රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ ඔප්පු පිරිනැමෙයි | සිළුමිණ

රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ ඔප්පු පිරිනැමෙයි

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹේ.
 
නාගරික සංවර්ධන අධිකාරියේසභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අධිකාරියේදී එය ආරම්භ කෙරිණි.
 
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති නිවාස ව්‍යාපෘතිවල පදිංචිකරුවන් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද රජයේ මහල් නිවාසවල ජීවත්වන ජනතාවට කඩිනමින් නිවාස අයිතිය ලබා දෙන බව සදහන් කර තිබිණ.
 
බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් 10 දෙනෙකු සදහා සංකේතාත්මක ව මෙහි දි හිමිකම් ඔප්පු ලබා දුන් අතර අනෙක් නිවාසලාභීන් සදහා කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
 
නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2016 වසරේදී මෙම රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 2020 වසරේදී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. මෙහි මුළු නිවාස ගණන 608 කි. මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 24 කින් සමන්විතයි.
 
මෙහි වර්ග අඩි 678 ක නිවසක් (කාමර 2) රුපියල් ලක්ෂ 85 කි. වර්ග අඩි 850 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 107 ක් වන අතර වර්ග අඩි 880 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 111 කි. රාජ්‍ය සේවකයින් සදහා මෙහි නිවාස ලබා දී ඇත්තේ එකවර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉතිරි මුදල වසර 3 කින් ගෙවා අවසන් කිරීමේ පදනම යටතේයි.  
 
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් කළමණාකරණ) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, අධ්‍යක්ෂ (නිවාස) එම්.එච්.වී. කුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 

Comments