කොළඹ රාජකීය විදුහලෙන් සාරගර්භ ලිපි සරණියක් | සිළුමිණ

කොළඹ රාජකීය විදුහලෙන් සාරගර්භ ලිපි සරණියක්

කොළඹ රාජකීය විදුහලේ තේමා පාඨය වෙන්නේ පඥ්ඥාය මේ සමො නතථි යන්න ය. එනම් ප්‍රඥාවට සමාන කළ හැකි අන් යමක් නැත යන්න ය. ප්‍රඥාව වැඩීමේ මුල් අඩිතාලම වැටෙන්නේ පාසලෙනි. පාසලක් ඔස්සේ දරුවන් ඥානය වෙනවා සේම දරුවන් ගුණ ගරුක හා යුක්ති ගරුක කිරීමේ අධ්‍යාශය ද ක්‍රියාත්මක වෙන්නේ ය. ගුණ නැණ දෙකෙන් ම සපිරි දරුවකු බිහි කිරීමේ පදනමත් ඒ සඳහා වැටෙන මාර්ගයත් යන දෙකම දරුවකු මූලික වශයෙන් ම පාසලෙන් ලබන්නේ ඒ නිසා ය.

කොළඹ රාජකීය විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයට වසර 67ක් පිරීම නිමිත්තෙන් රාජකීය විදුහලේ බෞද්ධ සංගමයේ හා සිසුන්ගේ දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් The Buddhist Way නමින් බෞද්ධ සඟරාවක් පසුගියදා ජනගත විණි. බුද කුමාරතුංගගේ සංස්කරණයක් වන මේ සඟරාව සඳහා ප්‍රධාන අනුශාසකත්වය දරන ලද්දේ පූජ්‍ය ගවරගිරියේ පේමරත්න ස්වාමීන් වහන්සේ වන අතර, අවශේෂ අනුශාසකත්වය ලබා දෙන ලද්දේ පූජ්‍ය පොරොවගම නාලක හිමි විසිනි. බෞද්ධ සංගමය භාර ආචාරිනී චාන්දනී පෙරේරාගේ මඟ පෙන්වීමෙන් හා බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලයේ ආශීර්වාදයෙන් යුතුව පාසලේ පූර්ණ අනුග්‍රහයෙන් මේ අනගි සඟරාව නිකුත් වී තිබේ.

විශිෂ්ට නිමාවකින් යුතු මේ කෘතියේ පිටු 228කි. වර්ණ මුද්‍රිත ඔප කඩදාසියේ මුද්‍රණය කර තිබේ. ඒ නිමාවටත් වඩා වටිනා සාරගර්භ ලිපි සමුච්චයකින් මේ සඟරාව සමන්විතය. සඟරාව සඳහා ලිපි තෝරා ගැනීමේදී විවිධ විෂය පථ ආවරණය කිරීමට සංස්කාරකවරු ගත් වෙහෙස හා අවධානය කැපී පෙනේ. නෙක විෂයය පථ තෝරා ගත්ත ද ඒවා සඟරාවේ පොදු අරමුණ වෙන බෞද්ධ දර්ශනය නම් ප්‍රධාන විෂය ධාරාවෙන් වියුක්ත නොකිරීමට සංස්කාරකවරු ප්‍රවේශම් වී තිබේ. බෞද්ධ දර්ශනයේ මාර්ගය ගැන විවිධ විෂයය කරුණු ඇසුරෙන් සාකච්ඡා කෙරෙන මෙහි ඒවායේ ගැඹුරු විග්‍රහ සරලව යෞවනයන්ට තේරෙන පරිද්දෙන් ඉදිරිපත් කිරීමට එකී ලේඛකයන් සිය අවධානය යොමු කර තිබේ.

සඟරාවේ සංගෘහිත ලිපි මාලාව ඇරඹෙන්නේ බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමි විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශිෂ්‍ය ජීවිතයක දී පුහුණු කළ හැක්කේ කෙසේද යන ලිපියකි. ජීවන දර්ශනය කැටි වූ ලොව ඉදිරිපත් වුණු විශිෂ්ටතම විග්‍රහයක් වන මෙය සරල ව හා සුගම ව ලේඛක හිමියන් ඉදිරිපත් කරන්නේ යෞවන වයසේ සිටින දරුවන්ට බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් ලැබෙන අයුරෙනි.

නැඟෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරන්දර, සේරුවිල රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ බුදුදහමේ අනුදත් විනය පිළිබඳ ඉතා කාලෝචිත ලිපියක් සංග්‍රහ කර තිබේ. යෞවන වයසේ සමාජයට පියනඟන්නට බලා සිටින තරුණ පිරිසට තම ජීවිත ශික්ෂාකාමී හා අර්ථවත් කරගැනීමට විනයවත් වීම කෙතරම් වටින්නේ ද යන්න පැහැදිය යුතු කරුණක් නොවේ. එය දරුවාගේ සිට සමාජයේ සියලු ක්‍රියාකාරකම් වෙත ප්‍රබල බලපෑමක් එල්ල කරන්නකි. මේ පිළිබඳ සවිඥානික කිරීමේ මූලික පියවරක් වශයෙන් උන්වහන්සේ The Buddhist Way සඟරාවට යොමු කරන ලිපිය සාරගර්භ වූවකි.

ආචාර්ය වල්පොල රාහුල නාහිමියන් විසින් රචිත MEDITATION OR MENTAL CULTURE: BHAVANA ලිපිය බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීමක් හෝ හැදෑරීමට අවැසි ඕනෑ ම අයකු විසින් පරිශීලනය කළ යුතු වූවකි. සන්තුට්ඨී පරමං ධනං- බෞද්ධ සභ්‍යත්වයක පදනම නමින් ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් සම්පාදිත ලිපිය අනාගත පරම්පරාවට කෙරෙන සබුද්ධික මතක් කිරීමක ඵලයකි. රටේ අනාගතය ගොඩනඟා ගත යුත්තේ අපගේ අතීත සභ්‍යත්ව උරුමය මත බව එහි සාරාර්ථයයි.

මීට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් ම පළ වූ අතිශය සාරගර්භ ලිපි සමුච්චයකින් සමන්විත මේ සඟරාවේ සියලු ලිපි එකින් එක විමර්ශනය කිරීම ප්‍රායෝගික ප්‍රවේශයක් නොවේ. බෞද්ධාගම හා සමාජය, බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ ආර්ථික අර්ථකථනය, ජාතක කතා, ධම්මපදය හා පොදු ජීවිතය, ශ්‍රී ලාංකේය දේශීය ආහාර සංස්කෘතිය, බුදු දහම හා වන සංරක්ෂණය, අතීත උරුම, සිරිලක විරුවන්, ඉතා පැරණි සිංහල බණ කතා, සූත්‍ර දේශනා, බුදු දහමේ සඳහන් ඔවදන් ආදී එකිනෙකට වෙනස් නමුත් එකම තේමා ම ය හුයකට අයත් ලිපි සරණියක් ලෙස මේ සඟරාව හඳුන්වා දිය හැකිය.

කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් The Buddhist Way සඟරාවේ 2022 පළ කර ඇත්තේ හතරවැනි සංස්කරණයයි. එම විද්‍යාලයේ 30 වැනි සංවත්සරය නිමිති කරගනිමින් එළිදක්වනු ලැබූ මේ සඟරාවේ ඉතිහාස ගමන් මඟ වසර 35ක් තරම් ඈතට දිව යයි. කොවිඩ් වසංගත සමයේ නිවෙසට වී නිරෝධායනය වෙමින් සිටියදී සිසු ක්‍රියාකාරකමක් සේ පාඨක සමාජයට තිළිණ වූ The Buddhist Way සඟරාව සිය ඉෂ්ටාර්ථවත් ගමනේ අතිශය සාර්ථක පියවරක් තබා ඇති බැව් සටහන් කළ යුතුම ය. පාසල් යන යෞවන දරුවන් විසින් සිය අනාගත මාර්ගය සකස් කරගත යුත්තේ කවරාකාරයෙන් ද යන්නත් ඊට බෞද්ධ දර්ශනයේ ඇති මාර්ගෝපදේශත් සහිත මේ සාරගර්භ සඟරාව පාඨක ලොවට තිළිණ කිරීම සම්බන්ධයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය ප්‍රමුඛ අනුශාසක ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් බුද කුමාරතුංග ප්‍රමුඛ සංස්කාරකවරුන්ටත් අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

Comments