ඡන්ද ප්‍රතිඵලයක් | Page 2 | සිළුමිණ

ඡන්ද ප්‍රතිඵලයක්

එක්තරා හුදෙකලා ප්‍රදේශයක කනත්තක් අසල අප්‍රකට තුන්මං හන්දියක් තිබිණි. ඒ ආසන්නයෙහි කූඩාරමක් බඳු ගෙපැලක් අටවාගෙන නිහඬ ජීවිතයක් ගත කරන කපටි මිනිහෙක් සිටියේය. ඔහුට බයාදු මුහුණක් හා දිග කොණ්ඩයක් ද තිබුණේය. කිසිදු පාසලකට නොගිය මේ පුද්ගලයාට සමාජ ඇසුරක් නොතිබිණි. පාරවල් දිගේ බිම බලාගෙන අවට ගම්වල ගිය හෙතෙම නිවෙසකින් කුලී වැඩක් ඉල්ලාගෙන ජීවිතය සරි කර ගත්තේය.

උදෑසනම ගෙදරින් පිටවන ඔහු කුලී වැඩක් සොයමින් ගෙන් ගෙට ගියේය. බිම් කරුවල වැටෙත්දී ගෙදරට එන මිනිසා කිසිවක් සප්පායම් වී හොඳ හැටි නිදා ගත්තේය. ඔහු කුලී වැඩ කරන සෑම නිවෙසකින්ම කිසිවක් සොරාගෙන විත් තම නිවෙසේ තබා ගත්තේය. මේ බව දැනගත් ගම්වැසියෝ මිනිසාට පහර දී කුලී වැඩ දීම අත්හළහ. ඉනික්බිති මිනිසා අන්ත අසරණ වී දුකට පත් විය.

කුසගින්න උත්සන්න වූ කල්හි මේ මිනිසා සිඟමන් යදින්නට පටන් ගත්තේය. මෙලෙස සිඟමන් යදිමින් ගම්මානවල ඇවිද යන මිනිසාට ඔහු වැනිම නන්නත්තාර වූ ගැහැනියක මුණ ගැසිණි. පුරුෂයා දුටු සැණින් ගැහැනියගේ සිත් වසඟ විය.

"ඔයාගේ ජීවිතයට ආලෝකයක් වෙන්ඩ මට පුළුවන්! එහෙම වුණොත් අපේ අනාගතය හුඟාක් ජයට හිටීවි!"

"ඔබතුමිය කියන්නේ මාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්නව කියන එක නම් මං ඒකට ඉහළින්ම කැමතියි!"

"ඔව් මං කියන්නෙ ඒක තමයි, හැබැයි එක පොරොන්දුවක් ඕනෑ!"

"ඒ මොකක්ද කියන්ඩ උත්තමාවිය! මං ඔබට හුඟාක් කැමැතියි! හුඟාක් ආදරෙයි!"

"මං ඔයාගෙ කසාද ස්ත්‍රිය බව කියන්ඩ ඕනෑ! දෙන්නට - දෙන්නා හුඟාක් විශ්වාසයෙන් ජීවත් වෙන්ඩ ඕනෑ !"

කපටි පුද්ගලයා සියලු ප්‍රතිඥාවලට එකඟ වී ගැහැනිය රැගෙන නිවෙසට පැමිණියේය. ඉන් පසු දෙදෙනා එක්ව අවට ගම්වල සිඟමන් යදින්නට පටන් ගත්හ. මෙලෙස ජීවිතය සරි කරමින් සිටින අතර ගැහැනිය එම පුරුෂයාට අලුත් යෝජනාවක් ගෙන ආවාය.

"මේ විදිහට ජීවත්වෙන්ඩ අමාරුයි! අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ!"

"ව්‍යාපාර පටන් ගන්න සල්ලි කෝ! අනික අපි දන්නෙ මොනවද?"

"එහෙම කියන්ඩ එපා! දෙයියො අපි දිහා බලනවා! මේ හන්දිය ඒකට හොඳ තැනක්!"

යුවළ කතිකා කරගත් පරිදි තුන්මං හන්දියේ තැනක පහනක් දැල්වීමට පටන් ගත්හ. පාරේ යනෙන මිනිස්සු එම පහනට ආකර්ෂණය වූහ. සෑම හැන්දෑවකම පහන අසලට යන පුරුෂයා ද, ගැහැනිය ද දේවාරූඩයෙන් ගාථා කියන්නට පටන් ගත්හ. බොහෝ දෙනා එතැනට රැස් වී බලා සිටින්නට පටන් ගත්හ. වැඩි කලක් ගත වන්නට පෙර දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියනු ලැබේ යැයි දැන්වීමක් තුන්මං හන්දියේ දක්නට ලැබිණි. මිනිස්සු එකා දෙන්නා බැගින් දේවාලයට එන්නට පටන් ගත්හ. අර පුරුෂයා සාදු ලෙසින් හඳුන් වන්නට වූ අතර, ගැහැනිය ඉබේම මෑණියෝ බවට පත් වූහ. ව්‍යාපාරය සරු විය. වැල නොකැඩී මිනිස්සු දේවාලයට එන්නට පටන් ගත්හ.

"ඔබගේ නිවෙස ඉදිරිපිට සුදු මල් පිපෙන ගහක් තිබේ. එම ගසෙහි මිය ගිය ප්‍රාණකාරයකු රැඳී සිටී. ඔහු නිරන්තරයෙන්ම ඔබට කරදර කරයි. එම ප්‍රේත ආත්මය පලවා හරින තුරු සැනසීමක් ලබා ගැනීම අසීරුය."

"ඔබගේ නිවෙසේ අත්තිවාරමෙහි නැඟෙනහිර පැත්තට බරව කෝණාකාර ස්ථානයක බලවත් කොඩිවිනයක් යට කර තිබේ. එය ඉවත් කරන තුරු දියුණුවක් ලබා ගැනීම දුෂ්කරය."

දේවාරූඪයෙන් කියන ශාස්ත්‍ර සියල්ල එකිනෙක මිනිසුන්ට හරියටම ගැළපුණේය. ඔවුහු දේවාලකරුවන් ලවා කොඩිවින අයින් කිරීමට ද සෙත් ශාන්ති ඇති කර ගැනීමට ද තරගයට මෙන් ඉදිරිපත් වූහ. ඒ සඳහා ඉල්ලන මුදලක් ලබා දීමට ද ඉදිරිපත් වුහ.

ශාස්ත්‍රකාරයා හෙවත් සාදු සේවකයන් දෙදෙනකුද තම තේවාවන් සඳහා යොදා ගත්තේය.

අප්‍රකට තුන්මං හන්දිය ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් විය. ඒ අසල පාරවල් තැනීමට ද පිළිම ඉදි කිරීමට ද බොහෝ දෙනා ඉදිරිපත් වූහ. මේ වන විට දේවාලයේ සේවාව සඳහා දිනයක් ලබා ගැනීමද දුෂ්කර කටයුත්තකි. මිනිස්සු නිදි වර්ජිතව දේවාලය අසල රැඳී සිටින්නට පටන් ගත්හ.

මේ අතර මැතිවරණයක් පැවැත්වීමට දින නියම විය. ප්‍රධාන පක්ෂ දෙකෙන් ප්‍රබල මහජන නියෝජිතයෝ දෙදෙනකු තරගයට ඉදිරිපත් වූහ. එයින් එක් පුද්ගලයකු අන්තිම දූෂිතයකු විය. ඔහු දිනපතාම දේවාලයට පැමිණ ශාස්ත්‍රකාරයාගේද, මෑණියන්ගේද ආශිර්වාදය ලබා ගත්තේය. දුෂිත මහජන නියෝජිතයා ශාස්ත්‍රකාරයාට මුදල් හා විවිධ ත්‍යාග ලබා දෙමින් තම ජයග්‍රහණය තහවුරු කරන ලෙස ඉල්ලා සිටියේය. ශාස්ත්‍රකාරයා එය ඕනෑවටත් වඩා ඉහළින් ඉටු කළේය. දේවාලය අසල මැතිවරණ කාර්යාලයක් පවත්වා ගැනීමට ද ඔහු උත්සුක විය. සෑම රාත්‍රියකම පාහේ එහි සාද පැවැතිණි.

මැතිවරණ කාලය තුළ දේව කාර්යයන් අත්හළ සාදු හා මෑණියෝ සිය මන්ත්‍රීවරයා වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදුණාහ. මේ අනුව දේවාලය එක පක්ෂයක තනි අයිතියට ගියේය. සාදු හා මෑණියෝ සිය ශ්‍රාවකයන් අමතා මන්ත්‍රීවරයාගේ ජයග්‍රහණය ගැන අනාවැකි කියන්නට පටන් ගත්හ. ඔවුන්ගේ අනාවැකිවලට අනුව අනෙක් මන්ත්‍රීවරයාට ඇපත් නැති වන්නේය.

මැතිවරණ දිනය උදා විය. දූෂිත මන්ත්‍රීවරයා දේවාලයට පැමිණ වැඳ නමස්කාර කොට ඡන්ද පොළට ගියේ ජයග්‍රහණයෙන් පසු අලුත් දේවාලයක් ඉදි කර දෙන බවට පොරොන්දුවක් ද ලබා දෙමින්ය.

පසුදා මධ්‍යම රාත්‍රිය වන විට ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. දේවාලයේ මන්ත්‍රීවරයා අන්ත පරාජයක් ලබා තිබුණු අතර, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයාට ඉහළ ජයග්‍රහණයක් හිමි වී තිබිණි. එදින රාත්‍රිය පුරාවට දේවාලය අසල රතිඤ්ඤා හඬ හා මිනිසුන් කළහ කරන හඬ අසන්නට ලැබිණි. දේවාලය පොඩි පට්ටම් වී ඇතැයි සිතූ බොහෝ දෙනා පසුදා උදෑසන එතැනට රැස් වූහ.

ජයග්‍රාහී මන්ත්‍රීවරයා සුදු මල් වට්ටියක් ද රැගෙන දේවාලය ඉදිරිපිට හිටගෙන සිටිනු දක්නට ලැබිණි.

Comments