ඉන්දියාවෙන් මෙරටට ගෙනා රත්තරන් ක්‍රෙඩිට් කාඩ් | සිළුමිණ

ඉන්දියාවෙන් මෙරටට ගෙනා රත්තරන් ක්‍රෙඩිට් කාඩ්

ය 30 හැවිරිදිය. ඕ ගම්පහ, කඩවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය නිතර මෙරට සහ ඉන්දියාව අතර ගුවන් ගමනේ යෙදුණේ ව්‍යාපාර කටයුතු සඳහාය. මේ කාන්තාවගේ ඉන්දීය ගුවන් ගමන් පිළිබඳව ඉන්දීය ආදායම් බුද්ධි අංශයේ ( Directorate Of Indian Revenue Intelligence) නිලධාරීන්ගේ සුවිශේෂී අවධානය දීර්ඝ කාලයක් යොමු වී තිබුණේ දිගින් දිගටම ඇය ඉන්දියාවට පැමිණීමේ රහස කුමක්දැයි අනාවරණය කර ගැනීම සඳහාය.

මෙසේ ඉන්දීය බුද්ධි නිලධාරීන් මේ ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳව විමසිල්ලෙන් සිටිය දී ඇය 'සිය ගුවන් ගමන් ජාලය' එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා ව්‍යාප්ත කළාය.

මේ සිදුවීම පිළිබඳව විශේෂ අවධානයෙන් පසු වූ ඉන්දීය ආදායම් බුද්ධි අංශයේ නිලධාරීන් වහාම මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගත්තේය. ඒ මෙරට මේ වන විට පුද්ගල ආදායම් බුද්ධි තොරතුරු විමර්ශන ඒකකයක් නොමැති නිසාය. 

ඒ අනුව මෙරට ශ්‍රී ලාංකික රේගු නිලධාරීන් කණ්ඩායමක් මේ කාන්තාව දැවැන්ත රන් ජාවාරමක් සිදු කරන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන නුදුරු දිනයක් තෝරා ගෙන වැටලීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටියේ හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි.

ඉන්දියාව මෙම ජාවාරම් මර්දනයට දැඩි පියවර අනුගමනය කරන බැවින් මෙම රන් ජාවාරම මෙහෙයවන්නන්, ඉන්දියාව ඔස්සේ මෙරටට රන් ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් මෙවැනි ජාවාරම් සිදු නොකරතැයි රේගු නිලධාරීන් මූලික උපකල්පනයක නිමග්නව සිටින බව අත්දැකීමෙන් දන්නා නිසාය.

මේ කාන්තාවට නිතර මෙසේ ඉන්දියාවට ගුවන් ගමන්වල නිරත වීම සඳහා මුදල් නොමැති බවද, ඇය මෙම රත්තරන් ජාවාරම මෙහෙයවන ප්‍රධානියකුගේ අතකොලුවක් බවට තොරතුරු ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඒ වන විටත් අනාවරණය කර ගෙන තිබුණි.

ඒ ඉකුත් 13 වැනි දා අලුයම් කාලයයි. කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වේලාව අලුයම 01.52 වන විට ගුවන් තොටුපළ වෙත ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානය පැමිණ තිබිණි.

ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ දැවැන්ත මෙහෙයුමක් සඳහා කටුනායක ගුවන් තොටුපළ ඇතුළත ඒ වන විට ස්ථානගත වී සිටි අතර, ඒ පිළිබඳව හෝඩුවාවක් පෙර කී ගම්පහ කඩවත ප්‍රදේශයේ පදිංචි ගුවන් මගී කාන්තාව වෙත සහ ඇය පැමිණි ඉන්දීය ගුවන් යානය වෙත ද ලැබී තිබුණි.

එපමණක් ද නොව ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එනු ලබන රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපළෙන් හොර රහසේ පිට කිරීම සඳහා එම ගුවන් යානය ඇතුළත්, ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය තුළත් තවත් විශේෂ පුද්ගලයන් කීප දෙනෙකුම රැඳී සිටියේ, මෙම රන් ජාවාරමේ ප්‍රධානියකුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේය.

මේ සියලු සූදානම් පිළිබඳව කල් තියා දැනගෙන සිටි රේගු නිලධාරීන් පිරිස මෙම ගුවන් මගී කාන්තාව අසලට ළං වන්නට අනෙකුත් පුද්ගලයන්ට ඇති ඉඩ ප්‍රස්ථා මඟ හැරෙන පරිදි සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කළේ කිසිවකුට නොදැනෙන පරිදිය.

මේ නිසාම ඇගේ සියලු ප්‍රයත්නයන් ව්‍යවර්ථව ගොස් තිබූ අතර, ඇය ඒ වෙනුවට ගුවන් යානයෙන් බැස ගත් පසුව, බොහෝ වේලාවක් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය වෙත නොපැමිණ, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රැඳී සිටිමින් සිය සගයන් වෙත, තමන් රැගෙන විත් ඇති රත්තරන් තොගය හුවමාරු කිරීමට උත්සාහ කළාය. රේගු නිලධාරින් ඒ වන විටත් තමන්ගේ චර්යාව හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බව ඇය නොදැන සිටියාය.

එහෙත් ඇගේ මෙම සියලු උත්සාහයන් ව්‍යවර්ථව ගොස් තිබූ අතර, ඇය මෙවර මෙම රත්තරන් තොගය මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒම සඳහා මෙතෙක් අත්හදා නොබැලූ විශේෂිත ක්‍රමයක් භාවිත කරමින් සිටියාය. එය කටුනායක ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ මෙන්ම මෙරට රේගු ඉතිහාසයේ ද රේගු නිලධාරින්ට අමුතුම අත්දැකීමක් ලබා දුන් වංචනික ක්‍රමවේදයකි.

එනම් විවිධ වාණිජ බැංකු විසින් නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්පත්වල අනුරුවට සෑම ආකාරයකින්ම සමාන වන ආකාරයට සැකසූ 'රත්තරන් කාඩ්පත්' කැරට් 24 රත්තරන්වලින් නිර්මාණය කර තිබුණි. මෙවැනි රත්තරන් කාඩ්පත් 27ක් ඇගේ අත් බෑගයේ තිබුණු පොලිතීන් උරයක බහා තිබුණි. පිටතින් ක්‍රෙඩිට් කාඩ්පත් සේ පෙනුණත් ඇත්තටම මේවා සකස් කර තිබුණේ පිරිසුදු රන්වලිනි. ඇය රේගු නිලධාරින්ගේ භාරයට ගැනෙන්නේ ඉන් පසුවය.

රේගු නිලධාරීන් ගුවන් මගීන් රැගෙන එන අත් බෑගයන් විශේෂයෙන්ම කාන්තාවන් රැගෙන එන අත් බෑගයන් පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නේ ඒවා තුළ ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට අදාළ බඩුබාහිරාදිය තිබිය හැකි බැවින් වන අතර, මේ බැව් දැන සිටි මෙම කාන්තාව ඇතුළු ජාවාරම්කරුවන් පිරිස මෙසේ මෙම රත්තරන් ක්‍රෙඩිට් කාඩ් තොගය ඇගේ අත් බෑගය තුළ රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

මීට අමතරව ඇය සිය ගමන් බෑගයේ තවදුරටත් කැරට් 24 රත්තරන්වලින් නිමා කළ මාළ, වළලු සහ මුදු තොගයක් ගෙනැවිත් තිබූ අතර, මේවා සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 500 ක් වූ අතර ඒවායේ වටිනාකම රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් බව හෙළි විය.

මෙරට මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව සිය පරිහරණය සඳහා භාවිත කරන්නේ කැරට් 22 ස්වර්ණාභරණ වන අතර, ජාවාරම්කරුවන් මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන රත්තරන් කැරට් 24 ඒවාය. ඒවාට 'මාත්තු යොදා' කැරට් 22 රත්තරන් සකස් කරනු ලබයි.

එසේම මෙම නීතිවිරෝධී රත්තරන් ජාවාරම මැඬ පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මෙරටට කැරට් 24 රත්තරන් ගෙන ඒම තහනම් කරමින් අති විශේෂ චක්‍රලේඛයක් ද පසුගිය සතියේ නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.

මීට අමතරව ඇගේ අත් බෑගය තුළ කළු පැහැති සෙලෝටේප්වලින් ඔතන ලද රත්තරන් ජෙල් ( Gold Jel) තොගයක් ද තිබූ අතර, ඒවායේ බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 200 ක් විය. එහි වටිනාකම ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් තක්සේරු කර නොමැති අතර, මෙම ජෙල් තොගය ද රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුතු බව රේගුව තක්සේරු කර තිබේ. ඒ අනුව මෙසේ නීතිවිරෝධී ලෙස මෙම කාන්තාව ශ්‍රී ලංකාවට ගෙන ආ රත්තරන් තොගයේ වටිනාකම රුපියල් දහ හතර කෝටි පහළොස් ලක්ෂ පනස් දහසකට වැඩි වටිනාකමකින් යුක්ත විය හැකි බව රේගු නිලධාරීන් ප්‍රකාශ කරති. එසේම මෙම කාන්තාව ඉතා කෙටි කාලයක් ඇතුළත මේ ආකාරයට ඉන්දියාව ඔස්සේ ඩුබායි සිට සිවු වතාවක් පැමිණ ඇති බව රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීහු සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ඩී.බී.එන්. සමරතුංගගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නලීන් ප්‍රේමරත්නගේ අධීක්ෂණයෙන් රේගු අධිකාරී මාලක විජේසේකර, ස්ථාන භාර නිලධාරී අරුණ ශාන්ත අමරසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන ගයාන් රංග කුමාර, අමිල රත්නායක, රුචිර ජීවානන්ද, ගයාන් රාජරත්න, දිල්රුක්ෂි ගුණතිලක, දක්ෂිත අලහකෝන්, රේගු පරීක්ෂක නිමේෂ් අධිකාරී, රේගු නියාමකවරුන් වන විෂාන් කාවින්ද සහ මලිත් සමරකෝන් යන නිලධාරිහු සිදු කළහ.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සංජය රවීන්ද්‍ර විසින් පවත්වා තිබූ අතර, එහිදී මෙසේ නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ සියලු රත්තරන් රාජසන්තක කිරීමට නියෝග කිරීමට නියෝග කළ අතර මීට අමතරව රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙසද අදාළ කාන්තාවට නියෝග කර තිබේ.

Comments