ක්‍රිකට් ඉහළ දක්ෂතා නංවන තැන රජදහනක් කරගත් මගෝඩියෝ | සිළුමිණ

ක්‍රිකට් ඉහළ දක්ෂතා නංවන තැන රජදහනක් කරගත් මගෝඩියෝ

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දිය හැකි ක්‍රිඩකයන් සංවර්ධනය කිරීම ජාතික වැදගත්කමකින් යුතු කර්ත්‍ව්‍යයකි. එහි වගකීම ක්‍රීඩා අමාත්‍යාංශය හා අදාළ ක්‍රිඩාවේ පරිපාලනය හා අධීක්ෂණය සිදු කෙරෙන ක්‍රීඩා සංගමයට අතර සම සමව බෙදී යන්නකි. අදාළ ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර මවු සංගමය වාර්ෂිකව මූල්‍ය අරමුදල් හා ප්‍රතිපාදන සපයනු ලබන්නේ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසාය. කනගාටුවට කාරණය වන්නේ මේ උදාර අරමුණ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නේ මෙරට ක්‍රීඩා සංගම් අතරින් අතළොස්සක් පමණක් වීමය. විවිධ ක්‍රිඩා ක්ෂේත්‍ර 60කට අධික සංඛ්‍යාවක් ඇති ශ්‍රි ලංකාවේ එවැනි අවංක චේතනාවකින් තනතුරුවලට පත්වන්නෝ ඉතා අල්පය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇත්තේ ද එවැනිම අභාග්‍යසම්පන්න ඉරණමකටය. මේ කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉහළ දස්කම් සංවර්ධනය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේදී ඉදි කරනු ලැබූ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානය (High Performance Center) ගැනය. එය ශ්‍රී ලංකාවේ ඉදි කරනු ලැබුවේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව වැනි ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම රටවල සිය ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ දැමීමට මෙවැනි කාර්ය සාධන මධ්‍යස්ථාන නොඑසේ නම් ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමෙන් පසු ක්‍රීඩාවේ නිරත සෙසු රටවල අවධානය ද ඒ සඳහා යොමුවීම හේතුවෙනි. සියලුම නවීන පහසුකම්වලින් සමන්විත මෙවැනි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන රටක ක්‍රීඩාවේ උන්නතියට හා අභිවෘද්ධියට බලපාන ප්‍රබල සාධකයකි. 

මීට දශකයකට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෝ රැසකි. ඉන් බහුතරය විදේශිකයෝ වෙති. වරින් වර ගිවිසුම් අලුත් කරමින් ද, ඒවා අවලංගු කරමින් නව පුහුණුකරුවන් ද භෞතචිකිත්සකවරුන් ද, සමබාහකයන් ද, විවිධ අංශ භාර ප්‍රධානීන් ද සමස්ත ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයටම ප්‍රධානියකු ද වශයෙන් තනතුරු රැසකට පුද්ගලයන් බඳවා ගැනේ. එහෙත් ආරම්භයේ දී බලාපොරොත්තු කන්දරාවක් ක්‍රීඩකයන්ගේ මනසට ඇතුළු කළ අදාළ මධ්‍යස්ථානය කෙරෙහි වර්තමානය වෙද්දී ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට හේතු රැසකි. කැපී පෙනෙන කාරණාව වන්නේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවට අත්‍යවශ්‍ය සාධකයක් වන පිහිනුම් තටාකයක් හෝ ඉදි කිරීමට පාලකයන් මෙතෙක් අසමත් වීමය.

ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පිහිනුම් තටාකයක් සහ ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මුල්ගල තැබුවේ මීට වසර කිහිපයකට පෙර එනම්, 2015 වසරේ ජූලි මාසයේ මුල් භාගයේදී එවකට හිටපු ටෙස්ට් පිතිකරු සිදත් වෙත්තමුණිගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව විසිනි. එවකට හිටපු ක්‍රීඩා ඇමැති නවීන් දිසානායකගේ පූර්ණ සහයෝගය මැද එය සිදු කෙරුණු අතර, ඒ සඳහා එවකට රුපියල් මිලියන 100ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි. නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ එම ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයට එකිනෙකට වෙනස් ආකාරයේ පුහුණු තණතීරු 6කින් සමන්විතව ඉදි කිරීමට සැලසුම් කර තිබිණි. ඒ වනවිට මෙරට එවැනි පහසුකම් කිසිවක් ක්‍රීඩකයන්ට නොතිබුණු අතර, මෙවැනි පියවරක් ගනු ලැබුවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පාසල් ක්‍රීඩකයන්ගේ ද ක්‍රීඩා පහසුකම් කෙරෙහි අවධානය යොමු කරමිනි. එහෙත් අද වනතුරු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයට පිහිනුම් තටාකයක් නැත. තැබූ මුල්ගල ද අද වන විට වල් වැදී ඇත.

ඊට හේතු වූයේ අතුරු කමිටුව විසුරුවා හැරීමෙන් පසු පැවැති ක්‍රිකට් නිලවරණයෙන් පත් වූ පාර්ශ්වය විසින් එම ඉදි කිරීම් අත්හිටුවීමට පියවර ගැනීමය. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ එවැනි ඉදි කිරීමක් බලය හුවමාරු වීමෙන් පසු නතර වන්නේ නම් ඊට හේතු දෙකකි. පළමුවැන්න එවැනි වැදගත් ඉදි කිරීමක වැඩ අවසන් කිරීමෙන් පසු එහි ගෞරවය එය ආරම්භ කළ පාර්ශ්වයට හිමි වීම නිසා ඇති වන කුහකත්වය වන අතර, දෙවැන්න එම ඉදිකිරීමේ ක්‍රියාවලියේ යම්කිසි දූෂණ වංචාවක් සිදුවී තිබීමය. ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු ප්‍රවීණයන් ඇතුළු බහුතරයකගේම අදහස වී ඇත්තේ එම ඉදිකිරීම් අවලංගු කරනු ලැබුවේ පළමු හේතුව නිසා බවය. මන්ද අතුරු කමිටුවේ සිටි කෙටි කාලය ඇතුළත පවා සිදත් වෙත්තමුණි ක්‍රීඩාව වෙනුවෙන් ඉමහත් කැපවීමකින් යුතුව කටයුතු කළ පුද්ගලයකු වූ බැවිනි. අනිත් අතට මහත්මා ගුණයෙන් පරිපූර්ණ පුද්ගලයකු බවට සමාජයේ පිළිගැනීමට ලක්ව සිටි බැවිනි. හෙතෙම පිහිනුම් තටාකය ඇතුළු එම ඉදිකිරීමේ කටයුතු අවලංගු කිරීමෙන් දැඩි කම්පනයට හා කලකිරීමට ද පත් වූ බව නොරහසකි. ඔහුගේ අදහස වූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ සමස්ත සැලැස්ම සඳහා පුහුණු කිරීමට සහ සංවර්ධනය කිරීමට යොවුන් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට එය අත්‍යවශ්‍ය බවය. එමෙන්ම එය අවලංගු කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට විශාල පහරක් වූ බවය. ‘අතුරු කමිටුවෙන් පටන් ගත්ත ව්‍යාපෘතියක් නවත්වන්න නිදහසට කාරණා හොයනවා. ඒක සම්පූර්ණ අපරාධයක්.

මේ වගේ දෙයක් කිරීම ජාතික ලැජ්ජාවක්‘ එසේ ප්‍රකාශ කිරීමෙන්ම මේ සම්බන්ධව සිදත් වෙත්තමුණිගේ සිතෙහි ඇති වේදනාව සහ කලකිරීම මැනවින් පැහැදිලිය.

අදාළ ව්‍යාපෘති අවලංගු කළ ක්‍රිකට් පරිපාලකයන් කියා සිටියේ වැය වන අධික පිරිවැය තවත් ස්ථානවල ඉදිකිරීම් සඳහා වෙන් කිරීමට නැවත තක්සේරු කරන බවකි. ඒ අනුව ඉදිරියේදී පිහිනුම් තටාකයේ වැඩ කටයුතු ආරම්භ වනු ඇතැයි බහුතරයකගේ විශ්වාසය වී තිබිණි. සිදු වූයේ අනෙකකි. අදටත් ශ්‍රී ලංකාවේ එකම ඉහළ දස්කම් සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ පිහිනුම් තටාකයක් නැත. ක්‍රිකට් ආයතනය වටා ඇති සියලු ක්‍රීඩා සමාජවලට ඇති පිහිනුම් තටාක පහසුකම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට නැත. ඒ සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු නොවන්නේ එය බලපානුයේ පරිපාලකයන්ට නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් වන නිසාද ? මේ තත්ත්වය මත අදටත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය අවශ්‍යතා සපුරා ගන්නේ වෙනත් ස්ථානවල පිහිටි පිහිනුම් තටාක වෙත යෑමෙනි. ඇතැම් ක්‍රීඩකයන්ට නම් ඔවුන්ගේ නිවාසවලද පිහිනුම් තටාක ඇත. ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයට පිහිනුම් තටාකයක් නැතිවීම ලජ්ජාවට කාරණාවක් නොවන්නේද ?

බොහෝ පරිපාලකයන් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන්නේ ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමිනි. එහි සැබෑ තත්ත්වය පැහැදිලි වන්නේ ඔවුන් තනතුරුවලට පත්වූවාට පසුව බව කවුරුත් කියති. ඉහළ දස්කම් සංවර්ධනය කිරිමේ මධ්‍යස්ථානය උදාර අරමුණක් යටතේ ඉදිකරනු ලැබුව ද වර්තමානය වන විට එහි වැඩ කටයුතු සිදු වන ආකාරය පිළිබඳ වත්මන් ක්‍රීඩකයන් තුළ මෙන්ම හිටපු ක්‍රීඩකයන් අතර ද ඇත්තේ දැඩි කලකිරීමක් බවට මේවා කදිම සාධක ය. එම මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් තත්ත්වය එසේ වුව ද ඩොලර් දහස් ගණනින් වැය කරමින් වාර්ෂිකව බඳවා ගන්නා පුහුණුකරුවන් නම් එමටය.

වරක් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න කීවේ විදෙස් පුහුණුකරුවන් යැයි කියා ගන්නා පුද්ගලයන්හට ඇත්තේ අයිටී තාක්ෂණ දැනුම පමණක් බවය. සිය ලැප්ටොප් පරිගණකයෙන් කදිම ඉදිරිපත් කිරීමක් (presentation) කළ පමණින් රැවටෙන පරිපාලකයෝ ද ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින බවය. ඔවුන් ඒවාට රැවටෙන බවය. එහෙත් එවැනි බොහෝ පුහුණුකරුවන්ට ප්‍රායෝගිකව කිසිදු දැනුමක් නැති බවත් ඔහු එම රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර තිබිණි.

සැබැවින්ම සිදු වී ඇත්තේ ක්‍රීඩාවට අදාළව මෙරටට පැමිණෙන බොහෝ පුද්ගලයන්ට එවැනි ප්‍රාමාණික දැනුමක් නැති බවය. ඇතැමුන් කියන්නේ මෙරටට පැමිණි ඇතැම් විදෙස් භෞත චිකිත්සකවරුන්ට ක්‍රීඩකයකුට හරිහැටි 'බැන්ඩේජ් එකක්‘ පවා දමන්නට නොදන්නා බවය. එසේ නොදන්නා කමින් ‘බැන්ඩේජ් දමන්නට ගොස් ක්‍රීඩකයන් නැති ආබාධවලට ලක් වී තිබේදැයි සොයා බැලීම වටී.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම අංශයක් යටතේ දස්කම් දැක්විය හැකි පුහුණුකරුවන් මෙරට අවශ්‍ය තරම් සිටියදී විදෙස් රටවලින් නාඳුනන පුද්ගලයන් වැඩි වැටුපකට ගෙන්වා ගන්නේ ඇයි? ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලන්නේ කවුරුන්ද? ඔවුන් තනතුරු සඳහා නිර්දේශ කරන්නේ කවුරුන්ද? ඔවුන්ට ගෙවන මුදලට සරිලන සේවයක් ඉටු වන්නේද? අදාළ විදෙස් පුහුණුකරුවන් කලින් කලට ගෙන්වා ගැනීමෙන් ඔවුන්ගෙන් යම්කිසි පුද්ගලයකුට හෝ පිරිසකට කොමිස් මුදලක් ලැබෙන්නේ ද ? එවැනි කොමිස් කාක්කෝ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින්නේ ද ? මෙරට පුහුණුකරුවන් එවැනි තනතුරුවලට බඳවා නොගන්නේ එසේ කොමිස් මුදලක් ලබා ගත නොහැකි නිසා ද? එවැනි විදෙස් පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට නිර්දේශ කරන්නේ ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද? මෙරට ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධව අවබෝධය ඇත්තේ මෙරට පුහුණුකරුවන්ට නොවේ ද? මේවා නිර්මාණය කළ ගැටලු හෝ හිතලු හෝ නොව සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි හිටපු ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාලෝලීන්ගේ හදවත්වලට වධ දෙන කරුණු කාරණාය.

ජාත්‍යන්තර රටවල පවතින තත්ත්වයන් හා සංසන්දනය කිරීමේදී කෙනකුගේ සිතට මෙවැනි ප්‍රශ්න වධ දීම අන්තිම සාධාරණය. හොඳම නිදසුන ඉන්දියාව ය. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ බහුතරය ඉන්දීය ජාතිකයෝ වෙති. විදේශිකයන් සිටින්නේ නම් ඒ ස්වල්ප දෙනෙකි. ක්‍රීඩකයන් විශ්ලේෂණය කිරීමට යැයි ගෙන්වන ඇතැම් විදේශිකයන් මේ දක්වා විශ්ලේෂණය කරමින් හඳුනා ගත් ක්‍රීඩකයන් සිටින්නේදැයි යන්නත් ගැටලුවකි. ඇතැමුන් කියන්නේ බහුතර පුහුණුකරුවන් විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට කටයුතු කරද්දී අතරින් පතර තනතුරකට දෙකකට මෙරට පුවත්පත්වල දැන්වීම් පළ කරන බවය. එසේ කරන්නේ පුහුණුකරුවන් බඳවා ගන්නේ පුවත්පත් දැන්වීම් පළ කර, නියමිත ක්‍රමවේදයකට බව හුවා දැක්වීමටදැයි කිසිවකුට තර්ක කළ හැකිය.

‘ටෙක්නිකලි බලන්න හරිහැටි උපකරණයක් නෑ. හයි පර්ෆෝමන්ස් පූල් එකක් නෑ. බෝලිං ස්පීඩ් එක බලන්න, ආර්ම් ස්පීඩ් එක බලන්න. ඒවා මොකුත් නෑ. ඒ වුණාට පුහුණුකරුවන් නම් ඉන්නවා දුසිම් ගාණට.‘ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානය සම්බන්ධව එවැනි චෝදනා ද නැත්තේ නොවේ.

‘ලෝකයේ යන එන මං නැති, ඊට කලින් අහලවත් නැති පුහුණුකරුවන් ගෙනල්ලා දාගන්නවා. බොරුවට විදෙස් කියලා පෙන්නන්න. එයාලා කරන්නේ එයාලගේ සීවී එකට සුදුසුකම් එහෙම හදාගෙන වෙන රටකට යන එකයි. ඉන්දියාව අරන් බලන්න උදාහරණයකට. කවුද ඉන්නේ? හැමෝම වගේ ලෝකල් ස්ටාෆ් එක. පිටරට කෙනෙක් ඉන්නවද ? ඉන්නවා නම් ඉන්නේ ‘බව්වා‘ විතරක් වෙන්න ඇති.‘ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලියුම්කරු සමඟ කීවේ දැඩි කලකිරීමකිනි. 

කතාව සාධාරණය. විදෙස් රටවලින් ගෙන්වන පුහුණුකරුවන්ගේ වැටුප ඩොලර් දසදහසකට වැඩිය.

මේ ලිපියට ‘බව්වා‘ ඈඳා ගැනීමට ලියුම්කරුට සිදු වන්නේ ඉහත කී ප්‍රකාශයෙන් පාඨකයාට ඇතිවන කුතුහලය නිසාවෙනි.

‘බව්වා..!‘ ඔහු නමින් නුවන් සෙනෙවිරත්නය. ඔහුට ‘බව්වා‘ නම වැටුණේ කෙසේදැයි පසුව විමසා බැලිය යුතු කාරණාවකි. වැදගත්ම කරුණ වන්නේ මේ තරුණයා පිළිබඳ ඊයේ පෙරේදා ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාත් කෝලි කී බව කියන කතාවකි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ක්‍රිකට් දිවියේ වර්තමාන සාර්ථකත්වයට හේතු වූ පුද්ගලයන් තිදෙනකු සිටින බවය. ඒ අතර ‘බව්වා‘ ද සිටියේය. බව්වා නොඑසේ නම් අනුර සෙනෙවිරත්න යනු කලක් මෙරට ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ සිටි ක්‍රීඩකයන්ට පන්දුව වීසි කිරීමේ පුහුණුව ලබා දුන් පුහුණුකරුවා ය. සිය වමතින් ඔහු පන්දුව වීසි කිරීමේ වේගය පැයට කිලෝමීටර් 150කටත් වඩා වැඩිය. එය වේගපන්දුවට මුහුණ දෙන පිතිකරුවන්ට පුහුණුව සඳහා අතිශය වැදගත් සාධකයක් ද වේ. වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ට වේගපන්දුව පුහුණු කිරීමට දායකත්වය සැපයූ බව්වාට ඒ අවස්ථාව අහිමි වන්නේ එම පිතිකරුවන් විසින්ම කළමනාකාරිත්වයට කළ පැමිණිලි හේතුවෙන් බව කියැවේ. එසේ පැමිණිලි කිරීමට හේතුව කිසිදු වෙහෙසකින් තොරව එකම වේගයෙන් පිතිකරුවන්ට පන්දුව වේගයෙන් යොමු කරන බව්වාගේ වේගය නිවැරැදිව අවබෝධ කරගැනීමට අසමත්ව පන්දු වැදීමෙන් සිරුරේ තැනින් තැන වේදනා ඇති වීම දරාගත නොහැකි නිසාමදැයි සිතිය නොහැකිය. කිසිවකුට ඔහු ඉවත් කර එතැනට පත් කිරීමට යම්කිසි ආදේශකයක් තිබුණේ දැයි යන්නත් සිතා බැලිය යුතු කරුණකි. කෙසේ වෙතත් අවසානයේ දී ශ්‍රී ලංකාවට එපා වූ මේ බව්වාට ඉන්දියාවේ ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ දොරටු විවර විය. ගෙවූ මුදල ශ්‍රී ලංකාවට වඩා ඉතා වැඩි බවත් සඳහන් වේ. ඔහු දැන් ඉන්දීය පිලට වේග පන්දුවට මුහුණ දීම සඳහා පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර වසර පහකටත් වැඩිය. මේ කාලය ඇතුළත ඉන්දීය පිතිකරුවන් ලොව පුරා වේග පන්දුව යවන්නන්ට මුහුණ දීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නිරීක්ෂණය කරන්නේ නම් ‘බව්වා‘ගේ තරම දැනගැනීමට එය හොඳටෝම ප්‍රමාණවත් වනු ඇත.

මෙරට ඉහළ දක්ෂතා සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයට විදෙස් රටවලින් වැඩි මිලකට පුද්ගලයන් ආනයනය කරද්දී මෙරට දස්කම් සපිරි සම්පත් රැසක් විදෙස් රටවලට අපනයනය වන හැටි හරි පුදුමය. මෙවැනි දේවල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවට සිදුවන ඒවා නොව මුදලට ගිජු කොමිස් කාක්කෝ වැදගත් තනතුරුවලට පත්වීමෙන් සිදුවන දේවල්ය.

මින් පැහැදිලි වන්නේ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානය සම්බන්ධව වහාම ක්‍රීඩා ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතු බව නොවේද? මින් පැහැදිලි වන්නේ එසේ විදෙස් රටවලින් ඉහළ වැටුපකට ගෙන්වා ගන්නා පුද්ගලයන්ගේ සුදුසුකම්, ඔවුන්ට ගෙවීමට එකඟවී ඇති වැටුප්, ඔවුන්ගේ සේවා කාලය, ඔවුන්ගේ සේවය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත ඉලක්කය යනාදි වශයෙන් අධ්‍යයනයක නිරත වෙමින් ඒ සඳහා අනුමැතිය සැපයීම සිදු විය යුත්තේ ස්වාධීන කමිටුවකින් බව නොවේද? මෙවැනි චෝදනා සහ සිදුවීම් හේතුවෙන් දෑත්වල කිළිටි තවරා ගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව ක්‍රිකට් පරිපාලකයන්ට තිබිය යුතු නොවේද?

Comments