ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාවට ජපන් යෙන් මිලියන 100ක් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාවට ජපන් යෙන් මිලියන 100ක්

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව හා ප්‍රතිසංවිධාන කටයුතු සදහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියා කරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි  ෂුන්සුකේ  ( TAKEI Shunsuke) මහතා සදහන් කරයි.
 
ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිති නීතිඥ ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග අද(03) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.
 
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට සහයෝගය ලබා දෙන රටක් ලෙස ජපානය මුලින්ම ඉදිරිපත්වෙමින් එම අර්බුදය කළමණාකරණය කර ගැනීමට කටයුතු  කිරීම පිළිබදව ජපන් රජයට මෙහිදී ප්‍රථමයෙන් ස්තූතිය පළ කළ අමාත්‍යවරයා නව රජය මාස හයක පමණ කාල පරිච්ඡේදය තුළ ජනතාවාදීව රැඩිකල් තීන්දුවක් ගනිමින් රජයක් ලෙස ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් මානව නිදහස ශකිත්තිමත් කිරීම සදහා නව පනත් 24 ක් ගෙන ආ බවත්, විශේෂයෙන් යුද්ධයෙන් පිඩාවට පත්  උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු නිරාකරණය කර ගැනීමට රජය විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව මෙහිදි සදහන් කළේය.
 
යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් සීයයට 95කට ආසන්න ප්‍රමාණයක ඉඩම් අයිතිය නිරවුල් කිරීමට රජයක් ලෙස කටයුතු කර ඇති බවත්, උතුරු නැගෙනහිරට හදුන්වා දුන් විශේෂ සමථකරණ වැඩ සටහන යටතේ එම වැඩ පිළවෙල ශක්තිමක් වී ඇතැයි මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. 
 
පසුගිය කාලය තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබදව ජනතාවගේ විශ්වාසය ඇති කරමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා ක්‍රියා කර ඇති බවත්, දිගු කාලයක සිට ජපානය මෙරටට ලබා දෙන සහයෝගය වෙනුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කටයුතුවලදී ජපානයට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවත්, අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
 
එමෙන්ම සත්‍ය සෙවීමේ කොමිසමක් මගින් ජාතික සංහිදියා වැඩ පිළිවෙළ ශක්තිමත් කිරීම සදහා නව රජය ගෙන යන වැඩ පිළිවෙළට ජපාන රජය සහ දකුණු අප්‍රිකානු රජය සහයෝගය දැක්වීම පිළිබදව ද ශ්‍රී ලංකාවේ කෘතවේදිත්වය ප්‍රකාශ කළේය.
 
ජපානය ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වශයෙන් අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාවේ රජයට හා ජනතාවට උපකාර කරමින්, හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ සිට ශ්‍රී ජයවර්ධන පුර රෝහල, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වැනි ආයතන ස්ථාපිත කිරීමට ජපානය ලබා දුන් සහාය මෙහිදී සිහිපත් කරමින් ඒ පිළිබදව ශ්‍රී ලංකා රජයේ ස්තූතිය ජපන් රජයටත් ජනතාවටත් පිරිනමන බව අමාත්‍යවරයා පැවසීය.
 
මෙහිදී අදහස් දැක්වු  ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි  ෂුන්සුකේ  ( TAKEI Shunsuke) මහතා සදහන් කළේ  ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා රටක් ලෙස ගෙන යන වැඩ පිලිවෙලට ජපානය අඛණ්ඩව සහාය ලබා දෙමින් සංහිදියා වැඩ පිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
 
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI HIdekei , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය KATUSUKI Kotaro යන මහත්ම මහත්මීන් ඇතුළු ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය හා අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Comments