කිඹුල් කටකට අත දැමීමේ නිදහස | සිළුමිණ

කිඹුල් කටකට අත දැමීමේ නිදහස

ගෝනදූව කවටයාගොඩ ගමේ බොල්ගොඩ ගඟේ අතු ඔයක් වෙත ගිය කිසියම් ක්‍රෑර, නීච නොසන්ඩාලයෙක් කුකුළු බොකු සවිකළ ඇමක් එම අතු ඔයට වීසි කළේය. ඒ මොහොතේදී හෝ ඊට ටික වෙලාවකට පසු එතැනින් ගිය කිඹුලෙක් මේ ඇම ගිල්ලේය. මෙවැනි ඇමක් ගිලින ලද කල්හි එය උගුරෙහිම පැටලේ. අසරණ කිඹුලාට එම ඉරණමට මුහුණ පා දින කිහිපයක්ම අපා දුකක් වින්දේය. කිඹුලාට අත්ව ඇති ඉරණම පිළිබඳ ආරංචිය කටින් කට පැතිර ගිය අතර එම ස්ථානයට ගිය උදාර සංජීව නමැති ගැමියෙක් අන් අය සමඟ එක්ව කිඹුලා ගොඩට ගෙන උගේ කට ඇතුළට අත දමා ඇම ඉවත්කර අසරණ සතා නිදහස් කළේය. කිඹුලාට ඇම ගිල්ල වූ නීචයා අල්ලාගෙන ඌටද එම ඇම ම ගිල්ල විය යුතු බවට අපි යෝජනා කරමු.

කෙසේ වුවද කිඹුල් කටකට අත දැමීම ලෙහෙසි කෙළියක් නොවේ. යම් හෙයකින් අන් අයගේ පාලනයෙන් ගිලිහි කිඹුලා කට වැසුවොත් අත කෙළින්ම නවතින්නේ උගේ කුස තුළය. කිඹුල් කටකට අත දැමීම සඳහා සුවිශාල ධෛර්යයක් ද නිර්භීතකමක් ද කැපවීමේ අවශ්‍යතාවක් ද තිබිය යුතුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නමැති කිඹුල් කටට අත දමාගෙන ඒ තුළ ඇමිණී සිටින ආර්ථික අර්බුදය නමැති ඇම ඉවත් කිරීමේ උත්සාහයක යෙදී සිටී. මේ උත්සාහය හරි ගියොත් මුළු මහත් ජනතාවම (විපක්ෂය නොවේ) ඔහුට හොඳ කියනවා ඇත. එහෙත් වැඩේ මිස් වුණොත් ඔහුගේ අත කිඹුලාගේ බඩ තුළට ගියත් එතෙක් කළ කැප කිරීම නොසලකා ජනතාව ඔහුට බැණ වදිනවා ඇත. (විපක්ෂයත් එක්වෙයි).

මෙයට මාස හත අටකට පෙර ශ්‍රී ලංකාව තිබුණු තැන කිඹුල් කටකටත් වැඩිය දරුණුය. තෙල් හා ගෑස් නැතිව, ප්‍රවාහන පහසුකම් ද නැතිව පාරිභෝගික භාණ්ඩ හිඟයෙන් කරදරයට පත්වෙමින් මේ රටේ ජනයා මහත් වූ දුක් සමුදායක් අනුභව කළහ. එවිට ජනාධිපති පදවිය භාර ගත් රනිල් වික්‍රමසිංහයන් රට යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් කළේය. ඒ එදිනෙදා ජීවිතය සාමාන්‍යයෙන් ගැටගසා ගෙන නොමැරී සිටීමට තරම් ප්‍රමාණවත් තත්ත්වයක් ජනතාවට ඇති කළ විසඳුමකි. මේ රටේ කවුරුත් අද එම විසඳුම භුක්ති විඳිමින් පරපීඩක විනෝදකරුවන්ගේ සහ මුට්ටි කාසිකාර වෘත්තීය සමිතිවල තර්ජනයෙන් තොරව නිදහස් ජීවිතයක් ගත කරති. ඒ අතර මීට දෙතුන් දිනකට පෙර ජනාධිපතිතුමා විශේෂ හෙළිදරව්වක් කළේය. එනම් මේ මාසේ රජයේ ආදායම මෙන් දෙගුණයකටත් වඩා වියදම් ඇති බවය. මේ කතාව වෝහාරික විගණනයක ප්‍රතිඵලයකි. එහි සරල තේරුම නම් රට පාඩු පිට දුවන බවය. අප මෙය සාකච්ඡා කරන්නේ දැන් වුව ද, මීට අවුරුදු 100 කට පමණ පෙර මේ රට පාලනය කළ සුද්දෝ මේ රට පාඩු බව දැන සිටියහ. ඔවුන් මෙය දැන ගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාදන ලද පළමු අය - වැය ලේඛනය අනුසාරයෙනි. ලංකාව ඒ වන විට උණ රෝගියකුව සිටි බවත් මතු යම් දිනයෙක මේ උණ, උණ සන්නිපාතය බවට පත්වන බව එදා සිටි සුද්දන් තේරුම් ගන්නට ඇත. එසේම ලැබෙන පළමු අවස්ථාවේදීම ලංකාවට නිදහස දී මේ රටෙන් ගැලවී පලා යන්නට ද ඔවුන් තීරණය කරන්නට ඇත. සුද්දා ඒ වෙලාවේම ලංකාවට නිදහස දී රට අත් නොහැරියේ මන්දැයි දැන් කෙනෙක් තර්ක කරනවා ඇති. එංගලන්තය ඒ වෙලාවේදී අපේ රටට නිදහස දුන්නේ නම් එය හිරු නොබසින අධිරාජ්‍යයේ ප්‍රතිරූපයට කැළලකි. එවැනි අවස්ථාවලදී අතින් පාඩු කරගෙන කැළල නඩත්තු කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය ඊයේට යෙදී තිබිණ. මේ මොහොතේදී සියලුම දෙනා නිදහසේ අරුමය කතා කරති. එම අරුමය කරුමයක් වීම වැළැක්වීම සඳහා මේ කතුවැකිය අද ලියනු ලැබේ.

නිදහස යනු කුමක්ද? නිදහස සාපේක්ෂය. පැය 24 ම හොඳට කෑම කා කිසිදු බාහිර බලපෑමකින් පසුවන කෙනෙක් තමන් නිදහසේ සිටිතැයි කල්පනා කරනවා ඇත. එහෙත් කෑම බීමෙන් පමණක් නොනැවතී තවත් බොහෝ දේවල් අපේක්ෂා කරන කෙනකුට එය නිදහසක් වන්නේ නැත. 1948 ලැබුණ නිදහසට විරුද්ධ වූ එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන ඇතුළු නායකයන් එම නිදහස ප්‍රමාණවත් නොවන බව කියා එය ප්‍රතික්ෂේප කළහ. එහෙත් රටේ සිටි තවත් පිරිසක් එය ප්‍රමාණවත් නිදහසක් බව කියා නිදහස භාර ගත්හ. එහෙත් පෙරකී දෙපිරිස අතර පවත්නා මතවාදී වෙනස්කම එහෙමමය.

ශ්‍රී ලංකාව නිදහස් රටක් ද? අපේ වැටහීමට අනුව නම් ශ්‍රී ලංකාව අදටත් නිදහස් රටක් නොවේ. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිදහස් නැත. එසේම ඉන්දියාව අපේ රට තුළ ටිකක් වැඩිපුර වැඩ කරන විට අපට චීනයෙන් නිදහසක් නැත. චීනය අපට සහයෝගය දෙන විට අපට ඉන්දියාවෙන් නිදහසක් නැත. ඒ අතර අමෙරිකාව ඇතුළු යුරෝපීය බලවත්තු අපට අනියමින් තර්ජන කරති. කිසියම් පාර්ශ්වයක් ශ්‍රී ලංකාවට ණයක් දෙන්නට උත්සහ කළ විට පිට රටවල සිටින අපේ දෙමළ ඩයස්පෝරාව යකා නටන්නට පටන් ගනී. එවිට පිට රට ඡන්දයක් එද්දී අපේ ඩයස්පෝරාව එම ඡන්දයට පිටුපානු ඇති බව කියමින් අපේ කට්ටිය අපට නිදහස් නැති බව ප්‍රත්‍යක්ෂ කර දෙති.

මේ නිසා නිදහස යනු සිංහල අවුරුද්ද වැනි, නත්තල වැනි, ජාතික උත්සවයක් හෝ රාජ්‍ය උත්සවයක් බවට පමණක්ම පත්ව තිබේ. 1972 දී එවකට පැවති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව අලුත් ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කරමින් ශ්‍රී ලංකාව පූර්ණ ලෙස නිදහස්ව තිබෙන රටක් බව කීවේය. එහෙත් මේ රටේ ජනයා එයින් ද සෑහීමකට පත්ව නැත. එසේ නම් සැබෑ නිදහස කුමක් ද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් තිබිය යුතුය. කෙනකුට එය ආර්ථික නිදහස විය හැකිය. තවත් කෙනකුට එය දේශපාලන නිදහස විය හැකිය. තවත් කෙනකුට එය කතා කිරීමේ නිදහස විය හැකිය. හැබැයි අපේ රටේ මිනිස්සු කතා කිරීමේ නිදහස පාවිච්චි කරන්නේ ඉතාම නීච ලෙසය. ඔවුන්ගේ ප්‍රකාශන නිදහස අතින් ඇල්ලුවත් පිටගැස්ම හැදෙන කඩුවකි. මේ කතුවැකිය අද අප නිමා කරන්නේ කිසිදු විසඳුමක් නැතිවය. හත් අට මාසයකට පෙර දවස් ගණන් තෙල් පෝලිම්වල වේළෙමින් සිටි ඇතැම් පිරිස් අද නඟන අකෘතඥ හඬ ඇසෙන විට අපට හැඟෙන්නේ මේ රටේ ජනයා කිසිම දිනෙක නිදහසට සැබෑ අර්ථ නිරූපණයක් දිය හැකි ජාතියක් නොවන බවය.

Comments