පත්තර කලාවෙන් කෝටිපතියකු වූ සිත්තර කතා කලාවේ ගජමෑන් මෙන්න | සිළුමිණ

පත්තර කලාවෙන් කෝටිපතියකු වූ සිත්තර කතා කලාවේ ගජමෑන් මෙන්න

කාටුන් කලාවත් ව්‍යාපාරික ඥානයත් සමබරව මෙහෙයවමින් මෙරට ඉතිහාසයේ කාටුන් චිත්‍රයෙන් කෝටිපතියකු වූ මුල්ම පුද්ගලයා කැමිලස්

- චරිතවලට නම් දැම්මෙ මන:කල්පිතව හිතලා. ගජමෑන්ගෙ නම මුලින්ම හිතට ආවේ රජමෑන් කියලා. ඒක ගැළපෙන්නෙ නැහැයි කියලා හිතලා ගජමෑන් කියලා වෙනස් කළා.
- 1972 අගෝස්තු 29 මුල්ම සතුට පත්‍රයෙන් තමයි ගජමෑන් දොරට වැඩියේ
- ගජමෑන් කියන්නේ කැමිලස්ට අන්වර්ථ නාමයක්

නිර්මාණශීලියකුට කෝටිපතියකු වීමට අවශ්‍ය මොනවාද? බැංකු ණයක්,රාජ්‍ය අනුග්‍රහය, ඒත් නැත්නම් විදේශාධාර

එහෙත් කැමිලස් පෙරේරා කෝටිපතියකු වූයේ ඒ එකක්වත් නිසා නොවේ. කැමිලස්ට පිය උරුමයෙන් හෝ මවු උරුමයෙන් උරුම වූ දේපළක් ද නොවීය. ඔහු කෝටිපතියකු වූයේ තම නිර්මාණශීලී භාවය නිසාය. මේ නිර්මාණශීලීභාවය රේඛා බවට පත්කරන මෙවලම වූයේ තෙළිතුඩ හෝ ඉන්දියන් ඉන්ක් නම් කළු පැහැති තීන්ත ඩප්පියේ ඔබා කටු පෑනේ ගැටුණු තීන්ත තුඩෙන් ඇඳි රේඛාය. මේ කටු පෑන විවෘත ආර්ථිකයත් සමඟ ඇතුළතින් තීන්ත යෙදිය හැකි රෙඩිමේඩ් ටෙක්නිකල් පෙන් ලෙස වාණිජ ලෝකයේ බැබළුණේ රොට්‍රින්, ස්ටේඩ්ලර් හෝ ෆාබ කාසල් පෙන් ලෙසය. (Rotring, STADLER, Faber Castle) 

ලංකා ඉතිහාසයේ ආදායම් බදු ගෙවූ මුල්ම චිත්‍ර කතා ශිල්පියා වූයේ සරත් මධූය. එහෙත් සරත් මධු ව්‍යාපාරිකයකු ලෙස ස්ථාපිත වූයේ නැත. මහජන බැංකුව මුලින්ම චිත්‍ර කතා ශිල්පියකුට බැංකු ණයක් ලබා දුන්නේ සරත් මධුගේ 'සදා වාසනා' පුවත්පතටය. නමුත් ලක්ෂ්මි හා සරස්වති එකට නොසිටිනා කියමන ප්‍රායෝගිකව ඇත්තක් බවට පත්කරමින් අසාර්ථක මුදල් පරිපාලනය හා පරිපාලනයේ දුර්වලතා නිසා සරත් මධු නමැති ව්‍යාපාරිකයා පොළවටම සමතලා විය.

එහෙත් කැමිලස් යනු තම කාටුන් කලාවත් - ව්‍යාපාරික ඥානයත් සමබරව මෙහෙයවමින් මෙරට ඉතිහාසයේ කාටුන් චිත්‍රයෙන් කෝටිපතියකු වූ මුල්ම පුද්ගලයා විය. කලක් ඔහු 'පුම්‍රඛ බැංකුවේ' අධ්‍යක්ෂවරයකු ලෙස පවා කටයුතු කෙළේය.

කැමිලස්ව මා මුලින්ම දැක්කේ මා ඉතා බාලවියේදීය. එකල අපේ ලෝකයේ වීරයකු වූයේ කැමිලස්ය. ඔය කියන වකවානුවේ මගේ පියා ගුණදාස ලියනගේ 'සත්දින' නමින් පුවත්පතක කර්තෘවරයා විය. එහි කාර්යාලය පිහිටියේ දැන් උපාලි පුවත්පත් සමාගමට යාබදවය. මේ කොම්පැනියේ නම වූයේ IGM ය. (International Graphic Magazin) ඒත් මේ කොම්පැනියට කිව්වේ මල්ටිපැක්ස් කියාය. එහි සම කොටස්කරුවන් වූයේ හැරිස් හුලුගල්ල හා අර්ජුන හුලුගල්ලය. හැරිස් හුලුගල්ල කියන්නේ යාපනේ සංගරපිල්ලේ නම් පුද්ගලයකු මිලදී ගෙන පවත්වාගෙන ගිය 'පරණ ටයිම්ස් ලංකාදීප කොම්පැනිය' අනුර බණ්ඩාරනායක සමඟ කොටස් මිලදී ගත් පුද්ගලයාය. සංගරපිල්ලේ ලංකාදීප කොම්පැනිය මිලදී ගත්තේ බ්‍රිතාන්‍ය සුද්දන්ගෙනි.

ලංකා පත්‍ර කලා ඉතිහාසයේ 'ස' අකුරෙන් වැඩිම පත්තර ගාණක් ගහපු කොම්පැනිය මල්ටිපැක්ස්ය. කලින් කී සත්දින මෙන්ම සිත්තර, සුහද, ස්වර්ණ, සිහින ආදී පත්තර 19ක් ඔවුන් ප්‍රකාශයට පත්කරන ලදී. ලංකාවේ යොවුන් පුවත්පත් (Teanage Papers) නිර්මාණකරුවන් මල්ටිපැක්ස්ය. බන්දුල පද්මකුමාර 'කුමරි' කර්තෘ ලෙස බෞතිස්ම කොට මල් පත්තරකාරයකු ලෙස දොරට වැඩම වූයේ මේ මල්ටිපැක්ස් කොම්පැනියයි. සිත්තර චිත්‍ර කතා පත්තරයේ ආරම්භක කර්තෘවරයා චින්තන ජයසේන වුණත් ගුණදාස ලියනගේ 'සත්දින' කර්තෘ වූ යුගයේ සිත්තර කර්තෘ වූයේ කැමිලස් පෙරේරාය. මේ වකවානුවේම මල්ටිපැක්ස් කොම්පැනිය 'සිත්සර' නමින් බයිස්කෝප් පත්තරයක් පළ කළේ ආතර් යූ. අමරසේනගේ කර්තෘත්වයෙනි. ජේ.ආර්. ජයවර්ධන ධර්මිෂ්ඨ ආණ්ඩුවෙන් 'සත්දින' දේශපාලන මැදිහත් වීමෙන් වසා දැමුණු පසු මල්ටිපැක්ස් කොම්පැනිය 'ඉරිදා' නමින් පුවත්පතක් ආරම්භ කරන ලදි. සුන්දර නිහතමානි ද මැල්, කිත්සිරි නිමල් ශාන්ත, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි සහ පුලස්ති එදිරිවීර ආදීන් පුවත්පත් කලාවට අත්පොත් තැබුවේ මේ 'ඉරිදා' පත්තරයෙනි.

කැමිලස් පෙරේරාව වත්මන් පරපුර අඳුරනවාදැයි විමසා බැලිය යුතු කටයුත්තකි. ඒත් එදා කලා ලොවේ කැමිලස් පෙරේරා කිහිපදෙනකුම සිටියෝය. මේ අතරින් 'ගජමෑන්' අඳින කැමිලස්ලා නම් සිටින්නේ එක් අයෙකි. ඒ නිසා ගජමෑන් යනු කැමිලස්ට අන්වර්ථ නාමයක් වී හමාරය.

කැමිලස් පෙරේරා යනු රටම හිනැස්සූ පුද්ගලයෙකි. එහෙත් මේ අපූරු පුද්ගලයා නම් සිනාසෙන්නේ මඳ වශයෙනි. ළමා ළපටියාගේ පටන් මහල්ලා දක්වාම කටපුරා හිනාගැස්සවීමට මේ අපූරු පුද්ගලයාට අපූරු හැකියාවක් තිබේ. ඒ ඔහු අතින් නිර්මාණය වූ බොහෝ කාටූන් අපේම ලේ නෑයන් බවට පත්වී ඇති නිසා විය යුතුය.

"මම ඉපදුණේ මීගමුවේයි. මට බාල සහෝදර සහෝදරියන් හතරදෙනකු ඉන්නවා. මමයි අප පවුලේ වැඩිමලා. තෝමස් පෙරේරා කියන්නෙ අපේ තාත්තා තමයි. එයා රජයේ විශ්‍රාමිකයෙක්. ඒත් ප්‍රධාන වශයෙන්ම අපේ පවුලේ ජීවනෝපාය සැකසුණේ අපේ අම්මා මේබල් ප්‍රනාන්දු පවත්වා ගෙන ගිය මැහුම් වැඩපොළ නිසයි.

කැමිලස් ඉගෙනුම ලැබූ පාසල් වන්නේ මීගමුවේ ශාන්ත මරියා විදුහල සහ මාරිස්ටෙලා විද්‍යාලයයි. තමන් කාටුන් අඳින්න හුරුවූ අයුරු ගැන කැමිලස් කියන්නේ මෙසේය.

"මං හිතන්නේ කාටුන් අඳින්න මට තියෙන්නේ උපන් හැකියාවක් වෙන්න ඕනෑ. මට කියලා දෙන්න ගුරුවරයෙක් කියලා කෙනෙක් හිටියේ නැහැ. මම ස්වඋත්සාහයෙන් තමයි චිත්‍ර අඳින්න ඉගෙන ගත්තේ. අපේ ඉස්කෝලේ මුල් ගුරුතුමා ඩෝප් කාරයෙක්. මම ඇන්දා එයා වෙරිමරගාතේ බෝතලයක් අතේ තියාගෙන ඉන්න විකට චිත්‍රයක්. මේක දැකපු මුල් ගුරුතුමා හොඳටම කේන්ති අරන් මට ගැහැව්වා. ඒත් පස්සේ මට හොඳින් කතා කරලා කිව්වා 'උඹට හරියන්නෙ ඔය ලයින් එක තමයි' කියලා."

පාසල් දිවියෙන් සමුගත් කැමිලස් යොමු වූයේ ෆුට්බෝල් ක්‍රීඩාවටය. එවකට මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ 'ජුපිටර්' ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කළ ඔහු වරෙක එහි නායකත්වය පවා ඉසිලීය. පසුව කැමිලස් තමන්ට ලැබුණු ආරාධනාවක් මත වෙනත් ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩා කළ නිසා ඔහුට කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට අනුයුක්ත පුහුණු මධ්‍යස්ථානයකට සම්බන්ධ වීමේ අවස්ථාව උදා විය.

මේ අතරතුර කැමිලස් කෝඩුකාරයකු ලෙස රාජ්‍ය සේවයට මුල්වරට එක්වන්නේ පුත්තලම කච්චේරියටය. ඒත් මාස තුනක් යෑමටත් පෙර කැමිලස් කොළඹ කච්චේරියට මාරුවක් හදා ගත්තේය.

"මේ කාලේ කොලට් ගේ කාටුන් ගැන මිනිස්සු නිතරම කතා කරනවා. මටත් හිතුනා පත්තරයක් තුළින් එවන් යමක් කරන්න ඕනෑය කියල. මේ සඳහා අවස්ථාවක් ලබා ගන්න මම හැමදාම පයින් ලේක්හවුස් එකට යන්න පුරුදු වෙලා තිබුණා."

කැමිලස් දිනපතාමත් ලේක්හවුසියේ පුවත්පත් කීපයකට කාටුන් ඇන්දත් ඒ එකක්වත් පළ වූයේ නැත. දිනපතාම කොළඹ වේල්ල වීදියේ කච්චේරියේ සිට කෑම පැයේ ගිනි දහවලේ කැමිලස් ලේක්හවුසියට ආවේ දාඩිය පෙරාගෙනය. කැමිලස්ගේ 'පත්තර උණ' දුටු ඔහුට හිතවත් ඡායාරූප ශිල්පියකු කැමිලස් ලේක්හවුස් කැන්ටිමට එක්කං ගොස් කදිම උපදෙසක් දුන්නේය. "කැමිලස් ඔය වැඩේ හරි යන්නේ නැහැ. තමුසේ වෙන පත්තරේකට කාටුන් ඇඳලා නමක් හදාගන්න බලනවා. එතකොට ලේක්හවුස් කොම්පැනිය තමුසෙව හිස් මුඳුනින් පිළිගනීවි."

කැමිලස්ගේ හදවතින් ඉල්ලා හැඬූ කාටුන් ආසාව අත්හලේ කැමිලස් නොවේ. තම නිර්මාණයක් පළමුවරට පුවත්පතක පළවූ අයුරු කැමිලස් සිහි කළේ මෙසේය.

"ඔය අතරේම රතු කුරුසියේ වැඩ කරපු මගේ යාළුවෙක් සුමනා සපරමාදු මහත්මියට මාව මුණ ගැස්සුවා. ලේක්හවුසියේ සරසවිය පත්තරේට අඳින්නට මට අවස්ථාවක් ලැබුණේ එයින් පසුව. අන්දරේගේ කවි දෙකක් චිත්‍රයට නඟමිනුයි හා පුරා කියා මගේ නිර්මාණයක් පත්තරේක පළ වුණේ. "

1966 ජනවාරියේ සිට දවස ආයතනයේ පුවත්පත් කීපයකට කාටුන් චිත්‍ර ඇඳීමට කැමිලස්ට ඉඩ සලසා දුන්නේ පත්‍රකලාවේදී ඩේවිඩ් කරුණාරත්න විසිනි. කැමිලස්ගේ මිතුරු ඡායාරූප ශිල්පියා කියූ පරිදිම ලේක්හවුසියට කැමිලස්ගේ දක්ෂතා ගැන ඉව වැටෙන්නට වූයේ කැමිලස්ගේ 'තෙපානිස්' නමින් මුල්ම කාටූනය දවස පුවත්පතේ පළවීමත් සමඟය.

"ඩී.එෆ්. කාරියකරවන නිසා 'ජනතා පත්තරේට 'දොං සේතං'ගේ චරිතය නිර්මාණය කරන්නට මට පුළුවන් වුණා. සිළුමිණේ ඒ කාලේ කර්තෘ සුබසිංහ සිළුමිණ පත්‍රයට කාටූන් චිත්‍රයක් අඳින්නට කීවේ 1966 දී. ඒ අනුව තමයි මම 'සිරිබිරිස්' නිර්මාණය කළේ."

සිමෝනා, ලපයා, මෙරායා, ගොඩ්ඩිං අයියා වැනි සහාය චරිත 'දොංසේතං' කාටූනය රසවත් කරන්නට ඊට පසු එක්වූ චරිත ය. 1967 වසරේදී ඔබ්සවර් පත්‍රයට 'ලව්නේරිස්' චරිතය තුළින් කාටූන් චිත්‍රයක් ඇඳීමත්, සරසවිය පත්‍රය තුළින් 'දැක්කොත් පද්මාවතී' කාටූන් චිත්‍රයත් "ජනතා" පත්‍රය තුළින් සෙල්ලං සේන කාටූන් චිත්‍රයත්, 'මිහිර' පත්‍රය තුළින් 'මිත්තා' කාටූන් චිත්‍රයත් කැමිලස්ගේ පත්තර ජීවිතයේ ඉමහත් පෙරළියක් සිදු කරන ලදි.

"චරිතවලට නම් දැම්මෙ මන:කල්පිතව හිතලා. ගජමෑන්ගෙ නම මුලින්ම හිතට ආවේ රජමෑන් කියලා. ඒක ගැළපෙන්නෙ නැහැයි කියලා හිතලා ගජමෑන් කියලා වෙනස් කළා. ගොඩ්ඩිං අයියගෙ චරිතය මම අහුල ගත්තෙ කෝච්චියෙන්. ඒ නමින් කෙනෙක් හිටියේ නැහැ. නමුත් හැඩරුව ඒ වගේ.

මුල් කාලයේ හොඳ විකට සංකල්පයක් හිතට ගන්න හුඟාක් මහන්සි වුණා. නමුත් අද නම් පත්තරයක් බලනකොට අදහස් හොයා ගන්න එක අමාරු නැහැ. මේක තනිකරම දැන් කොමඩි කන්ට්‍රි එකක් නේ."

ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්තරය ලෙස සැලකෙන්නේ ලේක්හවුස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ 'සතුට' චිත්‍ර කතා පත්තරයයි.

"1972 අගෝස්තු 29 මුල්වරට සතුට පත්‍රයෙන් තමයි ගජමෑන් දොරට වැඩියේ. සතුට පත්තරේ පටන් ගන්න කොට බන්දුල සමරසිංහ මහත්මයා අලුත් චරිතයක් ඕනෑයි කීවා. මගේ ඔළුවේ තිබුණේ 'රජ මෑන්' කියන නිර්මාණාත්මක චරිතයයි. ඒත් ඒ කාලේ හැටියට ඒ නම ගැළපෙන්නේ නැහැ කියලා මට හිතුණා. පස්සේ මම 'ගජමෑන්' කියන නම දැම්මා."

කෙසේ නමුත් එවකට ලංකාවේ පුවත්පත් මුද්‍රණය වූයේ ලෙසට් ප්‍රෙස් ක්‍රමයටය. මේ අතර කලින් කී මල්ටිපැක්ස් කොම්පැනිය 'සතුට' පත්‍රයේ ජනප්‍රියත්වය ගැන වහ වැටී ඕෆ්සෙට් ක්‍රමයට චිත්‍රකතා පත්තරයක් මුද්‍රණය කරන්නට සැලසුම් කළේය. එහෙත් එය ලංකාවේ මුද්‍රිත පළමු ඕෆ්සේට් පුවත්පත නොවේ. ලංකාවේ පළමු ඕෆ්සෙට් පුවත්පත ප්‍රකාශයට පත් කළේ යුනෙස්කේ ව්‍යාපෘතියක් වූ මහරගම සමන් මුද්‍රණාලයයි. පත්තරේ නම 'මේලා'ය.

මල්ටිපැක්ස් කොම්පැනිය අලුත් ඕෆ්සෙට් චිත්‍ර කතා පත්තරයේ කර්තෘ ධුරයට පත් කළේ චින්තන ජයසේනය. චින්තනගේ ප්‍රථම තේරුම වූයේ කැමිලස් පෙරේරාය. කැමිලස්ගේ ගජමෑන්, සරත් මධුගේ ඉතින් ඊට පස්සේ චිත්‍රකතා නිසා සිත්තර පත්‍රයේ අලෙවිය ලක්ෂ 2 දක්වා ඉහළ ගියේය. සිංහල අවුරුද්දට 'සිත්තර' පත්තරේ ප්‍රින්ට් ඕඩර් එක ලක්ෂ තුනහමාරක් වූ බව සිත්තර පත්තරේ ප්‍රචාරණ නිලධාරි චන්ද්‍රභානු සමරවීර වරක් මට පවසා ඇත.

කැමිලස්ගේ ජනප්‍රියතම චිත්‍ර කතාව වූයේ ගජමෑන්ය. කැමිලස් පෙරේරා සිංහල භාෂාවට සදානුස්මරණීය වචනයක් එක් කළ පුද්ගලයෙකි. අද පත්තරවල විස්තර කියන බොහෝ නාළිකාවල දේශපාලකයන්ට කියන්නේ 'මගෝඩිතුමා' කියාය. එහෙත් මේ වචනයේ නිර්මාපකයා අපේ මේ සත්ගුණවත් කැමිලස් පෙරේරා බව බොහෝ දෙනා නොදනී. මේ 'මගෝඩිතුමා' වචනය නිර්මාණය කළ හැටි ගැන කැමිලස්ගේම නිර්වචනයයි. 

"නවසිය හැත්තෑ හතේ එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිලා ජේ.ආර්. ජයවර්ධන මහතා රට පාලනය කළ කාලේ රජයට අපහාස කළා කියලා ජනමාධ්‍යවේදීන් දෙන්නෙකුව අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ ජනමාධ්‍යවේදීන් වශයෙන් අපි ඒ ක්‍රියාවට විරුද්ධව විය යුතු වූවත් ඇමැති කෙනෙකු හරි මන්ත්‍රී කෙනෙක්ව හරි ඉලක්ක කරගෙන අපි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කළා නම් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඒ නිසා මං ඒ සියලු පාර්ශ්ව නියෝජනය වන ආකාරයට මගෝඩිස්තුමාගේ චරිතය නිර්මාණය කළා. ඊට පස්සේ මේ රටේ සිදුවන හැම දේශපාලන සිදුවීමක්ම මගෝඩිස් තුමා හරහා ජනතාව වෙත ගියා. "

කැමිලස් තමන්ගේම පුවත්පතක් ආරම්භ කරන්නට මල්ටිපැක්ස් කොම්පැනියේ සිත්තරට සමු දෙන්නේ 1986 පෙබරවාරියේදීය. අලුත් ප්‍රකාශන ආයතනයේ නම 'කැමිලස් ප්‍රකාශන' නම් විය. මල්ටිපැක්ස් කොම්පැනිය මෙන්ම කැමිලස් ද පත්තරයට නම තැබීමේදී තෝරා ගත්තේ චිත්‍රකතා පත්තරවලට වාසනාව ගේනවාය කියන 'ස' යන්නය. අලුත් පත්තරේ නම 'සත්සිරි' ය.

අලුත් පත්තරයට කැමිලස් සමඟ සිත්තරේ සිටි සියලු චිත්‍ර ශිල්පීන් ආවත් කැමිලස් පත්තරේ මුද්‍රණය කරන්නට තමන්ට කියා මුද්‍රණාලයක් තිබුණේ නැත. සිත්තර අයිතිකාර මල්ටිපැක්ස් කොම්පැනිය තම සියලු මුදල් බලය හා දේශපාලන බලය යොදමින් කැමිලස්ගේ චිත්‍ර කතා පත්තරය මුද්‍රණය කරන්නට සූදානම් වූ මුද්‍රණාලවලට බලපෑම් කරන්නට විය. අන්තිමට කැමිලස්ට පිහිටට ආවේ තමන් ඇදහූ ආගමයි. තමන් ක්‍රිස්තියානුකාරයකු බව කැමිලස් කවදත් කිව්වේ ආඩම්බරයෙනි. අන්තිමේදී කැමිලස්ගේ ගජමෑන් පත්තරය මුද්‍රණයටත් කාර්යාලයක් පිහිටුවීමට ඉඩකුත් දුන්නේ බොරැල්ල මරදාන පාරේ කතෝලික මුද්‍රණාලයයි.

ඉතා කෙටි කලකින් කැමිලස් පත්තර ලෝකයේ වාණිජමය වශයෙන් නැඟී සිටියේ පතාක යෝධයකු මෙනි. ඉන්පසු දෙමටගොඩ ඉඩමක් මිලදී ගත් කැමිලස් එහි තමන්ගේම මුද්‍රණාලයක් ආරම්භ කොට සත්සිරි, රසික චිත්‍ර කතා පත්තර සමඟ අධ්‍යාපන ප්‍රකාශන 12ක හිමිකරුවකු බවට පත්විය. එයින් නොනැවතී තම පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනයට ආණ්ඩුවෙන් කඩදාසි කෝටාවක් ද ලබා ගත්තේය. දයාසේන ගුණසිංහ දිවයිනෙන් ඉවත් වූ පසු සිව්දෙස නමින් සඟරාවක් කරන්නට අවස්ථාව දුන්නේ කැමිලස් පෙරේරා බව බොහෝදෙනාට මතක නැත. දයාසේන ගුණසිංහගේ අභාවයෙන් පසු සිව්දෙස කර්තෘ ධුරයට පත්කරන ලද්දේ ගුණදාස ලියනගේය.

දැන් ගජමෑන් චිත්‍රපටයත් සමඟ කැමිලස් නැවතත් කරළියට පැමිණ තිබේ. මේ හෘදයාංගම සටහන කැමිලස් ගැන තැබුවේ අලුත් පරම්පරාවට කැමිලස් ගැන හඳුන්වා දීමටය. පත්‍ර කලාවේදියකුට තම එක රේඛා සටහනකින් කෝටිපතියකු විය හැකි බව මෙරට පත්‍ර කලා ඉතිහාසයට ප්‍රායෝගිකව පෙන්වා දුන් සුන්දර මිනිසා කැමිලස් පෙරේරාය. කැමිලස් කළු තීන්තෙන් කාටුන් ඉරි ඇන්දත් ඔහු ගැන ඉතිහාසයේ සටහන් වනු ඇත්තේ රිදී ඉරක් වශයෙන් වනු නියතය.

Comments