ගම්පොළ බැංකුවක ටෙලර් යන්ත්‍රය ඉස්සූ කොල්ලකරුවන් හඹා යන මෙහෙයුම | සිළුමිණ

ගම්පොළ බැංකුවක ටෙලර් යන්ත්‍රය ඉස්සූ කොල්ලකරුවන් හඹා යන මෙහෙයුම

ම්පොළ නුවර වීදියේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එම බැංකුවේ තිබුණු ස්වයංක්‍රිය මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කොල්ලකා පලා යන්නේ ඉතිහාසයේ මෙවන් කොල්ලයක් සිදුවූ පළමු අවස්ථාව බව සනිටුහන් කරමිනි.

චිත්‍රපටවල පමණක් මෙතෙක් කාලයක් දැක ඇති අලුත්ම තාලේ මෙම බැංකු කොල්ලය සිදු වන්නේ පසුගිය 25 වෙනිදා අලුයම 12.30ට පමණය. කේ. ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් බැංකුව අසලට පැමිණෙන මුහුණු ආවරණය කරගත් සිවුදෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලිය මෙම කොල්ලය සිදු කරනුයේ කල්තියා කළ සැලසුමකට අනුවය. කොල්ලකරුවන් ඔවුන් පැමිණි වෑන් රථය පවා ඒ අනුව නතර කරනුයේ බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කොටස ආවරණය වන ලෙසිනි. ඒ මාර්ගයේ ගමන් ගන්නා කිසිවකුටත් බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කොටසේ සිදුවන කිසිවක් පැහැදිලිව නොපෙනෙන ලෙසිනි.

වෑන් රථය නතර කළ සැණින් පැති දොරවල් විවර කරගෙන පිටතට පැන ගන්නා කොල්ලකරුවන් බැංකු පරිශ්‍රය තුළට ඒත් එක්කම දිව ගොස් සිය ග්‍රහණයට මුලින්ම ගන්නේ බැංකු ආරක්ෂක නිලධාරියාවය. ඒ ඔහුගේ හිසට පිස්තෝලයක් තබා බිය ගන්වමිනි. අනතුරුව ආරක්ෂකයාව ඒ අසල තිබුණු ප්ලාස්ටික් පුටුවක තබා ගැටගසන කොල්ලකරුවන් ස්වයංක්‍රිය මුදල් තැන්පතු කිරීමේ යන්ත්‍රය අසලට ගොස් සිය උපරිම වෙර යොදා එය සෙලෙව්වේය. ඒ ස්වයංක්‍රිය මුදල් තැන්පත් කරන යන්ත්‍රය බිමට සවිකර ඇති ඇණ ටික ගැලවී යන්නටය. ඇණ එකින් එක ගැලවෙන විට ඒ අතර සිටි එක් අයෙක් යන්ත්‍රය හා සම්බන්ධව ඇති විදුලි රැහැන් හා දත්ත පද්ධතිය ගලවා දමන්නේ ඒ ගැන හොඳ පළපුරුද්දක් ඇති අයෙක් ලෙසිනි. 

සියල්ල අවසානයේදී කොල්ලකරුවන් සිවුදෙනා ස්යංක්‍රිය මුදල් තැන්පතු කිරීමේ යන්ත්‍රය සැහැල්ලුවෙන් ඔසවාගෙන ගොස් වෑන් රථයට දමාගෙන පලා යන්නේ ඒ තුළ ඇති රුපියල් හැත්තෑහය ලක්ෂ හතළිස් හයදහස් හත්සියයක මුදලක් ද රැගෙනය. ඒ මෙරට අපරාධ වාර්තා පොත් අලුත් කරමිනි.

මෙරට බැංකු පද්ධතිය තුළ සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ස්යංක්‍රිය ගනුදෙනු පහසුකම් ඇති කරමින් මුදල් ලබාගැනීම් වෙනුවෙන් ටෙලර් යන්ත්‍ර හඳුන්වා දෙන්නේ 90 දශකයේය. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙනය. එකල අපේ රටට ටෙලර් යන්ත්‍රය ආගන්තුක වූ බැවින් එය අරුම පුදුම යන්ත්‍රයක් බවට ද පත්ව තිබුණි. මේ අරුම පුදුම යන්ත්‍රයේ ඇති මුදල් සොරා ගැනීමටත් කොල්ලකෑමටත් ඉතිහාසය පුරා විවිධ අපරාධකරුවෝ විවිධ උපක්‍රම සහ විධික්‍රම යොදාගෙන ඇත. මුල් කාලයේදී මෙම යන්ත්‍රය තුළ ඇති මුදල් සොරා ගත්තේ මෙම යන්ත්‍රවලින් ගනුදෙනු කරන්නට නොදත් අහිංසකයන්ව රවටා ඒ අයගේ බැංකු ගිණුම්වල මුදල් කාඩ්පත්වලින් සොරාගෙනය. ඒ මුල් කාලයේදීය. පසු කාලයේදී මෙම යන්ත්‍රය ඇතුළේ ඇති මුදල් සොරා ගන්නට ඇතැම් පිරිස් උත්සාහ දැරුවේ යන්ත්‍රයට හානි කරමිනි. එහෙත් ඝන තහඩුවකින් වටවුණු එම යන්ත්‍රය තුළ ඇති මුදල් සොරා ගැනීම හෝ කොල්ලකෑම යන්ත්‍රයට පහරදීමකින් කරන හානියකින් පහසු සිදු කළ හැකි කටයුත්තක් නම් නොවීය. ඒ නිසාම අපරාධකරුවෝ ඒ සඳහා අලුත් ක්‍රම අත්හදා බැලුවෝය.

පිටරට ගොස් අධ්‍යාපනය ලැබූ භාෂා 06ක් හැසිරවිය හැකි මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරයෙක් ඇතුළු කණ්ඩායමක් 2017 වසරේ බිබිල මැදගම පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රයක් බිඳ රුපියල් ලක්ෂ 57ක් කොල්ලකෑවේ ඒ අනුවය. ඒ මහ රෑ මෝටර් රථයකින් බැංකුව අසලට ගොස් ටෙලර් යන්ත්‍රයේ ඝන

තහඩුව ගෑස් ලාම්පුවකින් පුලුස්සා සිදුරුකරය. ඒ සඳහා මෙම කල්ලියේ දක්ෂ පෑස්සුම්කරුවෙක්ද සිටියේය. ගෑස් ලාම්පුවෙන් පුලුස්සා ටෙලර් යන්ත්‍රයක් සිදුරු කරමින් කළ එම කොල්ලය මෙරට අපරාධ ලේඛන අතර සටහන්ව ඇත්තේ එවැනි කොල්ලයක් සිදුවූ පළමු අවස්ථාව එය ලෙසිනි.

මෙම කොල්ලය එදා සිදුවන්නේ 2002 වසරේදී අනුරාධපුර පිහිටි රාජ්‍ය බැංකුවකට රිංගූ කොල්ලකරුවන් පිරිසක් දින තුනක් තිස්සේ ගෑස් ලාම්පුවලින් සේප්පු කපා රුපියල් කෝටි ගණනක මුදල් හා රන් ආභරණ සොරා ගත් අයුරු අනුගමනය කරමිනි. වෙනසකට ඇත්තේ සේප්පුව කැපීමට තරම් කාලයක් ටෙලර් යන්ත්‍රය සිදුරු කිරීමට ඔවුන්ට ගත නොවීමය.

2002 වසරින් පසු දිගින් දිගටම බැංකු සහ මූල්‍ය ආයතනයවලට සති අන්තයේ දිගු නිවාඩු කාලයන්වල රිංගා ගෑස් ලාම්පුවලින් සේප්පු පුලුස්සා සිදුරු කර ඒ තුළ ඇති මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීම් වැඩි හරියක් වාර්තා වූවත්, ටෙල‍ර් යන්ත්‍ර සිදුරු කර මුදල් කොල්ලකෑමක් නම් 2018 වසරෙන් පසු නැවතත් වාර්තා වන්නේ 2021 වසරේ සැප්තැම්බර් 26 වෙනිදාය. ඒ බැංකු සේප්පු සිදුරු කිරීම් වැඩි හරියක්ම වාර්තා වී තිබෙන උතුරු මැද පළාතෙනි. ඒ මින්නනේරිය යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රථ ගාල අසල ඇති රාජ්‍ය බැංකුවකට අයත් ටේලර් යන්ත්‍රයකි. මහා දවාලයේ එම ගේම ගසන්නේ හමුදා සෙබළුන් පවා බලා සිටියදී චිකාගෝ පන්නයටය. ඒ එම ටේලර් යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ මුවාවෙනි. කුඩා ජෙනරේටරයක් පවා රැගෙන විත් එයින් විදුලිය ලබාගෙන එම ටෙලර් යන්ත්‍රයේ තිබුණු රුපියල් ලක්ෂ 76ක් කොල්ල කන්නේ කැපුම් උපකරණවලින් එහි තහඩුව කපාය.

ටෙලර් යන්ත්‍රවල දත්ත පද්ධතිය හැක්කර එහි ඇති මුදල් කොල්ලකෑම මෑතකදී මෙරටින් වාර්තා වූ තාක්ෂණයෙන් ගැසූ තවත් අපූරු ගේමකි. නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසියක ඉහළ නිලයක් දරන නිලධාරියකුගේ ද සහය ඇතිව හික්කඩුව, කරාපිටිය සහ බද්දේගම පිහිටි රාජ්‍ය බැංකු ශාඛා තුනක ටේලර් යන්ත්‍ර 03කට තාක්ෂණයෙන් වැඩේ දෙන්නේ බල්ගේරියානුවන් දෙදෙනකි. ඒ එම යන්ත්‍ර තුනෙන් රුපියල් කෝටි 110ක් කොල්ලකමිනි. මෙම කොල්ලයත් අපරාධ ලේඛන අතර සටහන් වන්නේ මෙරට සිදු වූ මෙවැනි පන්නයේ පළමු බැංකු කොල්ලය ලෙසිනි.

මේ හැම ගේමක්ම පොලිසිය වැඩි කල් යන්නට මත්තෙන් අල්ලා ඊට වගකිවයුතු හැමෝම නීතිය හමුවට ගෙන ඒමට පවා සමත් විය. ගම්පොළ බැංකුවේ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කොල්ලකෑවුන්ටද දැන් වැඩ වැරදී හමාරය. කල්යල් බලා සැලසුම් සහගතව මෙම කොල්ලය ඔවුන් සිදු කළත් වැරදුණු තැන් මෙන්ම මඟ හැරුණු තැන් බොහෝය. පොලිසිය දැන් ඔවුන් පසුපස පන්නමින් සිටින්නේ ඒ ඔස්සේය.

ඒ ගැන නොදත් කොල්ලකරුවන් එදා මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය රැගෙන පලා යන්නේ වැඩේ ගොඩ යැයි සිතා ජයග්‍රාහී ලීලාවෙනි.

එසේ කොල්ලකරුවන් පලා යන විට බැංකු ආරක්ෂක නිලධාරියා සිය බැමි දැඩි පරීශ්‍රමයකින් පසු ලිහාගෙන කෙලින්ම දිව යන්නේ බැංකුවේ ඇති අනතුරු ඇඟවීමේ ස්විචය වෙතය. ඔහු එය ක්‍රියාත්මක කරනුයේ බැංකුව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවට වූ සංඥාවක් පොලිසියට ලබා දෙමිනි. බැංකුව තුළ ඇති ඒ අනතුරු ඇඟවීමේ ස්විචය ක්‍රියාත්මක කළ විට අනතුරු ඇඟවීමේ නලාව ක්‍රියාත්මක වන්නේ පොලිස් ස්ථානය තුළ ඇති අනතුරු ඇඟවීමේ උපකරණයෙනි. එම හඬ නිකුත් වන විටම ඒ කුමන බැංකුවකින් දැයි පහසුවෙන්ම අනතුරු ඇඟවීමේ පද්ධතිය තුළින් හඳුනා ගත් ගම්පොළ පොලිසියේ නිලධාරීන් එහි එන්නේ විදුලි වේගයෙනි. 

කොල්ලකරුවන් ඒ වන විටත් සිටින්නේ බොහෝ දුර පලා ගොසිනි. ගිනි අවියක් එල්ල කර බිය ගන්වා පුටුවක තබා ගැටගැසුව ද බැංකු ආරක්ෂකයාගේ නිරීක්ෂණයට හැම කොල්ලකරුවෙක්ම ලක් විය. එසේම ඔවුන් පැමිණි කේ. ඩී. එච් වර්ගයේ වෑන් රථයේ අංකය පවා ඔහු සිය මතකයේ තබා ගත්තේය. අනතුරු ඇඟවීමේ සංඥාවට අනුව එහි පැමිණි පොලිස් නිලධාරින්ට ඔහු ඒ අංකය ලබා දෙන්නේ ඒ ඔස්සේ කොල්ලකරුවන් පස්සේ පන්නන්නටය. SG PE 7611 අංකය දරන කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථය ගැන රේඩියෝ පණිවුඩයක් මඟින් මුළු රටේම පොලිස් ස්ථාන දැනුම්වත් වන්නේ ඒත් එක්කමය. ඒ අනුව එදා රෑ සංචාරක මුර රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් හැමෝම පාහේ එම අංකය සටහන් කරගෙන මහ මඟ ගමන් කරන්නට වූ සැක කටයුතු වාහන පරීක්ෂා කරන්නට ගත්තේය.

ගලහා හන්දියේ වටරවුම අසල සැක කටයුතු වෑන් රථයක දෑත් ගැට ගැසූ පුද්ගලයෙක් රැඳී සිටින බවට වූ තොරතුරක් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබෙන්නේ මේ අතරතුරදීය. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ පාලක මැදිරිය පිහිටා තිබෙන්නේ මිරිහානේය. මෙම ඇමතුම දුන් පුද්ගලයා තමා කවුරුන් දැයි නොකීවත් ඒ ගැන වහාම 119 පාලක මැදිරියෙන් දැනුම්වත් කරනුයේ පේරාදෙණිය පොලිස් ස්ථානයටය. ඒ ගලහා හන්දිය අයත් වන්නේ පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට වූ බැවිනි.

119 පාලක මැදිරියෙන් ඒ දැනුම් දීම ලද සැණින් පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගලහා හන්දිය වෙත යන්නේ ඉගිලෙමිනි. ඒ අලුයම 4.55ට පමණය. පොලිස් නිලධාරීන් එහි යන විටත් වෑන් රථය තිබෙන්නේ වට රවුම අසලය. එම වෑන් රථය කේ. ඩී. එච්. වර්ගයේ එකක් වූ බැවින් එහි අංකය කෙරෙහි පොලිස් නිලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වන්නේ ගම්පොළ බැංකු කොල්ලය ගැන හුවමාරුවූ රේඩියෝ පණිවුඩය ඔස්සේ ද කියැවුණේ කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථයක අංකයක් වූ බැවිනි.

බැලින්නම් එම රථය මුළු රටේම පොලිසිවලින් ඒ වන විට සොයමින් සිටි වෑන් රථයයි. එහි රියදුරු අසුන පැත්තේ දොර ඒ වන විටත් තිබෙන්නේ විවරකරය. එතැන බිම හිටගෙන සිටියේ දෑත් ගැටගසා සිටි පුද්ගලයෙකි. ඔහු අසලට ගිය පොලිස් නිලධාරීන් ගැට ගසා තිබුණු බැමිවලින් දෑත් නිදහස් කරමින් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට ගත්තේය. ඒ ඔහුගේ අනන්‍යතාව මුලින්ම හඳුනා ගනිමිනි.

ඊට අනුව මේ පුද්ගලයා වෙන කිසිවෙක් නොව වෑන් රථයේ රියදුරුය. අරණායක පදිංචිකරුවෙක් වන ඔහු ගුවන් හමුදාවේ විශ්‍රාමික සෙබ‍ලෙකි. වෑන් රථයේ හිමිකරු වූයේ කෙටි කාලයක් පොලිස් සේවයේ සිටි කොස්තාපල්වරයෙකි. දැන් ඔහු අරණායක පැත්තේ බේකරියක් පවත්වා ගෙන යමින් සිටියි. ඔහුට අයත් මෙම කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථය කුලී ගමන් සඳහා යොදවා ඇත්තේ අමතර ආදායමක් උපයා ගන්නටය. එහි රියදුරු වූයේ මෙම ගුවන් සෙබළාය. බේකරි හිමිකරුගේ විශ්වාසවන්තයෙක් වූ මෙම ගුවන් සෙබළා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නට වූයේ තමා සමඟ කුලී ගමනක් යාමට පැමිණි පිරිසක් විසින් තමාව මෙසේ ගැටගසා වෑන් රථය පැහැරගෙන ගොස් නැවත වෑන් රථය සමඟ මෙසේ තමාව අතහැර ගිය බවය.

පේරාදෙණිය පොලිසියට රියදුරා හමුවන විට ඔහුගේ දෑස් තිබෙනුයේ නිරාවරණය වීය. දෑත් තිබෙන්නේ ඉදිරිපසට තබා ගැටගසාය. පාදවලට කිසිදු විලංගුවක් දමා නැත. අඩුම තරමින් සීරීම් තුවාලයක්වත් ඔහුට සිදුවී ඇති බවක් ද පෙනෙන්නට නොවීය. පොලිසිය එතැනට එනතුරු බලා නොසිට ඔහුට උදව් ඉල්ලා පොලිසියට ඒමේ හැකියාවක් ඕනෑ තරම් තිබුණේය. අඩුම තරමින් ඔහුගේ මුහුණෙන් තැති ගැන්මක් හෝ බිය ගැන්මක සලකුණු ද දක්නට නොවීය. ඒ ගුවන් හමුදා සෙබළෙක් ලෙස ලැබූ පන්නරය නිසා යැයි විශ්වාස කිරීමට හැකි වූවත් බැමි ලිහාගෙන පොලිසියට ඒමට කොතෙකුත් අවස්ථාවක් තිබියදීත් පොලිසිය එහි එනතුරු ඔහු රැඳී සිටීම ගැන ඇති වන්නේ සියුම් සැකයකි.

ඒ නිසාම සිය උසස් නිලධාරින්ට දැනුම් දෙමින් පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් වගබලා ගන්නේ වෑන් රථය සමඟ රියදුරු ගම්පොළ පොලිසියට භාර දෙන්නටය. අදටත් ඔහු රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් සමඟිනි. ඒ කොල්ලකරුවන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් සමඟිනි. පොලිසිය මෙසේ සිය භාරයේ රියදුරුව තබාගෙන සිටින්නේ ඔහුගේ කියුම් කෙරුම් පිළිබඳව ඇති ප්‍රශ්න සහගත කරුණු කිහිපයක් මුල්කරගෙනය.

පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේ ඔහු කියන්නේ මෙදින රාත්‍රියේ පේරාදෙණියේ සිට ගම්පොළට කුලී ගමනක් යෑමට යැයි කියා යම් පුද්ගලයෙක් විසින් වෑන් රථය වෙන්කර ගත් බවය. ඒ වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේය. ඒ පුද්ගලයා වෑන් රථයට ගොඩවූයේ යැයි කියන්නේ පේරාදෙණියේදීය. ඒ තවත් අයෙක් සමඟිනි. අනතුරුව තවත් දෙදෙනෙක් වෑන් රථයට ගොඩ කර ගත්තේ යැයි රියදුරු පවසන්නේ ගලහා පාරේ ගොසින් දෙල්තොට පැත්තෙනි.

“අතරමඟදී ඒ අය පිස්තෝලයක් පෙන්නල වෑන් එකෙන් මාව බස්ස ගත්තා. මගේ ඇස් බැන්දා. පස්සේ වෑන් එකේ පිටිපස්සේ සීට් එකට දාගත්තා. කොහේද යන්නේ කියල මම දන්නේ නැහැ. ටික දුරක් ගියා. පස්සේ මාව වෑන් එකෙන් බැස්සුවා. මාව ගලක් උඩ ඉන්දවල එයාලගේ කෙනෙක් මගේ ගාව තියල වෑන් එක අරගෙන ගියා. ගොඩක් වෙලා මම එතැන හිටියා. පස්සේ ආයෙමත් ඒ අය ඇවිල්ල වෑන් එකට මාව දාගත්තා. මගේ අත් බැඳලයි තිබුණේ. කෙහේද යන්නේ කියල දන්නේ නැහැ. පස්සේ ඒ අය මාව දාල ගියා. පොලිසිය ඇවිල්ල බේරාගන්නකොට මම හිටියේ පේරාදෙණියෙ.“ වෑන් රථයේ රියදුරු මේ කතාව කියන විට පොලිස් නිලධාරීන් එය අසාගෙන සිටියේ සුරංගනා කතාවක් ලෙසිනි. ඒ ඔහු කියන බොහෝ දේ විශ්වාස කරන්නට බැරි දේවල් වූ නිසාය.

ඒ බැංකුවක් කොල්ල කන්න යන අපරාධකරුවන් පිරිසක් කිසි විටකත් මෙවැනි හැසිරීමක නිරත නොවන බව සිය දහස් ගණනක් අපරාධ විසඳා ඇති පොලිස් නිලධාරීන් පැහැදිලිවම දැන සිටි බැවිනි.

“ඩ්‍රයිවර්ගේ කතාව අපිට මුළුමනින්ම විශ්වාස කරන්න බැහැ. ඇතැම් කරුණු බැහැර කරන්නත් බැහැ. ගැටලුව තියෙන්නේ බැංකුවක් කොල්ල කන්න සූදානම් වන පිරිසක් ඊට සම්බන්ධ පුද්ගලයෙක් එක්ක තමන්ව නිරාවරණය වන විදිහට එහේ මෙහේ යයිද කියල. පේරාදෙණියෙන්ම වෑන් එක කොල්ලකෑව නම් අපිට ටිකක් හරි විශ්වාස කරන්න තිබ්බා මේ කියන කතාව. අනික ඩ්‍රයිවර්ව ගැටගහල ගලක් උඩ තියල එයාව බලාගන්නත් කෙනෙක් තියල යනවා කියන්නේ විහිළුවක් වගේ දෙයක්. බැංකුවේ මැෂින් එක කොල්ල කාල ඒක වෙන තැනක බාල මේ අය ආපහු ඇවිල්ල ඩ්‍රයිවර්ව වෑන් එකටත් දාගෙන වෑන් එකත් එක්ක දාල ගියා කිව්වම අසාමාන්‍ය ගතියක් තියෙනවා. අනික දැන් කොල්ලකරුවන් ඩ්‍රයිවර්ට ටෙලිෆෝන් කරල කිව්වා කියනවා වෑන් එකේ හයර් එක 50,000ක් දෙන්නම් කියලත්. මේව විශ්වාස කරන්න පුළුවන් දේවල් ද කියල අපි තාමත් හිතනවා. “ මේ ගැන විමර්ශනයට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් දරන්නේ මෙවැනි අදහසකි. ඒ අය මේ කතාව සුරංගනා කතාවක් ලෙස දකින්නේ මේ නිසාය.

රියදුරු විසින් කියන තැන්වලට පවා පොලිස් විමර්ශකයන් යමින් ඇත්ත නැත්ත ගැන තොරතුරු රැසක් නිරීක්ෂණය කර ඇත්තේ ද එබැවිනි. එහිදී ද බොහෝ තොරතුරු විමර්ශන නිලධාරින්ට රැස් කර ගැනීමට හැකිවී ඇත්තේ කොල්ලකරුවන්ව කොටු කර ගැනීමට පහසුවක් වෙමිනි. ඒ අතර වැදගත්ම සාක්ෂියක් බවට පත්ව ඇත්තේ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති දසුනකි. ඊට අනුව වෑන් රථය රියදුරු සමඟ අතහැර යන්නේ කොල්ලකරුවන්ගෙන් තිදෙනෙකි. ඒ සිවුවැන්නා කවුරුන් දැයි කියා ඉඟියක් විමර්ශන නිලධාරීන්ට ලබා දෙමිනි. ඒ තුන්වැන්නාව පැහැදිලිවම විමර්ශන නිලධාරීන් හඳුනා ගෙන ඇතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නම් ශක්තිමත් සාක්ෂි ඒ සඳහා තිබිය යුතුය. දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේ විද්‍යාත්මක සාක්ෂි පවා මේ වන විට ගම්පොළ පොලිසියේ විමර්ශන නිලධාරීන් රැස් කරමින් සිටින්නේ ඔහු ඇතුළු නඩේම නීතිය හමුවට එකවර ගෙන ඒමටය. ඒ කොල්ලකෑ මුදල් ද සමඟිනි.

ඡායාරූප - සුරංග දිල්හාන්
ගම්පොළ සමූහ

Comments