
කෘතිය- මෛත්‍රී සාගරය
කර්තෘ- දෙනගම සිරිවර්ධන
කර්තෘ ප්‍රකාශනයකි
විමසීම්- 0718 096 732
මිල- 1200/= පිටු ගණන- 304
ලෝක සත්ත්වයන් සසර දුකෙන් මුදවා ගත් බුදුන් වහන්සේ මෛත්‍රී සාගරයක් බඳුය. මානව දයාවෙන් සහ අනන්ත කරුණා ගුණයෙනුත් මෛත්‍රීයෙනුත් පිරී ඉතිරී ගිය ශ්‍රේෂ්ඨතම චරිතයක් වන බුදුන්ට සමාන කළ හැකි අයෙක් මෙදියතේ මෙතෙක් පහළ වී නැත. ඒ ශ්‍රේෂ්ඨ බෞද්ධ චරිතය ඇසුරින් මේ කෘතිය නිර්මාණය වී ඇත. ප්‍රවීණ ලේඛකයකු සහ ගත්කතුවරයකු වන දෙනගම සිරිවර්ධනයන් පවසන්නේ 'මෛත්‍රී සාගරය' රචනා කිරීමේදී කෘති රැසක් ඔහුට ප්‍රයෝජනවත් වූ බවයි. එමෙන්ම පසළොස් වසරකට නොඅඩු කලෙක සිට සිය අධ්‍යාත්මික ජීවිතයට ආලෝකයක් වූ පූජ්‍ය දන්කන්දේ ධර්මරතන හිමිපාණන් සහ පූජ්‍ය උඩුගම ථෙරිකා මෙහෙණින් වහන්සේ ද ගෞරව පූර්වකව සිහිපත් කරයි. බුද්ධ චරිතය ඇසුරෙන් මේ කෘතිය රචනා කිරීම කෙතරම් සංකීර්ණ කාර්යයක් වූවා ද යන්නද කතුවරයා සිය පෙරවදනේ මෙසේ සඳහන් කර ඇත.
"මෛත්‍රී සාගරය ලිවීමට මා පෑන අතට ගත්තේ තැතිගැන්මක් ද සහිතවය. මන්ද? "එයට ඔබ නොතරම්ය" යි මගේ සිත මට කී හෙයිනි. මගේ සිත දුටු වෑත්තෑවේ හිමියෝ, "පරසතු මලින් පුද- ලද මුනි සඳුට දිය නඳ, වන පස මලින් පුද- කළැයි පවසනු කවර වරද දැ" අසමින් ඒ තැති ගැන්ම දුරු කළහ. පස් මසක්ම එක දිගය ලිවීමේ යෙදුණෙමි. ඒ පස් මස ශාන්ත වූ ද, සිත නිවී තියා වූ ද, සතුට පිරී ගියා වූ ද යුගයක් විය. ඒ සතුටේ දැවටී තිබුණේ මෛත්‍රියයි."
කතුවරයා පාඨක ඔබටත් ඇරයුම් කරන්නේ ඔහු ලැබූ ඒ නිරාමිස සුවය, සතුට මේ 'මෛත්‍රී සාගරය' යෙන් ලබන්නටය.
කෘතිය- මරුබිම
කර්තෘ- අනුර බී. සෙනෙවිරත්න
ප්‍රකාශක- ෆාස්ට් පබ්ලිෂින්(ප්‍රයිවට්) ලිමිටඩ්
විමසීම්- 0776 702 274
මිල- 1350/= පිටු ගණන- 320
යුද්ධය බොහෝ දෙනකුට බොහෝ දෑ අහිමි කරද්දි කතුවරයා පවසන්නේ යුද්ධය ඔහුට බොහෝ දේ ලබා දුන් බවයි. එහෙත් ඒ රීදී බන්දේසියක තබා නොව, භීතිය, ත්‍රාසය සහ දුක් කම්කටොලු මෙන්ම, සුන්දරත්වයෙන් ද සපිරි ජීවිතයකදී බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රිකුණාමලය ආයතනයේ රසායනාගාර සහකාරවරයකු ලෙස සේවය කරන්නට කතුවරයාට අවස්ථාව හිමිවීමත් සමඟ ඔහුට තම ජීවන සහකාරිය හමු වන්නේත් විවාහ දිවියට එළැඹෙන ඔවුන් දියණියන් දෙදෙනකුගේ මවුපියන් වන්නේත් ඒ කුරිරු යුද්ධය මැදය. යුද්ධයේ බිහිසුණු බව අත්විඳිමින් ජීවිතයත් මරණයත් අතර අත්විඳි සිදුවීම් මේ නවකතාවේ එන ඇතැම් සජීවී අත්දැකීම්වලට උල්පත් මවා දී ඇත. කතුවරයා විසින් දශක තුනකට පෙර ලියූ මෙහි පළමු අත්පිටපත, 2000 වසරේ මධ්‍යම පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ පළමු ස්ථානය ද දිනා ගැනීමට ද සමත් විය. නැවත සංස්කරණයකින් පසුව එළිදුටු මේ නවකතාව යුද්ධයේ අමිහිරි, කටුක අත්දැකීම් ගැන මෙන්ම කරුණාව, දයාව, දරාගැනීම ආදී මානුෂික ගුණාංග පිළිබඳ කියැවෙන කෘතියකි.
කෘතිය- ගම්මැද්දේ නින්නාදය
කර්තෘ- ලොකුබණ්ඩා තිලකරත්න
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ
විමසීම්- 0112 769 446
මිල- 750 / පිටු ගණන- 422
විසි වැනි ශතවර්ෂයේ මැද නුවර කලාවියේ ගමක අභිමානය ගැන කියැවෙන මේ කෘතිය රචනා කර ඇත්තේ මේ කෘතියේ කතුවරයාගේම Echoes of the Millstone(2015)යන කෘතිය අනුසාරයෙනි.
නුවරකලාවියේ මිහින්තලේ අවට ගම්වලට ආවේණික දේශීය භාෂාවෙන් මේ පොත ලියා ඇති අතර, එයින් කියවන්නාට විස්තර කෙරෙන ජීවන රටාවේ නියම අරුත, ස්වභාවය හා සංස්කෘතිය හොඳින් අවබෝධ කරගැනීමටත් භාෂාවේ සජීවී බව රැකගැනීමටත් හැකි වී ඇත. ප්‍රදේශයේ දැනට භාවිත කරන වචන මෙන්ම අභාවයට ගොස් ඇති වචනත් ඇතුළත් ගැටපද විවරණයක් ද කෘතියට ඇතුළත් කොට තිබීම විශේෂත්වයකි.
කෘතිය- භව මෙහෙවර
කර්තෘ- අනුරුද්ධ කපිලවංශ
ප්‍රකාශක- සමයවර්ධන පොත්හල
විමසීම්- 0718 584 977
මිල- 1,150/= / පිටු ගණන-208
ප්‍රේමකතා සම්ප්‍රදායෙන් බැහැර වූ කාලපරාසයන් ද්විත්වයක් තුළ දිවෙන අතිශය සුන්දර මෙන්ම අසාමාන්‍ය සංසිද්ධීන්වලින් සමන්විත මේ කෘතිය කතුවරයාගේ කුලුඳුල් නවකතාවයි. ෙජා්තිෂය, නිල ශාස්ත්‍රය, සර්ප විෂ වෙදකම සහ භූත විද්‍යාව යන විෂයන්හි පරතෙරට පැමිණි වයස අවුරුදු 65ක පමණ පුද්ගලයකුගේ මනෝකාය වයස අවුරුදු 12ක පිරිමි ළමයකුගේ මනසට ඇතුළු වීමෙන් පසු දරුවා තුළ සිදු වන අසමාන්‍ය මානසික පෙරළිය ඉතා රසවත් මෙන්ම චමත්කාරජනක අන්දමින් රචනා කර ඇත.
පාඨකයා අතීතයට ගෙන යෑමට කතුවරයා සිය ලේඛන ශෛලිය තුළ භාවිත කර ඇති ක්‍රමෝපායන් ඔහු සතු ලේඛන ප්‍රතිභාව මනාව ප්‍රකාශ කරයි.