ඩෙංගු ඔසුවකට ලෝකයම පෙළ ගැසෙයි | සිළුමිණ

ඩෙංගු ඔසුවකට ලෝකයම පෙළ ගැසෙයි

- මේ වසරේ ජනවාරියේදී රෝගීන් වැඩි වීමක්
- රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වැලඳුණු අයගෙන් සියයට 25කට
- අවුරුදු 17 -18 වනවිට ලංකාවෙ සියයට 70කට ඩෙංගු හැදිලා
- ඩෙංගු පාලනයට අන්තර්ජාතික සැලැස්මක්

ප ඩෙංගු පිළිබඳ නීරස වන තුරු කතා කර ඇත. තමන්ගේ ගෙවත්ත තමන් වෙනුවෙන් මෙන්ම සමාජය වෙනුවෙන් ද පිරිසුදු කර ගැනීමේ වගකීම ඕනෑවටත් වඩා කතා කර තිබේ. පාසල්වල, රජයේ සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් ස්වකීය පරිශ්‍ර මදුරුවන් බෝ නොවන කලාප බවට පත්කිරීමේ වගකීම පිළිබඳ නීතියෙන් ද සහතික කර ප්‍රකාශ කර ඇත. මේ වෙනුවෙන් රජය වැය කළ ජාතික ධනය, බිලියන ගණනකි.

එහෙත් රට තුළ සෑම වසරකම ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් තිබේ. ඩෙංගු රෝගීන්ගේ පැහැදිලි වැඩි වීමක් මේ වනවිටද වාර්තා වෙමින් ඇත. වර්ෂ 2020 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 34,411කි. වර්ෂ 2021 රෝගීන් 35,924ක් වාර්තා විය. 

2022 වසර අවසන් වනවිට එම වසර තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,689කි. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත ප්‍රකාරව පසුගිය අඟහරුවාදා වනවිට මේ මාසයේ මුල් දින 16 තුළ ඩෙංගු රෝගීන් 4,912ක් වාර්තා වී තිබිණි. තත්ත්වය මෙසේ නම් බොහෝ විට මාසය අවසන් වනවිට දස දහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමේ ඉඩක් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහට අනුව ඩෙංගු රෝගීන් වර්තා වෙමින් ඇති ආකාරය යම් පීඩනයක් සෞඛ්‍ය අංශයට ඇති කරවමින් ඇත.

“2022 වසරටම රෝගීන් 76,689ක් වාර්තා වුණා. මේ අවුරුද්දෙ ජනවාරියෙ මුල් දින 16 ඇතුළෙ තමයි ඉහත කී රෝගීන් 4,912ක් වාර්තා වන්නෙ. ගිය අවුරුද්දෙ ජනවාරියෙත් රෝගීන් හත්දහසක් ඉක්වමවනු ලැබුවා“ විශේෂඥයන්ගේ පුරෝකථනය වී ඇත්තේ ගිය වසරේ ජනවාරියට වඩා වැඩියෙන් මේ වසරේ ජනවාරියේ රෝගීහු වාර්තා විය හැකි බවය.

“රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ ගම්පහ කොළඹ, කළුතර දිස්ත්‍රික්කවලින්. ඊට අමතරව අපට පුත්තලම, දිගාමඬුල්ල, යාපනය දිස්ත්‍රික්ක, කල්මුනේ ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කළා.“

“ඩෙංගු රෝගීන් අවුරුද්ද පුරාම වාර්තා වෙනවා. එත් සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම සක්‍රීයව පවතින කලයේදි. වර්ෂාව අඩුවීමත් සමඟ රෝගීන් අඩු වෙනවා.

නිරිත දිග මෝසමට අදාළ ව මැයි අන්තිම සිට ජූනි ජූලි අගෝස්තු කාලවලත් ඊසාන දිග මෝසමට අදාළව ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලවලත් රෝගීන් වාර්තා වෙනවා. “

රෝගය බෝ කරන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti), සහ ඊඩිස් ඇල්බොෆික්ටර්ස් (Aedes albopictus) මදුරුවන්ගෙනි. වර්ෂා කාල තුළ අප උන්ට බෝ වීමට තවන් නිර්මාණය වන්නට ඉඩ හැර තිබේ.

මේ වනවිට රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වී තිබෙනවා ද?. අප කළ විමසුමට විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ පැහැදිලි කළේ මෙසේය. ‍

“ඩෙංගු රෝගීන් වැඩි වීම මේ මාසයෙ වැඩිවීමක් පමණක් නොවෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමානුකූල වැඩිවීමක් අප නිරීක්ෂණය කළා. ජූනි - අගෝස්තු දක්වා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවත් වැඩියි.

සැප්තැම්බර් 4,500කට වඩා වැඩිය රෝගීන් වාර්තා වුණා. ඔක්තෝබර් 4,700ක් ඉක්මවා ගියා. නොවැම්බර් 5,400ට වැඩි වුණා. ක්‍රමානුකූලව වැඩිවෙමින් පැමිණි රෝගීන් සංඛ්‍යාව පසුගිය දෙසැම්බර් මාසයේ 8,197ක් වාර්තා වෙලා තියනවා. ජනවාරි මුල් දින 16 තුළ රෝගීන් 4,912ක් වාර්තා වෙනවා“

“මේ වකවානුවේ රට තුළ සාමාන්‍යයෙන් රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් අපට වාර්තා වෙනවා. වර්ෂා රටාවෙ වෙනස් වීමක් වුණොත් ඊට සාපේක්ෂව රෝගීන් වාර්තා වීමත් වැඩි වෙනවා. මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වැඩිවීමක් දක්නට ලැබුණත් එය වසංගත මට්ටමක් නොවෙයි. “

“වැදගත්ම වන්නෙ මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම. ජලය එකතු වන තැන්වල ජලය ඉවත් කළ නොහැකි අවස්ථා තියනවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල උපදෙස් මත රසායනික ද්‍රව්‍ය යෙදීම, මදුරු කීටයන් භක්ෂණය කරන මත්ස්‍ය වර්ග හඳුන්වා දීම කළ හැකියි. “ “අප දන්නවා ධුමායනයත් ඩෙංගු මදුරුවන් මර්දනයට යොදා ගන්නවා. නමුත් ධුමායන කටයුත්ත කරන්නෙ වසංගත තත්ත්වයක් ආවොත් විතරයි. ඒක කරන්න හේතුව වසංගතයක් වෙලාවෙ ඉන්න පියාසර කරන මදුරුවෝ විශාල ප්‍රමාණයක් වෛරසය අරන් යන නිසා.. එහෙම නොවන වෙලාවට ධුමායන කටයුතු කරලා ඵලදායී නෑ.“

මොකද ධුමායනේ දී මුදාහරින රසායනික ද්‍රව්‍ය වාතයේ රැඳී තිබෙන්නෙ කෙටි කාලයක්. පියාසර කරන මදුරුවෙක් ඊට ගැටුනොත් තමයි මදුරුවා විනාශ වෙන්නෙ. වැදගත් වන්නෙ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම මිසක් ධුමායනය නොවෙයි.“ විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

ලංකාවේ වාර්තාවන ඩෙංගු රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව මරණ අනුපාතිකය ඉතාම අඩුය. එය විශිෂ්ට තත්ත්වයකි. රෝග කළමනාකරණය අතින් විශාල දියුණුවක් සෞඛ්‍ය අංශ අත්පත් කරගෙන තිබේ. විශේෂ බෙහෙත් වර්ගවල අවශ්‍යතාවයට වඩා රෝග කළමනාකරණය මූලිකවන ඩෙංගු රෝගය සඳහා මුහුණ දීමට මේ අවස්ථාවේ දී ප්‍රමාණවත් සම්පත් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය තහවුරු කරයි.

ඩෙංගු රෝග ප්‍රතිකාර සහ කළමනාකරණය විෂයෙහි ලංකාවේ සිටිනා විශිෂ්ටම විද්වතෙක් වූ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඩෙංගු රෝගයේ ස්වරූපය පිළිබඳ පැහැදිලි කළේය.

“දැනටමත් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනෙවා. එතනදි කාරණා කීපයක් ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයයි. . වැදගත්ම දේ රෝගීන් කල් නොයවා රෝහල්ගත විය යුතුයි.. ඒ වගේම පුහුණු කාර්ය මණ්ඩලය අවශ්‍ය වෙනවා රෝග කළමනාකරණයට. ඖෂධ වර්ග අවශ්‍යය වෙනවා.. ඒ වගේම සමාජ දැනුම්වත් කිරීම අවශ්‍ය වෙනවා. රෝග කළමනාකරණයට අදාළ කාර්ය මණ්ඩල පුහුණුව දිගටම කරනවා. අප බලාපොරොත්තු වෙනවා වෙලාවට ඖෂධ ටික ලැබෙයි කියලා.

“විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියන්නේය. 

ඩෙංගු රෝගයට තවමත් නිශ්චිත බෙහෙතක් හෝ එන්නතක් නැත. එසේ නොසලකා හරිනු ලැබූ එවන් රෝගයක්වන ඩෙංගු සඳහා The Drugs for Neglected Diseases initiative විසින් දියත් කර ඇති ගෝලීය වැඩසටහනේ විද්‍යාත්මක කටයුතු ප්‍රධානියා ලෙස පසුගිය වසරේ ජූලි මස සිට කටයුතු කරන්නේ මහාචාර්ය නීලිකා මලවිගේය.

මහාචාර්ය මලවිගේ මේ වනවිට ඩෙංගු සඳහා රට තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් දියත්වී ඇති පර්යේෂණ සම්බන්ධව අපට කියන අතිශය වැදගත් කතාව ලියා තබනු වටින්නේය.

'අප නිරන්තරයෙන් පර්යේෂණ පවත්වාගෙන යනවා වයිරසයේ ස්වරූපය ගැන. ඩෙංගු හැදුනාම වැඩි දෙනකුට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නෑ. එහෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ රෝගය වැලඳුන අයගෙන් සියයට 25ක් විතර ප්‍රමාණයකට.

අපි කොවිඩ් වෛරසයෙන් හොඳටම බැට කාලා අත්දැකීම් ලබපු අය. ඩෙංගු වයිරසයෙන් ආසාදිත වුණාට පස්සෙ සියයට හැත්තෑ පහකට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නෑ. ඒ රෝග ලක්ෂණ පෙන්නලා රෝහල්ගත වුණු පිරිසෙන් ඉතාම අඩු ප්‍රතිශතයකට තමයි ඩෙංගු රක්තපාත තත්ත්වය එන්නේ. ගිය අවුරුද්දෙ රෝහල්ගත වුණු රෝගීන් ප්‍රමාණය දළ වශයෙන් හැත්තෑ නව දාහක්. එහෙම නම් ඒ වගේ තුන් ගුණයකට මේ වයිරසය ආසාදනය වෙලා තියෙන්න ඕන. දියවැඩියාව, අධික ස්ථුලතාව වැනි තත්ත්ව යටතේ ඩෙංගු රෝග ලක්ෂණ බරපතළ විදිහට මතු වෙලා ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්න තියන අවස්ථාව වැඩි වෙනවා. ගර්භණි අම්මලාට දරුණු රෝග ලක්ෂණ ඇති වීමේ අවධානම වැඩියි. ගර්භණී මවක් රෝග උණ සහිත මූලික ලක්ෂණ පෙන්නුම් කරලා දිනයක් ගිය වහාම ඇවිත් ඩෙංගු පරීක්ෂණයක් කරගත යුතුයි.

මේ පරීක්ෂණවල අරමුණක් තමයි ඩෙංගු සඳහා නිශ්චිත බෙහෙතක්, එන්නතක් සොයා ගැනීම. මේ තත්ත්ව ඇති වීමට හේතුව විද්‍යාත්මකව තහවුරු කළ යුතුයි ඖෂධයක් සඳහා පදනමක් සපයන්න.

දැනට ලංකාවෙ සායනික පරික්ෂණ දෙකක් අප කර තියනවා. 2003 දි හා 2022 දි. 2013 දි අපි හොයා ගත්ත දෙයක් තමයි වයස අවුරුදු 17 -18 වනවිට ලංකාවෙ සියයට 70කට ඩෙංගු හැදිලා. කොළඹ දිස්ත්‍රික්කයෙ නම් අවුරුදු 40 වනවිට සියයට අනූ පහකට ඩෙංගු හැදිලා. නොදැන බහුතරයකට ඩෙංගු හැදිලා . රෝග ලක්ෂණ පෙන්නුම් කරලා නෑ. 2020 -21 වසරවල ඩෙංගු ව්‍යාප්තිය ලෝකයේ හැම තැනම අඩු වුණා.

එත් 2022 ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ ඩෙංගු උවදුර තියන හැම රටකම විශාල ඩෙංගු අවදානමක් ඇති වුණා. බ්‍රසීලයේ අවුරුදු 30කට පස්සේ වැඩිම ඩෙංගු මරණ වාර්තා වුණේ පසුගිය අවුරුද්දේ. නේපාලය, වියට්නාමය තායිලන්තය රෝගීන් වාර්තා වීම ඉතාම වැඩි වුණා. දැන් සමකාසන්න සියලුම රටවල ඩෙංගු ප්‍රශ්නය තියනවා. ඒත් මේ සඳහා නිසි බෙහෙතක් නෑ. අපි මෙතෙක් කල් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න හැදුවෙ තනි රටවල් හා පර්යේෂණ කණ්ඩායම් විදිහට. ඒක නිවැරදි ක්‍රමය නෙමෙයි කියලා කොවිඩ් වලදි අපි දැක්කා.

ඖෂධයක් නිෂ්පාදනය දක්වා වූ පර්යේෂණ ක්‍රියාවලිය ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වැය වන කටයුත්තක්. ඒ වෙනුවෙන් ඔවුන් විශාල ධනයක් යෙදෙව්වා. ලෝකයම එකම පර්යේෂණ කණ්ඩායමක් ලෙස එකතු වුණා.

මේ අත්දැකීම අපි ඩෙංගුවලටත් යොදා ගත යුතුයි. ඒත් ඩෙංගු ලෝකයේ ධනවත් යුරෝපීය රටවල ප්‍රශ්නයක් නොවෙයි. මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින්නෙ ලංකාව, ලතින් අමරිකාව, බ්‍රසීලය, නේපාලය, ඉන්දියාව, ඉන්දුනීසියාව , තායිලන්තය වගේ රටවල්. අප්‍රිකානු රටවල නොසලකා හල ලෙඩරෝග සඳහා පර්යේෂණ කරන සංවිධානයක් තියනවා The Drugs for Neglected Diseases initiative කියලා. ඔවුන් තීණය කළා රෝගයක් සම්බන්ධව පර්යේෂණ කරනකොට කොවිඩ් වගේ ලොකු එකමුතුවක් තියෙන්න ඕන කියලා. ඩෙංගු රෝගයත් එහෙම නොසලකා හල රෝගයක් කියලා ඔවුන් හඳුනාගෙන තිබුණා.

ඒ වෙනුවෙන් දැන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ගණනාවක් අන්තර්ජාතිකව සැලසුමකට කටයුතු කරනවා.“ මුලින් කී ලෙස එම වැඩසටහනේ ප්‍රධානියා මහාචාර්ය නීලිකා ය. ලෝකයම එකතු වී කුමන ඖෂධය නිපද වූවත් ඩෙංගු යනු මිනිස්සුන්ගේ වගකීම වගවීම සහ විනය පිළිබඳ ප්‍රකාශනය කරන රෝගයකි. ඒ දැක්ම මිනිස් සිත්වල පහළ වූ දාට ඩෙංගු ලෝකයෙන් තුරන් වනු ඇත.

Comments