රාජකීය සම්ප්‍රදාය උඩුයටිකුරු කළ හැරීගේ නෝටි වැඩ | Page 2 | සිළුමිණ

රාජකීය සම්ප්‍රදාය උඩුයටිකුරු කළ හැරීගේ නෝටි වැඩ

බ්‍රිතාන්‍ය රජ පවුලේ කීර්තියට අභියෝග කළ හැරී කුමරුගේ Spare කෘතියේ කතාබහ තවමත් ඉවරයක් නැත. රජ සම්පත් හැර දමා මේගන් සමඟ හිස් අතින් අමෙරිකාවට සේන්දු වූ මේ අකීකරු කුමාරයා රජ පවුලේ හෙළි නොවූ කරුණු රැසක් කිසිදු චකිතයකින් තොරව අනාවරණය කිරීම ඇතැමුන්ගේ විමතියට ද කරුණක් වී ඇත. පිටු අටසිය ගණනාවක් පුරා කුරුටු ගෑ Spare කෘතිය ප්‍රකාශයට පත් වූයේ පිටු හාරසිය ගණනකට අඩු කිරීමෙනි. ඉන් කියැවෙන්නේ තවත් පොතකට ගොනු කරන්නට හැරීට ඇති තරම් කරුණු කාරණා ඉතිරි වී ඇති බවය. පිටු අටසිය ගණනම පළ කළේ නම් පියා සහ සොහොයුරා කිසි දිනෙක තමාට සමාව නොදෙනු ඇතැයි ද ඔහුම පසුව කියා තිබිණි. හැරී කියන්නේ ඔහුගේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය රජ පෙළපත බිඳ දැමීමට නොව එය රැක ගැනීමට බවය. ඔහු විශ්වාස කරන්නේ විලියම් කුමරුගේ බාල පුතු ලුයිස් කුමරු ඇතුළු අනාගත ‘අමතර කොටස්‘ වෙනුවෙන් රජ පවුලේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවය. උපන්දා සිට විලියම් කුමරුගේ ‘අමතර කොටස‘ බවට පත් වීමෙන් අත්විඳින්නට සිදු වූ දැඩි කනස්සල්ල හා මානසික අවුල ඩයනා මවගේ අතුරුදන් වීමෙන් (හැරී කියන පරිදි) පසු දෙගුණ තෙගුණ වී තිබිණි. මවට පණ මෙන් ආදරය කළ චාල්ස් පවුලේ මේ බඩපිස්සා පසු කාලෙක හිතුවක්කාරයකු වී රජ පවුලෙන් ඉවත් වීමට ඒවා ද අඩුවැඩි වශයෙන් බලපාන්නට ඇත.

කොහොමත් හැරී කුඩා වියේ සිටම කළේ දඩබ්බර වැඩය. ඒවා ඉහවහ ගියේ ද්විතීය අධ්‍යාපනය හදාරමින් සිටි කාලයේදීය. වැඩිපුරම දඩබ්බර වැඩ සිදු වූයේ ලුඩ්ග්‍රොව් ප්‍රාථමික විදුහලේ සිටි හැරී ඊළඟ වස්සානයේදී ඊටන් විදුහලට ඇතුළු වූවාට පසුවය. ඒ වෙද්දී හැරීට රාජකීය ගරු බුහුමන් තිත්තම වී තිබිණි. ඔහුට වුවමනා වූයේ හොඳ හා සාමාන්‍ය මිතුරන් පිරිසක් ඇතිකර ගන්නටය. එහෙත් එය එතරම් ලෙහෙසි වූයේ නැත. ඔහුට වුවමනා වූයේ තම රාජකීය පෙළපත ගැන වද නොවන මිතුරන් පිරිසක්ය. සෙසු කොල්ලන්ට මෙන් සාමාන්‍ය ආකාරයට සලකන මිතුරන් පිරිසක්ය. ආයුධ සන්නද්ධ ආරක්ෂක නිලධාරියකු පාසල් ශාලාවේ කොනක නිදා සිටීම ගැන වද නොවන මිතුරන් පිරිසක්ය.

ආයුධ සන්නද්ධ ආරක්ෂක

නිලධාරියෙක්...?

ඔව්. මේ ආයුධ සන්නද්ධ ආරක්ෂක නිලධාරියා විදුහලේ රඳවා තිබුණේ හැරී යම්කිසි පැහැර ගැනීමකින් හෝ ඝාතනය කිරීමකින් බේරා ගැනීමටය. තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ විද්‍යුත් උපකරණය හා අනතුරු ඇඟවීමේ එලාමයක් ද හැරී සතුව තිබිණි. එහෙත් වාසනාවට හැරීට හොඳ මිතුරන් අතළොස්සක් එකතු කරගැනීමට හැකි විය. හොඳ යැයි කියන්නේ ඔහුගේ තාලයට හැඩ ගැසීමය. ඔහුට සාමාන්‍ය තරුණයකු ලෙස හැසිරීමට වැඩිම නිදහස ලැබුණා නම් ලැබුණු තැන එතැනය.

පාසලේදී හැරීගේ කල්ලියේ ලොකුම විනෝදාංශය වූයේ ආරක්ෂක නිලධාරියාට හොරෙන් වින්ඩ්සර් පාලම අසලට පැන යෑමය. එය එටෝන් සිට වින්ඩ්සර් දක්වා සම්බන්ධ වන්නේ තේම්ස් නදිය හරහා ය. ඔවුන් එතැනට යන්නේ පාලම යටට වී දුම් වැටි උරන්නටය. එවැනි නරක වැඩවලින් මිතුරන් සේම හැරී ද හිතේ හැටියට සතුටු විය. එපමණක් නොව මිතුරන් පිළිගැන්වූ සෑම දුම්වැටියක්ම සතුටින් බාර ගත් ඔහු වැඩි කල් නොගොසින්ම ගංජා සුරුට්ටුවටත් හුරු වූයේය.

සැබැවින්ම හැරී සිටියේ ඊටන් විදුහලේ සිටි දඟකාරම කොලු රංචුව අතරේය. ඔහු මිතුරන් සමඟ එක්ව පාසල් කොරිඩෝවේ ක්‍රිකට් ගැසූ අතර, ඔවුන් එය හැඳින් වූයේ ‘කොරිඩෝ ක්‍රිකට්‘ යනුවෙනි. එය නැවතුණේ උඩපන්දුවක් ඩැහැ ගන්නට උත්සාහ කළ මිතුරකුගේ මුහුණ කට බිත්තියේ සවි කර තිබුණු ගිනි නිවන උපකරණය වැදී ලේ ගලන්නට වීමත්, නැති ප්‍රශ්න ඇති වීමත් නිසාය.

මේ සියල්ල අතරතුර හැරීට එවකට ඩයනා කුමරිය ජීවත්ව සිටි කාලයේදී ලැබූ ආකාරයෙන්ම මාධ්‍ය ප්‍රචාරයක් ද නොමිලේම ලැබිණි. පැපරාසි ඡායාරූප ශිල්පීන් ඔහු පසුපස නිරතුරුවම සිටි අතර, එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පත්වලට හැරී නැතුවම බැරි පුද්ගලයකු බවට පත් වූයේ නිතැතින්මය. රජ පවුලේ ඕපාදූපවලින් පුවත්පතට මූල්‍යමය වාසි එමටය. එබැවින් ඔවුන්ගේ අවධානය නිතරම රජ පවුලට යොමු වූ අතර, හැරී කුමරු ඒ අතරින් විශේෂිත චරිතයක් විය. වරක් හැරී අරබයා ඕපාදූප පුවතක් පළ කළ එක්තරා පුවත්පතකට එරෙහිව චාල්ස්ගේ කාර්යාලයෙන් පැමිණිලි කර තිබුණේ බැරිම තැනය. රජ පවුලෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින්නැයි ඉල්ලීමක් ද කළේය. පුවත්පත චාල්ස් කුමරුගේ කාර්යාලයට දුන් උත්තරය වූයේ ‘පලයන් යන්න‘ කියාය.

‘එය 1999 වසන්තයේ ආරම්භයි. මා අවදි වූයේ ‘තාත්තා‘ මගේ ඇඳ කොනක වාඩිවී සිටිනු දැනීම නිසාය. ඔහු කීවේ මා නැවත අප්‍රිකාවට යා යුතු බවය.

‘අප්‍රිකාවට ?‘

‘ඔව් පෙම්බර කොල්ලෝ‘

‘ඇයි ?‘ ඒ වනවිට මා දිගු පාසල් නිවාඩුවකට මුහුණ දෙමින් සිටියෙමි.

‘අප්‍රිකාවේ සෆාරියක්..!‘ ඔහු කීවේය.

මා අප්‍රිකාවට යන්නේ දෙවැනි වරටය. මීට පෙර වතාවක් පියාගේ අප්‍රිකා සංචාරයකදී මා ඔහු සමඟ ගිය අතර, මෙවර මා යන්නේ විලී (විලියම්) සමඟය. එය වඩාත් හොඳය.

අප සමඟ ගමන් මඟ පෙන්වන්නට මාර්කෝ ද යන බවත් පියා කීවේය. මාර්කෝ යනු රාජකීය පවුලේ විශ්වාසනීයම ආරක්ෂක නිලධාරියකි. (එපමණක් නොව චාල්ස් කුමරුට සිය පුතුන් ගැන කේලම් කීවේ ද ඔහු ය.) මේ සංචාරයට ඒ සමඟම අපගේ ආයම්මා ද යෑමට සූදානම්ය. ඇය ටිගී ය. ටිගී ගැන නොකියාම බැරිය.

ඇය අපේ ප්‍රියතම ආයම්මා ය. ඇත්තම කියනවා නම් ඇයට එය විඳ දරා ගැනීමට අපහසුය. ඇයට ආයම්මා යැයි ආමන්ත්‍රණය කරන සෑම අවස්ථාවකදීම ඇය පරල වන්නේ එකසිය ගාණටය.‘ මම ආයම්මා නෙවෙයි, මම ඔයාගේ යාළුවා..!‘

අවාසනාවකට අම්මා ඇය ගැන එසේ සිතුවේ නැත. ඇය ටිගී දුටුවේ ආයම්මා කෙනෙකු ලෙස නොව ප්‍රතිවාදියකු ලෙසටය. අම්මා එවකට නිතරම සැක කළේ ආයම්මා හැඩ ගස්වා ඇත්තේ අනාගතයේදි අම්මාගේ තැන ගැනීමට බවය. (අම්මා ටිගී දුටුවේ ඇගේ ‘අමතර කොටස‘ ලෙසට ද?) අනාගතයේදී තම ආදේශකය වනු ඇතැයි අම්මා සැක කළ කාන්තාවම දැන් ඇගේ සැබෑ ආදේශකයා බවට පත් වී සිටී. එනිසාම ටිගීගේ සෑම වැලඳ ගැනීමකදීම, හිස පිරිමැදීමකදීම මට යම්කිසි වරදකාරී හැඟීමක් සමඟ මුදා හැරිය යුතු වේදනාවකුත් දැනෙන්නට විය.

Spare කෘතිය බ්‍රිතාන්‍ය රජ පවුලේ කීර්තියට එල්ල කළ අභියෝගයක් ලෙස බොහෝ විචාරකයන් හැඳින්වූවත් ඊට හැරී කුමරුගේ කිසිදාක හෙළි නොවූ අතිශය පෞද්ගලික කරුණු කාරණා ද ඇතුළත්ය. ඒ අතින් ඔහු සිය පාඨකයන්ට අන්තිම සාධාරණය ඉටු කර කරමින් තමා ගැනද සියලු රහස් අනාවරණය කර ඇත්තේ කිසිම ලෝබකමක් නැතිවය. ඊටන් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී මිතුරන් සමඟ කළ කී දේවල් මතකයේ ඇති පරිදි සියල්ල අකුරු කර ඇත්තේ කිසිම චකිතයකින් තොරවමය. හැරීගේ යොවුන් විය එහෙම පිටින්ම එංගලන්තයේ ටැබ්ලොයිට් පත්තරවලට රස මසවුළු බවට පත් වීමට ඒවා ද යහමින් බලපාන්නට ඇත. ‘කැලෑ කොල්ලා‘ හෝ ‘නෝටි එකා‘ ලේබලය ඔහුට ඇලවෙන්නට ඒවා බලපාන්නට ඇත. කොටින්ම හැරී සිය යොවුන් වියේදී කරන තරමක් කළේම දඟකාර වැඩ බව Spare කෘතියෙන් මැනවින් තහවුරු වෙයි.

දුම්වැටි, ගංජා පමණක් නොව පසුකාලීනව ඔහු මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ද පෙලඹී ඇත්තේ ඊටන් විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේදීය. ඒවා ලැබුණේ කෙසේදැයි දැන් ඔහුට මතකයක් නැත. එහෙත් ඊටන් විදුහලේ ඉහළ මාලයේ කුඩා නාන කාමරය තුළට වී මිතුරන් සමඟ මරිජුවානා ඉරූ හැටි ඔහු අකුරක් නෑර හෙළිදරවු කර ඇත්තේ එය වැරදි බව දැන දැනම කළ වරදක් ලෙස සඳහන් කරමිනි. අවසානයේ විභාග කාලසීමාවට පෙර මේ නරක පුරුද්ද අත්හරින බවට හැරී සහ මිතුරන් අතර ගිවිසුමක් ඇති විය. එහෙත් ඊළඟ රාත්‍රියේ නිදි යහනට වී සිටින විට හැරීට ඔහුගේ මිතුරන් කුටියෙන් පිටතට වී මරිජුවානා උරන සුවඳ දැනිණි. ‘මුන් ගිවිසුම කඩලා...!‘ නිදි යහනෙන් බිමට පැන හැරී ද මිතුරන් අතරට එක්විය. ඊළඟ මොහොතේ ඔහු සිටියේ ද බමන මතිනි.

තත්ත්වය බරපතළ බව හැරීට අවබෝධ තවත් කාලයක් ගියාට පසුවය. 2001 වසරේ එක්තරා දිනයක හැරී මුණ ගැසීමට පැමිණියේ මාර්කෝ ය. ඔවුහු නගරයේ ඇති හොඳම අවන්හලක දිවා ආහාරය ගත්හ. හැරී සිටියේ සතුටිනි. එහෙත් මාර්කෝ නිශ්ශබ්දව සිටියේය.

‘ඇයි මාර්කෝ..? මොකක්ද අවුල..?‘

‘මාව එව්වේ ඇත්ත දැනගන්න හැරී‘

‘මොනා ගැනද..?‘

මම සැක කළේ ඔහු මගේ ‘කුමර බඹසර‘ අහිමි කර ගැනීම ගැන කතා කිරීමට සූදානම් වන බවය. එය අහිමි වූයේ එක්තරා මහලු කාන්තාවක නිසාය. මා කළ කී බොහෝ දේවල් මෙන්ම එය ද ලොකු වරදකි. එය සිදු වූයේ එක්තරා කාර්යබහුල අවන්හලක පිටුපස පිහිටි තණගොල්ලකදීය. පැහැදිලිවම කවුරුන් හෝ අප දකින්නට ඇත.

‘මොන ඇත්තද මාර්කෝ..?‘

‘ඔබ මත්ද්‍රව්‍ය ගන්නවාද නැද්ද කියන එක හැරී..‘

‘මොකක්..?‘

ආරංචියේ හැටියට බ්‍රිතාන්‍යයේ විශාලතම ටැබ්ලොයිඩ් පුවත්පතේ කතුවරිය මෑතකදී පියාගේ කාර්යාලට දුරකතන ඇමතුමක් දෙමින් විවිධ ස්ථානවලදී මා මත්ද්‍රව්‍ය භාවිත කළ බවට සාක්ෂි රැසක් ලබා දී ඇත. පියා මාර්කෝ පත් කර ඇත්තේ ඒවා සම්බන්ධව සොයා බැලීමටය. මා හමුවට පැමිණීමට පෙර ඔහු අදාළ පුවත්පතේ කතුවරියගේ නියෝජිතයන් මුණ ගැසී ඒවා තහවුරු කරගෙන තිබිණි.

ඒවා ඇත්තදැයි මාර්කෝ නැවත මගෙන් විමසීය.

‘බොරු..! තනිකරම බොරු..!‘

අනතුරුව මාර්කෝ මා මත්ද්‍රව්‍ය ගත් බවට සාක්ෂි එකින් එක පෙන්වීය. කට උත්තර නැත.

‘ඒවා නිකම් කොලුකමට කරපු දේවල්‘

‘නෑ කොල්ලෝ නෑ‘

‘එඩිටර්ගේ තක්සේරුවට අනුව මාර්කෝ කීවේ මා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවය.

2002 ජනවාරියේ අදාළ ටැබ්ලොයිඩ් පුවත්පත පිටු හතක් පුරා ලියා තිබුණේ ‘හැරීගේ ලජ්ජා සහගත මත්ද්‍රව්‍ය භාවිතය‘ ගැනය. මේ පුවතින් හැරී ‘කුඩුකාරයකු‘ ලෙස ලේබල් ගත වූවා පමණක් නොව ඔහුට සෑහෙන කාලයකට වරින් වර පුනරුත්ථාපනය වීමටද සිදු වී තිබිණි. ටැබ්ලොයිඩ් පත්තරවල ශීර්ෂ පාඨවලට වරින් වර තමා යොදා ගැනීම නිසා හැරී හොඳටම හෙම්බත් වී සිටි අතර, පසුකාලීනව හමුදාවට බැඳී ඇෆ්ගනිස්තානයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ඔහුට සිතුණේ ‘ මේ බොරු හෙඩ්ලයින්ස් නොදැක ඉන්න බෝම්බයකට හරි අහුවෙලා මැරුණා නම්..‘ කියාය.

සැබැවින්ම ඒ වෙද්දී හැරීගේ ජීවිතයට ටැබ්ලොයිඩ් පත්තරවල බලපෑම් ඉහවහා ගොස් තිබූ අතර, ඔහුට පෞද්ගලික ජීවිතයක් තිබුණේම නැති තරම්ය. ඔහු කියන්නේ සිය පළමු පෙම්වතිය ගැන රජ පවුලට වඩා කැක්කුමක් තිබුණේ ටැබ්ලොයිඩ් පත්තරවලට බවය.

හැරී පළමුවරට පෙම්වතකු වූයේ සිය 20 වැනි උපන්දිනයට ඔන්න මෙන්න කියා තිබියදීය. ඇය චෙල්සි ඩේවිය. දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරමින් ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි සිම්බාබ්වේ ජාතිකයකුගේ දියණිය වූ අතර, හැරීට ඇය හමු වූයේ ඇය එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදිය. ඊට පෙර ඉඳ හිට තරුණියන් ඇසුරට වැටී තිබුණ ද, හැරී කියන්නේ තම පළමු පෙම්වතිය චෙල්සි බවය. ඔහුගේ ජීවිතයේ සෙසු දේවල් මෙන්ම චෙල්සි ගැනත් ටැබ්ලොයිඩ් පත්තරවලින් සඟවන්නට ඔහුට හැකි වූයේ නැත. 2004 වසරේ සිට 2010 දක්වා දෙදෙනාගේ පෙම ගලා ගියේ හැරීගේ හමුදා ජීවිතයට සමගාමීවය. කෙසේ වෙතත් අන්තිමේදී චෙල්සිට හැරීගේ පෙම එපා වූයේ පැපරාසි ඡායාරූප ශිල්පීන්ගෙන් බේරෙන්නට බැරි තැනය. හැරී පමණක් නොව චෙල්සි ද යන එන සෑම තැනකදීම එතැන පැපරාසියකු සිටියේය. ඇතැම් විට රංචුවක්ම ඇය පසුපස සිටි අතර, එය චෙල්සිට ‘මහා කරදරයක්‘ බවට පත් වී තිබිණි.

හැරීගේ පුදුමයට කාරණය වූයේ චෙල්සි යන එන තැන් පැපරාසීන් දැනගන්නේ කෙසේද යන්නය. ඔහු අන්තිමේදී ඔහුගේ උපදේශකයා වූ මාර්කෝගේ පිහිට පැතුවේය.

‘කෙල්ලගේ කාර් එකේ යට පැත්ත චෙක් කරන්න කියන්න. බාගෙ විට යන එන තැන් හොයා ගන්න උපකරණයක් හයි කරලා ඇති.‘ කතාව ඇත්තය. එවැනි උපකරණයක් ඇගේ මෝටර් රථයේ යට කොටසේ සවි කර තිබූ බව චෙල්සිගේ සොහොයුරා කීවේය.

‘චෙල්සි නිදහසේ ජීවත් වෙන්න කැමැති කෙල්ලෙක්..‘ හැරී කියන්නේ දෙදෙනාගේ පෙම් පලහිලව්ව බිඳ වැටීමට හේතුව එය බවය.

එලිසබෙත් මහ රැජන ඇතුළු සමස්ත රජ පවුලේ සාමාජිකයන්ගේ නළල් තල රැලි ගන්වමින් හැරී කුමරු මේගන් මර්කල් සමඟ පෙම් පලහිලව්ව පටන් ගත්තේ ඊටත් වසර කිහිපයකට පසුවය. අනතුරුව බ්‍රිතාන්‍ය පුරා කාගෙත් කතාබහට ලක් වූයේ කිසිම ආකාරයකින් රජ පවුලට නොගැළපෙන නිසාම බකිංහැම් මාළිගය තැති ගැන්මට ලක් කළ හැරී - මේගන් පෙම් පුවතය.

සිය යොවුන් වියේදී ‘නෝටි එකා‘ නොඑසේ නම් ‘කැලෑ කොල්ලා‘ නමින් එරට ටැබ්ලොයිඩ් පත්තර ලෝකයේ ලේබල්ගතව සිටි හැරී කුමරු ‘රජ පවුලේ සම්ප්‍රදායට පයින් ගැසූ රාජ කුමාරයා‘ බවට පත්වූයේ ඉන් පසුවය. ඩයනා කුමරියගෙන් පසු බ්‍රිතාන්‍ය රජ පවුල අරබයා වැඩිම පුවත් පළවූවා නම් ඒ පළ වූයේ ද මේගන් අරබයා බවට සැකයක් නැත. ඇය හැරීට වඩා වසර 3ක් වැඩිමල්ය. ඇය අමෙරිකා ජාතික කළු කාන්තාවකි. ඇරත් පළමු විවාහයෙන් දික්කසාද වී තවත් ආදර කතාවකට පැටලී සිටි කාන්තාවකි. රජ පවුල වද වූයේ හැරීගේ සහ මේගන්ගේ ප්‍රේමය විවාහය දක්වා ඇදී යෑම ගැනය. අවසානයේ සිදු වූයේ ද ඒ ටිකමය.

පසුකාලිනව එංගලන්තයේ ‘දෙවැනි ඩයනා‘ ලෙසින් ද, ‘රජ පවුලේ කළු කෙල්ල‘ ලෙසින් ද බ්‍රිතාන්‍ය ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වූ මේ අපූරු කාන්තාව හැරී කියන පරිදි ඔහුගේ ‘දෙවැනි මව‘ය. ඔහු තුළ ජීවත් වූ ‘නෝටි එකා‘ සදහටම මරා දමා ඔහුගේ ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කළ යකඩ ගැහැනිය ඇය වූවාය.

ඒ අපූරු කතාව පසුව කියවමු.

Comments