වාරියපොළින් මන්නාරමට පන්නන්න ගිය පුපුරන ද්‍රව්‍ය ලොරිය ඇල්ලූ ‘පොලිස් නුවණ’ | සිළුමිණ

වාරියපොළින් මන්නාරමට පන්නන්න ගිය පුපුරන ද්‍රව්‍ය ලොරිය ඇල්ලූ ‘පොලිස් නුවණ’

 

ලොරිය ඇතුළේ රහස් කුටියක ඩෙටනේටර් සේවා නූල් සහ පුපුරන ද්‍රව්‍ය

රියැදුරුගේ 'හදිසිය' නිසා ගෝලයාටත් මාංචු වැටෙයි

මාළු මරන්න ගෙන යනවා කී කතාව බොරුවක්

 

පොලිස් නිලධාරින් සූක්ෂ්මව සිය බුද්ධිය මෙහෙයවා සිදු කරන රාජකාරිවලදී අනාවරණය කර ගැනීමට හැකි වන අපරාධ මෙපමණකැයි කියා ගණනය කළ නොහැකිය. බොහෝ විට සමස්ත සමාජයටම පොලිසියේ රාජකාරියේ ඇති වැදගත්කම දැනෙන්නේ යම් දෙයක් සිදු වීමට පෙර හෙළිකර ගන්නා අනාවරණ තුළිනි. අපරාධ බොහෝ විට අනාවරණය කර ගැනීමට හැකි වන්නේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියාගේ සූක්ෂ්ම බුද්ධිය නිසාය. සරලව කිවහොත් යම් අපරාධයක් හඳුනා ගැනීමේ ඉව පොලිස් නිලධරයනට ලැබෙන්නේ පුහුණුව නිසාය.

මේ එවන් ඉවක් ඇති පොලිස් නිලධාරින් පිරිසක් සූක්ෂ්මව සිදු කළ විමර්ශනයකදී අත්කර ගත් සාර්ථක ප්‍රතිඵලයක් ගැන කියැවෙන කතාවකි.

කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් බිංගිරිය පොලිසියේ ස්ථානාධිපති හැරිසන් සෝමසිරි ඉකුත් 23 වැනිදා කුරුණෑගල හලාවත ප්‍රධාන මාර්ගයේ 'විලත්තව' මාර්ග බාධකයේ රාජකාරිය සඳහා ස්ථානගත කරන්නේ සැරයන් 49141 ඩබ්ලිව්.කේ.ඒ. ජූඩ් සම්පත් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකි. සැරයන් ජූඩ් සම්පත් කෙනකුගේ හැසිරීම් රටාව දිහා බලා හා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ගේ හැසිරීම් රටාව ඉතා සූක්ෂ්මව අධ්‍යයනය කළ හැකි දක්ෂ නිලධරයෙකි. ඔහු මීට පෙර සිදු කළ විමර්ශන කීපයක් ද ඉතා සාර්ථක වූයේ ඒ නිසාය.

මෙම පොලිස් නිලධාරින් මෙසේ විලත්තව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී එදින මධ්‍යම රාත්‍රී 12.22 ට පමණ කුරුණෑගල දිසාවේ සිට හලාවත දක්වා ගමන් ගන්නා කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කෙළේ එය පරීක්ෂා කිරීම සඳහාය.

පොලිස් නිලධාරින්ගේ ඒ අණත් සමඟ ලොරිය නවත්වා කඩිනමින් එහි රියැදුරු සහ සහායක පොලිස් නිලධාරින් දෙසට ආවේ රියැදුරු බලපත්‍රය ඇතුළු අදාළ ලියකියවිලි රැගෙනය. ඔවුන් එලෙස පැමිණෙන්නේ තමන් හදිසි රාජකාරියකට යන බව පොලිස් නිලධාරින්ට ඒත්තු ගන්වමිනි.

මේ අයගෙන් ප්‍රශ්න කිරීමටත් පෙර ඔවුන් ඉස්සර වීම ද පොලිස් නිලධාරීන්ගේ සැකයට තුඩු දෙන කරුණක් විය.

“අපි සර් මේ වුවමනාවකට වාරියපොළට ගියා... හලාවත හරහා මන්නාරමට යන ගමන්. මේ මගේ ලයිසන් එක. මේ ආදායම් බලපත්‍රය” නොනවත්වා එක දිගට එසේ කියමින් අදාළ ලියකියවිලි එකිනෙක පොලිස් නිලධාරීන් වෙත ලබා දීමට ලොරි රථයේ රියැදුරු වහ වහා කටයුතු කළේය.

ලොරි රියැදුරුගේ හැසිරීම් රටාව දිහා ඉතා ඕනෑකමින් බලා සිටී සැරයන් ජූඩ් සම්පත්ට මේ දෙදෙනා ගැන දැඩි සැකයක් මතු විය. පසුව නැවතත් ඔවුන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කළ සැරයන් ජූඩ් සම්පත් ඇතුළු පොලිස් නිලධාරීන් මේ දෙදෙනාගේ ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් ලොරිය පරීක්ෂා කිරීමට කටයුතු කළේය.

ලොරියේ පිටුපස තට්ටුව ඉතා ගනකම් යකඩවලින් සාදා තිබුණ අතර එය තවදුරටත් පරීක්ෂා කිරීමේදී එම තට්ටුව සහ ලොරියේ සැකිල්ල අතර කිසියම් පරතරයක් තිබෙන බව පොලිස් නිලධාරින්ට හඳුනා ගැනීමට ලැබිණි. අනතුරුව දැඩි පරිශ්‍රමයක් යොදා එම යකඩ තට්ටුව එසවීමට පොලිස් නිලධාරින් කටයුතු කරන ලදි. එහිදී නිලධරයනට දැකගත හැකි වූයේ ලීවලින් සැකසූ කුඩා ප්‍රමාණයේ කුටිවල පුපුරන ද්‍රව්‍ය තොගයක් සඟවා තිබෙන බවය. ඉතා සුරක්ෂිත ලෙස එම පුපුරන ද්‍රව්‍ය එහි ගබඩා කර තිබිණි.

'ජෙලට්නයිට්' නමැති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය පිරවූ අඟල් අටක් දිග සහ වට අඩි තුනක ප්ලාස්ටික් බට අසූ නවයක්, පිපිරවීම් සඳහා යොදා ගන්නා 'සේවා නූල්' අඩංගු ඇසුරුම් විසි එකක්, බෝම්බ පිපිරීම් සඳහා ගන්නා විදුත් ඩෙටනේටර් නවසීයක් අඩංගු පෙට්ටි නවයක් මෙම රහස් කුටිය තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකි විය.

අනතුරුව පොලිස් නිලධාරින් මේ සම්බන්ධව බිංගිරිය පොලිස් ස්ථානාධිපති හැරිසන් සෝමසිරිට දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පුපුරණ ද්‍රව්‍ය තොගය, ලොරිය සහ සැකකරුවන් බිංගිරිය පොලිසියට රැගෙන ගොස් විමර්ශන සිදු කිරීමට කටයුතු කළහ. පසුව සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන ගොස් අලෙවි කරන බවය.

මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන එන්නේ වාරියපොළ ප්‍රදේශයෙන් බවට ද හලාවත ඔස්සේ මන්නාරමට ගමන් කිරීමට සූදානමින් සිටි බව ද මෙහිදී හෙළි විය. කෙසේ වෙතත් මේ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මීට වසර කීපයකට පෙර ගල්ගමුව ප්‍රදේශයේදී මෙවැනිම ආකාරයට පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේදී පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විමර්ශන නිලධාරීන් පවසන්නේ ලොරිය ඇතුළත ඉතා සූක්ෂමව මෙසේ පුපුරන ද්‍රව්‍ය රැගෙන යාම සම්බන්ධයෙන් මේ කියන කතාව පිළිගැනීමට නොහැකි බවයි. පුපුරන ද්‍රව්‍ය මසුන් මැරීමට යොදා ගන්නා බව ප්‍රකාශ කළේ සැකකරුවන් විසිනි. සැකකරුවන් දෙදෙනා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු අවුරුදු 33 සහ 34 වියේ පසුවන්නෝ වෙති.

ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අතර සැකකරුවන් පැය 72 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

කුලියාපිටිය කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන සහ සහකාර පොලිස් අධිකාරී අබේරත්නගේ උපදෙස් මත බිංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරිගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන 49141 ඩබ්ලිව්.කේ.ඒ ජූඩ් සම්පත්, 68428 බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන 95296 කරුණාරත්න, 32272 ප්‍රභාත්, 86113 මුතුනායක යන නිලධාරහෙු විමර්ශන කටයුතු සිදු කරති.

 

Comments