සමන් දේවාලේ පඬුරු පෙට්ටිය කොල්ල කෑ හොර කල්ලියේ කෙරුවාව | සිළුමිණ

සමන් දේවාලේ පඬුරු පෙට්ටිය කොල්ල කෑ හොර කල්ලියේ කෙරුවාව

ත්නපුරයේ පිහිටි සබරගමුව මහ සමන් දේවාලය ඉදිකර ඇත්තේ සුමන සමන් දෙවියන් වෙනුවෙනි. මෙම දේවාලය දඹදෙනි යුගයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින් රජුගේ අමාත්‍ය ආර්යකාමදේව විසින් තැනවූ බව ඉතිහාසගත ලේඛනවල සඳහන්ය. ශ්‍රී පරාක්‍රමබාහු, දෙවන රාජසිංහ හා දෙවන රාජසිංහ ආදී රාජ්‍ය සමයන්හිදී ප්‍රතිසංස්කරණය කරන ලද සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් උසුලන්නේ ප්‍රධාන තැනකි. 

මේ දේවාලය පසුගිය දිනවල දිගින් දිගටම සොරුන්ගේ ග්‍රහණයට ලක්වූයේ දැඩි ආරක්ෂාවක් පවා දේවාලය භුමිය වටා තිබියදීය. පැය 24ම සන්නද්ධ පොලිස් භටයන් රැඳී සිටින පොලිස් මුරපොළක් මෙන්ම දේවාලයෙන් යොදවන ලද මුරකරුවන් ද සිටියදී දේවාලය හොරු බිඳින ලද්දේ දේවාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම ආරක්ෂක කැමරා 60ක් පමණ අටවා තිබියදී. ඒ කිසිදු කැමරාවකට සොරුන් හසු නොවන්නටය.

මේ නිසාම දේවාලයේ සිදු වූ පඬුරු මුදල් සොරකම ඇතුළේම වැඩක් බවට සැකයක් පවා මතු වන්නට ගත්තේය. ඒ නිසාම සමන් දේවාලයේ පඬුරු පෙට්ටියෙන් මුදල් සොරා ගත්තවුන් අත්අඩංගුවට ගන්නැයි කියා පොලිසියට බලකරමින් සහ මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාරට ඒ ගැන විරෝධය දක්වමින් දේවාලය අවට වැසියන් විරෝධතාවක් පවා පසුගිය 16 වෙනිදා දැක්වූයේය.

එම විරෝධයට විශාල පිරිසක් සම්බන්ධ නොවූවත් එහි බලපෑම දේවාලයේ සොරකමේ විමර්ශන කටයුතු පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම දක්වා දුරදිග ගියේය.

සබරගමුව මහා සමන් දේවාලයේ පඬුරු පෙට්ටි හතරකට ප්‍රධාන වශයෙන් බැතිමතුන් පඬුරු දමති. ඒ සියළුම පඩුරු මුදල් ගෝනිවල අසුරා තැන්පත් කෙරන්නේ බස්නායක නිලමේවරයාට අයත් නිල නිවසේ කොටසක ඉදි කර ඇති පඬුරු මුදල් ගබඩා කරන කුටියකය. එම කුටියේ වහලයේ සෙවිලි කර ඇත්තේ උළුය. ඒ නිසාම වහලත් සිවිලිමත් අතර දැල් ආවරණයක් පවා දමා ඇත්තේ වැඩි ආරක්ෂාවටය. පඬුරු මුදල් ගබඩා කර තිබුණු මෙම කාමරය අවස්ථා කිහිපයකදීම සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණේ වහලෙන් බැස දැල් ආවරණය ද කඩා දමමිනි. ගණන් මිනුම් නොමැතිව ගෝනිවල පුරවා පඬුරු මුදල් මේ කුටියේ ගොඩ ගසා තිබුණු බැවින් සොරාගැනීමට ලක්වූ මුදල් ප්‍රමාණය පවා කොතෙක්දැයි කිසිවකුටත් සිතා ගැනීමට නොහැකි විය. මේ නිසාම බොහෝ අය සැක කරන්නට ගත්තේ මෙම මුදල් සොරකම ඇතුළේම වැඩක් බවටය. ඒ කිසිදු ආරක්ෂක කැමරාවකට හසු නොවී මෙම සොරකම සිදුව තිබෙන බැවිනි.

මෙහිදී විවිධ පුද්ගලයන් වෙත සැකයේ ඇඟිල්ල දිගු වෙන්නට ගත්තේ ගම්වැසියන්ගෙනි. ඒ අතර පොලිසියේ උදවිය ද එකිනෙකා දිහා සැකෙන් බලන්නට ගත්තේ කිසිවකුත් විශ්වාස කරන්නට බැරි තත්ත්වයක් ඒ වන විට මෙම සොරකමත් සමඟ සමාජ ගතවන්නට වූ බැවිනි.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගෙන් මේ ගැන වාර්තාවක් පවා ලබා ගත්තේ එබැවිනි. එම වාර්තාව සකස් කරනුයේ රත්නපුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේය. සබරගමුව දේවාලයේ ආරක්ෂා තත්ත්වය ගැන බොහෝ දේවල් මෙන්ම ජනතාව මෙම සොරකම ගැන දරන මතය ගැන පවා ඔහු එම වාර්තාවේ සටහන් තැබුවේය.

ජනතා උද්ඝෝෂණය මෙන්ම මෙම වාර්තාවේ දැක්වෙන කරුණු ද පදනම් කර ගත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මෙම සොරකම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නේ පසුගිය 19 වෙනිදාය. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ද නිල නිවේදනයක් මාධ්‍යට නිකුත් කළේය. ඒ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27 වෙනිදා දක්වාම රත්නපුරයට පැමිණ විමර්ශන බාර ගත් බවක් නම් දැනගන්නට නැත. රත්නපුර පොලිසිය පවා බලා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ විමර්ශන බාර ගන්නා තුරුය. ඒ ඔවුන් මෙම අපරාධ විමර්ශනයෙන් නිදහස් වන්නටය.

ඒ යැයි කියා රත්නපුර පොලිසියේ නිලධාරීන්ට සබරගමුව මහ සමන් දේවාලයේ සොරුන්ව නීතියේ රැහැනට කොටු කර ගැනීමේ වගකීමෙන් බේරී සිටීමට කිසිදු ඉඩක් නොවීය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය හමුවේ දේවාලයේ පඬුරු මුදල් තැන්පත් කර තිබුණු කාමරය බිඳ මුදල් සොරා ගත්තවුන්ගෙන් දෙදෙනෙක් රත්නපුර පොලිසියේ නිලධාරීන්ගේ ග්‍රහණයටම පසුගිය 27 වෙනිදා හසුවන බැවිනි. ඒ එම සොරුන් නැවතත් කිසිදු බියක් සැකක් නොමැතිව පඬුරු කාමරය බිඳීමට සූදානම් වූ අවස්ථාවේදීය.

දිගින් දිගටම මහා සමන් දේවාලයේ පඬුරු මුදල් තැන්පත් කර ඇති කුටිය සොරුන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුවෙන් දේවාලයේ මුරකරුවන් මෙන්ම පොලිස් මුරපොලේ නිලධාරීන් ද රාත්‍රී කාලයට සිටියේ දැඩි අවධානයකිනි. වෙනදා මෙන් දෑස් නිදිබර වූවත් ඔවුන් දෑස් පියා ගන්නට නම් ගියේ නැත. දේවාල භූමියේ හතර කොන පැයකට හමාරකට පාගමින් එහා මෙහා ගමන් කිරීමට අමතරව නිලමේවරයාගේ නිල නිවසේ සවි කර ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශන දෙස පොලිස් නිලධාරීන් ඇස ගසා ගෙන සිටින්නේ පැය 24 පුරාමය. ඒ මුර ක්‍රමයටය. 27 වෙනිදා අලුයම් කාලයේදී දේවාල භූමියේ සැරිසරමින් සිටි ආගන්තුකයන් දෙදෙනෙක් නිරීක්ෂණය වන්නේ ද ආරක්ෂක කැමරා පද්ධතිය ඒ අවස්ථාවේදී නිරීක්ෂණය කරමින් සිටි දේවාලයේ මුරකරුවකුටය. ඔවුන් දෙදෙනා ගමන් කරන්නට වූයේ දේවාලයේ පිටුපස කොටස දෙසටය. ඔවුන් දේවාලයේ පිටුපස කොටසේ ඇති පඩිපෙළ මතින් නගින්නට වූයේ වහලය දෙසටය. ඒත් එක්කම ඔවුන් දෙදෙනා කැමරා දර්ශන පථයෙන් අතුරුදන් වන්නේ යම් සැකයක් ඔවුන් කෙරෙහි යොමු කරමිනි.

මේ බව මුරකරු පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කිරීමත් සමඟ සන්නද්ධ පොලිස් නිලධාරීන් හීන් සීරුවට අඩි තබමින් ගමන් කරන්නට වූයේ දේවාලයේ පිටුපස කොටසටය. ඒ දේවාල භූමියට ඇතුළු වූ මේ ආගන්තුකයන් දෙදෙනා කුමක් කරන්නේදැයි සොයා බලන්නටය.

ඒ අතර දේවාලයේ මුරකරුවන්ට ඇසෙන්නට ගන්නේ වහලයේ උළු ගැලවෙන හඩකි. ඒ හඬ ඇසුණේ දේවාලයේ පඬුරු කාමරය දෙසින් බව ඒ අයට දැනුණේය. ඒ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දෙමින් වහලයට ගොඩ වූ මුරකරුවන් පොලිස් නිලධාරීන් සමඟ වහලය මත රැඳී සිටි ආගන්තුකයන් දෙදෙනාව අල්ලා ගන්නේ පලායන්ට කිසිදු ඉඩක් නොතබමිනි.

මෙතෙක් කලක් සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයට වැඩේ දුන්නේ කවුරුන්දැයි හෙළි වන්නේ ඔවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. මේ අල්ලාගත් එක් අයෙක් වන්නේ මොහොමඩ් ෆාරුක් නොහොත් පොඩී ය. රත්නපුර කහන්ගම පදිංචිකරුවෙක් වන ඔහු කාලයක්ම මහා සමන් දේවාලයට පැමිණෙන බැතිමතුන් පරිහරණය කරන වැසිකිලිය පිරිසිදු කිරීම් නිතරව සිටි කම්කරුවෙකි. දෙවැන්නා සෙල්වරාජ් රාජ් කුමාර් නොහොත් කොණ්ඩයා ය. බලංගොඩ පදිංචිකරුවෙක් වන ඔහු බලංගොඩ පොලේ සපත්තු මසන්නෙකි.

ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වන්නේ ඔවුන් දෙදෙනා 27 වෙනිදා අලුයම් කාලයේ දේවාල භූමියේ සැරිසරමින් වහලයට නැග්ගේ පඬුරු කාමරයට වැඩේ දෙන්නට බවය. මෙසේ දේවාලයේ වහලට නැඟ උළු ඉවත් කර පඬුරු කාමරයට රිංගා මුදල් සොරා ගැනීම මේ අයට අලුත් දෙයක් නොවීය. මුලින්ම ඔවුන් දෙදෙනා පඬුරු කාමරයට එසේ රිංගන්නේ පසුගිය දෙසැම්බර් 30 වෙනිදා මහා රෑය. එදත් මෙදා මෙන්ම පොලිසියේ මෙන්ම දේවාලයේ මුරකරුවන් විශාල පිරිසක් දේවාල භුමියේ ආරක්ෂාවට යොදවා සිට ඇතත් ඔවුන් දෙදෙනා කෙරෙහි ඒ කිසිවකුගේත් අවධානයක් යොමු වී නැත. ඔවුන් පවසන්නේ ඒ අය නිදා ගෙන සිටින්නට ඇති බවය. එදා වහලයට නැඟ ගත් ඔවුන් දෙදෙනා උළු කැට ඉවත් කර ඇතුළට බසින්නේ සිවිලිම් තහඩුව ද ගලවා පැත්තකට දමාය. දැල් ආවරණය තිබී ඇත්තේ ඊට යටිනි.

රාමුවක් ගසා දැල ශක්තිමක්ව තිබී නැති බැවින් එක් පා පහරකින් දැල ගැලවී ඇත්තේ ඔවුන්ට පහසුවෙන් පඩුරු කාමරයට රිංගීමට හැකිවන ලෙසිනි. පඬුරු කාමරයට රිංගා ගත් ඔවුන් අන්දමන්ද වී ඇත්තේ එහි ගොඩ ගසා ඇති මුදල් කන්දරාව දැකය. ඔවුන් දෙදෙනා මුදල් රැගෙන යෑමට ගෙනවිත් තිබුණේ කුඩා බෑගයකි. ඒ නිසා රුපියල් 20, රුපියල් 50, රුපියල් 100 නෝට්ටු පුරවා තිබුණු ගෝනියෙන් බෑගය පිරෙන්නට නෝට්ටු පුරවා ගත් ඔවුන් දෙදෙනා පලා යන්නේ අඩුම තරමින් ආරක්ෂක කැමරාවකවත් ඔවුන්ගේ රුව සටහන් නොකරමිනි.

එදා ඔවුන් බෑගයක් පිරෙන්නට මුදල් නොට්ටු ගොන්නක් රැගෙන ගියත් ඒ බෑගයේ පිරී තිබී ඇත්තේ රුපියල් 48,700ක මුදලක් පමණි. මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි ඔවුන් දෙදෙනා ඒ මුදල් යොදවනු ලැබුවේ මත්කුඩු භාවිතයටය.

නැවතත් දේවාලයේ පඬුරු කාමරය මෙම සොර කල්ලියේ ග්‍රහණයට ලක්වන්නේ ජනවාරි 09 වෙනිදාය.

රටේම අවධානය සබරගමුව මහා සමන් දේවාලයේ පඬුරු කාමරයේ සොරකම කෙරෙහි යොමු වෙන්නේ එවරය. සමන් දේවාලය අවට වැසියන් පාරට බැස උද්ඝෝෂණය කරන්නට පවා පෙලඹෙන්නේ මෙම සොරකමත් සමඟිනි. ඒ දැඩි ආරක්ෂාවක් ඇති දේවාල භූමියේ ඇති පඬුරු කාමරය බිදීමට තරම් ආරක්ෂාව බිඳ වැටී තිබීම ගැටලුවක් බව කියමිනි.

මෙදා දේවාලයේ පඬුරු කාමරයට මොහොමඩ් ෆාරුක් සමඟ රිංගුවේ මංජු සමඟිනි. ෆාරුක් සමඟ එකට මත් කුඩු පානය කරන්නෙක් වන මංජු ඕපනායක පදිංචිකරුවෙකි. ජනවාරි 09 වෙනිදා ඔහුත් සමඟ ෆාරුක් දේවාලයේ පඬුරු කාමරයට මහා රෑ රිංගන්නේ මුල් අවස්ථාවේදී මෙන්ම වහලයේ උළු කැට ඉවත් කරමිනි.

එදා ඔවුන් සිවිලිමට යටින් ඇති ආරක්ෂක දැලෙන් රිංගන්නේ එය කටර් අඩුවකින් කපාය. එදා ඔවුන් රුපියල් 20 රුපියල් 50, රුපියල් 100 සහ රුපියල් 500 නෝට්ටු තොගයක්ම බෑගයක දමාගෙන එතැනින් පලා ගියේ දේවාලයේ සොරකම ගැන රටම කළඹවමිනි. ඒ ලක්ෂ ගාණක මුදලක් දේවාලයේ සොරාගෙන ඇති බවට සමාජය තුළ දැඩි කතාබහක්ද මතු කරමිනි.

එහෙත් එවරත් ඔවුන්ට විශාල මුදලක් රැගෙන යන්නට හැකියාවක් ලැබී නැත. ෆාරුක් පොලිසියට කියා ඇති ආකාරයට අනුව එදා ඔවුන් සොරා ගෙන ඇත්තේ රුපියල් 67,000ක මුදලක් පමණි.

ඒ මුළු මුදලම ඔවුන් දෙදෙනා වියදම් කරනුයේ මත්කුඩු බොන්නටය. තෙවැනි වතාවට ෆාරුක් පසුගිය 27 වෙනිදා පඬුරු කාමරයට රිංගන්නට සැලසුම් කරනුයේ ලොකු ගාණක් එකවරම අරගෙන පනින්නටය. එහෙත් ඊට පෙර ඔවුන් දෙදෙනාව එවර කොටු වන්නේ සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ ඊට පෙර සිදු වූ සොරකම් දෙකද විසඳෙමිනි.

Comments