IMF නොමැති විකල්පයක් වේද? | සිළුමිණ

IMF නොමැති විකල්පයක් වේද?

IMF නැතිව විසඳුම් සෙවීමට නම් ආණ්ඩුවේ ආදායම් වැඩිකර වියදම් අඩු කළ යුතුයි
- මහාචාර්ය සිරිමල් අබේරත්න

IMF කොන්දේසි අනුව සුබසාධනය කප්පාදු කළ යුතුයි
- මහාචාර්ය නවරත්න බණ්ඩා

උපයන විට ගෙවීමේ බද්ද මධ්‍යම පන්තියට විශාල ලෙස බලපානවා
- මහාචාර්ය මිල්ටන් රාජරත්න

ජනතාව අනිවාර්යයෙන් ම බදු ගෙවන්න ඕනෑ
- ආචාර්ය ප්‍රියංග දුණුසිංහ

බදු වැඩි කිරීම බංකොළොත්භාවයෙන් ගොඩ ඒ්මේ උපක්‍රමයක්
- මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

ටක් ලෙස අප මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇත. ඒ අනුව අපගේ අපේක්ෂාව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමයි. මේ අර්බුදයෙන් මිදීමට ඒ සඳහා එකඟ වන යම් ආර්ථික ප්‍රතිසංස්කරණ රජයක් ලෙස අප විසින් කළ යුතුව තිබෙයි. මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදය දක්වා අප ගමන් කර ඇත. පසුගිය වසරේදී මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා විස්තීරණ ණය පහසුකම සහ එම අරමුදලේ කාර්ය මණ්ඩලයේ එකඟතාව හිමි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිතව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9කි.

කෙසේ වුවත් පසුගිය කාලය පුරා වඩා ආන්දෝලනයට ලක් වූ බදු පැනවීම සහ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් කොන්දේසි ඉටු කිරීමට රජය ගන්නා ලද උත්සාහයක් ලෙසින් ඇතැම් පාර්ශ්ව විසින් හඳුන්වන්නට විය. සැබැවින් ම විදුලි බිල සහ බදු වැඩි කිරීමට ඇති යෝජනාව සහ බදු වැඩි කිරීම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව සිදු කරන ලද්දක් ද යන්න විවිධ විද්වතුන් විවිධ මත පළ කරති.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන ආකාරයට, ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට එනම් මේ අවස්ථාවේ පවතින ගැටලු සමතයකට පත් කිරීමට ආධාර වන ණය මුදලකුත් සමඟ මූල්‍ය අරමුදලේ කොන්දේසි ගණනාවකට එකඟ වීමක් සිදු වෙයි. මෙය කරුණු දෙකක් ලෙස සැලකිය යුතුය. අපේ රටේ ප්‍රශ්න IMF ප්‍රශ්නයක් නොවෙයි. අප විසින්ම පසුගිය අවුරුදු ගණනාවක් පුරා හදා වඩා ගත්ත ප්‍රශ්නයක් වෙයි. එන්න එන්නම ආදායම් මට්ටමට වඩා වැය වැඩිවීමක් තිබුණි. ආදායමට වඩා වියදම වැඩි වීම යනු ණය ගැනීමකි.

එහි අවසානයේ සිරවීමක් සිදු වෙයි. ඒ අවසාන අදියරට අද අප පැමිණ ඇති අතර, IMF එකක් නැතුව විසඳුම් සෙවීමට හැකි නම් ආණ්ඩුවේ ආදායම් වැඩි කිරීම, ආණ්ඩුවේ වියදම් කපා හැරීම යන කරුණු දෙක ඉටු කිරීමට හැකි විය යුතුය. එනම් IMF නැතුව වුවත් මේ ගැටලුව විසඳා ගත හැකි වෙයි. එසේම මින් පෙර මේ තීන්දු තීරණ ගැනීමට හැකියාව තිබුණ ද එය සිදු නොවිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය නවරත්න බණ්ඩා මේ පිළිබඳව පවසන්නේ IMF වෙත යෑමට නම් ඒ අයගේ කොන්දේසි අනුව අනිවාර්යෙන්ම මෙරටේ සුබ සාධනය කප්පාදු කළ යුතු බවයි. එසේ ම එහි කොන්දේසි විදුලිය සහ බදු වැඩි කළ යුතු වීම මත එය සිදුවිය යුතු බව ද පවසයි.

ඇත්ත වශයෙන්ම මීට පෙර IMF ගියෙ නැති ප්‍රධාන හේතුව IMF එක කියන කොන්දේසි අනිවාර්යෙන් අපි ඉටු කළ යුතු වීමයි. IMF එකේ ණය ආධාර ලැබීමට නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ සුබ සාධනය කප්පාදු කළ යුතුයි. ඒ අනුව රාජ්‍යයේ අදායම වැඩි කර ගැනීමට නම් IMF කියන්නේ පැහැදිලිව බදු වැඩි කළ යුතු බවයි. ඒ නිසා 36% ඉහළම මට්ටමට බදු වැඩි කර ඇත. ඇතැම් පිරිසකගේ හතරෙන් එකක් වැටුපෙන් බදු අය වීමක් සිදු වෙයි. අපේ අවශතා සඳහා අපි 40% දක්වා ණය හෝ වෙනත් දේ ලබා ගෙන ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසන්නේ ජනතාව රටේ සුබ සාධනය භුක්ති විඳින්නේ නම් එනම් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා මහාමාර්ග වැනි සුබසාධන ලබා ගන්නා අතර ජනතාව ඒ වෙනුවෙන් රජයට බදු ගෙවිය යුතු බවයි.

ජනතාව අනිවාර්යයෙන් බදු ගෙවිය යුතුයි. විදුලිය, ආරක්ෂාව, මාර්ග, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය ලබා ගන්නේ නම් බදු නොගෙවා සිටිය නොහැකියි. අනිවාර්යයෙන් බදු ගෙවිය යුතුයි. ඒ ගැන කිසි තර්කයක් නැත. අපේ රටට වඩා වැඩි බදු ප්‍රමාණයක් වෙනත් රටවල අය කෙරෙයි. ව්‍යාපාරිකයෙක් බදු ගෙවිය යුත්තේ ඇයි? ඔවුන් මාර්ගය පාවිච්චි කරයි; ආරක්ෂාව පාවිච්චි කරයි; අනෙකුත් දේවල් පාවිච්චි කිරීමක් ද සිදු වෙයි. මේ කරුණු පැහැදිලි කර දිය යුතුයි. බදු නොගෙවා කෙසේවත් රටක් ඉදිරියට ගමන් කළ නොහැකිය. ඒ නිසා අනිවාර්යයෙන් බදු ගෙවිය යුතුයි. මම කියන්නේ බදු බර සමානව බෙදිල යන ආකාරයට හා සාධාරණ ආකාරයට බදු අය කිරීම සහතික කළ යුතුයි. මිනිස්සුන් තුළ විශාල විපරිත බවක් පවතියි. එයට දේශපාලඥයන්ට වඩා වග කියන්න අවශ්‍ය වන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහචාර්ය මිල්ටන් රාජරත්න බදු වැඩි කිරීම සම්බන්ධයෙන් දක්වන්නේ මීට වෙනස් මතයකි. ජනතාව පිට බර පැටවෙන විවිධ බදු රැසක් පනවා ඇතත් සියලු අංශයන්හි නිසි කළමනාකාරිත්ව නොමැති වීමට මෙයට හේතුවයි. මේ වන විට අපනයන බද්දක් පනවා ඇත. ඒ අනුව විදෙස් වෙළෙඳපොළේ අපේ භාණ්ඩ මිල අධික වෙයි. ඒ අනුව පාරිභෝජනය අඩුවීමෙන් ඉල්ලුම අඩු වෙයි. බදු වැඩි වීමෙන් අපනයන කිරීම දුෂ්කර වෙයි. මේ වෙලාවේ විදෙස් විනිමය අවශ්‍ය වෙලාවකි. නිෂ්පාදනය මත එකතු කරන බද්ධක් පනවා තිබෙන අතර, නිෂ්පාදනය කරන අංශවලට නැවත බද්දක් පැනවීමෙන් භාණ්ඩ මිල වැඩි වෙයි. නිෂ්පාදන අඩපණ වෙයි. එසේම නව බද්දක් පනවා ඇත. උපයන විට ගෙවීමේ බද්ද මධ්‍යම පන්තියට විශාල ලෙස බලපානු ලබයි. බදු අනුපාතය විශාල ලෙස වැඩි වී ඇත. මාසික වැටුපෙන් විශාල ප්‍රමාණයක් බද්ද අනුව අය කිරීමක් සිදු වෙයි. දේශීය පරිභෝජනය විශාල වශයෙන් හැකිළීමක් සිදු වෙයි. මේ දේශීය පරිභෝජනය අඩුවීම තුළ නිෂ්පාදනය අඩපණ වෙයි. ඒ නිසා ආයෝජනයක් සිදු නොකරයි. මෙය ලොකු ආර්ථික ගැටලුවක් බවට පත් වෙයි. ඉල්ලුම් නැතිවීම ඉතුරුම් නැතිවීම නිසා ආයෝජනය අඩු වෙයි.

මේ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් වඩා පුළුල් අදහස් දැක්වීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ බදු පිළිබඳ තවදුරටත් මෙවැනි විග්‍රහයක යෙදෙයි.

මේ බදු වැඩි කිරීමෙන් විශාල බදු බරක් පැටවිලා තියෙන්නේ. ලක්ෂයකට වඩා වැඩියෙන් වැටුප් ලබන සෑම පුද්ගලයකුටම බදු අය කිරීමක් සිදු කර ඇත. එහෙත් වැටුප් ලබන පිරිසකට අමතරව ආදායම් බදු ගෙවන්නෙ නැති එහෙත් ආදායම් ලබන පිරිසක් සැඟවී සිටියි. ඒ පිරිස හරියාකාරව හඳුනා ගෙන බදු දැලට එකතු කර නොගැනීම ප්‍රශ්නයකි. ඒනිසා පැහැදිලිව ඉලක්ක කර අල්ලා ගත යුතුයි. රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට පමණක් බදු ගෙවන්න වී ඇත. බදු ගෙවන්නේ නැතිව සැඟවී සිටින පිරිසෙන් ආදයම් බදු දෙපාර්තමේන්තුව සහ දේශපාලඥයන් බදු අය කර ගත යුතුයි.

ශ්‍රි ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි පොදුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ මේ ආකාරයටය.

ආදායම වියදම් අතර තුලනයක් පවත්වා ගෙන යෑම පුද්ගලයන් ද, කුටුම්භයන් ද, රජය ද ජාතික මට්ටමින් සහ ලෝක මට්ටමින් අනිවාර්යෙන්ම සිදු කළ යුත්තකි. එසේ නැතහොත් හිඟයන් පියවා ගැනීම අපහසු කාර්යක් වන්නේ ය. මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තම හැකියාවෙන් එහා සිදු කරන පරිභෝජනයක් ලෙසයි. ශ්‍රී ලංකාව මේ වැරදි මාර්ගයේ බොහෝ කාලයක් පැමිණ ඇත. එය අද හෝ හෙට හෝ වෙනත් දිනෙක ඉතා ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. එය කිසිවකුගේ උපදෙස් ලැබුණත් නැතත් කළ යුත්තක්මය.

බදු වැඩි කිරීම බංකොළොත්භාවයෙන් ගොඩ ඒමේ උපක්‍රමයකි. මෙය ගෙදරක ආර්ථික අමාරුවක් වූ අවස්ථාවක පවුලේ හැමදෙනාගෙන්ම මුදල් එකතු කිරීමක් වැනිය. එහෙත් පවුලක එසේ එකතු කරන මුදල් නාස්ති කරන්නේ නැත. ජාතික මට්ටමින් එකතු කරන බදු මුදල් ආදිය විවිධාකාරයෙන් නැති නාස්ති වී යයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සිරිමල් අබේරත්න සඳහන් කරන්නේ බදු වැඩි කිරීම හා වියදම් අඩු කිරීම අවශ්‍ය වන්නේ අපිට මිසක IMF එකට නොවෙන බවකි. ඒ නිසා මෙය IMF සම්බන්ධ කර ගත යුතු ප්‍රශ්නයක් නොවෙයි. නමුත් IMF මෙතනට පැමිණීමේ වාසි දෙකක් වෙයි; මෙතෙක් අපි අපිට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍ය වුවත්, එය කිරීමට නොහැකි වුවත් අපි මේ දේවල් කිරීමට IMF හරහා ගිවිසුමකට එකඟ වීමක් සිදු වෙයි. නමුත් IMF සමඟ ජාත්‍යන්තරව නැතිවී තිබුණ ප්‍රතිරූපය වෙනස් කිරීමට මෙය වැදගත් වෙයි. අපේ රට ණය දෙන්න සුදුසු රටක් නොවෙයි, සාර්ව ආර්ථික ස්ථායිතාව සකස් කර ගත නොහැකි රටක් ය යන ප්‍රතිරූපය වෙනස් කිරීමේ හැකියාව IMF එක එකඟ වීමත් සමඟ ඇති විය.

මේ වන විට වඩා කතාබහට ලක්වන විදුලි බිල සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරයි. ඒ සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රියංග දුණුසිංහ දරන්නේ මෙවැනි අදහසකි. පැහැදිලිවම විදුලි බිල වැඩි කළ යුතුයි‍. එයට හේතුව වෙන කිසිවක් නිසා නොව විදුලිය වැඩිපුර පාරිභෝජනය කරන පුද්ගලයන් විදුලි බිල වැඩිපුර ගෙවිය යුතු වීමයි. රජයෙන් වක්‍ර ආකාරයකට විදුලි බිලට යම් සහනයක් පහළ ආදායම්ලාභින් හට ලබා දිය යුතුයි. මක් නිසාද යත් පහළ ආදායම්ලාභීන් හට එම විදුලි බිල දරා ගත නොහැකියි. නමුත් රජය විසින් ඒ සඳහා සහනයක් ලබාදීම පිළිබඳව සැලසුම් කළ යුතුය. උදාහරණයක් ලෙස සමෘද්ධිය හරහා හෝ වෙනයම් ආකාරයකට එම දේ සිදු කළ යුතුය. හැබැයි විදුලි බිල වැඩි කළ යුතුය.

එයට හේතුව විදුලි පරිභෝජනය කාර්යක්ෂම කළ යුතුයි. එය ඉතුරු කිරීමේ පැත්තට යැවිය යුතුය. විදුලිය වැඩිපුර භාවිත කරන පුද්ගලයන් එය අනිවාර්යයෙන් ගෙවිය යුතුය. විදුලි බිල නිසා ඇති වන පාඩුව මකා ගන්න සියලු දෙනාගෙන්ම බදු අය කළ යුතුයි. කෙසේ වෙතත් IMF විදුලි බිල සම්බන්ධයෙන් වැඩි කිරීමක් කළ යුතු බව සඳහන් කර නැත. එසේම බදු වැඩි කරන්නේ කෙසේද යන්න සඳහන් කර නැත. රාජ්‍ය වියදම 100යි 50යි නම් කෙසේ පරතරය පිරවිය යුතුයි ද? ණය ගැනීමට සිදු වෙයි නම් මේ ආකාරයට රටක් ගමන් කිරිමට නොහැකියි. අපි කළ යුත්තේ වියදම 100 ඉඳලා 50ට ගෙන ඒම ද; එසේ නැත්නම් ආදායම 50 සිට 100ට ගේන්න ඒම ද යන්න සැලකිලිමත් විය යුතුයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි දක්වන්නේ මීට වඩාත් ප්‍රතිවිරුද්ධ මතවාදයකි.

විදුලි බල මණ්ඩලය පාඩු පිට ගමන් කරන්නේ නම් එතැන හර බැර තුලනයක් නැත. ඒ හිඟය භාර ගැනීමට කවුද ඉදිරිපත් වන්නේ යන්න ගැටලුවක් මතු වෙයි. පාරිභෝගිකයන් ද එසේ නැතහොත් ආණ්ඩුව ද? මේ දෙගොල්ලන්ම දැන් බංකොළොත් වී ඇත. මේ හිඟය පියවීමට පිටින් කවුරුත් ආධාර දෙන්නේ ද නැත.

රජයේ අය වැය හිඟය සම්බන්ධයෙන් ද පාඩු ලබන ව්‍යවසාය සමබන්ධයෙන් ද ප්‍රකාශ කළ යුත්තේ මේ මූලධර්මයම ය. එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කළ යුත්තකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවාට ගියාට ආධාර කරන්නේ නැත. පළමුව දැනට තියෙන වැරදි නිවැරදි කරගත යුතුයි. චාටු බස් මඟින් මෙරට ජනතාව රැවටිය හැකි වුවත්, ජාත්‍යන්තර මුල්‍ය ආයතන හෝ වෙනත් රටවල් රැවටිය නොහැකිය. ඒ නිසා පවත්නා වූ අමිහිරි පරිසරයට හුරු විය යුතුයි. තිත්ත වුවත් ලෙඩේ සුව කර ගැනීමට නම් බෙහෙත් පානය කළ යුතුයි.

එසේ ම බදු වැඩි කිරීම සම්බන්ධනේ රජය ගෙන ඇති පියවර පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න මෙවන් අදහසක් දක්වයි.

බදු වැඩි කිරීම යන කාරණාවේදී සාමාන්‍යයෙන් ජනතාව තමන්ගෙන් ලැබෙන ආදායම් අනුව වියහියදම් සකසා ගෙන සිටියි. ණය ලබා ගැනීම වැනි දේ ඒ අනුව සිදු කරයි. අඩු ආදායම් ලබන හා වැඩි ආදායම් ලබන පිරිස් රාජ්‍ය රැකියා කරන සියලු දෙනා සිය ආදායමට අනුව වියදම මාස්පතා කළමනාකරණය කර ගනිමින් සිටීම මේ ආදායම් ලබන්නන්ගේ ක්‍රමවේදයයි. මෙවැනි තත්ත්වයක් අනුව බදු වැඩි කිරීමෙන් ලොකු කම්පනයක් ඇති වී ඇත. මෙතෙක් ගොඩ නඟාගෙන තිබුණ රටාව සම්පූර්ණයෙන්ම බිඳ වැටි ඇත. බඩු මිල වැඩි වීමත් සමඟ ආදායම් 50% පමණ බිඳ වැටී ඇත. එහිදී විදුලි බිල මෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ, ගුවන් සමාගමේ ගැටලුවලට උඩින් පැලැස්තර දමමින් මෙහි අකාර්යක්ෂමතාව හදා ගෙන තිරසාර වශයෙන් දියුණු කරගන ආ යුතු දේ මෙතෙක් දියුණු කර නොගැනීමට දේශපාලඥයන් වගේම වෘත්තිය සමිතිත් වගකිව යුතුයි. රාජ්‍ය ව්‍යවසායට නීති රීති රාමුවක් අවශ්‍යයි. අකාර්යක්ෂමතාවේ ඇති බර පාරිභෝගිකයා පිට පැටවීම මෙහිදී සිදු විය. ඉදිරියේදී මේ ප්‍රශ්න වළක්වා ගන්නේ නම් අපිට මේ සියලු ආයතන ප්‍රතිසංස්කරණ කළ යුතුය.

එහෙත් බදු අය කිරීමේදී සාධාරණ බවේ මූලධර්මයක් මත පිහිටා එය කළ යුතු බවට මහාචාර්ය නවරත්න බණ්ඩා පවසයි. එහිදී ඒ බද්ද හැම පුද්ගලයාටම දරා ගැනීමට හැකියාව ඇත. දැන් විධායක ශ්‍රේණිය යටතේ ලොකු වැටුපක් පෙන්නුවට ඒ අය එවැනි වැටුප් ලබා ගෙන තියෙන්නේ අවුරුදු 25 ක්‌ 30 ක්‌ වැඩ කිරීමෙනි. ඒත් දීමනා ඉවත් කර බැලුවාම තත්ත්වය වෙනස් ය. මූලික වැටුප ගත්තොත් එය සුළු වැටුපකි. දැනුම සහ උගත්කම අනුව ලබා ගෙන අති ප්‍රවීණත්වය සඳහායි උසස් රැකියාවල නිරත පිරිසට මේ වැටුප හිමිවන්නේ. ඇත්තටම IMF එක කියන දේවල් කරන්න නම් අපිට ආණ්ඩුවක් අවශ්‍යයි. ලංකාවේ විශාල ව්‍යාපාරිකයෝ පිරිසක් බදු නොගෙවයි. මෙතනට හසුවී ඇත්තේ රාජ්‍ය හා පුද්ගලික සේවකයන් පමණයි. නමුත් පවතින උද්ධමනය 70% දක්වා වැඩි වී ඇත. ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය අනිත් පැත්තෙන් විදුලි බිල වැඩිවී ඇත. ගෑස්, ජලය, පෙට්‍රල් මිල වැඩිවී ඇත.

බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ආචාර්ය දුණුසිංහ පවසන්නේ මිට ප්‍රතිවිරෝධී අදහසකි. බදු හරියාකාරව අය විය යුතුයි. ලක්ෂයකට වැඩි අදායමක් ඇති පිරිස හරියාකාරව හඳුනාගෙන නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් බදු බරක් නොවැටෙයි. ඇත්තටම ලක්ෂයට නෙමෙයි ලක්ෂ දෙකට වඩා උඩින් අයට බදු අය කිරීමටත් හැකියි. උපරිම බද්දේ මට්ටම 36%ක් නොව 20% කට ගෙන ආ හැකියි. ඇත්තටම වගකිව යුත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවයි. දේශීය ආදායම් බදු දෙපර්තමේන්තුව බදු එකතු කිරිමේ ක්‍රමවේදයන් සකස් කරගෙන හරියට බදු ගෙවිය යුතු පුද්ගලයන් හරියාකාරව හඳුනාගත යුතුය. ඒ අය බදු දැලට හසු කරගන්නා ක්‍රියාවලියක් සකස් කළ යුතුය.

Comments