විදුලියට වෙට්ටු දාන කැචර්ලාගේ කෙරුවාව | සිළුමිණ

විදුලියට වෙට්ටු දාන කැචර්ලාගේ කෙරුවාව

ද වන විට මෙරට දැවැන්ත අර්බුදයකට පත්ව තිබෙන විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් සපයා ඇති ප්‍රතිපාදන අනුව මහජන උපදේශනය හෝ පාර්ශ්වකරුවන් සඳහා උපදේශන පවත්වා එම අදහස්ද සලකා බලමින් විධිමත් ක්‍රියාපටිපාටියක් යටතේ තීන්දු තීරණ ගැනීමට කොමිෂන් සභාවට බලය තිබේ. 

එහිදී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණ බව දැක්වේ. එමෙන්ම බලපත්‍රලාභීන්ගේ නිසි කාර්ය සාධනයට උරදීම ද කොමිෂන් සභාවේ තවත් අරමුණකි. තීරණ ගැනීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍යභාවයකින් අවසාන තීරණයන්ට එළැඹීම මෙහි ප්‍රධාන වගකීමක් වේ.

විදුලි බල කර්මාන්තය හා නියාමනය යන කරුණු සැලකිල්ලට ගැනීමේදී කොමිසම විසින් විශේෂ අවධානය යොමු කළ යුතු තවත් කරුණු ඇත. ඒ අනුව විදුලි බලය සැපයීම ජාලයක් සම්බන්ධ කර්මාන්තයක් ලෙස හඳුනා ගෙන කටයුතු කළ යුතු වේ. එහිදී පාරිභෝගිකයාගේ නිවෙස වෙත විදුලිය සැපයීමේ ක්‍රියාවලිය තුළ ඊට අදාළ ක්‍රියාවලි රාශියක් සිදු වන බව හඳුනා ගත යුතුය. එම නිසා ජාලය තුළ සිදු වන සියලු ක්‍රියාවලීන් සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයා ගෙවිය යුතු ගාස්තුව තීරණය කෙරේ. එහිදී ජාලය තුළ සිදු වන ප්‍රධාන ක්‍රියාවලි තුනක් පෙන්නුම් කර තිබේ. ඒ අතර විදුලි උත්පාදනය, විදුලි සම්ප්‍රේෂණ‍යේ හා විදුලිය බෙදා හැරීම යන කරුණු සැලකිල්ලට ගෙන විදුලි ගාස්තුව තීරණය කරනු ලැබේ. සේවා සපයන්නාගේ පිරිවැය ද පාරිභෝගිකයාගේ දැරිය හැකි බව ද යන කරුණු සැලකිල්ලට ගෙන විදුලි ගාස්තුව තීරණය කිරීමේ වගකීම නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිසමට පැවරී තිබේ.

ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණය ඒකාධිකාරිත්වයක් පවතින අතර විදුලිබල අංශය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් සම්ප්‍රේෂණය සඳහා බලපත්‍රය ලබා දී ඇත. විදුලිය බෙදා හැරීම සඳහා බලපත්‍රයක් ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නිකුත් කර ඇත්තේ ලංවිම බෙදාහැරීමේ අංශයට හා ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) වෙත පමණි.

එහිදී කර්මාන්තයේ යහපැවැත්මට කටයුතු කිරීම කොමිසමේ වගකීමක් වනු ඇත. මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකි. වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනක රත්නායකය. එහි උප සභාපති ධුරය දරන්නේ ඉංජිනේරු උදේනි වික්‍රමසිංහය. එමෙන්ම සාමාජිකයන් ලෙසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හා නීතිඥ චතුරිකා විජේසිංහ කටයුතු කරයි. සෙසු සාමාජිකයා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විදුලි ඉංජිනේරු ජනක ඒකනායක මීට මාස 6කට පමණ පෙර විශ්‍රාම ගියේය. එම නිසා මේ වන විට කොමිසමේ කාර්යයන් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ සෙසු සාමාජිකයන් හතර දෙනාගේ එකඟත්වයෙනි.

අපට මේ කොමිසම ගැන කතා කරන්නට මේ වන විට සිදුව ඇත්තේ පැති කිහිපයක් පුරා විහිදුණු කතාන්තරයන් නිසාය. එක් මාතෘකාවක් වන්නේ විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධ අර්බුදයයි. අනෙක කොමිසමේ උප සභාපතිවරයාට හා සාමාජිකයකුට මරණ තර්ජන එල්ල කර මැර පිරිස් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විසින් කළ අඩන්තේට්ටම්ය.

මේ කතාවේ ආරම්භය වන්නේ පසුගිය මාසයේ විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වීමය. මීට මාස කිහිපයකට පෙර විදුලි බිල වැඩි කළ අතර විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීම පිණිස යළිත් වරක් 60%ත් 70%ත් අතර ගණනකින් විදුලි බිල වැඩි කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් ගෙන ආ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබුණි. 

එහෙත් වර්තමාන නියාමන ක්‍රමවේදය යටතේ විදුලි බිල ඉහළ නැංවීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතුමය. අනුමැතිය පිණිස අදාළ කැබිනට් පත්‍රිකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කෙරිණි. එහිදී කොමිසමේ වත්මන් සෙසු සාමාජික සාමාජිකාවන් තිදෙනා සභාපතිවරයාට පවසන්නේ අදාළ කැබිනට් පත්‍රිකාවට, පනතට අනුව කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයා ද රැක ගනිමින් අවශ්‍ය කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ගල් අඟුරු මෙන්ම ඛනිජ තෙල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ඒ සඳහා විදේශ විනිමයේ අවශ්‍යතාව වැනි කරුණු මෙහිදී සැලකිල්ලට ගත යුතු විය.

එහිදී ජනවාරි 12 වෙනිදා පැවැත්වුණු මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ප්‍රමුඛ සභා රැස්වීමේදී යෝජනා වූයේ කැබිනට් මණ්ඩලයට අදාළ කාර්යය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් යැවීමටත් ඊට පෙර එම ලිපිය සියලු සාමාජිකයන්ගේ අවධානයට හා අනුමැතියට යොමු විය යුතු බවත්ය. එහෙත් ජනවාරි 13 වෙනිදා කොමිසමේ සභාපතිවරයා කැබිනට් මණ්ඩලයට අදාළ ලිපිය යොමු කරන්නේ කොමිසමේ උපසභාපති හෝ සෙසු සාමාජිකයන් දෙදෙනාට හෝ එය නොපෙන්වා බවට වාර්තා වේ. අර්බුදය හට ගන්නේ එතැන් සිටය. 13 වෙනිදා පස්වරු 3.45ට අදාළ ලිපිය කැබිනට් මණ්ඩලයට සභාපතිවරයා යොමු කරන්නේ ‘‘කොමිසමේ අණ පරිදි” යනුවෙන් සඳහන් කරමිනි. එහෙත් කොමිසම යනු සභාපතිවරයා පමණක් නොවේ. කොමිසමේ පනතට අනුව ‘මම‘ යන්නෙක් නොමැත. එහි වගකීම ඇත්තේ සභාපති ඇතුළු සියලු සාමාජිකයන්ටය. ඒ අනුව සෙසු සාමාජිකයන්ට අදාළ පිළිතුරු ලිපිය නොපෙන්වා කැබිනට් මණ්ඩලයට යවන ලද්දේ නම් එම ලිපිය ඇත්තෙන්ම නීති විරෝධී විය යුතුය.

එමෙන්ම මෙහිදී තවත් ගැටලුවක් පැන නඟී. එනම් පස්වරු 3.45ට ලිපිය යොමු වන විට කැබිනට් රැස්වීම ආරම්භ කර ඇති හෙයින් එම ලිපිය එදින සැලකිල්ලට ගත හැකි නොවනු ඇත. ඒ අනුව අදාළ ලිපිය කැබිනට් රැස්වීමට ගැනීමට නොහැකි වන බව නොදැන සිටියේද යන්නයි. එමෙන්ම කොමිසමේ සෙසු සාමාජිකයන්ට ලිපිය ලැබෙන්නේ කැබිනට් මණ්ඩලයට ලිපිය යොමු කර පැය දෙකකට ආසන්න කාලයකට පසුව පමණ බවද දැන ගන්නට තිබේ. ඒ විදුත් තැපෑලෙන් යවන ලද ලිපියකි.

මේ සම්බන්ධයෙන් කොමිසමේ උප සභාපති සහ සෙසු සාමාජිකයන් දෙදෙනා සභාපතිවරයා අදාළ ලිපිය තමන්ට නොපෙන්වා කැබිනට් මණ්ඩලයට යොමු කිරීම ගැන අප්‍රසාදය පළ කරන්නේ තමන් සාමාජිකත්වය දරන කොමිසමක කොමිසමේ අණ පරිදි යනුවෙන් ලිපියක් තමන්ගේ නොදැනුවත්භාවයෙන් යොමු වීම සම්බන්ධයෙනි. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් සභාපතිවරයා හැර සෙසු තිදෙනා සාකච්ඡාවක් පිණිස කැඳවයි. එහිදී විදුලි බිල අකමැත්තෙන් හෝ නැංවීමට නිර්දේශ කරන්නට රජයට සිදු වූ හේතු ජනාධිපතිවරයා එම සාමාජිකයන්ට පැහැදිලි කළේය. එම තිදෙනා එහිදී අදාළ තොරතුරු ජනාධිපතිවරයාට පැවසූ අතර තමන්ට නොපෙන්වා කැබිනට් මණ්ඩලයට ලිපිය යවා ඇති ආකාරය ජනාධිපතිවරයාට දැනුම් දුන්හ. එමෙන්ම රජයේ විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාවට අකමැත්තෙන් හෝ පනතේ විධිවිධානයන්ට අනුව කැමැත්ත පළ කිරීමට ඔවුන් එකඟත්වය පළ කෙළේ වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී විය හැකි අනතුරුදායක තත්ත්වය පාරිභෝගිකයන්ට විශාල අර්බුදයක් වන බවට වන සාධක නිර්මාණය වෙමින් පවතින නිසාය. ඊට අදාළ විධිවිධාන පනතේ ඇති බව පෙන්වා දී තිබුණි.

ඒ අතර 20 වෙනිදා පස්වරු 4.00ට කොමිසමේ මාධ්‍ය හමුවක් පැවැත්වූ සභාපතිවරයා පවසා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ජනාධිපතිවරයාට සාමාජිකයන් තිදෙනකු එකඟත්වය පළ කිරීම අනුමත නොකරන බවයි. සභාපතිවරයා වන තමා නොකැඳවා සෙසු සාමාජිකයන්ගේ මතය විමසීම ගැන ඔහු අප්‍රසාදය පළ කෙළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අදහස් කරන බව ද ඔහු පැවසුවේය.

එම මාධ්‍ය හමුවට පෙර පස්වරු 2.30ට කොමිසමේ රැස්වීමක් පැවැත්වුණි. එයට සහභාගි වීමට ගිය අවස්ථාවේදී එහි උප සභාපති හා සෙසු සාමාජිකයන් දෙදෙනාට එරෙහිව විරෝධය දක්වමින් හා කොමිෂන් සභාවේ උපසභාපති උදේනි වික්‍රමසිංහ හා සාමාජික මොහාන් සමරනායකට බැණ තර්ජනය කිරීමට පිරිසක් කටයුතු කරන ලදි. ඒ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකු එක්ව බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව විමර්ශනයක් ආරම්භ කරන ලදි.

ජනවාරි 01 වෙනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණය පිළිබඳ කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවත් ඒ අනුව එම ඉල්ලීම ගැන සාකච්ඡා කිරීමට සභාපතිවරයාගේ දැනුම් දීම මත කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මර්චන්ට් ටවර් හි 17 වැනි මහලේ පිහිටි මහජන උපයෝගීතා කොම්ෂන් සභා කාර්යාලයේදී රැස්වූ බවත් සාමාජික මොහාන් සමරනායක පොලිසියට පවසා තිබේ. එම සාකච්ඡාවට සහභාගි වීමට තමාත් කොමිෂන් සභාවේ උපසභාපති උදේනි වික්‍රමසිංහත් සවස 2.30ට පමණ කොමිෂන් සභා කාර්යාලය වෙත ගමන් කරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් පිරිසක් "මොහාන්, උදේනි, චතුරිකා ජනතාව පාවා දෙයි. රටට ද්‍රෝහි වෙන්න එපා" වැනි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාව පළ කරමින් සිටි බවද මොහාන් සමරනායක විසින් පොලිසියට පවසා ඇත. සාකච්ඡාව අවසන් වී පිටතට එන විටදී ද එම පිරිස තමන්ට දෝෂාරෝපණ සහ අවමන් කරමින් ජීවිත හානි පවා කරන බවට තර්ජනය කළ බවද ඔහු පොලිසියට සඳහන් කර තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභා පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු විය නොහැකි තත්ත්වයක් යටතේ එම පිරිස් ඇතුළු වූ ආකාරය ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්නේ ඒ අනුවය. සංවිධානාත්මකව එම පිරිස මෙදින කොමිෂන් සභා පරීශ්‍රයට පැමිණ ඇති බවත්; ඔවුන් කොමිෂන් සභාවේ සාමාජිකයන්ව බිය ගන්වමින් බලපෑමක් කිරීම සඳහා එසේ හැසිරී තිබෙන බව මූලික විමර්ශනවලින්ම පෙනී ගොස් ඇත. එමෙන්ම කොමිසමේ අභ්‍යන්තර සහායක් නොමැතිව ඔවුන්ට පැමිණීමට නොහැකි බවට ද තොරතුරු හෙළි වී තිබේ.

පොලිස් විමර්ශන එසේ සිදු කෙරෙද්දී යළිත් සාකච්ඡාවක් කැඳවීමට සභාපතිවරයා විසින් පියවර ගෙන තිබුණි. ඒ පසුගිය 23 වෙනිදාය. එහෙත් 20 වෙනිදා උද්ගත වූ තත්ත්වය මත එම සාකච්ඡාවට පැමිණීමට සාමාජිකයන් වැඩි කැමැත්තක් නොදැක්වූ හෙයින් සාකච්ඡාව මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) පවත්වන ලදි. එහිදී සභාපතිවරයා ඇතුළු කොමිසමේ නිලධාරීන් සියලු දෙනා එක් වී විදුලි බිල සංශෝධනය සම්බන්ධ පත්‍රිකාවක් සකස් කරන ලදි. එහිදී නියමිත ක්‍රමවේදයට අනුව කටයුතු කර තීන්දුවක් ලබා ගන්නා බව දන්වා තිබුණි. පසුව ජාතික සභාවේදී 24 වෙනිදා හමු වී යළිත් සාකච්ඡා කරන ලදි.

එහිදී නීතිමය වශයෙන් තුඩුදිය හැකි කරුණු සම්බන්ධයෙන් නීතිපතිගේ මතය විමසිය යුතු බවට යෝජනා වූ අතර සභාපතිවරයා පවසා ඇත්තේ දින දෙක තුනක් ඇතුළත එම මතය විමසන බවයි. එහෙත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසා ඇත්තේ එදිනම නීතිපතිගේ මතය විමසීමට කටයුතු කරන ලෙසයි. කෙසේ හෝ පසු දින එනම් 25 වෙනිදා උදයවරුවේ එම මතය විමසීමට කටයුතු යොදන බව සභාපතිවරයා පැව­ැසුවත් අදාළ විමසීම කර ඇත්තේ එදින දහවල් බව හෙළිව තිබේ.‍ 

ඒ අනුව විදුලිබිල ඉහළ නැංවීමට අදාළව විදුලිබල පනත සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත්වල නීතිමය කරුණු විමසා බැලීම සඳහා, එය නීතිපතිවරයා වෙත යොමු කෙරුණි. විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ආරම්භයේ වෙනත් මතයක් දැරුවද ජාතික සභා රැස්වීමේදී හෙතෙම අනෙකුත් සාමාජිකයන් සමඟ එක්ව, ඒකමතික එකඟත­ාවයක් පළ කර තිබේ.

ඒ අනුව විදුලිබිල වැඩි කිරීමට අදාළව ගත යුතු ක්‍රියාදාමය අවසන් වන තුරු අතුරු මිල වැඩිකිරීමක් සඳහා අවසර දීම පිළිබඳවත්, එම අතුරු වැඩිවීම 2023 ජනවාරි 1 දා සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කිරීමට අදාළවත් නීතිපති මතය විමසීමට මෙහිදී තිරණය වී තිබේ. ඊට අමතරව විදුලිබල ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ, පාර්ලිමේන්තුවේ සභාගත නොකර ජාතික සභාවට ඉදිරිපත් කළ හැකිද යන කාරණය පිළිබඳ ද නීතිපතිවරයාගෙන් විමසීමට තිරණය වී ඇත. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ අලුත්ම කතාව යළි දිග හැරෙන්නේ නීතිපතිවරයාගේ මතය පැමිණීමෙන් පසුවය.

ඒ අතර ජනවාරි 20 වෙනිදා සාමාජිකයන්ට තර්ජනය කළ පිරිස් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට සැකකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලදි. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ලෙස සිටිමින් කොමිසමේ සාමාජිකයන් පුද්ගලයන් දෙදෙනකු තමන්ට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් කොල්ලුපිටිය පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ බවත් එම විමර්ශනය අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සමාජ මාධ්‍ය ජාලා සහ වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් සිදු කළ බව කියා සිටි පොලිසිය ඒ අනුව අදාළ සැකකරුවන් වත්තල සහ මැල්ලව ගෙදර යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව අධිකරණයට දන්වා සිටියේය. එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනකු සහ එක් සැකකාරියක අත්අඩංගුවට ගැනීමට ඇති බව අධිකරණයට දන්වා සිටියේය.

අත්අඩංගුවට ගත් දෙදෙනා වන්නේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත හා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මිකය. ඔවුන් දෙදෙනා විදුලි සෝපානයේදීත් කොමිසමේ සාමාජිකයන්ට බැණ තර්ජනය කළ බවට වාර්තා වේ. මේ දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ පරමාන් කාසිම් ඇතුළු නීතිඥ මඬුල්ල සැකකරුවන් දෙදෙනා මහජන උපයෝගිතා කොමිසමට ගොස් ඇත්තේ එහි සභාපතිවරයා සමඟ දුරකතනයෙන් කතා කර ලබා ගත් අවසරයක් ඇතුව බවත්, පැය භාගයක පමණ කාලයක් ඔවුන් එහි රැඳී සිටි බවත් කියා සිටිමින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටි නමුත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

විදුලි බිල වැඩි කිරීම ජනතාව කබළෙන් ළිපට වැටීමක් බඳුය. එහෙත් ගැටලුව වන්නේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කරන්නට ඇති බොහෝ සේ සීමාසහිත වීමය. ඒ වෙනුවෙන් කළ හැකි හොඳම දේ මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත වන්නේය. විදුලි බිල වැඩි කිරීම පමාවීම නිසා ක්‍රමයෙන් ගල් අඟුරු ආනයනයට හා ඉන්ධන ලබා ගැනීමට මුදල් නොමැතිවීමෙන් විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවට මේ වන විට විදුලි බලයට සම්බන්ධ විශේෂඥයන් අනතුරු අඟවා ඇත. එමෙන්ම මේ වන විට පෞද්ගලික ජනන සමාගම්වලටද අතිවිශාල මුදලක් ගෙවීමට ඇති හෙයින් එම සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම ද ගැටලුවක් වී තිබේ.

ජනතාවට නොපෙනෙන ඇත්ත වන්නේ විදුලි බිල වැඩි නොකර ඉදිරියේදී විදුලිය සැපයීම කළ නොහැකි බවයි. එය පෙන්වා දීම කොමිසමේ කාර්ය ගොන්නට අයත් වන්නේද නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් සත්‍යය වසන් කළහොත් හෝ ජනප්‍රිය තීරණ කරා යන්නට හෝ ජනප්‍රියත්වය ලබා ගන්නට යාම රටම අාගාධයට ඇද දමන්නක් බව නම් කිව යුතුය.

Comments