සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයීය ‘වාපා‘ නාලිකාව පළමු සංවත්සරය සමරයි | සිළුමිණ

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයීය ‘වාපා‘ නාලිකාව පළමු සංවත්සරය සමරයි

මෙරට විශ්වවිද්‍යාලයක් විසින් අරඹන ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ‘වාපා‘ රූපවාහිනි නාලිකාව හෙට(02) සිය අභිමානවත් පළමු සංවත්සරය සමරයි.
 
වාපා රූපවාහිනි නාලිකාව මේ වන විට PEO TV නාලිකා අංක 123 ඔස්සේ සිය විකාශන කටයුතු  සිදුකරයි. ලංකාවේ සර්වවිධ කලා ක්ෂේත්‍රයන්හි පුරෝගාමීන් බහුතරයකට පදනම සැපයූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තබා ඇති මෙම නව පියවර මඟින් ශ්‍රී ලාංකේය කලාවට ගුණාත්මක සේවයක් ඉටුකරනු ඇත.
 
එමෙන්ම විද්‍යාර්ථීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි කටයුතු කරන සැමට තම නිර්මාණ , පර්යේෂණ, නවෝත්පාදන ආදිය ජනගත කිරීම සදහා උපරිම දායකත්වය වාපා රූපවාහිනී නාලිකාව තුලින් ලබා දෙමින් සිටියි. දේශීය රූපවාහිනී නාලිකා විසින් සෞන්දර්ය, කලාව හෝ ශාස්ත්‍රීය සංකථන සහ තදානුබද්ධ අත්දැකීම් කෙරෙහි හෝ නූතන සමාජ ප්‍රවේශ කෙරෙහි වෙන්කරන ගුවන්කාලය සීමිත හෙයින් අහිමි වු අවස්ථා සහ සබඳතා යළි වර්ධනය කර ගැනීමට සාරභූමියක් ලෙසද මෙම නාලිකාව වර්තමානයේ ක්‍රියාත්මකවේ.
 
විද්වතුන්ගේ අධීක්ෂණයෙන් ප්‍රමිතිය සුරකින ක්‍රියාවලියක් ක්‍රියාත්මක වාපා රූපවාහීනියෙහි අධ්‍යාපනය, කලා නිර්මාණ, දෘශ්‍ය කලා  ප්‍රදර්ශන, ප්‍රසංග, නවෝත්පාදන, සිනමා නිර්මාණ, ශාස්ත්‍රීය සංවාද, කලා තොරතුරු  ආදිය වෙනුවෙන් ගුවන්කාලය හිමිව තිබේ. 
 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය වාපා රූපවාහිනි නාලිකාව නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත වන අතර,එය  මේ වන විට ශිෂ්‍ය අධ්‍යාපනය සඳහා පුහුණු මධ්‍යස්ථානයක් බවටද පත්ව ඇත.මේ වන විට විශ්වවිද්‍යාල විද්‍යාර්ථිහු 150 කට අධික පිරිසක් මෙම නාලිකාවේ පුහුණුව ලබති.
 
කලා ලෝකය,අරුණානන්දය, අර්ථ, මහාචාර්‍ය හෝරාව, ගීතාර්ථ,තක්සලාව,සෞන්දර්‍යා වැනි වැඩසටහන් රැසක් වාපා රූපවාහිනි නාලිකාව තුළ විකාශය වේ. 2023 වසර තුළ වාපා රූපවාහිනි නාලිකාව තුළ නව වැඩසටහන් රැසක් විකාශය කිරීමටද අපේක්ෂිතය.
 
වර්තමාන සමාජ සන්දර්භය තුළ මානව චින්තනය නිසි පරිදි හැඩගැස්සවීමේ කාර්‍යයේදී කලාවට මහඟු මෙහෙවරක් ඉටු කළ හැකි වන අතර, ඒ වෙනුවෙන් වාපා රූපවාහිනි නාලිකාව ගවේෂණාත්මකව භාරධූර කාර්‍යයක් ඉටු කරයි.  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහිතව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 2022 වසරේ දී තැබූ මෙම නව පියවර ශ්‍රී ලාංකේය රූපවාහිනි වංශකථාවේ සංදිස්ථානයකි. 
 

Comments