කෝටි ගණන් තෑගි ලැබුණ රාහුල්-ආතියා සුපිරි මංගල්‍යය | Page 2 | සිළුමිණ

කෝටි ගණන් තෑගි ලැබුණ රාහුල්-ආතියා සුපිරි මංගල්‍යය

ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කන්නවුර් ලෝකේශ් රාහුල් හෙවත් K. L. රාහුල්ගේ තනිකඩ ඉනිම පසුගිය සතියේදී නිමා වුණා. ඒ ප්‍රවේගකාරී දකුණත් පිතිකරුවා සුරූපී නිළි ආතියා ෂෙට්ටිගේ ආදරය හමුවේ දැවී යාම හේතුවෙනි. ආතියා විසින් කළ ඉල්ලීම තුන්වැනි විනිසුරුවරයා වූ සුනිල් ෂෙට්ටි විසින් එක පයින්ම අනුමත කර තිබුණේ බොලිවුඩය සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති නෑදෑකම නව වටයකින් අලුත් කරමිනි.

 

2014 අවුරුද්දේ සිට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නැතුවම බැරි වැඩකාරයෙක් වෙලා ඉන්න රාහුල්ට දැන් වයස අවුරුදු 30ක්. ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් ආකෘති තුනේම ශතක වර්තා කළ ඔහුගේ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 75කට වැඩියි කියලයි කියන්නේ. ඉන්දියානු සිනමාවේ සදාකාලික තරුණයා වන සුනිල් ෂෙට්ටි සහ අධ්‍යක්ෂිකා මානා ෂෙට්ටගේ දියණිය වන ආතියාත් රාහුල්ගේ සම වයසෙමයි. 2015 වසරේදී HERO චිත්‍රපටියෙන් රිදී තිරයට පිවිසි ආතියා මේ වෙනකොට සිනමාපට 3ක ප්‍රධාන චරිත නිරූපණය කර අවසන්.

රාහුල් හා ආතියා අතර ආදර කතාව පටන් අරගෙන තියෙන්නේ 2019 ලු. ටික කාලයක් කාටත් කාටත් හොරෙන්ම වැඩි දියුණු වුණු මේ සම්බන්ධෙ මුලින්ම එළිවෙලා තියෙන්නේ වික්‍රම් කියන ආතියගේ ළඟම යාළුවෙක්ගේ ඕනවට වැඩි විහිළුවක් නිසා. INSTAGRAM එකේ ආතියා දාපු ෆොටෝ එකකට වික්‍රම් දාපු එක ‘හින්ට්’ උත්තරයක් නිසා මේ රහස් ආදර කතාන්දරය ලෝකයට එළි වුණා කියල තමයි කියන්නේ. ටික ටික ඕපාදුප වැඩි වෙන නිසාම අන්තිමට රාහුල් INSTAGRAM එකෙන්ම මේ සම්බන්ධය තහවුරු කරලා තියෙන්නේ දෙන්නා එකට ඉන්න ජායාරූපයක් මුදාහැරලා. රාහුල් ගැන බලාපොරෝත්තුවෙන් සිටිය ඉන්දියානු තරුණියන් දහස් ගණනක් අඬවපු ඒ විශේෂ දවස තමයි 2020 ජනවාරි 1.

කෙසේ වුවත් අවුරුදු 3කට පස්සේ මේ දෙන්න හැමෝගෙම ආශිර්වාදෙන් එකට එක් වුණා. ඒ විශේෂ දවසේ සුනිල් ෂෙට්ටි නම් හිටියේ පොළොවට අඟල් කීපයක් උඩින්. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකයාගේ මාමා වෙන්නත් හැමෝටම බැහැනේ. කොහොම වුණත් මේ උත්සවයට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමෙන් සහභාගී වෙලා තිබුණේ ඉෂාන්ත් ශර්මා විතරයි. ඉන්දියානු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයෝ ඔක්කොම කිවියොත් එක්ක තරගාවලිය නිසා කාර්යබහුල වීම තමයි එයට හේතුව. ආතියාගේ ළඟම මිතුරිය ඩයනා පන්ටි වගේම ජැකී ශරෝෆ්ගේ දියණිය ක්‍රිෂ්ණාත්, බොනී කපුර්ගේ දියණිය අනුශ්ලාත් විවාහයේ විශේෂ ආරාධිතයන් අතර කැපී පෙනුණා. එදා දවසේ පාන්දරම සුනිල් ෂෙට්ටිට පළමු ඇමතුම ලැබුණේ අවුරුදු 30 වැඩිය පැරණි මිත්‍රයෙක්ගෙන්. ඒ තමයි ‘දිල්වාලේ’ සිනමාපටයේ සුනිල්ගේ සහය නළුවා වු අජේ දේව්ගන්.

විවාහයට ආවේ නැතත් තමන්ගේ සගයාගේ අලුත් ඉනිමට සුබ පතන්න විරාත් කෝලි අමතක කළේ නැහැ. රාහුල් වෙනුවෙන් විරාත් ඉන්දියානු රුපියල් කෝටි 2.17 ක් වුණු BMW වර්ගයේ කාරයක් තෑගී ක‍ළේ අනුශ්කාගේ සුබ පැතුම්ද එක්කයි. රාහුල් ඉන්දියානු කණ්ඩායමට තෝරා ගන්න මුල්වුණු හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිගේ ත්‍යාගය වුණේ කවසාකි NINJA වර්ගයේ යතුරු පැදියක්. ඒ සුබපැතුමේ වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 80ක්.

සුනිල් ෂෙට්ටි තමන්ගේ දුව වෙනුවෙන් රුපියල් කෝටි 50 වැඩි වටිනාකමක් තියෙන අති සුඛෝපභෝගී නිවසක් තෑගී කළේ මුම්බායේ ධනවතුන් වෙසෙන ප්‍රදේශයෙන්. සුනිල් එක්ක සිනමාපට ගණනාවක රඟපෑ ජැකී ශරෝෆ් ආතියාට තෑගී කළේ ලක්ෂ 30 වැඩි වටිනාකමක් ඇති ඔරලෝසුවක්. බෝනි කපුර්ගේ පුත්‍රයා වෙන අර්ජුන් කපුර්ගේ තෑග්ග වුණේ කෝටි 1.5 වටිනා බ්‍රේස්ලට් එකක්. බොලිවුඩයේ හැමෝටම තෑගී දෙන සල්මන් මොකුත්ම දුන්නේ නැද්ද? කෙනෙක්ට එහෙමත් හිතෙන්න පුළුවන්. සල්මන් ආතියා වෙනුවෙන්ම විදේශයෙන් ගෙන්වපු AUDI කාරයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 1.64ක්ලු.

රාහුල් -ආතියා දෙන්නගේ විවාහයට සහභාගී වුණේ පවුලේ සමීපතමයන් 100 දෙනක් විතරයි. මේ විවාහයේ උත්සවය එළඹෙන IPL තරගාවලියෙන් පස්සේ ජයටම පවත්වන්න සුනිල් ෂෙට්ටි නම් දැන්ම ඉඳන්ම සුදානම් වෙනවා කියලත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. මේ වසරේ ඉන්දියාවේ තියෙන දැවැන්තම විවාහ උත්සවයක් වෙන මේ උත්සවයට ලෝකේ නොයෙක් රටවල ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම, ඉන්දියානු සිනමාවේ දැවන්තයොත් සහභාගී වෙන්න නියමිතයිලු. මිට වැඩිය තෑගී බෝග ගොඩක් එදාට ලැබෙන්නත් නියමිතයි. ඒ විතරක් නෙවෙයි, සමහර විට ඒ වෙනකොට රාහුල් ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමේ නායකයා වෙලා ඉන්නත් බැරි කමක් නැහැ.

 

Comments