පෙබරවාරි මාසය ඔබට කොහොමද? | සිළුමිණ

පෙබරවාරි මාසය ඔබට කොහොමද?

- සිකුරු මාරුවෙන් මිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්න හිමියන්ට ඉතා සුබ කාලයක්
- ගුරු හංස යෝගයෙන් සුබඵල තවත් ඉහළට
- ග්‍රහ මාරු 4ක් සිදුවෙන මාසයක්

දා වූ 2023 වසර බොහෝ දෙනකුගේ බලාපොරොත්තු ඉටුවෙන වසරක් බව අපි වසර ආරම්භයේදීම කීවෙමු. විශේෂයෙන් ඉකුත් 17 වැනිදා සිදුවූ සෙනසුරු මාරුව ද බොහෝ ලග්න හිමියන්ට සුබවාදී ප්‍රතිඵල අත්කර දෙන බවක් පෙනෙන්නට ඇත. නව වසරේ පළමු මාසය තුළ ඔබට ආරම්භ කිරීමට නොහැකි වූ යම් දෙයක් ඇතොත් පෙබරවාරි මාසය තුළ එය ඉටු කර ගැනීමට වැඩි අවස්ථාවක් සැලසේ. පෙබරවාරි 15 වැනිදා සිදුවෙන සිකුරු මාරුව නිසා සිකුරු මීනයේ උච්ච වීම හේතුවෙන් මිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්න හිමියන්ට ඉතා සුබ ඵල රාශියක් අත්වන බවක් පෙනෙන්නට ඇත. ගුරු හංස යෝගයක් ද යෙදීම ද ඒ ලග්න හිමියන්ට සුබදායකය.

පෙබරවාරි මාසයේ ග්‍රහණ කිසිවක් නොමැති අතර, එක් ග්‍රහ යුද්ධයක් පමණක් යෙදී ඇත. පෙබරවාරි මාසය තුළ ග්‍රහ මාරු 4ක් සිදුවෙන අතර ඒවා මෙසේය.

පෙබරවාරි 07 වැනිදා උදේ 07.29ට බුධ ග්‍රහයා මකර රාශියටත්, පෙබරවාරි 13 වැනිදා උදේ 09.45ට රවි කුම්භ රාශියටත්, පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 20.03ට සිකුරු මීන රාශියටත් පෙබරවාරි 27 වැනිදා සවස 16.47ට බුධ කුම්භ රාශියට පිවිසීම ද දක්නට ලැබේ.

ඔබේ ජීවිතයේ සුබවාදී වෙනස්කම් කිහිපයකටම මඟ සැලසෙන පෙබරවාරි මාසයේදී ලග්නයෙන් ලග්නයට සිදුවන වෙනස්කම් මොනවා දැයි විමසා බලමු.

•මේෂ - භාග්‍යවන්ත මාසයකි

•ගෘහ ජීවිතය - ධන ලාභ, ගේ දොර, යාන වාහන ආදී ලැබීම්වලට භාග්‍යය ඇත. ප්‍රසිද්ධිය කීර්තිය හිමි වේ. උසස් නිලධාරීන්ගෙන්, සහකාර පාර්ශ්වවලින් උදවු ලැබෙන කාලයකි. අගහිඟයක් නොමැතිව ජීවිතය පවත්වා ගෙන යෑමට හැකි වුවත් රාහු ලග්නගතව සිටීම නිසා ඔබ කරන කියන කටයුතුවලදී දෙවරක් සිතා බලන්න. දරුඵල ලැබීමට වාසනාව ඇත.

•රැකියාව - රවි 10 වැන්නේ දිග්බලව සිටීමත් 10 වැන්න අධිපති අයස්ථානගතව සිටීමත් අනුව රැකීරක්ෂා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවේ. සේවක පක්ෂය තම මතයට ගරු කරයි. සේවා ස්ථානය තුළ ක්‍රියාශීලීව සහ ප්‍රධානත්වයකින් අනන්‍යතාව ගොඩ නඟාගෙන දියුණුවක් ඇතිකර ගැනීමට පුළුවන.

•අධ්‍යාපනය - 5 වැන්න අධිපති 10 වැන්නේත් 9 වැන්නේ බුධත් ගෝචර වී ඇති බැවින් දරුවන්ට ඉගෙනීමේ කටයුතුවලින් ප්‍රයෝජන ලබා ගැනීමට බාධාවක් නොමැත. අලස ගති මගහැර උ‌ෙද්‍යා්ගිමත්ව කටයුතු කිරීම දරුවන් සතු කාර්යයකි.

•සෞඛ්‍යය - සෙම් රෝග, කලවා ආශ්‍රිත පාදවල වේදනා, උෂ්ණ රෝග, ක්ලාන්තවීම් ඇති විය හැකිය.

අපල අවම කර ගැනීමට කල්පනාවෙන් වචන පිටකරන්න. සංයමයෙන් යුතුව ඇසුරු කරන අය සහ සේවා ස්ථානයේ කටයුතු කරන්න. අන්‍යයන්ට කරුණාව, මෛත්‍රිය දක්වන්න. ඉවසීමට පුරුදු වන්න. සතිය ආරම්භයේ බෝධියක් අබියස රතු සහ සුදු මල් පුදා බුදු ගුණ මෙනෙහි කර සියලු දෙවියන් ප්‍රධාන ලෝක සත්වයාට පින් දෙන්න. සෙත් පතන්න.

•සුබ අංක 1, 4, 5, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බදාදා

•වෘෂභ - සිතේ සතුට ඇති වෙයි

•ගෘහ ජීවිතය - කුජ ලග්නගතව සඳු සමඟ සිටීම නිසා ඉක්මන් තීන්දු තීරණවලට එළැඹීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. අඟහිඟකම් මතු නොවේ. බාධක, අභියෝග කොතෙක් ආවත් ඒවා මැඬගෙන ඉදිරියට යන ගතියක් ඔබ තුළ ඇත. ගෘහ ජීවිතය තුළ සුළු සුළු මත ගැටුම් පැන නැඟෙන නමුත් ඒවා දුර දිග නොයයි.

•රැකියාව - 10 වැන්න වූ රැකියා ස්ථානයේ ශනි සහ සිකුරු යෝගය සහනදායී කාලයක් වනු ඇත. රැකියා දියුණුව, ව්‍යාපාර ලාභ, පිය උරුමයෙන් ලැබිය යුතු දේ හිමිවීමට ඉඩ ඇත. ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් තමාට අයත් කොටස හරිහැටි ඉටු කිරීම තුළින් සිතෙහි සැනසීම මෙන් අතමිට ද සරු වනු ඇත.

•අධ්‍යාපනය - මාසය ආරම්භයත් සමඟ ඉගෙනීමේ කටයුතුවලට යම් බාධා තත්වයක් ඇති වුවත් දෙවැනි සතිය වන විට එම බාධා මගහැරී යයි. උසස් විභාගවලින් ජයග්‍රහණ අත්වේ.

•සෞඛ්‍යය - වා පිත් සෙම් රෝග, ආමාශගත අසනීප, දණහිස් වේදනා, උගුරේ ආසාදන හට ගැනීමට ඉඩ ඇත.

අපල අවම කර ගැනීමට ඉවසීමෙන් සහ යහපත් වචන කථා කිරීමත්, යහ පැවැත්මත් උපකාරී වේ. සතිය ආරම්භයේදී සුදු මල් ටිකක් චෛත්‍යයක් අබියස පුදා දෙවියන්ට පින් දෙන්න. තරුණ දූ දරුවන්ගේ කටයුතුවලට උදවු උපකාර කරන්න.

•සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා

•මිථුන - සියලු ලැබීම් සහිතයි

•ගෘහ ජීවිතය - සියලු ලැබීම්වලට ඉඩකඩ පවතින කාලවකවානුවකි. ආරම්භයේ ගුරු කර්මස්ථානගතව ගුරු හංස යෝගයෙන් සිටීමත් මාසයේ මැදදී සිකුරු ග්‍රහයා ද ගුරු හා යෝග වීමත් සුබඵල ගෙන දෙන බව පෙනෙන්නට ඇත. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවෙන අතර, ගෙදරදොර දියුණුව ඇති වේ. මහජන සහයෝගිතාව හිමිවේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය දී කටයුතු කරයි. මාසය ඇරඹී සතියක් පමණ යන විට බුධගේ අටවැන්න තුළ ගෝචරය නිසා බුද්ධියට අවහිරතා පැමිණිය හැකිය.

•රැකියාව - ඔබ මෙතෙක් කරගෙන ආ රැකියා අංශවලින් ධාර්මිකව ලැබීම් ද දක්නට ලැබෙයි. යුක්තිය සාධාරණය හරි හැටි ඉටුවිය යුතු මේ කාලයේ ඔබ දක්ෂ නිලධාරියකු වනු ඇත. මිල මුදල් අතමිට ගැවසෙන කාලයක් වුවද වියදම් පක්ෂය අධික විය හැකිය.

•අධ්‍යාපනය - උසස් අධ්‍යාපනික කටයුතුවල නියුතු දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන අතර, ඉංජිනේරු, පරිගණක අංශවල නියැළෙන දරුවන්ට ජයග්‍රහණ අත්වේ.

•සෞඛ්‍යය - ආමාශය, ගර්භාෂය වැනි ස්ථානවල සහ මුත්‍රා දෝෂ අතපය හිරිවැටීම් වැනි ස්නායු දුබලතා ද ඇතිවිය හැකි බැවින් සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කර ගන්න.

අපල අවම කර ගැනීමට පන්සිල් ගැනීමෙන් අනතුරුව බුදු ගුණ මෙනෙහි කරන්න. පිළිකා රෝගියකුට උපකාර කරන්න. සුළු අනතුරු ආදියට ද ඉඩ ඇති බැවින් ප්‍රවේසමෙන් වැඩ කටයුතු කරන්න.

•සුබ අංක 3, 5, සුබ වර්ණ - කොළ, කහ, සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

•කටක - පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක්

•ගෘහ ජීවිතය - ලග්නාධිපති සඳු කුජ සමඟ අයස්ථානයේ සිටීම මෙන්ම ගුරු ග්‍රහයාගේ පුණ්‍යස්ථාන ගත වීම ද ගුරු මහ දශා අතුරු දශා ගත කරන අයට සුබ පණිවිඩයකි. හිත මිතුරන්, දෙමාපිය, සොයුරු සොයුරියන්ගෙන් ද ලැබීම් පවතී. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. දුවා දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වේ. ශනිගේ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය වසර 2කට ආසන්න කාලයක් පවතින බැවින් කරන කියන කටයුතු වලට බාධා පැමිණීමට ඉඩ ඇත.

•රැකියාව - රැකියාවේ වෙනස්වීම් දක්නට ලැබෙන අතර, දුර පළාත්වලට මාරුවීම් ද සිදුවිය හැකිය. ඉක්මන් ක්‍රියා කලාපය නිසා පවතින රැකියාව අහිමි කර නොගෙන සිටීම වැදගත්ය. ප්‍රධානීන් සමඟ ආරවුල් ඇති කර නොගන්න. ආදායම් සරුවේ.

•අධ්‍යාපනය - ඒරාෂ්ටකය නිසා අමතක වීම්, අතපසුවීම් සිදුවිය හැකි බැවින් සෙනසුරු අපල සඳහා කළ යුතු ශාන්තිකර්ම ප්‍රමාද නොවී කරන්න.

•සෞඛ්‍යය - උණ, ලේ දෝෂ, විෂබීජ ශරීරගතවීම් මෙන්ම හදිසි සුළු අනතුරු ද ඇතිවිය හැකිය. ගමන්බිමන්වලදී ප්‍රවේසම් වන්න.

අපල අවම කර ගැනීමට සෙනසුරු ග්‍රහ අපලවලට කරනු ලබන සෙත් ශාන්තිවලට යොමු වන්න. කපුටන්ට, පක්ෂීන්ට, තිරිසන් සතුන්ට, ආහාර සහ ජලය දීම, දුර්වල වයසක කකුල් කොර ආබාධිත අයට සලකන්න.

•සුබ අංක 2, 7, 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

•සිංහ - උද්‍යෝගිමත් කාලයක්

•ගෘහ ජීවිතය - වෙනදාට වැඩි උනන්දුවකින් උද්‍යෝගයකින් පිබිදුණු ගතියකින් කටයුතු කරන්නට පෙලඹෙන මාසයකි. සතුරන් පරාජය වෙයි. නව දැනුම උකහා ගනියි. ගෙදරදොර දියුණුවට අදාළ කරුණු සොයා බලයි. විදෙස් ගමන්වලට ද අවස්ථා උදාවේ.

•රැකියාව - දැනට කරන වෘත්තිමය කටයුතු නිසි ආකාරයෙන් පිළිවෙළකට මෙන්ම ඉතා කඩිසරව කරගෙන යෑමට උනන්දුවක් ඇතිවෙයි. ප්‍රධානියෙකු සේ හැසිරෙයි. අණසක පතුරුවයි. එහෙත් සේවකයන්ගේ සහ එකට වැඩ කරන අයගේ හිත් නොරිදෙන පරිදි හැසිරීමට උනන්දු වන්න. ආදායම් තත්ත්වය වැඩි වේ.

•අධ්‍යාපනය - ප්‍රාථමික අංශවල දරුවන්ගේ පොතපතේ දැනුම වර්ධනය වේ. ප්‍රායෝගික ඉගැන්වීම් තුළින් ලබන දැනුම ද මතකයේ රැඳේ. උසස් අධ්‍යාපනය ලබන දරුවන් මතක ශක්තිය පවත්වාගත යුත්තේ දහමට අනුකූලවය. අමතක වීම්, අතපසු වීම් නොයෙදෙන්නට වග බලාගන්න.

•සෞඛ්‍යය - අක්ෂි රෝග, වකුගඩු, මුත්‍රා දෝෂ, උණ, අජීර්ණ ආදිය මෙන්ම කලක් අඩු නොවන සෙම් රෝගවලට ඉඩ ඇත. උණුවතුර පානයට හුරුවීම, ආහාර රටාව ගැන සැලකිලිමත් වීම සුදුසුය. මේ මාසය තුළ වරින්වර සිත් රිදීම්, අධික වියදම්, සුළු අනතුරු යෙදෙන්නට ඉඩ ඇති බැවින් සෑම කටයුත්තක්ම මනා සිහි බුද්ධියෙන් කරන්න.

අපල අවම කර ගැනීමට මාසය පුරා ඇති සෑම ඉරිදා දිනකම චෛත්‍යයක් අබියස රතු, සුදු මල් පුදා පහන් ආලෝකයක් දල්වන්න. සියලු දෙවියන්ට පින් දෙන්න. කරණීය මෙත්ත සූත්‍රය කියන්න. ඇස්වල දුර්වලතා ඇති අයට උපකාර කරන්න.

•සුබ අංක 1, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, සිකුරාදා

•කන්‍යා - අනාගත දියුණුව

•ගෘහ ජීවිතය :- උනන්දුවෙන් සිය කටයුතු කරගෙන ගියද ඉවසීම අඩුකමින් ගැටලු මතුවීමට ද පුළුවන. නිදහස් අදහස් ඇති අතර, ඒ සඳහා සටන් කරයි. දියුණුවට අදාළ කටයුතු කාරණා සොයා බලා කරයි. ගෘහ ජීවිතය සතුටින් පවත්වාගත හැකි අතර අවිවේකය බලපවත්වයි. උසස් අයගේ ආධාර උපකාර හිමිවේ.

•රැකියාව - ස්වයංරැකියා, කෘෂිකාර්මික කටයුතුවලට වැඩි නැඹුරුවක් ඇත. ඒවායින් ආදායම් මාර්ග ද විවර වේ. රාජ්‍ය අංශවල කටයුතු කරන නිලධාරීන්ට පුහුණුවීම් සහ ඒ සඳහා නව්‍ය පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසේ. මාසයේ මැද භාගයෙන් පසු සුඛෝපභෝගී භාණ්ඩ, රෙදිපිළි, රූපලාවණ්‍යය අංශවල නිරත අයට වැඩි වාසි අත්වේ.

•අධ්‍යාපනය - විද්‍යා, පරිගණක තාක්ෂණය, ඉංජිනේරු අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දැනුම වර්ධනය වන සහ එවැනි ක්ෂේත්‍රවලින් විභාගවලට ඉදිරිපත් වෙන දරුවන්ට ජයග්‍රහණ ලැබෙන කාලයකි.

•සෞඛ්‍යය - කොඳුඇට පෙළේ වේදනා, මුත්‍රා, වකුගඩු ආසාදන, සෙම් රෝග මෙන්ම සුළු අනතුරුවලට ද ඉඩ ඇති බැවින් අවදානම දැන කටයුතුවල යෙදෙන්න.

අපල අවම කර ගැනීමට මාසයේ මුල සතියේ දිනක බෝධියක් අබියස බෝමළුව අමැද පැන් කළයක් සහ මල් පහන් පූජා කර රතන සූත්‍රය කියන්න. සියලු දෙවියනට පින් දෙන්න. අගහිඟතා ඇති ඉගෙන ගන්නා දරුවකුට ආහාර, පොතපත ලබා දෙන්න. සියලු දරුවනට ආදරය, කරුණාව, රැකවරණය හැකි පමණින් සලසන්න.

•සුබ අංක 3, 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

•තුලා - තනතුරු ලාභ සහ කීර්තිය

•ගෘහ ජීවිතය - දියුණුව පිණිස කටයුතු සලසා ගැනීමට දිවා රෑ නොබලා මහන්සියෙන් වැඩ කරයි. නිහඬතාවකින් යුතුව බුද්ධිය මෙහෙයවා කටයුතු කරන බවක් දක්නට ලැබෙයි. ප්‍රියසාද, දානමය පිංකම්වලට ඉඩකඩ සැලසෙයි. යුග ජීවිතය තුළ එකිනෙකා තුළ විරසක බවක් ඇති විය හැකිය.

•රැකියාව - රැකියාවේ දියුණුව ඇති වෙයි. තනතුරු ලාභ, කීර්ති ප්‍රශංසා හිමි වෙයි. දක්ෂතාවලට හිමි තැන ලැබිය හැකිය. ව්‍යාපාර දියුණු කර ගත හැකි සහ ඒ සඳහා දුර ගමන් විදෙස් ගමන් ඇතිවීමට ද පුළුවන.

•අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් තුළ දක්ෂතා වැඩි දියුණු වෙයි. කුමන ක්ෂේත්‍රයක වුවද නියැළෙන දරුවන්ගේ ලියන කියන කටයුතු දියුණු වේ. ගායන, වාදන, සංගීත අංශවල හැකියාවන්ගෙන් ඉදිරියට යා හැකි මාර්ග සැලසෙන අතර එවැනි තරග විභාගවලින් ජය ලබයි.

•සෞඛ්‍යය - උණ, සෙම් රෝග, චර්ම රෝග, උෂ්ණාධික අසනීප, අක්ෂි රෝගවලට මෙන්ම සුළු අනතුරුවලට ද ඉඩ ඇත.

අපල අවම කර ගැනීමට මාසයේ මුල් සතිය තුළ බෝධි පූජාමය කටයුත්තකට සහභාගී වන්න. නොයෙක් පාට සුවඳ මල් පූජා කරන්න. ග්‍රහසෙත් ශාන්ති කවි කියන්න. මෛත්‍රී භාවනාව කරන්න. දෙවියනට පින් දෙන්න. හැකි පමණින් දුර්වල අසරණ අයට උපකාර කරන්න.

•සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

•වෘශ්චික - අතමිට සරු කාලයක්

•ගෘහ ජීවිතය - පදිංචි ස්ථානයේ යම් දියුණුවක් දැකිය හැකිවේ. දානමය පුණ්‍ය කටයුත්තකට සිත් ඇතිවේ. අලංකරණය ගැන ද උනන්දුවක් දක්වයි. ඔබෙන් උපකාර බලාපොරොත්තුව එන අය සඳහා කිසියම් සහනයක් සලසන්න සිදුවනු ඇත.

•රැකියාව - කරගෙන යන වෘත්තිමය ක්ෂේත්‍රයන්ගේ දියුණුවක් දැකගත හැකිය. අතමිට මුදලක් ගැවසෙන සහ තැන්පත් ධනයක් ඉතිරි කරගත හැකි කාලයකි. කෘෂිකාර්මික කටයුතුවලින් ආර්ථිකමය දියුණුවක් ලද හැකි බැවින් ඒ පිළිබඳ උනන්දුවන්න. ව්‍යාපාරවලට ද සුබ කාලයකි.

•අධ්‍යාපනය - මුල් සතියෙන් පසු ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දැනුම බුද්ධිය වර්ධනය වන අතර පොතපත ආශ්‍රිත දැනුමෙන් ලේඛනය පිළිබඳ දක්ෂතා ද වැඩිදියුණු වේ. කලාව, සංගීතය, නර්තනය ආදියට ද නිසි අවස්ථා හිමි වීමෙන් ජයග්‍රහණ ලබයි.

•සෞඛ්‍යය - මුත්‍රා ගල්, විෂබීජ ශරීරගතවීම, සෙම් රෝග, ලේ දෝෂ පවතී. සුළු අනතුරුවලට ද ඉඩ ඇත.

අපල අවම කර ගැනීමට ළඟම තිබෙන විහාරස්ථානයට ගොස් මාසයේ මුල් අඟහරුවාදා දින රතු මල් ටිකක් තුන් බෝධියටම පූජා කරන්න. බෝධිය අබියස පන්සිල් රැගෙන රතන සූත්‍රය ද කියා දෙවියන්ට පින් දෙන්න. ශල්‍යකර්මයකට බඳුන් වූ කෙනෙකුට උදවු උපකාර කරන්න.

•සුබ අංක 1, 2, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

•ධනු - විදෙස් ගමන් සඵල වෙයි

•ගෘහ ජීවිතය - ගුරු හංස යෝගය යෙදීම හේතුවෙන් කරන කියන වැඩකටයුතුවලට සුබදායක පිහිටීමකි. විදෙස්ගතවීම්වලට ද භාග්‍ය පවතී. වචනය තරමක් රළු විය හැකි බැවින් ඇසුරු කරන අය අතර ප්‍රවේසමෙන් වචන හසුරුවන්නට උත්සාහගන්න. යහපත් බුද්ධි මට්ටමකින් යුතුව වැඩ කරන්නට හැකියාව ඇත. උසස් අයගේ, පූජ්‍ය පක්ෂයේ ගුරුහරුකම් ලැබේ. වාසනාවන්ත දරු සම්පත්වලට භාග්‍යය ද පෙන්වයි.

•රැකියාව - රැකියාවේ දියුණුව සැලසෙන, උසස් උගත් ප්‍රධානීන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඇප උපකාර හිමිවෙන, ලිපි ලේඛන කටයුතු ආශ්‍රිතව ජයග්‍රහණ හිමිවන මාසයකි. කෘෂිකාර්මික අංශවල දියුණුව, පොළොවෙන් ගනු ලබන මැණික් පතල් ආදියෙන් ලැබීම් ද ඒ අනුව ආර්ථිකය අතමිට සරුවීමට හැකියාව පෙන්වයි.

•අධ්‍යාපනය - පෙර පාසල් යන දරුවන්ගේ සිට සාමාන්‍ය පෙළ හදාරන සිසුන් දක්වා මතක ශක්තිය වර්ධනය කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු වේ. උදේට පන්සිල් ගැනීමෙන් අනතුරුව මෝර පිරිත කියන්න. මාසය අවසන් වන විට මේ තත්ත්වය සුබ අතට හැරෙනු ඇත.

•සෞඛ්‍යය - උරහිස් වේදනා, හෘදය සම්බන්ධ අසනීප, වා පිත්, සෙම් රෝග, ආමාශගත අසනීප මතුවිය හැකිය.

අපල අවම වීමට මාසයේ ආරම්භක බ්‍රහස්පතින්දා දිනයේ ආගමික ස්ථානයකට ගොස් කහමල් පූජා කර චෛත්‍යක් අබියස තෙරුවන් ගුණ සිහි කරන්න. අභිසම්භිධාන පිරිත කියන්න. දෙවියනට පින් දෙන්න. බෝධීන් වහන්සේ අවට අමැද පැන් කළයක් වත් කරන්න.

•සුබ අංක 3, 5, 6, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා, සිකුරාදා

•මකර - නව ආදායම් මාර්ග

•ගෘහ ජීවිතය අභිමානයෙන් සහ අණසක පතුරුවමින් කටයුතු ආරම්භ කරන බවක් දක්නට ඇත. ධනෝපායන මාර්ගවලට අවතීර්ණ වීමට ඉඩකඩ සැලසේ. තවමත් රාහු සිවුවැන්නේ බැවින් කලබලකාරිත්වයෙන් මිදී නිවසෙහි වැඩ කටයුතු කිරීමෙන් අපල අනතුරු අවම කරගත හැකිය. ඉදිරි කාලය යහපත් වනු ඇත. විදෙස් ගමන් ද යෙදේ.

•රැකියාව - මෙතෙක් අවහිර වී තිබූ ආදායම් මාර්ගවලින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටත් නව රැකියා ලාභ හිමිවීමටත් භාග්‍යය ඇත. ඒවාගේම කෘෂිකාර්මික අංශවලින් ද ආර්ථිකයට යම් ශක්තියක් ඇතිකර ගැනීමට ඔබට පුළුවන.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට මතක ශක්තිය තරමක පසුබෑමකට ලක් වුවත් ප්‍රායෝගික අංශවල දක්ෂතා මැනවින් ඔප් නැංවෙනු ඇත. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන්ට විශේෂ හැකියාවන් තුළින් ජයග්‍රහණ අත්පත් වේ. පොතපත, පරිගණක ආශ්‍රයෙන් ඔවුන් නව තොරතුරු සපයා ගනිමින් තම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කරයි.

සෞඛ්‍යය - පාදවල වේදනා, උෂ්ණාධික රෝග මෙන්ම උගුර ආශ්‍රිත ආසාදන, ලේ අඩුකම ආදිය දක්නට ලැබෙයි.

අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න. දනට පිනට හැකි අයුරින් හැකි අවස්ථාවකදී දෙන්න.

•සුබ අංක 6, 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා, බදාදා

•කුම්භ - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

ගෘහ ජීවිතය - ලග්න ඒරාෂ්ටකයක් ආරම්භ වී තිබුණ ද ගුරු දෙවැන්න වූ ධනස්ථානයේ ගමන් කිරීම ද අයහපත් නැත. පදිංචි ස්ථානයේ දියුණුව සලසා ගැනීමට උනන්දු වෙයි. වැඩිහිටි, ගුරුවර, පූජ්‍ය පක්ෂයේ අනුශාසනා පිළිගනියි. දුවා දරුවන්ගේ අධ්‍යාපන, විවාහ කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී යුතුකම් ඉටු කරයි. ආර්ථිකය ශක්තිමත් වේ.

රැකියාව - දැනට කරන රැකියාවේ ඇවිදිලි වැඩිවෙන අතර ස්වයං රැකියාවලට ද වැඩි ඉල්ලුමක් පවතී. ස්වයංරැකියා නිෂ්පාදකයන්ට සුබ කාලයකි. කෘෂි නිෂ්පාදනවල මිල ගණන් අඩු නොවී පවතී. පොළොවෙන් ලබා ගන්නා මැණික් පතල් කරවන අයට ද වාසනාව මතු කරයි.

අධ්‍යාපනය - පොතපත පිළිබඳ කියැවෙන කේතු 9 වැන්නේ සිටීම අනුව දුවා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවල ධනාත්මක බවක් දක්නට ඇත. උසස් විභාග ජයග්‍රහණය කරයි.

සෞඛ්‍යය - සෙම් රෝග, උෂ්ණාධික රෝග, ස්නායු රෝග, උගුරේ ආසාදන, කැස්ස හට ගත හැකිය.

අපල අවම වීමට මාසයේ මුල් සෙනසුරාදා දින කපුටන්ට කිරිබත් උයා එලඟිතෙල් මිශ්‍ර කර තබන්න. වෙල් මාළුන්ට ආහාර දමන්න. අසරණ, මහලු වාරු නැති අයට මෙන්ම ශල්‍යකර්මයන්ට බඳුන් වී සිටින අයට ද පිහිට වන්න.

•සුබ අංක 3, 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

•මීන - ඉතා වාසනාවන්ත කාලයක ඇරඹුම

•ගෘහ ජීවිතය - ලග්න ඒරාෂ්ටකයක් ආරම්භ වී තිබුණ ද ලග්න භාවයේම ගුරු ග්‍රහයාගේ ගෝචරය සුබපල ගෙන දෙයි. පදිංචි ස්ථානයේ දියුණුව, දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට භාග්‍යය පවතී. පෙබරවාරි 15 දින සිකුරු ද ලග්න භාවයේ උච්ච වීම නිසා තව තවත් සුබපල ළඟා කර දෙනු ඇත. පිරිසුදුකම මෙන්ම ගුණ යහපත්කම ද එකසේ බලපවත්වන අතර, විලාසිතා, ඇඳුම් පැලඳුම්වලට ද සිත යයි. විදෙස් ගමන් ද යෙදෙයි.

•රැකියාව - මාසය මැද දී සිකුරු ද ලග්න භාවයේ බලවත් වන බැවින් යහපත් රැකියා කටයුතුවලට යොමු වීමක් දක්නට ලැබෙයි. සුඛෝපභෝගී භාණ්ඩවලට ඉල්ලුමක් පවතී. ව්‍යපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. අතමිට සරුවන කාලයකි.

•අධ්‍යාපනය - කලා කටයුතු හා ඒ අංශයෙන් ඉගෙනීමේ යෙදෙන දරුවන්ට ජයග්‍රහණ අත්වේ. මීන ලග්නයෙන් උපන් ඉගෙන ගන්නා වයසේ සෑම දරුවකුගේම දැනුම, බුද්ධිය වර්ධනය වන සුබදායී කාලවකවානුවකි.

•සෞඛ්‍යය - මුහුණ අවට ඉන්ද්‍රියයන්ගේ (දත්, ඇස්) ආදියේ අසනීප මෙන්ම ස්නායු රෝග, පාදවල වේදනා, ලේ අඩුකම ඇතිවිය හැකිය. ආහාර රටාව නොවෙනස්ව පවත්වා ගන්න. වචනය පාලනය කර ගැනීම, තිරිසන් සතුනට ආහාර, ජලය ලබා දීම, පිළිකා රෝගීනට ඇප උපකාර කිරීමත් තුළින් අපල අවම කරගත හැකිය.

•සුබ අංක 3, 9, සුබ වර්ණ - කහ, රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

Comments