ජීවන රඟමඬලට සමුදුන් සොඳුරු නාට්‍යවේදියා කේ.බී. හේරත් | Page 2 | සිළුමිණ

ජීවන රඟමඬලට සමුදුන් සොඳුරු නාට්‍යවේදියා කේ.බී. හේරත්

ඉස්පිරිතාලේ ලෙඩ්ඩු පණ අදිනවා මිනී පෙට්ටි සාප්පුවට ඇහෙනවා. සාප්පුවේ පෙට්ටිවලට ඇණ ගහනවා ඉස්පිරිතාලෙට ඇහෙනවා.” මේ දෙබස් කාණ්ඩය ඇතුළත් වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතාගේ “මායාදේවි” වේදිකා නාට්‍යය තුළය. විවෘත ආර්ථිකයේ අනාගත අනිටු ප්‍රතිවිපාක තේමාව කොටගත් මෙම වේදිකා නාට්‍යය සර්ව කාලීන නිර්මාණයකි.

 

කේ. බී. හේරත් මහතා මෙරට සිටි විශිෂ්ටතම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ කරුවෙකි. කපුරු බණ්ඩා හේරත් හෙවත් කේ. බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ‘නවගත්ත‘ නම් පිටිසර ගමෙහි ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඉන් අනතුරුව 1962 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹිය.

1965 වසරේ සිට වසර කිහිපයක් ඉංග්‍රීසි සහ ඉතිහාසය ගුරුවරයෙක් ලෙස ද කටයුතු කළ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු ලෙසද ටවර් හෝල් නාට්‍ය පාසලේ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන්නට විය.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙසද යොවුන් නාට්‍ය උෙලළේ විනිසුරු මණ්ඩලයේද ජාතික නාට්‍ය මණ්ඩලයේද කේ. බී. කලක් කටයුතු කර ඇත. ඔහු කලාවට සිදු කළ සේවය අගයමින් පසුකාලීනව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධියක්ද පිරිනැමීය.

වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වූ කේ. බී. හේරත් ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 1979 වසරේදී ප්‍රාදේශීය ශිල්පීන් සමඟ මුලින්ම ‘සුදු කරල්’ වේදිකා නාට්‍යය රචනා කරමිනි. සුදු කරල් නාට්‍යයට පාදක වන්නේ 71 කැරැල්ල හෙවත් තරුණ පරම්පරාවේ ඛේදයයි.

ඉන් අනතුරුව කේ. බී. හේරත් වේදිකාවේ සිය ස්වකීය නිර්මාණ පෞරුෂය විදහා දක්වන්නට විය. ඒ ඔහු 1984 වසරේදී නිර්මාණය කරන ලද ‘මායාදේවි‘ සමඟිනි. 1984 වසරේ ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් නාට්‍ය කිහිපයක්ම බිහි වුව ද ඒ සියල්ල අබිබවමින් ‘මායාදේවි‘ නාට්‍යය ප්‍රේක්ෂක අවධානය ලබා ගන්නට සමත් විය.

එපමණක් නොව රාජ්‍ය නාට්‍ය උලෙළේදී නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය ඇතුළු ප්‍රධාන සම්මාන සියල්ලම පාහේ දිනා ගන්නට ද හැකි විය. ඒ නිසාම කේ. බී. හේරත් නාට්‍යවේදියාගේ නාට්‍ය කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ‘මායාදේවි‘ හැඳින්විය හැක.

හොඳම වේදිකා නාට්‍යය සුදු කරල් (1979), හොඳම අධ්‍යක්ෂණය මායාදේවි(1985) හොඳම අධ්‍යක්ෂණය නාග ගුරුළා (1992), හොඳම තිර පිටපත දෝන කතිරිනා (1994), හොඳම තිර පිටපත සහ අධ්‍යක්ෂණය දෙවෙනි මහින්ද (1998), හොඳම තිර පිටපත සහ අධ්‍යක්ෂණය වාසුදේව(2002), හොඳම නාට්‍ය පොත යසෝදරා, හොඳම නාට්‍ය පිටපත කළු කුමාරි(2012), හොඳම තිර රචනය හා හොඳම නාට්‍ය ග්‍රන්ථය ලෙස ජගන්මා (2017) සඳහා මොහු සම්මාන ලබා ඇත.

වයඹ ප්‍රසාදිනී, රත්නදීප, ලෝක නාට්‍ය උලෙළ සම්මානය ආදී වේදිකා නාට්‍ය වෙනුවෙන් හිමි සම්මාන පනහකටත් වඩා හිමිකර ගත් කේ. බී. හේරත් 2018 වසරේදී ලංකාවේ නාට්‍යකරුවකුට හිමි වන ඉහළම සම්මානය වන ‘නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලැබිය.

වේදිකාවට පමණක් සීමා නොවූ ඔහු ටෙලිනාට්‍ය පිටපත් 500ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200ක් පමණ රචනා කර ඇත. ‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා, සක්විත්තෝ, ඉසිවර අසපුව, ඉති අතු, ගිරිදෙරණ, සඳගිරි පව්ව, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, දියවඩන මළුව, ටිකිරි නිලමේ, සසර සෙවණැලි ඔහු රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි. ඉංගම්මාරුව ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍යද ඔහු රචනා කළේය.

වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමටද සහාය වී ඇති කේ.බී. හේරත් ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටයන්වල තිර රචකයාද විය. එමෙන්ම ඔහු විසින් රචිත පිටපත් ගණනාවක් කෘතීන් ලෙස ද පළ කර ඇති අතර එම නාට්‍ය පිටපත් වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි වී ඇත.

ඔහු සැමවිටම ස්වාධීන චරිතයක් විය. කිසි කලෙක ඉහළ පැළැන්තියේ ජීවිතයක් ප්‍රිය කළේ ද නැත. බිරිය සහ දියණියන් පස්දෙනා සමඟ ලද දෙයින් සැනසී කොට්ටාව රණසිංහ මාවතේ නිදහස් දිවි පෙවතක් ගත කිරීමට හුරු පුරුදු වී සිටි අයෙකි.

කේ.බී. හේරත් සැමවිටම මානව සමාජය විෂයයෙහි දේශපාලනික විග්‍රහයක් කරන්නට නාට්‍යය සතු ශක්‍යතා භාවිතයට ගත් නාට්‍යකරුවෙකි. එමෙන්ම කේ. බී. හේරත් මුළු හදවතින්ම වේදිකාවට පෙම් බැන්ඳ නාට්‍යයකරුවෙකි. එවන් විශිෂ්ට නිර්මාණ බිහි කළ ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් පසුගිය (29දා) හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවන රඟමඬලට ද සමුදුන්නේය. ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසු විය.

ඔහුගේ අවසන් කටයුතු පසුගිය 30 වනදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

සිය නිර්මාණ තුළින් ලාංකීය සුවහසක් ප්‍රේක්ෂක හදවත් පින වූ කේ. බී. හේරත් මහතා ජනහදවත් තුළ සදා ජීවමානයි !!!

 

Comments