මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම ක්‍රමයේ වෙනසක් | සිළුමිණ

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම ක්‍රමයේ වෙනසක්

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු සඳහා වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
 
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු විමසමින් ඊයේ (02) පුත්තලම ගොවි නියෝජිතයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
 
මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.  
 
රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම් ලාභී පවුල් සඳහා මාස 02ක් යන තෙක් එම සහල් එක් පවුලකට සහල් කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමට තීරණය කර ඇත.
 
මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් ද , මුදල් අමාත්‍යාංශය ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදීරිපත් කළ බවත්, මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඊට අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඒ අනුව මෙවර මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලයේ මැදිහත් වීමෙන් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මගින් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
 

Comments