ඇයටයි. ඇය නවක රංගන ශිල්පිනියක වන උපේඛා රවිහාරී රණසිංහය.

 

ලිහිණිට ලැබෙන ප්‍රතිචාර කොහොම ද උපේඛා?

ප්‍රතිචාර පොසිටිව් නෙගටිව් දෙකම තියෙනවා. පරණ ලිහිණිට ආදරේ කරන පිරිස තාමත් මාව පිළිගන්න සූදානම් නැහැ. ඒත් මං වටේ ඉන්න මගේ නෑදෑයෝ යාළුවෝ ඇතුළු පිරිසක් මට හොඳ ප්‍රතිචාර දක්වනවා.

 

ලැබෙන නෙගටිව් ප්‍රතිචාරවල ඔයාට බැණපු ඒවත් ඇති නේද?

සමහරු මට බැණලත් තිබුණා. මුලින් මුලින් මං ඒ කමෙන්ට් බැලුවා. පස්සෙ බලන්නේ නැතුව හිටියා. මේක ලංකාවනේ. සමහරුන්ට බණිනවා. සමහරුන්ට හොඳ කියනවා. ඒ වගේ දෙගොල්ලක් ඉන්න ඕන. නැත්නම් සමතුලිතතාවක් නෑනේ.

 

ලිහිණි කියන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක්. හදිසියේම ඒ වගේ චරිතයක පුරප්පාඩුවකට ආරාධනා ලැබුණම බයක් හිතුණෙ නැද්ද?

ලිහිණි කියන්නේ මේ නිර්මාණය පුරාම දුවන චරිතයක්. ඒ වගේම ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබපු චරිතයක්. ප්‍රේක්ෂකයන් හුරුවෙලා හිටියේ පරණ ලිහිණිගෙ රූපෙට වගේම රංගනයට. හදිසියේම වුණු මේ වෙනස ඔවුන්ටත් ගැටලුවක් වෙන්න ඇති. මේක මගේ පළමු රංගන අත්දැකීම. මං රංගනය හදාරපු කෙනෙකුත් නොවෙයි. මටත් බයක් දැනුණා. මේක කොහොමද කරන්නෙ, මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයි ද කියලා. මං උත්සාහ කළා උපරිමයෙන්ම කරන්න. තාමත් උත්සාහ කරනවා ඒ චරිතය හොඳින් කරන්න.

 

උපේඛාට මේ අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

2021 ටීවී දෙරණ අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය ලැබුණෙ මට. සාමාන්‍යයෙන් දෙරණ ඔවුන්ගේ වැඩසටහන්වල ජයග්‍රාහකයො කවදාවත් අමතක කළේ නෑ. මටත් මේ ලැබුණෙ එවන් අවස්ථාවක්. දෙරණ වැඩසටහන් නිෂ්පාදිකාවක් වන සුබා අක්කයි දෙරණ උප සභාපති ලක්සිරි සර් නිසා තමයි මේ අවස්ථාව මට ලැබුණේ.

 

උපේඛා හිතනවද ලිහිණි තුළ ඔබ සාර්ථකයි කියලා?

හැමදාම මං ඉන්න ටික නැවත නැවත බලනවා. එතැනදී මට හිතෙනවා මට තව හොඳට කරන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ ෂූටින්වලදී මං තවත් උත්සාහ කරලා උපරිමයෙන් කරනවා. මං ගොඩක් උත්සාහ කළා ලිහිණිට සාධාරණයක් කරන්න. ඒක ටිකක් අමාරු වැඩක්. තවමත් උත්සාහ කරනවා.

 

උපේඛාට හිතුණෙ නැද්ද තව කෙනෙකුගේ චරිතයකට අතරමැදදි සම්බන්ධ වෙද්දි තමන් තමන්ටම කරගන්නෙ ආසාධාරණයක් කියලා?

ලැබුණු අවස්ථාව ගැන මට සතුටුයි. මං හිතන විදිහට මේක මගේ වාසනාවට ලැබුණු දෙයක්. මේ මගේ පළමු නිර්මාණය. ඒ වගේම වෙන ජනප්‍රිය කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ කළ චරිතයක් කරන්න ලැබීමම අභියෝගයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම හිතෙන්නෙ නැහැ මට අසාධාරණයක් වුණා කියලා.

 

ගෙදරින් ඔබේ රංගනයට ලැබෙන සහාය ගැන කිවුවොත්?

ගෙදරින් මට ලොකු සහායක් ලැබෙනවා. පවුලේ එකම ළමයා මං. අම්මා තමයි මට ගොඩක්ම උදවු කරන්නේ. මගේ හෙවණැල්ල වගේ පස්සෙන්ම ඉන්නේ මගේ අම්මා.

 

ආදරවන්තයා ඔබේ රංගනයට තහංචි දාන්නෙ නැද්ද?

නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහුත් මගේ රංගන කටයුතුවලට උදවු කරනවා.

 

Comments