
මම හැමදාම උදේ 5ට අවදි වෙනවා. මගේ විනෝදාංශය තමයි. පොත් කියවීම. මම විෂය දැනුම සහිත පොත් වගේම අනෙකුත් පොත්පත් කියවන්නත් කැමතියි. මට උපන්දිනයට ලැබෙන්නෙත් පොත්. ඒ මම පොත් කියවන්න ආස නිසා. මට කියවන්න ගත්තාම ඒ පොත කියල ඉවර වෙනකම් බිමින් තියන්න හිතෙන්නේ නැහැ
- පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ චෙනිත නෙත්දිනු පෙරේරා
මම හොඳට සෙල්ලම් කළා. ඒ වගේම මං හොඳ බාලදක්ෂයෙක්; මම කරාතේවලින් ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා; ඒ වගේම මං චෙස් වලට ගොඩක් කැමතියි. මම චෙස්වලින් ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. මේ හැමදේම කරල තමයි මම ශිෂ්‍යත්වයෙන් හොඳ ලකුණක් ගත්තේ
- කඩුවෙල බෝමිරිය මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ එච්. ජී. මනුසස් සිදම් සක්ෂාත් ගමගේ
ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට කඩඉමකි. ඒ සඳහා විවිධ හේතු කාරණා බලපෑම් කරයි. 1942 සිට ක්‍රියාත්මක වු ශිෂ්‍යත්ව පරීක්ෂණය වරින් වර විවිධ වෙනස් කම්වලට භාජනය වී මෙවර පැවැත් වෙන්නේ 74 වැනි වරටය. මෙසේ ඇරඹි පහේ ශිෂ්‍යත්ව විභාගය අද වන විට ලංකාවේ ජනප්‍රියම විභාගවලින් එකකි. මෙවර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් අතරෙන් වැඩිම ලකුණු ලැබූ දරුවන් දෙදෙනා සොයා අප ඔවුන්ගේ නිවෙස් සොයා ගියේ එබැවිනි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 18 දින පවත්වන ලැබූවේ රට තුළ අර්බුදකාරී වාතාවරණය පැවති සමයක වීම විශේෂය. මෙම කාලයේදී රටේ උද්ගත වූ විවිධ හේතු මධ්‍යයේ මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ ද දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිදු වූ අතර දුෂ්කර පළාත්වල දරුවන්ට එම අවස්ථාව ද මඟ හැරී තිබුණි. එවැනි දුෂ්කරතා මධ්‍යයේ වුව 2022 වසර පහේ ශ්‍රේණියේ විභාගයට සිසුන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් විභාගයට මුහුණ දුන්නේය. පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවැනි ප්‍රශ්න පත්‍රය යන දෙකම එකම දිනක ලබා දීමට කටයුතු කර තිබුණු අතර විභාගය සඳහා ශ්‍රී ලංකාව පුරා බොහෝ විභාග මධ්‍යස්ථාන වෙන් කර තිබුණි. ඒ අනුව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 329,668ක් විය. පසුගිය 25 වැනිදා එහි ප්‍රතිඵල නිකුත් වූ අතර විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් 48,257 දෙනකු ශිෂ්‍යත්ව සමත් වී තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 14.64කි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් 100ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් සිසුන් සංඛ්‍යාව 157,624කි.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සංඛ්‍යාව පළාත් මට්ටමින් සඳහන් වූයේ මෙසේය. බස්නාහිර පළාතෙන් 10,585ක් ද, මධ්‍යම පළාතෙන් 5017ක් ද, දකුණ පළාතෙන් 6,812ක් ද, උතුර පළාතෙන් 2749ක් ද, නැඟෙනහිර පළාතෙන් 3,479ක් ද, වයඹ පළාතෙන් 6,601ක් ද, උතුරුමැද පළාතෙන් 3,957ක් ද, ඌව පළාතෙන් 3,887ක් ද, සබරගමුව පළාතෙන් 5,170ක් ද ලෙස ය.
එසේම ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන්ව තිබුණේ මෙසේය. කොළඹ 3,694ක් ද, ගම්පහ 4,486ක් ද, කළුතර 2,405ක් ද, මහනුවර 1,085ක් ද, නුවරඑළිය 1,335ක් ද, ගාල්ල 2,415ක් ද, තර 2,405ක් ද, මහනුවර 2,597ක් ද, මාතලේ 1,085 ක් ද, මාතර 2,157ක් ද, හම්බන්තොට 2,240ක් ද, යාපනය 1,581ක් ද, කිලිනොච්චිය 283ක් ද, මන්නාරම 161ක් ද, වවුනියාව 444ක් ද, මුලතිවු 300ක් ද, මඩකලපුව 1,117ක් ද, අම්පාර 1,816ක් ද, ත්‍රිකුණාමලය 746ක් ද, කුරුණෑගල 5,041ක් ද, පුත්තලම 1,560ක් ද, අනුරාධපුරය 2679ක් ද, පොලොන්නරුව 1,278ක් ද, බදුල්ල 2,336ක් ද, මොනරාගල 1,551ක් ද, රත්නපුර 3,216ක් ද, කෑගල්ල 1,954ක් ද ලෙසය. එහිදී දරුවකු ලත් වැඩිම ලකුණ සංඛ්‍යාව ලකුණු 198කි. මේ පිරිස වෙනත් පාසල් සඳහා අයදුම් කිරීමට සහ ශිෂ්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති බවත්, ඔවුන් අතුරින් 20,000කට ශිෂ්‍යාධාර පිරිනමන බවත් පසුගියදා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේය.
එසේම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 329,668 අතරින් 5137ක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටි අතර, ලකුණු 70 අඩුවෙන් ලබා ඇති සිසුන් සංඛ්‍යාව 56,153ක් බව වාර්තා විය. මෙවර පළමු දෙවන හා තුන්වන ස්ථාන ලබා ගත් සිසුන් පිළිබඳව සඳහන් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් තීරණයක් ගෙන තිබුණි.
මෙවැනි පසුබිමක ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ඉහළින්ම සමත් වූ සිසුවකු සොයා අපි දියගම පිහිටි ඔහුගේ නිවසට ගොඩ වුණෙමු. පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන චෙනිත නෙත්දිනු පෙරේරා මේ කීර්තිමත් සිසුවාය. එහි ගිය අප චෙනිතගේ ගේ පියාණන් වන චන්දන පෙරේරා සිනහමුසු මුහුණින් අපව පිළිගත්තේය. හෙතෙම වෘත්තියෙන් පෞද්ගලික සමාගමක ගණකාධිවරයකු ලෙස සේවය කරයි. මව තුෂාරි චන්ද්‍රෙස්කර රැකියාවක් කරමින් සිට ඉන් සමුගෙන ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අපේක්ෂාවෙනි. අද ඇයගේ බලා පොරොත්තු සපල වී තිබේ.
චෙනිත පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට බාල සහෝදරයකු වේ. ඔහු දෙවන වසරේ ඉගෙනුම ලබයි. තමන් ශිෂ්‍යත්වයට මුහුණදුන් ආකාරය පිළිබඳව චෙනිත අපට පැවසූයේ මෙවැන්නකි.
“මම හැමදාම උදේ 5ට අවදි වෙනවා. මගේ විනෝදාංශය තමයි පොත් කියවීම. මම විෂය දැනුම සහිත පොත් වගේම අනෙකුත් පොත්පත් කියවන්නත් කැමතියි. මට උපන්දිනයට ලැබෙන්නෙත් පොත්. ඒ මම පොත් කියවන්න ආස නිසා. මට කියවන්න ගත්තාම ඒ පොත කියල ඉවර වෙනකම් බිමින් තියන්න හිතෙන්නේ නැහැ.
පාසල් ගියාම ගුරුවරුන් උගන්වන දේට හොඳින් ඇහුම්කන් දෙනවා. එදා කරපු වැඩ ගෙදර ඇවිත් නැවත බලනවා. මට මඟහැරුණු, නොතේරුණු දෙයක් තිබුණොත් අම්මගෙන් හරි පසුදා පාසල් ගියාම ගුරුවරුන්ගෙන් හරි අහල වෙනම පොතක සටහන් කර ගන්නවා. මම ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න කලින් ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා. ඒ ලියද්දී වෙලාව කළමනාකරණය කර ගන්නත් පුරුදු වුණා. එහෙම උත්තර ලියද්දී මට පිළිතුරු ලියන්න බැරි වුණු හැම ප්‍රශ්නයක්ම මම වෙනම පොතක සටහන් කරගෙන ඒවා ගැන වැඩිපුර අවධානය යොමු කළා. ඒ නිසා ඒ අමතක වෙච්ච දේවල් මට හොඳට මතක හිටියා. මම හැම දෙයක්ම කළේ කාලසටහනකට අනුව. මේ හැම දෙයක්ම කරන අතරතුර බැඩ්මින්ටන් ක්‍රීඩාවට, චෙස්වලට වගේම චිත්‍ර අඳින්නත්, සංගීතය සඳහාත් කාලය වෙන් කර ගත්තා. මල්ලි එක්ක සෙල්ලම් කළා. කාටුන් බැලුවා; ටීවී බැලුවා; මොන දේ කළත් මම රෑ 8 වන විට නිදා ගන්නවා. විභාගයට වාඩි වෙලා ප්‍රශ්න පත්‍රය දකිද්දි මට හරිම සතුටක් දැණුනා; මොකද මම දන්න ගොඩක් දේවල්මයි ඇවිත් තිබුණේ. ඉතිං මම හරිම සැහැල්ලුවෙන් තමයි විභාගය ලිව්වේ.
මම කැමතියි කවදහරි හොඳ වෛද්‍යවරයෙක් වෙලා තවම ඖෂධ සොයාගෙන නැති රෝග සඳහා ඖෂධ සොයාගෙන ලෝකය පුරා එවැනි ලෙස රෝගවලින් දුක්විඳින අයට පිහිට වෙන්න. මට මේ ජයග්‍රාහණය ලබාගන්න මගේ අම්මා; තාත්තා වගේම මට උගන්වපු ගුරුවරු ගොඩක් උදවු කළා. මගේ හැකියාවන් දැකපු පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ මගේ පන්තිභාර ගුරුතුමිය අමිලා සෙනරත්, විදුහල්පතිනිය මාධවී ඉලංගරත්න වගේම මට පළවැනි වසරේ සිට උගන්වපු හැම ගුරු මව්පියෙක්ම ආදරෙන් මතක් කරන්න ඕන“
චෙනිත නෙත්දිනුගේ මව තුෂාරි චන්ද්‍රෙස්කර අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.
“දරුවන්ට ඒ අයගෙ කටයුතු කරගන්න උදව් කරනවා මිසක් ඒ අය බලෙන් විවිධ ඉලක්ක සඳහා පොලඹවන්න මෙහෙයවන්න කටයුතු නොකිරීම හරිම වැදගත්. මගේ පුතා පුංචි කාලේ ඉඳන් පොත් කියවන්න ආසයි. අපි ඒ ආසාව නිසා එයාට පොත්පත් ගෙනත් දුන්නා. එයාට සැහැල්ලුවෙන් එයාගෙ අධ්‍යාපන කටයුතු කරන්න ඉඩ දුන්නා. එයා හරිම දක්ෂ දරුවෙක්. එයා දෙවැනි වසරෙදි හතරවැනි වසරේ ගණිත ගැටලු විසඳුවා. එයා හොඳට ටීවි බැලුවා; කාටුන් බැලුවා. එක පන්තියකට ඇරුණම ගොඩක් පන්තිවලට ගියේ නැහැ. එයා අධ්‍යාපනයට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම්වල පවා නිරත වුණා. ඇත්තටම අපි කළේ මවුපියො විදියට එයාට පහසුකම් සපයමින් දන්නැති දේ කියා දෙමින් උදව් කිරීම පමණයි. මේ ප්‍රතිඵලයට කුඩා කාලයේ ඉඳන් උගන්වපු ගුරුවරු, පාසලේ විදුහල්පතිනිය වගේ හැමෝගෙම සහාය ලැබුණා. මොකද මුල ඉඳන්ම පුතාගේ දක්ෂතා දැකලා එයාව අගේ කරන්න ඒ අය කටයුතු කළා.“
මීළඟට අප හමුවූයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197ක් හිමි කරගත් කඩුවෙල බෝමිරිය මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ ඉගෙනුම ලබන මල්වාන පහළ මාපිටිගම ප්‍රදේශයේ පදිංචි එච්. ජී. මනුසස් සිදම් සක්ෂාත් ගමගේය. ඔහු ට බාල නැඟණියක හා සොහොයුරකු සිටිති. ඔහුගේ පියා වන දුමින්ද මහේෂ් ගමගේ වෘත්තියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරීලත් නිලධාරිවරයෙකි. මව තුෂාරී එරන්දිය.
අපට සම්මුඛ වූ මනුසස් පැවසූයේ මෙවැන්නකි.
“මම හොඳට ප්‍රශ්න පත්තර කළා; පන්තිවලට ගියා; විශේෂයෙන්ම මගේ පන්ති භාර ගුරුතුමිය ඉරේෂා ගුණතිලක ගුරුතුමිය මට ගොඩක් උදව් කළා. මම උගන්වද්දී අවධානය වෙනස් නොකර කියල දෙන දේ හොඳට අහගෙන හිටියා. ඒ නිසා මට හොඳට හැමදේම මතක හිටියා. මම හොඳට සෙල්ලම් කළා. ඒ වගේම මං හොඳ බාලදක්ෂයෙක්; මම කරාතේවලින් ජයග්‍රහණ හිමි කරගෙන තියෙනවා; ඒ වගේම මං චෙස්වලට ගොඩක් කැමතියි. මම චෙස්වලින් ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. මේ හැමදේම කරල තමයි මම ශිෂ්‍යත්වයෙන් හොඳ ලකුණක් ගත්තේ.“ කියාය.
මනුසස්ගේ මව තුෂාරී එරන්දි පවසා සිටියේ තම දරුවා අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවටද එක සේ සමත්කම් දැක්වූ බවයි. “පුතාට කුඩා කාලේ ඉඳලම හොඳ මතකයක් තිබුණා. අපි එයාව ශිෂ්‍යත්වයට කියල ලොකුවට පෙලඹවීමක් කළේ නැහැ. අමතර පන්ති යැව්වා. නමුත් ගොඩක්ම මේ ප්‍රතිඵලයට හේතු වුණේ එයාගේ පන්ති භාර ගුරුතුමිය. ඇය පසලෙන් පසුව මගේ පුතා වගේම අනෙක් දරුවනුත් රඳවාගෙන ඉගැන්වීම් කටයුතු කළා. ඇත්තටම අපි කළේ එයාට අවශ්‍ය දේ ලබාදීම පමණයි. මොකද මගේ සැමියා හැමවෙලේම ගෙදර නැහැ. ඔහුගේ රැකියාවේ ස්වරූපය අනුව ඔහුට ගොඩක් වෙලාවට ළමයි වෙනුවෙන් කටයුතු කරන්න කාලය අඩුයි. ඒත් ඔහුට ඉඩ තියෙන හැමවෙලෙම ඔහු කරන්නේ දරුවන්ගෙ කටයුතු. පුතා බාලදක්ෂයෙක්, කරාතෙ ශූරයෙක්,චෙස් ශූරයෙක්. අධ්‍යාපනයට අමතරව ඔහු ගොඩක් බහිර ක්‍රියාකාරකම්වලට යොමු වුණා. ඒ බලපෑම ගොඩක් එයාගෙ පියාගෙන් ලැබෙන්න ඇති. ඉතනේ මං මේ රටේ ආදරණීය මවුපියන්ගෙන් ඉල්ලන්නේ දරුවන්ට එයාල කැමති දේවල් වලට ඉඩ දෙන්න; බලහත්කාරයෙන් කිසිම දෙයක් උගන්වන්න යන්න එපා කියලයි. එයාලව තේරුම් අරන් එයාල කැමති දේට ඉඩ දෙන්න; එයාලා එයාලගෙ ගමන යාවි.“
මනුසස් සිදම්ගේ පන්ති භාර ගුරුතුමිය වන ඉරේෂා මාධවී ගුණතිලක පැවසුවේ මනුසස් සැබැවින්ම දක්ෂ දරුවකු බවයි. කුඩා කාලයේ පටන් ඔහුගේ දක්ෂතා පාසල තුළදී කැපී පෙනුණු බවත්, අනෙක් ගුරුවරුන් පවා ඒ සඳහා උදව් උපකාර කළ බවත් ඈ පැවසූවාය.
“මට එයා හමුවුණේ හතර වසරෙදි. ඒ කාලෙත් එයාගේ විශේෂ දක්ෂතා තිබුණා. විෂය කරුණුවලදී ඔහු ගොඩක් ඉදිරියෙන් හිටියා. ඕනම ගණිත ගැටලුවක් ක්ෂණිකව විසඳන්න එයා හරිම දක්ෂයි. ඒ වගේම විෂය බාහිර කටයුතුවලදීත් ඔහු විශේෂ දක්ෂතා පෙන්නුවා. ඇත්තටම කිව්වොත් එයා සහජ දක්ෂතා ඇති දරුවෙක්. අපි බලාපොරොත්තු වුණා මනුසස් පුතා පාසලට මේ විභාගයෙන් ලොකු කීර්තියක් ගෙනෙයි කියලා. ඒ දේ ඒ විදියටම අද ඉටු වෙලා තියෙනවා. හුඟක් සන්තෝෂයි.“
විදුහල්පති මේජර් ඉන්දික රාජපක්ෂ පැවසුවේ මනුසස් සිසුවා විදුහලට අත්කර දුන් මේ කීර්තිය ඉතා ඉහළින් අගය කරන බවයි. ඒ වෙනුවෙන් ගුරු මණ්ඩලය කළ කැප කැපකිරීම ද අගය කරන බවයි.
ඡායාරූප - සුදත් නිශාන්ත