‘මාවතෙ’න් අර්ථවත් මඟක් තැනූ ලේඛකයා | සිළුමිණ

‘මාවතෙ’න් අර්ථවත් මඟක් තැනූ ලේඛකයා

අනු­ස්ම­ර­ණ සැමරුම් උත්සවය ජන 29

ලේඛකයා සතු සමාජ වගකීම අන් වෘත්තියකට වඩා සංකීර්ණ වන්නේ ලියා ප්‍රකාශයට පත් කළ යමක් සදාකාලිකව සමාජය තුළ රැඳී පවතින නිසාය. ඒ වගකීම මනාව වටහාගත් ලේඛකයෝ අතීතයේදී බොහෝ වූහ. එස්. විජේසූරිය නාමය මෙරට ජන සමාජයට විශේෂයෙන් පාඨකයාට මුලින්ම සමීප වන්නේ හේමපාල මුනිදාස සූරීන්ගේ 'සිංහලේ'පුවත්පතේ උප කර්තෘ ලෙසය. පුවත්පත් ලේඛකයකු ලෙස හෙතෙම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ඉතා තරුණ වියේදීය. ප්‍රවීණ පුවත්පත් කලාවේදී සහ ලේඛක හේමපාල මුනිදාස සූරින්ගේ ආභාසය සහ ඇසුර විජේසූරිය තරුණයාගේ ලේඛන ගමනට අපූරු මඟපෙන්වීමක් විය. එපමණක් නොව 1956දී මෙරට සිදුවූ සමාජ සහ දේශපාලන පෙරළියට සම්මාදම් වීමට ද එය ඔහුට අවස්ථාව සලසා දුන්නේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ගුරු වෘත්තියට පිවිසි එස්. විජේසූරිය නුවර කලාවියේ මධ්‍ය මහා විද්‍යාල කිහිපයක ගුරුවරයකු මෙන්ම විදුහල්පතිවරයකු ලෙස ද කටයුතු කළේය. ඒ කාලයේදී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා නැවත මව්බිමට පැමිණීමෙන් පසු අනුරාධපුර මධ්‍ය මහා විදුහලට ගුරුවරයකු ලෙස සේවයට බැඳුණු සුසිල් සිරිවර්ධනගේ ඇසුර විජේසූරිය සූරීන් නැවත පර්යේෂණ ලේඛන කලාවට යොමු කරන්නට රුකුල් දුන් විශේෂ කාරණයක් විය. හර්මන් හෙසර් ගේ නොබෙල් ත්‍යාගලාභී සිද්ධාර්ථ කෘතිය පරිවර්තනය කිරීම සිදු වන්නේ මේ අවදියේදීය. එමෙන්ම කොළඹ යුගයේ ශ්‍රේෂ්ඨතම කවියා වූ විමලරත්න කුමාරගම හමුවීම එස්. විජේසූරියගේ ලේඛන ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් විය. විමලරත්න කුමාරගම ගේ එකතු කළ කවි කෘතියේ පිටු 34කින් සමන්විත සංස්කාරක සටහන එදා මෙදාතුර කොළඹ යුගය ගැන ලියැවී ඇති අර්ථවත්ම පර්යේෂණ ලේඛනය ලෙස සැලකේ.

1971 භීෂණ සමයෙන් පසු අර්ථවත් සමාජ මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථය පෙරදැරිව ආරම්භ වූ මෙරට ප්‍රමුඛපෙළේ විකල්ප ධාරාවේ සඟරාවක් වූ 'මාවත' සඟරාව ආරම්භ කළේ ද එස්. විජේසූරිය යි. සුසිල් සිරිවර්ධන, පියල් සෝමරත්න, ආතර් යූ වීරසේන, සුනිල් විජේසිරිවර්ධන ආදී සංස්කාරක මණ්ඩලයකින් සැදුම් ලත් 'මාවත' සඟරාවෙන් එදා ප්‍රබුද්ධ පාඨක මනසටත් හදවතටත් හරවත් ආමන්ත්‍රණයක් කළේය. දේශපාලන පළිගැනීම් මැද විදුහල්පති රැකියාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයට සම්බන්ධ වූ එස්. විජේසූරිය සූරීන් එන්.ඩී. පීරිස් සමඟ එක්වී දෙමළ සිංහල ශබ්ද කෝෂයක් නිර්මාණය කළා පමණක් නොව පාසල් ළමුන් සඳහා දෙමළ සිංහල අත්පොත් මාලාවක් නිර්මාණය කිරීමට ද කටයුතු ක‍ළේය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු එස්. විජේසූරිය සූරින් සිය කාලය, ශ්‍රමය මිඩංගු කළේ ද ලේඛන කටයුතු සඳහාය. රට පුරා ඇවිද ලංකාවේ ජන කතා සොයා ගිය හෙතෙම ජන කතා දහස් ගණනින් පොත් ගණනාවක් සංස්කරණය කර පොත් මාලාවක් මුද්‍රණය කළේය. දෙමළ, ඉංග්‍රීසි පාඨකයන් වෙනුවෙන් ජන කතා මාලාවක් පරිවර්තන ලෙස ද ඉදිරිපත් කළේය. එපමණක් නොව සිය දරුවන්ට මෙන් දැයේ දරුවන්ට ද ආදරය කළ මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට පොත් රැසක් රචනා කළේය.'මාවත' සඟරාව නතර වීම විජේසූරිය සූරීන්ගේ සිතේ තැවුල් ඇතිකළ කාරණාවක් වූ අතර ඔහු සිය රිදුණු සිත සනසා ගත්තේ 'ලක්සර' ‍ෙත්‍රෙමාසික සඟරාව ආරම්භ කරමිනි. මියෙන තෙක්ම, එනම් වසර 8ක පමණ කාලයක් හෙතෙම අඛණ්ඩව එම සඟරාව පළ කළේය.

ළමා කතා, නවකතා, පරිවර්තන, චරිත කතා, ජන කතා, දෙමළ ඉංග්‍රීසි ශබ්දකෝෂය, පර්යේෂණ කෘති ඇතුළු කෘති 50කට අධික සංඛ්‍යාවක් ලියා ප්‍රකාශයට පත් කළ, නිර්මාණ 50කට පමණ සංස්කරණ දායකත්වය ලබා දුන් එස්. විජේසූරිය නමැති ශ්‍රේෂ්ඨ ලේඛකයා දිවි මඬලෙන් සමුගත්තේ මීට දස වසරකට පෙර එනම්, 2013 ජනවාරි 05 වැනිදාය. එතුමා විසින් රචිත කෘති අතර ඉතා වටිනා පර්යේෂණ කෘති රැසක් වේ.

1932 වසරේ ජනවාරි 31 වැනිදා උපත ලැබූ එස්. විජේසූරිය සූරීන්ට පුතුණුවන් තිදෙනකු සහ දියණියෝ දෙදෙනෙකි. බාල පුතු භාතිය විජේසූරිය පියාගේ දස වැනි අනුස්මරණ උත්සවයට සමඟාමීව 29 වැනිදා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලේදී සිය කුලුඳුල් කෘතිය ජනගත කරන්නේ පියාට කරන උපහාරයක් ලෙසිනි. ඒ පිළිබඳ භාතිය විජේසූරිය මෙසේ පැවසුවේය.

"නුවර කලාවියේ මධ්‍ය මහා විද්‍යාල කිහිපයක ගුරුවරයකු සහ විදුහල්පතිවරයකු ලෙස සේවය කළ මගේ පියාගේ වෘත්තීය ජීවිතය පිළිබඳ අත්දැකීම් රැසක් මා අසා, දැක තිබෙනවා. පියාගෙන් ගුටි නොකෑ ළමයෙක් නැතිතරම්. නමුත් ඔවුන් තාත්තාට ගොඩක් ආදරය කළා. එදා පියාගෙන් පහර කෑ දරුවන් පසුකලෙක වැඩිහිටියන් වී ඉහළ තනතුරු දරද්දී පියා සොයා විත් ඔහුට බුලත් දී වඳිනු මම බොහෝ වර දැක තිබෙනවා. එදා සමාජයේ ගුරුවරුන් සිසුන්ට දඬුවම් කළේ ඔවුන්ගේම සුබසිද්ධිය වෙනුවෙන් මිසක් පෞද්ගලික අමනාපකම්වලට නෙවෙයි. ඒ ගැන මවුපියන් උරණ වුණේ නැහැ. නමුත් අද සමාජයේ ගුරුවරයෙක් දරුවකුට දඬුවම් කළොත් ඒ ගුරුවරයාට බොහෝ අපහසුතාවලට ලක්වීමට සිදු වෙනවා. තාත්තාගේ ගුරු ජීවිතයේ අත්දැකීම් සහ වර්තමාන ගුරුවරුන් මුහුණ දෙන සිදුවීම් පිළිබඳ ඒ තත්ත්වය මගේ හිතට වද දුන් කාරණාවක්. ඒ කාරණාව තමයි මගේ 'ඒදණ්ඩෙන් එගොඩ වුණෙමි' නවකතාවට පාදක වුණේ."

එස්. විජේසූරිය සූරීන්ගේ දස වැනි අනුස්මරණය වෙනුවෙන් ඔහුගේ කෘති අතරින් පාඨක ආකර්ෂණය වැඩිපුර දිනාගත් පන්සිය පනස් ජාතක පොත සහ ලංකාවේ ප්‍රධාන රජවරු පිළිබඳ රචිත කෘති කිහිපයක් නැවත මුද්‍රණය කිරීමට නියමිතය.

 එස්. විජේසූරිය

 

 

Comments