දශක නවයක නිහඬ රංගන පෞරුෂය ගැන මතකාවර්ජනයක් | Page 3 | සිළුමිණ

දශක නවයක නිහඬ රංගන පෞරුෂය ගැන මතකාවර්ජනයක්

  • සිරිල් වික්‍රමගේ

ප්‍රවීණ රංගධර සිරිල් වික්‍රමගේ 91 වැනි ජන්මදිනය ජනවාරි 26 වැනිදාට යෙදී තිබුණි

ප්‍රවීණ රංගවේදී සිරිල් වික්‍රමගේ වර්ෂ 1932 ජනවාරි 26 වැනිද කුරුණෑගල වෑපිටිය කොහිල ගෙදර ග්‍රාමයේ දී චාර්ල්ස් වික්‍රමගේ සහ ලෙදියා වික්‍රමගේ ට දාව මෙලොව එළිය දුටුවේය. ඔහුට සහෝදරයන් සහෝදරියන් හත්දෙනකු වූ අතර හෙතෙම පවුලේ පස්වැන්නා විය.

සිරිල්ට වයස අවුරුදු පහ සම්පූර්ණවත්ම කුරුණෑගල වෙස්ලියන් පාසලක් වූ ගැලවීමේ හමුදා පාසලට ඇතුළත් විය. 1948 දී සීනියර් විභාගය සමත් වූ සිරිල් වික්‍රමගේ 1954දී පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය. හේ සංගීතයට හා නර්තනයට දැඩිව ඇලුම් කළේය. හෙතෙම මේ කාලයේ නුවර පොල්ගම්පොළ සිරිල් පෙරේරාගේ කලායතනයට බැඳී වයලීන් වාදනය ප්‍රගුණ කළේය. අභ්‍යාස විද්‍යාලයට පැමිණි ශ්‍රී ජයනා ගුරුන්නාන්සේගෙන් නර්තනය කලාව හැදෑරීමට ඔහුට අවස්ථාව උදා වූයේ ද මේ අතරතුරය. එහෙත් ඒ වන විටත් නළුවකු වීමේ සිහිනයක් ඔහු තුළ නොවීය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර දෙකක පුහුණුවෙන් පසු පේරාදෙණිය පුහුණු වීමේ පාසලට පත්වීමක් ලැබුණි. එහි වසර දෙකක පමණ කාලයක් කටයුතු කළ හෙතෙම අනතරුව රත්මලානේ පිහිටි අඳ ගොළු බිහිරි පාසලට පැමිණියේය. එහිදී දරුවන් සමඟ ග්‍රේෂන් නමැති ගුරුවරයා යටතේ නර්තන කලාව යොමු විය. නර්තනයට මෙතරම් ඇල්ම දක්වන්නේ ඇයි දැයි සිළුමිණ කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.

“ මගේ තාත්තා මං වගේම හොඳ ගැමියෙක්; ඒවගේම හොඳ කලාකාරයෙක්. එතුමා හොඳ නැට්ටුවෙක් ඒ වගේම හොඳ බෙර වාදකයෙක්. කොහොඹ කංකාරි, සොකරි, නාඩගම්වල ඉහළටම ගිය කෙනෙක්. නමුත් ඔහු අපට එයා දන්න ශිල්පය ඉගැන්නුවේ නැහැ. නමුත් මං හරිම ආසාවෙන් එයා කරන දේවල් දිහා බලන් හිටියා. මටත් ආස හිතුණා දවසක තත්තා වගේ හොඳ නර්තන ශිලිපියෙක් වෙන්න. එත් තාත්තට ඕනේ වුණේ අපිව පාසල් යවලා හොඳට උගන්වන්න. මට මගේ ආශාව ඉටු කරගන්න අභ්‍යාස විද්‍යාලයටම එන්න වුණා.” යැයි හෙතෙම සිනාසෙමින් පැවසීය.

අඳ ගොළු බිහිරි පාසලේ වසර දෙකක කාලයක් සේවය කළ සිරිල් මාරුවීමක් ලැබ ලෙස්ලි විද්‍යාලයට පැමිණියේය. එහිදී නැවතත් ශ්‍රී ජයනා නර්තනාචාර්යවරයා ඔහුට මුණ ගැසිණි. මේ හමුවත් සමඟ නැවතත් නර්තනයට යොමු වීමට සිරිල්ට අවස්ථාව උදා විය. මෙම කාලයේදී ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ විසින් ‘රණතිසර’ නමින් බැලේ නාට්‍යයක් නිර්මාණය කළේය. එහි චරිතයක් සඳහා සිරිල් තෝරා ගැනිණ. මෙම නාට්‍යයේ ගීත රචනා කිරීම සඳහා පැමිණි ආනන්ද සමරකෝන් සිරිල් සමඟ බෙහෙවින් මිත්‍ර විය. මේ කාලයේදී ආනන්ද සමරකෝන් ගීත නාටකයක් නිර්මාණය කළේය. එහි ප්‍රධාන නළුවා වූයේ ද සිරිල් වික්‍රමගේය. නාරද දිසාසේකර හා නන්දා මාලනී එය ගීතවත් කළෝය.

පසුව ෆීලික්ස් ප්‍රේමවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ‘නෝවා’ නම් වේදිකා නාට්‍යයට හේ සම්බන්ධ විය. මෙය ඔහු රඟ පෑ ප්‍රථම වේදිකා නාට්‍ය වූ අතර එය ලෙස්ලි විද්‍යාලයේ දී රංග ගත කෙරිණි. මෙම නාට්‍ය බැලීමට ගුණසේන ගලප්පත්ති ද පැමිණ සිටියේය. හෙතෙම සිරිල්ගේ රංගනයෙන් මහත් සතුටට පත්ව ‘මුහුදු පුත්තු’ නාට්‍යයේ තේගීස් නම් චරිතය සඳහා ඔහුට ආරාධනා කළේය.‘මුහුදු පුත්තු’ වේදිකා නාට්‍ය තුළින් ප්‍රසිද්ධ වේදිකාවට බට සිරිල් වික්‍රමගේ අනතුරුව මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’, ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘කඳාවළලු’, හෙන්රි ජයසේනගේ ‘කුවේණි’,‘තවත් උදෑසනක්’, යන වේදිකා නාට්‍යවල මෙන්ම ‘දේවතා එළි’, ‘අහසින් වැටුණ මිනිසුන්’, ‘ලියතඹරා’, ‘වෙස් මුහුණු’, ‘නැට්ටුක්කාරි’ සහ ‘ඉඩම’ යන නාට්‍යයවලින් විශිෂ්ට රංගවේදියකු ලෙස ඉදිරියට පැමිණියේය. ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තු’ රඟ දක්වන දවසේ එය නැරඹීමට පැමිණ සිටි හර්බට් එම්. සෙනෙවිරත්න සහ සිසිර සේනාරත්න ඩබ්ලියූ. ඒ. සිල්වා ශූරීන්ගේ නවකතාවක් පදනම් කොටගෙන කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘හඳපාන’ (1965) චිත්‍රපටයේ චරිතයක් සඳහා සිරිල්ට ආරාධනා කළේය.“හරමා කියන, ගෑනියෙක් හොරකම් කර ගෙන යන චරිතයක් තමයි සිරිල්ට කරන්න තියෙන්නේ. ඔයාට විජිත මල්ලිකාව තමයි උස්සගෙන යන්න තියෙන්නෙ. සිරිල් හොඳ ‘බොඩි බිල්ඩර්‘ කෙනෙක්නේ, වැඩේ එච්චර අමාරු වෙන එකක් නැහැ” යැයි හර්බට් එම්. සෙනෙවිරත්න සිරිල් වික්‍රමගේට පවසා තිබුණි. මේ ගැහැනු හොරකම් කරන හරමා නමැති මැරයා ලෙස සිරිල් වික්‍රමගේ ඉදිරිපත් කළ චරිත නිරූපණය ඔහුගේ රංග දිවියේ ප්‍රථම සිනමා අත්දැකීම විය. එහෙත් ඔහු කාගේත් අවධානය දිනාගත්තේ මව රැකගැනීමට වෙහෙසෙන කෙළිලොල් ධීවර තරුණයකු ලෙස රඟපෑ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සත්සමුදුර’(1967) චිත්‍රපටයේ ‘ගුණදාස, නම් චරිතයෙනි.

‘මුහුදු පුත්තු’ ‘සත්සමුදුර’ වූ ආකාරය ගැන හේ මෙලෙස පැවසීය.

“මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ නාට්‍ය පෙන්වද්දී ඒක බලන්න වෛද්‍ය ලීනස් දිසානායක ඇවිත් හිටියා. එයාට චිත්‍රපටියක් කරන්න ආශාවක් තිබුණා. ඔහුගේ අදහස තිබුණේ මාව එහි ප්‍රධාන නළුවට තෝරගන්නයි. ඔහු මාව එක්කගෙන මීගමුවට ගියා; ගිහින් පිටපත කියවන්න දුන්නා. මට ඒක ඇල්ලුවෙ නැහැ. ඩොක්ටර්, මේක හොඳ නැහැ; කරනව නම් හොඳ නාට්‍යයක් තියෙනවා; මුහුදු පුත්තු අපි ඒකෙන් චිත්‍රපටියක් හදමු කියලා මං කිව්වා. ඊට පස්සේ මායි , ඩොක්ටර් ලීනසුයි, මහගම සේකරයි, ගුණසේන ගලප්පත්තියි හමුවෙලා මේ ගැන කතා කළා. එතකොට ගලප්පත්ති කිව්වා සිරි ගුනසිංහ ඇවිත් ඉන්නවා අපි මේ වැඩේ එයාට බාර දෙමු කියලා.

අපි කිව්වා නෑ නෑ එයා නෙමෙයි ඔයා මේක කරන්න කියලා. එතකොට ගලප්පත්ති කිව්වා ‘නැහැ මට වැඩිය හොඳට මිනිහ වැඩේ කරයි; එයාට බාරදෙමු කියලා. ඒ විදියට තමයි සිරි ගුනසිංහට වැඩේ බාර වුණේ. එයයි වසන්ත ඔබේසේකරයි එකතු වෙලා මේක ලිව්වා. ‘මුහුදු පුත්තු’ ‘සත්සමුදුර’ වුණේ ඒ විදියට”

“සත්සමුදුරේ මම රඟපෑවේ ධීවර ගමක ජීවත් වන මාළු අල්ලන තරුණයකු ලෙසයි. නම ගුණදාස; මගේ අම්මා ලෙස රඟපෑවේ දෙනවක හාමිනේ. තනිව ජීවත් වූ අම්මාටත් මටත් තිබූ අගහිඟකම් නිසා හිතුවක්කාර ලෙස වාරකන් කාලයේ මුහුදු යන දර්ශනය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඇත්තටම මම එදා මැරෙන්න ගියා.” හෙතෙම සිය මතක ආවර්ජනය කරමින් කියයි.

අනතුරුව 1969 බිනරමලී, පාරාවළලු, මොකද වුණේ, 1970 දී නිම් වළල්ල, වෙස්ගත්තෝ, 1972 සිහින ලොවක්, 1973 හත්දින්නත් තරු, 1974 අහස් ගව්ව, 1976 වල්මත්වූවෝ, 1977 එයා දැන් ලොකු ළමයෙක්, 1978 සෙලිනාගේ වලව්ව, බඹරු ඇවිත්, 1979 චුඩා මාණික්‍යය, විසි හතර පැය, 1980 කරුමක්කාරයෝ, 1981 සොල්දාදු උන්නැහේ , ටැක්සි මල්ලි 1983 මුහුදු ලිහිණි, 1984 පරසතුරෝ, 1985 සුද්දිලා ගේ කතාව, 1987 මංගල තෑග්ග, කිවුලේ ගෙදර මොහොට්ටාල, 1989 සිරි මැදුර, 1990 පාලම යට, 1991 ස්ත්‍රී , 1992 කුලගෙය, 1994 එකදා වැහි, අඹුසැමියෝ, මී හරකා,1995 සෙයිලම, මාරුතය, 1996 තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, 1997 BLENDINGS , 1999 සෙක්සි ගර්ල්, නගරං, 2000 අනුරාගයේ අනන්තය, 2002 තහනම් ගහ, 2004 ගිනි කිරිල්ලි සහ 2017 බන්ධනය වැනි 60 කට ආසන්න චිත්‍රපට තුළින් ඔහු දැක්වූ රංගනයේ විශිෂ්ටත්වය මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

‘සිහින ලොවක්’ හා ‘කරදිය වළල්ල’ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකය. සිහින ලොවක් සිනමා පටයේ එන අමරදේවයන් ගයන ‘මේ ලොව යම් කිසිවකු මාහට පෙම් කළ බව’ ගීතය නිර්මාණය වූ පසුබිම පිළිබඳ හරි අපූරු කතාවක් ඔහු සිළුමිණට පැවසීය.

“රඟපාල විතරක් හරියන්නේ නැහැ; චිත්‍රපටියක් හදන්න කියල” ඩොක්ටර් ලීනස් මට කිව්වා. ඒ අනුව තමයි මේ චිත්‍රපටය හැදුණේ. මං මේකට ගීතයක් ලියව ගන්න මහගම සේකර එක්ක ගම්පහ ගෙස්ට් හවුස් එකට ගිහින් ගීතයක් ලියල මට දුන්නා.

“මං කිව්වා; සේකර මේක මට එපා. මේක හරියන්නේ නැහැ” කියලා. ඔහොම දෙවැනි දවසෙත් අපි ගෙස්ට් හවුස් එකට ගියා. සේකර කිව්ව “මට හදිස්සියට සින්දු ලියන්න බෑ සිරි. මං දිනපොතක ලියපු පරණ ගීතයක් තියෙනවා; බලපන් මේක උඹේ වැඩේට හරි යයිද කියලා.” මං කිව්වා; “යකෝ මේ තියෙන්නෙ මං හොයපු සින්දුව; මේකනෙ මං ඉල්ලුවෙ” කියලා. පහුවෙනිදාම සෝමදාස ඇල්විටිගල හම්බ වෙලා තනුව හදලා මියුසික් කළා. ඒ පාර සෝමදාසයි සේකරයි දෙන්නම කිව්වා; “මේක අමරදේව ඇරෙන්න වෙන කවුරුවත් කියල වැඩක් නැහැ කියලා. මාත් ඒක අනුමත කළා. සින්දු පටිගත කළා. “පස්සේ මං මේක රේඩියෝ සිලොන් එකේ රෙකෝඩ් බාර් එකෙන් ගත්ත කියලා ලොකු ආන්දෝලනයක් ඇති වුණා. අද ඇල්විටිගලත්, සේකරත්, අමරදේවත් දැන් නැහැ. ඒත් ඒ ගීතය මට තවමත් ඇහෙනවා.” මේ ප්‍රතිභාපූර්ණ රංගවේදියා රඟපෑ ටෙලිනාට්‍ය අතර නුඹ නාඩන්, සෙනෙහෙලතා, පලිඟු මැණිකේ, අඳුකොළ, මිහිකත ගේ දරුවෝ, ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව මෙරට ප්‍රේක්ෂක ජනතාව ඇද බැඳගත් ප්‍රබල චරිත නිරූපණයන්ගෙන් සමන්විත විය. ඇල්ල ළඟ වලව්ව හෙතෙම කලක් ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂක තනතුර හෙබ විය.

ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් ලෙස 1979 ජනාධිපති සම්මානය උලෙළේදී බඹරු ඇවිත් සිනමා පටය වෙනුවෙන් කුසලතා සම්මානයක් ද, 1986 ජනාධිපති සම්මාන උලළේදී සුද්දිලාගේ කතාව හි හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි. සී සම්මාන රැසක්ද හිරු රන් සම්මාන ද හිමි කරගෙන තිබේ. පසුගියදා සිරිල් වික්‍රමගේ ගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ගල්කිස්ස, කලාපුරයේ පිහිටි ඔහුගේ නිවෙස වෙත ගියේය. ඔහුගේ සුවදුක් විමසූ අමාත්‍යවරයා ඔහුගේ නිර්මාණ දිවියේ සන්ධිස්ථාන සටහන් කළ චිත්‍රපටි කිහිපයක් තෝරා ගෙන සහෝදර ශිල්පීන්ගේ පූර්විකාවක්ද සහිතව ස්වාධීන රූපවාහිනියේ ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස එහි පැමිණ සිටි ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධනගෙන් ඉල්ලීමක් ද කළේය.

Comments