
“බැරි දේ බැහැ කියලා කියන්න එපායැ " ඇය කීවේ ඇඟ බේරා ගන්නට බව පෙනුණි.
" පුළුවන්ද බැරිද කියලා කියන්න හරි හමන් උත්සාහයක් කරලා බලන්න එපායැ. "
" බැහැ කියලා හොඳටම දන්නවා නම්, තවත් ඉතින් මොනවද?" ඇය ප්‍රශ්නයකින් දමා ගැසුවාය.
" ඔව්, බැරි දේවල් බදාගන්නවාට වඩා ඒක එක අතකින් හොඳයි තමයි. ඒත් ඔය බැහැයි කියන එක පුරුද්දකට හිතන්න ගත්තොත් අත්ඇර ගන්න බැරි දෙයක් වෙනවා."
ඍණාත්මක බවේ ඇති අහිතකර විපාක ගැන බොහෝ කියමන්, ද්ධෘත පාඨ, පාඩම් යනාදිය මෙතෙකැයි කිව නොහැකි තරමට අප කන වැටී තිබේ. එහෙත් එදිනෙදා ජීවිතයේ අපට මුහුණ දෙන්නට සිදුවන විවිධ හේතු සහ විවිධ සිද්ධි නිසා අපට මේ ඍණාත්මක සිතිවිලි මුළුමනින්ම පිටුදකින්නට නොහැකි වී ඇත. කවර පුද්ගලයකු තුළ හෝ ජීවිතයේ මොන යම් වෙලාවක වුව මෙවැනි හැඟීමක් දෙකක් ඇති වීම අභව්‍ය නොවේ. එහෙත් එහි ඇත්තේ ඒ වරද වන්නේ එබඳු සිතිවිලි නිරන්තරයෙන්ම, වැඩිමනත් වශයෙන්ම මනසේ තහවුරු වන්නට ඉඩ සැලසීම තුළය.
මේ තත්ත්වය ඍණාත්මක මනෝ රටාවක් යන දෙපදයෙන් ද අපට හඳුනා ගන්නට පුළුවන. මේ ඍණාත්මක මනෝ රටාව ප්‍රධාන කොටස් හෝ අවස්ථා තුනකින් යුතුය. පළමුවෙන්ම මේ මනෝ රටාවට යටත් වීමෙන් අපට සිදු වන්නේ අප යම් උත්සාහයක් දැරුවද එය අසාර්ථක වන්නට ඇති ඉඩකඩ වැඩි බව විශ්වාස කරන්නට පටන් ගැනීමය. සමාජයෙන් හෝ ලෝකයෙන් හෝ ඒ ඒ අරමුණ ඉටු ඉටු කර ගන්නට සහායක් හෝ ඉඩක් හෝ නොලැබෙතැයි කල්පනා කරන්නට පටන් ගැනීම ඊළඟ කොටසයි. තුන්වැන්න වන්නේ මේ ඉහත කාරණා දෙක නිසා පාඩුවේ පැත්තකට වී සිටීම ඇඟට ගුණ බව තීරණය කිරීමයි.
මේ ඉබේම සිදු වන්නක් දැයි කවරෙකු හෝ ප්‍රශ්න කරන්නට ඉඩ තිබේ. මනස සම්බන්ධ අන් කවර ගැටලුවකදී මෙන්ම මෙහිදී ද අපට ඊට හේතු වන කාරණා කීපයක් හඳුනා ගන්නට ලැබේ. මේ කාරණා අතුරෙන් වඩාත්ම වැදගත් හා තීරණාත්මක කාරණය ලෙස අපට හඳුනාගත හැක්කේ යමකු ඔහුගේ හෝ ඇයගේ ළමා කාලයේ අත් විඳ තිබෙන චිත්තවේග ගැටලුය. එමෙන්ම ළමා කාලය තුළ දැඩි ලෙස ප්‍රතික්ෂේප වීම්වලට ලක් වූවකු වයසින් මුහුකුරා යන්නේ කිසිම දෙයකින් හොඳක් අසන්නට ඉන් නොලැබේ යැයි තදින්ම හිතට කාවද්දා ගත් මිනිසකු වශයෙනි. ඔහු තුළ හැම විටම පාහේ ඇත්තේ සැකයක් හා අඩමානයක් පමණකි. මේ තත්ත්වයෙන් ආරක්ෂා වීම හෝ යම් සහනයක් ලබා ගැනීම වෙනුවෙන්, චිත්ත වේදනා, බලාපොරොත්තු කඩ වීම හෝ ප්‍රතික්ෂේප වීම් මගහැරීම වෙනුවෙන් ඔහු හෝ ඇය සතු හොඳම විකල්පය පසුබා සිටීම බවය. එසේ නම් උත්සාහයක් නොදරා පැත්තකට වී සිටීම බවය. සෘණාත්මක මනෝ රටාව යනුවෙන් අප හඳුන්වන්නේ එයයි.
මේ තත්ත්වය සඳහා පවුල පදනම් කරගත් ගැටලු රාශියක් මුල් වන බව පැහැදිලිය. එකක් වන්නේ පරම්පරාගතව හඹා එන දරිද්‍රතාව, කුල ප්‍රශ්නය ආදී පීඩාකාරී පසුබිම්ය. අලුත් වාසදේසවලදී අත්විඳින්නට සිදුවන දරුණු හා මූසල අත්දැකීම් මෙන්ම දීර්ඝකාලීනව පීඩාවට පත් කළ ප්‍රචණ්ඩත්වය ඒ අතර වෙයි. මේ කාරණා හේතුවෙන් වැඩිහිටි පරම්පරාව අධෛර්යමත් වන අතර දිගින් දිගටම ඒ බව දැනීමෙන් හා දැකීමෙන් ඊළඟ පරම්පරාව ද ඍණාත්මක මනෝ රටාවක් ඇති කර ගනී. අනෙක් අතට තම පවුලේ සාමාජිකයන්ගෙන් නිසි ආදරයක් හෝ සැලකිල්ලක් හෝ නොමැතිව වැඩෙන දරුවන් වැඩිමහලු වියට පත් වන්නේ ඍණාත්මක මනෝ රටාවකින් යුතුවය. මේ ඍණාත්මක මනෝ රටාව හේතුවෙන්ම ඇතිවන බලාපොරොත්තු කඩ වීම හා මානසික ආතතිය නිසා ඔවුන් බාහිර සමාජය පිළිබඳ සංවේදීකමක් නැති, දරදඬු පුද්ගලයන් බවට පත් වන්නට ද ඉඩක් තිබේ.
ඍණාත්මක මනෝ රටාව අපේ හිත් තුළ තියෙන්නට හෝ පැළපදියම් වන්නට ද ඉඩ ඇත. සියුම්ව කල්පනා කර බලද්දී මේ ඇතැම් ලක්ෂණ කවර තැනැත්තකු තුළ හෝ ඉඳහිට දකින්නට පුළුවන. ඉන් එකක් වන්නේ හැම විටම වුවමනාවට වඩා යථාර්ථවාදීව කල්පනා කරන්නට පෙලඹීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කවර කාරණයක් ඉටු කරන්නට හෝ වගකීමක් ඉටු කරන්නට හෝ ගිය කල ඊට සුදුසුම හැකියාවක් හෝ පුළුවන්කමක් තමා තුළ නැති බව කල්පනා කිරීමයි.
දිගු කාලයක් තිස්සේ ඍණාත්මක මානසික රටාවකට හුරු වු තැනැත්තකු පුරුදු වී ඉන්නේ සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා සමාජය දෙස වපර ඇසින් බලන්නටය. සියයට සීයක් ඕනෑම දෙයක් විශ්වාස කරනවාට වඩා ඉතා කුඩා ප්‍රතිශතයක අවිශ්වාසයක් හෝ බියක් තබා ගැනීමේ වරදක් නොවේ. එහෙත් මෙතැනදී සිදු වන්නේ මේ සීමා ඉක්මවා අසීමාන්තික ලෙස සමාජය අවිශ්වාස කිරීමය. එබැවින් ඔවුන් කල්පනා කරන්නේ අනවශ්‍ය කරදරවල පැටෙලනවාට වඩා හිස පහත් කරගෙන ජීවත් වීම වඩා හොඳ බවය.
අලුත් අලුත් දේ උත්සාහ කිරීම හරහා තමාගේ සිතේ නිදහස නැති වන බව මෙන්ම අලුත් අභියෝගවලට මුුහුණ දීමේදී කටුක අත්දැකීම්වලටත් ලජ්ජාවටත් පත් වන්නට සිදුවේ යැයි හැම විටම කල්පනා කරන්නේ මෙබඳු පුද්ගලයන්ය.
බලාපොරොත්තු සැම විටම වේදනාවකට හේතු වන බව ඇතැමකුගේ මතයයි. අනෙක් අතට ලොව ජීවත් කරවන්නේ බලාපොරොත්තු බවට ද කියමනක් පවතී. ඍණාත්මක මානසික රටා මේ බලාපොරොත්තුව යන සංකල්පය හඳුනා ගන්නේ කරදරයක් ලෙසිනි. නොඑසේ නම් කරදරයකට අත වනන්නක් ලෙසිනි. එබැවින් හිතාමතා බලාපොරොත්තු කඩ කර ගැනීමට ඔවුන් කැමති වන්නේ නොවේ. ඉතින් එබඳු පුද්ගලයන් කරන්නේ හැකිතාක් දුරට උත්සාහ කිරීමෙන් වැළකී සිටීමයි. මේ හා බැඳුණු අනෙක් ලක්ෂණය වන්නේ එබඳු තැනැත්තන් අසාර්ථකත්වය හෝ වැරදීම ඔවුන්ගේ ශබ්දකෝෂවල නැති බව විශ්වාස කිරීමය. ඕනෑම දෙයක් අසාර්ථක වන්නට හෝ වරදින්නට ඉඩ තියෙන බව සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් මේ අවදානම හැම විටම තිබෙන්නට පුළුවන්කමක් නැත. යම් සම්භාවිතාවක් හෝ අවදානමක් හෝ තිබෙන නමුදු ඒවා ගැන හිතා මතා අවබෝධයෙන් යුතුව උත්සාහයක යෙදෙන්නට අපට සිදු වෙයි. එහෙත් ඍණාත්මක සිතිවිලි රටාවලින් යුතු පුද්ගලයන් කල්පනා කරන්නේ පරාජය හෝ වැරදිම මුළුමනින්ම වළකා ගත යුතු හෝ මඟ හැරිය යුතු හෝ දෙයක් බවය.
මේ හා බැඳුණු තවත් කාරණයක් වෙයි. නීරෝගි මනසක් කල්පනා කරන්නේ වැරදීමක් කා අතින් වුවත් සිදු වන්නට ඉඩ තිබෙන බවයි. එය ලජ්ජාවට කාරණයක් නොවේ. ඍණාත්මක සිතිවිලි රටාව අනුව කල්පනා කරන්නට හුරු වූ මිනිසුන් විශ්වාස කරන්නේ වැරදීම හෝ පරාජය ප්‍රතික්ෂේප වීම්වලට හෝ පුද්ගල සම්බන්ධතා බිඳී යන්නට හේතුවක් වන බවය. කෙටියෙන් පවසතොත් මේ ලක්ෂණ සියල්ලම ම් අඩමාන මානසිකත්වයකට රුකුල් දෙන්නකි. විශ්වාසය හීන කරන්නකි.
මේ තත්ත්වයෙන් මිදීම මන සුව පිණිස හේතුවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා අපට උත්සාහ කර බැලිය හැකි විවිධ ක්‍රමවේද හා උපක්‍රම රාශියක් පවතී. මේ උපක්‍රම අතරින් එක්තරා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වන්නේ අතීතයට එබිකම් කර බැලීමයි. එය ලිඛිත ක්‍රියාකාරකමකි. මෙහිදී සිදු වන්නේ ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් යමකු තමන්ගේ අතීත කතාව ලිවීමයි. බාල අවදියේදී ජීවිතය අත්විඳින්නට ලැබුණු සැටි, චිත්ත පීඩා, අත්විඳින්නට සිදු වූ නොසලකා හැරීම් ආදිය මෙහිදී ලියැවෙනු ඇත. ළමා කාලයේදී සිත උපන් සෘණාත්මක හැඟීම් හා ඊට හේතු එහි ලියැවෙනු ඇත. දැන් කළ යුතුව තිබෙන්නේ ඒ අතීතයේ සිට සෑහෙන කාලයක් ගෙවී ඇති බව තේරුම් ගැනීමයි. නොඑසේ නම් තවදුරටත් තමා දරුවකු නොව වැඩිහිටියකු බව තේරුම් ගැනීමයි.
ඊළඟ උපක්‍රමය වන්නේ ලාභ, පාඩු වගුවක් සැකසීමයි. මෙය මානසික චිකිත්සක ක්‍රමවලදී අපට හමුවෙන සුවිශේෂී ක්‍රියාකාරකමකි. මෙහිදී තීරු 4ක වගුවක් අප අතින් නිර්මාණය වෙයි. පළවෙනි තීරුව සෘණාත්මක සිතිවිල්ල වෙනුවෙනි. දෙවැනි තීරුවේ සටහන් කළ යුත්තේ එහෙයින් අපට සිදුවූ පාඩු හෝ හානි ගැනය. තුන්වැනි තීරුව එයින් යම් වාසියක් සිදු වූයේ නම් එය සඳහන් කිරීමටය. හතර වැන්න පුරෝකථන සඳහාය. තවත් විදිහකින් පවසතොත් කළු වලා අතර රිදී ඉරක් සොයා ගන්නට මේ ක්‍රමය යමකුට උදවු වන්නට ඉඩ තිබේ. අසාර්ථක බව හෝ පරාජය අමුත්තකු කරගන්නා තෙක් මේ පීඩනය අපට දරන්නට සිදු වෙයි. පරාජය අපි දකින හෝ බාර ගන්නා ආකාරය අනුව මේ තත්ත්වය තීන්දු වෙයි. පරාජය හෝ වැරදීම යනු සියල්ලේ අවසානය නොව තවදුරටත් අලුතින් පටන් ගන්නට, යළි උත්සාහ කරන්නට ද අපට අවස්ථාවක් ඇති බව වටහා ගත යුතු වෙයි. ඒ සඳහා අපට ඇති කදිම මඟක් වන්නේ චරිතාපදාන හෝ ස්වයං චරිතාපදාන ආශ්‍රය කිරීමයි. පරාජය හෝ වැරදීම නවතින්නට හේතුවක් නොවන බව වටහා ගන්නට ඒ පුරෝගාමී චරිත අපට උදවුවකි.
මේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ප්‍රතික්ෂේප වීම හා බලාපොරොත්තු කඩ වීම පිළිබඳ උපදින චිත්තවේගයි. මේවා ප්‍රායෝගික ජීවිතයේ කා හටත් අත්දකින්නට සිදුවන ඒවා බව වටහා ගැනීමේ දොරටු විවර කර ගැනීම අප විසින් කළ යුතු වෙයි. අත්දැකීම් බෙදා හදා ගැනීම මේ තත්ත්වය බොහෝ දුරට සමනය කරන්නට උදවු වන්නකි. හුදෙකලා වන තරමට එයින් ගැලවීම අසීරුය.
බටහිර ක්‍රම අතර දැකිය හැකි තවත් හොඳ උත්සාහ කිරීමක් වන්නේ NTT හෙවත් Negative Thought Time ය. සිදු වන්නට හැකි අන්තිම නපුර නොඑසේ නම්, බලාපොරොත්තු විය හැකි බරපතළම හානිය ගැන කල්පනා කරන්නට මේ කාලය යොදා ගැනේ. සාමාන්‍ය පිළිගැනීමට අනුව දිනපතාම පාහේ විනාඩි දහයක කාලයක් ඊට ප්‍රමාණවත්ය. ඊළඟට කෙරෙන්නේ මේවා ලියා තැබීමයි. එයින් පසු අප කල්පනා කළ යුත්තේ මේ උපරිම අන්තවලින් මිදෙන්නට හෝ ඒවා මඟ හරින්නට ඇති පිළිවෙළක් ගැනය.
සිතීමට වඩා ලියා තැබීම මේ කාරණය සම්බන්ධයෙන් අපිට බෙහෙවින් ප්‍රයෝජනවත්ය. මන සුව සලසන කාරණා සම්බන්ධයෙන් කතා කරද්දී ලිවීමේ පුරුද්දට ලැබෙන්නේ ඉහළ තැනකි. අවාසනාවකට මෙන් ලිවීම යැයි කී සැණින් අපට සිහි වන්නේ වෘත්තීයමය වශයෙන් හෝ ලේඛකයකු වශයෙන් හෝ සිදු කරන ලිවීමයි. එහෙත් මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වාගෙන යෑම වෙනුවෙන් අපේ සිතිවිලි කොළ කෑල්ලක ලියා තැබීමට හුරු වීම වුව අපූර්ව ප්‍රතිඵල ලබා දෙන ක්‍රියාකාරකමක් ලෙස සැලකිය යුතුය.
උදෑසනින් අවදි වීම ගැන අප අසන්නේ දැනුම් තේරුම් ඇති ළාබාල වියේදී සිටමය. ඊට විවිධ හේතු දක්වා ඇතත් බොහෝ දෙනා කල්පනා කරන්නේ මේ වූ කලී කාල කළමනාකරණයට සම්බන්ධ දෙයක් හැටියටය. එහෙත් අපට පෙනෙන ප්‍රායෝගික තත්ත්වය අනුව ඒ යම් මානසික සහනය වෙනුවෙන් ගොඩනඟා ගත යුතු පුරුද්දකි. උදේ පාන්දරම පීඩාකාරීව දවස ආරම්භ කිරීම යනු දවසේ ඉරණම තීන්දු කරන්නකි. පීඩාව වෙනුවට සැනසිල්ල හා සැහැල්ලුව රැඳි උදෑසනක් යනු මුළු දවසම පාහේ සාර්ථකව අවසන් කරන්නට පුළුවන් අන්දමේ ජවයක් ගෙන එන්නකි. එහෙත් මේ තත්ත්වය ඍණාත්මක සිතුවිලි රටාවලට හුරු වී තිබෙන කෙනකුට එක මොහොතකින් අනෙක් පැත්තට හරවා ගන්නට පුළුවන. ඊට හේතු වන ප්‍රබලම සාධකය වන්නේ බාහිර ලෝකය අපට ලැබෙන දේ උදේ පාන්දරම මනසට ඔබා ගැනීමයි. මෙබඳු ගැටලු සහිත පුද්ගලයන්ට උදේ ප්‍රවෘත්ති ප්‍රචාරයත්, නිදි ඇඳෙන් නැඟිට ගත් විගස සමාජ මාධ්‍ය ජාලාවලට එබිකම් කිරීමත් අගුණ යැයි පවසන්නේ එහෙයිනි.
ශාරීරික හා මානසික සහනය ලැබෙන ක්‍රියාකාරකම්, ව්‍යායාම, චිත්ත අභ්‍යාස හෝ විනෝදාංශ යනාදී මේ කවර දෙයක් වුව සෘණාත්මක සිතිවිලි රටාවලින් යමකු මුදා ගන්නට සමත්ය. ඉඳහිට ඍණාත්මක සිතුවිල්ලක්, උත්සාහ කර බලන්නට අලස බවක් සිත ඇති වීම මහා පුදුමයකට හේතුවක් නොවේ. එහි ඇති නපුර නම් මේ සිතුවිලි ප්‍රභේදය ටිකෙන් ටික අප කල්පනා කරන පිළිවෙළ යටපත් කරමින් හිස ඔසවන්නට ඉඩ තිබීමයි. උත්සාහයේ තරමට කිසිවක් සාර්ථක නොවන බව කල්පනා කරමින්, අකර්මණ්‍ය හා අලස රටාවකට හුරු වෙමින් පැත්තකට වී සිටීම ඊට වඩා නපුරු හා නරක වන්නේ දම්වැලක පුරුක් මෙන් අපේ ඒ හැසිරීම්වලට අපේ ඊළඟ පරම්පරාව ද ගොදුරු වන්නට ඉඩ ඇති බැවිනි.