උපන් නැකතෙන් හෙළි වන 2023 නව වසරේ ඔබේ කලදසාව | Page 2 | සිළුමිණ

උපන් නැකතෙන් හෙළි වන 2023 නව වසරේ ඔබේ කලදසාව

රෙහෙණ :- අතපසු වූ කටයුතු ඉටුවෙන කාලයක්

දාවූ නව වසරේදී තමාගේ කලදසාව කෙසේ වේවිද යන්න බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. උපන් ලග්නය අනුව, ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව සහ අංක විද්‍යාව අනුව 2023 නව වසර ඔබට කුමනාකාර බලපෑමක් සිදුකරනු ඇත්ද යන්න පිළිබඳ ඉකුත් සති කිහිපය පුරා අපි ඔබ දැනුම්වත් කළෙමු. මෙවර දැනුම්වත් කිරීම ඔබේ උපන් නැකත අනුව 2023 වසරේදී ඔබට ලැබෙන සුබ අසුබ පිළිබඳවයි.

නැකැත් 27න් 15කටම සුබපල හිමිවෙන තත්ත්වයක් පවතින අතර, අනෙක් නැකැත්වලට ද මධ්‍යම ඵල හිමිවෙන බවක් දැකිය හැකිය. අස්විද , බෙරණ, පුවපල්, පුවසල, රෙහෙන, හත, නුවණ, අද, පුනාවස, සියවස, පුෂ, අනුර, උණපුටුප, දෙට, අස්ලිස, රේවතී යන නැකැත් හිමියන්ට මේ වර්ෂය තුළ සුබපල ගෙනදෙයි. ඔබේ සුබ කටයුතු සඳහා යොදා ගැනීමට සුදුසු නැකැත් කිහිපයක් ද මේ අතර පවතී.

ඔබ බලාපොරොත්තු වන පරිදි නවතාවයකින් යුතුව අතපසු වු කටයුතු බොහොමයක් 2023 වසරේදී නිමකර ගැනීමට පුළුවන. ගෘහ ජීවිතය සතුටින් ගත කරන්නට හැකි අතර, විවාහ සහ දරුඵල ප්‍රමාද වූ අයගේ පැතුම් සඵල වෙන ලකුණු පෙනෙන්නට ඇත. අධ්‍යාපනය ලබන දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන ග්‍රහඵල දක්නට ලැබෙයි.

අස්විද :- අතමිට සරු වසරක්

මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කර ගැනීමටත් අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති යහපත් වු වසරකි. ධනය හිඟ නොවේ. වන්දනා කිරීමට හෝ රැකියා කටයුතු සඳහා හෝ දීර්ඝ ගමන් යෙදිය හැකිය. දරුවන් ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණය ලබයි.

කැති :- අභියෝග අතරින් ජය

උදා වූ නව වසර තුළ ඔබට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වේ. එහෙත් ඔබට ඒවා ජයග්‍රහණය කිරීම අපහසු නැත. හදිසි තීරණ ගැනීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කරන්න. උදෑසන මෝර පිරිත කීයවීම හෝ ශ්‍රවණය කිරීමත් පන්සිල් ගැනීමෙන් අනතුරුව සුර්ය දිව්‍ය රාජයාට ද පින් දීමත් මඟින් අපල සමනය කරගත හැකිය.

අද :- අනවශ්‍ය වියදම් ඉහළට

මේ වසර තුළ ඔබ ඔබේ වියපැහැදම් ගැන සැලකිලිමත් විය යුතුය. අවශ්‍ය දෑ පමණක් තෝරා බේරා ගෙන හැකිතාක් බුද්ධිමත්ව මුදල් වියදම් කරන්න. එවිට මේ වසර ඔබට ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමට හැකියාව ඇත. අධ්‍යාපනය ලබන දූ දරුවන්ද නිතර ආගම දහමට යොමු වී කටයුතු කිරීමෙන් සුබඵල ළඟාකර ගත හැකි වේ.

 මා :- කලා කටයුතුවලට සුබයි

කලා කටයුතුවල නියැළීමට හා පොත පතේ දැනුම වැඩි දියුණු වන වසරකි. අන්‍යයන්ට කරදරයක් නොවී තම දියුණුව සලසා ගැනීමට උනන්දු වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අසරණ දරුවකුට පොතපත පරිත්‍යාග කිරීමෙන් වසර පුරා චිත්ත ශක්තිය වර්ධනය කරගත හැකිය.

උත්‍රපල් :- උගත් බුද්ධිමත් අයගේ ඇසුර

ඇසුරු කරන්නට ලැබෙන බුද්ධිමත් ඥානවන්ත අයගෙන් ලැබෙන ගුරුහරුකම් ජීවිතයට සාර්ථක කර ගැනීමට උපකාරයකි. ජීවිතය මනා සැලැසුමක් ඇතිව පවත්වාගෙන යෑමට ඉඩ සැලසෙන අතර අසීරුතා ද මගහැරී යයි. ජයග්‍රහණ ලබයි. අසනීප, අපල පවතින බැවින් ඒවාට පිළිවෙත් කරගන්න.

 පුවපල් :- මිතුරු ඇසුර වැඩි වෙයි

මේ වසර තුළ ඔබට අන්‍යයන්ගේ ගැටලුවලට උදවු උපකාර කරන්නට වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. මුදල් හදල් ලැබීම් අතින් ශක්තිමත්ය. වචනය ප්‍රියමනාපව හසුරුවා ගැනීමට සමත් වේ. ඒ නිසා මිතුරු සංගමය ද වැඩිවේ. අධ්‍යාපනික කටයුතු සඳහා තරමක බාධා මතුවන බැවින් වත් පිළිවෙත්වලට යොමු වීම වැදගත්ය.

 සුවන:- අනුන් වෙනුවෙන් කැප වෙන කාලයක්

පදිංචි ස්ථානයේ දියුණුව සැලසෙන, දූ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵල වන වසරකි. නිරවුල් මනසකින් කටයුතු කළ හැකි වාතාවරණයක් සැකසෙන අතර මේ වසරේදී ස්ව උත්සාහයෙන් නැඟී සිටීමට උනන්දු වන්න. හැකිතාක් මානුෂික ධර්මතා හඳුනාගෙන අන්‍යයන්ට උපකාර කරන්න.

උත්‍රසල:- කීර්තිය, පිළිගැනීම වැඩි වෙයි

ස්වෝත්සාහයෙන් නැඟී සිටින ආදර්ශවත් චරිතයක් බවට පත් විය හැකි 2023 වසර ඔබේ ජයග්‍රාහී වසරයි. ඔබ යටතේ තවත් කිහිප දෙනෙකුට ජීවනෝපාය මාර්ග සකසා දීමට වුව ද හැකිවේ. ඔබ ප්‍රබල චරිතයක් මෙන්ම ආදර්ශවත් පුද්ගලයකු ලෙස සමාජයේ පිළිගැනීමට සහ අවධානයට පාත්‍ර වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ද නිවැරැදි මාවතකට අවතීර්ණ වීමේ වාසනාව සැලසේ.

පුෂ :- පිනට දහමට වැඩි නැඹුරුවක්

ලැබීම් අතින් යහපත් වාසනාවන්ත වසරකි. හිතවතුන් සහ තමාගෙන් උදවු ලබාගන්නට එන අය දෙස අනුකම්පා සහගතව බලයි. මෙලොව පරලොව දෙකේම යහපත ගැනම සිතා පුණ්‍ය කටයුතුවල නියැළෙන බවක් දක්නට ඇත. දූ දරුවන්ට අධ්‍ය­ාපනික ජයග්‍රහණ ද හිමි වේ.

දෙනට :- දියුණුවෙන් දියුණුවට

නව දැනුම් සම්භාරයකින් යුතු ඔබ මේ වසරේදී අතිශය කාර්යබහුල අයකු බවට පත් වේ. කිසිවකුටත් අත නොපා තම ජීවිතය පවත්වාගෙන යා හැකි අතර, දුවා දරුවන්ට නිසි අධ්‍යාපනයක් සලසන පුද්ගලයකු ලෙස ද ගොඩ නැඟේ. ඔබේ දියුණුව ස්ථිරව සැලසෙන වසරකි.

 උත්‍රපුටුප:- ජයග්‍රහණ රැසක්

ධාර්මිකව කටයුතු කිරීම මඟින් ඔබට මේ වසරේදී ජයග්‍රහණ රාශියක් අත්කර ගත හැකිය. ඔබ සිතන පතන ආකාරයටම දියුණුවට මාවත සැලසේ. ගෘහ ජීවිතය සාමදානයෙන් පවත්වාගෙන යෑමට හැකි වාසනාවන්ත කාල පරිච්ඡේදයකි.

පුවසල:- උත්සාහයෙන් ජයග්‍රහණය කරා

2023 වසර ඔබ ආරම්භ කළ යුත්තේ දහමට නැඹුරුවය. උදේ හෝ සවස බුදුන් වැද දෙවින්ට පින් දීමෙන් කරන කියන කටයුතුවලට ආශිර්වාද ලබා ගැනීමටත් අපල අවම කර ගැනීමටත් අවස්ථාව ලැබේ. කෙසේවුවත් මේ වසර ඔබට ජයග්‍රාහී එකක්ම වනු නිසැකය. උත්සාහය, කැපවීම මත ඔබ වඩාත් ආදර්ශවත් පුද්ගලයකු බවට ද පත්වනු ඇත.

හත :- විදෙස් ගමන් සඵල වෙයි

පසුගිය වසරේ ඔබේ සිත තුළ පැවැති අපේක්ෂා සහ අරමුණු ඉටුකර ගැනීමට බාධා පැමිණියේ නම් මේ නව වසර තුළ ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව ලැබේ. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට සුබඵල අත්වන බවක් දක්නට ලැබෙයි. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු වෙයි.

සිත :- සතුරු කරදර ඉවතට

අලංකාර විසිතුරු ඇඳුම් පැලඳුම්වලට වැඩිපුර මුදල් වියදම් කරයි. සතුරු කරදර ඉවත් වෙයි. ගෘහ ජීවිතයේ ගැටලු මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඇසුරු කරන අය අතර ඉවසිලිවන්තව කල් යවන්න. අනවශ්‍ය බැඳීම්, අනියම් සබඳතාවලට හසු නොවී සිටීමට වග බලා ගන්න.

රේවතී:- අධ්‍යාපනයෙන් ඉහළ ජයග්‍රහණ

 යුතුකම් ඉටු කරමින් සාධාරණව තම ජීවිතය පවත්වාගෙන යන අතර, අන්‍යයන්ට ද උදවු උපකාර කරන්නට අවකාශ සැලසෙන කාලයකි. 2023 වසර ඔබේ අපේක්ෂා මුඳුන්පත් කර ගැනීමට භාග්‍යය සලසන වසරකි. එබැවින් උනන්දුවෙන් කටයුතු කරන්න. රේවතී නැකතෙන් උපන් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දැනුමෙන් පරිපුර්ණ විය හැකි අවස්ථා සහ පහසුකම් ලැබෙන වසරකි.

පුවපුටුප:- ධනය සහ දේපළ

කිසිම විටෙක අන්‍යයන්ගේ උදවු උපකාර බලාපොරොත්තු නොවී මේ වසර සැලසුම් සහගතව කටයුතු කිරීම ඔබේ දියුණුවට හේතු වේ. ධනය සහ දේපළ හිමි වීමේ භාග්‍යය ද ලැබෙන මේ වසර ඔබේ ජීවිතයට සාර්ථකත්වය උදා කරයි.

පුනාවස:- ලැබීම් සහිතයි

පදිංචි ස්ථානයේ සුබ සිද්ධිය පිණිස වැඩි උනන්දුවක් ඇති වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ජයග්‍රාහී වසරකි. එහෙත් යම් යම් බාධක, අපල, අසනීප මතුවිය හැකි බැවින් බ්‍රහස්පතින්දා දිනවල බෝධිපූජාමය කටයුතුවලට සහභාගී වන්න. ලැබීම් අතින් සතුටු විය හැකි මට්ටමක් පවතී.

විසා:- දරුවන්ගේ ජයග්‍රහණ

මේ 2023 වසරේදී ඔබේ දියුණුව සැලසෙන බොහෝ වැඩ කටයුතු කරගත හැකි අතර, ගෞරවය රැකෙන පරිදි ජීවිතය පවත්වා ගැනීම වැදගත් වේ. ඒ ඔබට නොගැළපෙන පුද්ගලයන්ගෙන් සිත් රිදීම් සහ කලකිරීම් පැමිණීමට ඉඩ ඇති බැවිනි. එහෙත් දරුවන්ගේ ජයග්‍රහණ නිසා ඔබට සතුටු විය හැකි වසරකි.

මුව සිරස :- සතුරන් මිතුරන් වෙයි

වාසනාවන්ත කළ දසාවකි. 2023 වසරේදී ඔබ දිරියෙන් ශක්තියෙන් හා මනා කළමනාකාරිත්වයකින් යුතුව අනාගත සැලසුම් ක්‍රියාත්මක කරයි. විරුද්ධවාදීන් සිටියේ නම් ඒ අය ද ඔබේ මිතුරන් බවට පත්වන කල දසාවකි. විවිධ ජයග්‍රහණ අත්කර ගනී.

අනුර:- රැකියාවේ උසස් වීම් සහ නව රැකියා

අන්‍යයන්ගේ සිත් දිනාගෙන ඉතා ගෞරවාන්විතව තම කටයුතු කර ගැනීමට වාසනාව ලැබෙන වසරකි. පසුගිය වසරේදී අතපසු වී තිබු අභිමතාර්ථ මුඳුන් පමුණුවා ගැනීමට අවස්ථාව සැලසේ. එම නිසා වසර ආරම්භයේදීම නිසි සැලසුමක් ඇතිව සියලු කටයුතු ආරම්භ කරන්න. රැකියාවලින් උසස් වීම් හිමි වීමට භාග්‍යය තිබෙන අතර, නව රැකියා අවස්ථා ද හිමිවේ.

 අස්ලිස:- දරුඵල සඵල වෙයි

දරුඵල ප්‍රමාද වීමෙන් කනස්සල්ලෙන් සිටි අයගේ පැතුම් ඉටුවෙන වසරකි. හැකිතාක් දැහැමිව කටයුතු කරන්න. රැකියා, ව්‍යාපාර කටයුතු සඳහා මහත් කැපකිරීමක් කිරීමට සිදුවේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වූ ග්‍රහබල ශක්තීන් මතු කෙරෙන කාලයකි.

 සියාවස:- බොහෝ ලැබීම් සහිතයි

ඉඩකඩම් හෝ ගෙවල් දොරවල් හිමිකර ගැනීමේ භාග්‍යයක් පවතී. ආත්ම ශක්තිය, කාර්යශූර බව යහ පැවැත්ම නිසා ඔබේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම පහසු වේ. විදෙස් ගමන් ද සඵල වේ.

සා :- ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

මේ උදාවූ නව වසර ඔබට ඉතා යහපත් වේ. ගෙදර දොර දියුණුව දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵලතාවයට පැමිණේ. එහෙත් කලබලකාරී බවින් මිදෙන්න. ආවේගශීලී අවස්ථාවලදී නිහඬ වන්න. ප්‍රාථමික අංශවල ඉගෙන ගන්නා දරුවනට ඉගෙනුම් වැඩවලට බාධා මතුවිය හැකි බැවින් ඒවාට ප්‍රතිකර්ම යොදන්න.

මුල:- තැන්පත් ධනය ඉහළට

ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටුවන ඉතා සුබදායී වසරකි. අන්‍යයන්ගේ දුකට පිහිටවන ගතියක් ඔබ තුළ පිහිටයි. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙන අතර, තැන්පත් ධනයක් ද පවත්වා ගත හැකි වේ. පොත පතේ දැනුම වර්ධනය වේ.

දෙට:- සතුට, විනෝදය පිරුණු කාලයක්

නිර්භීත ගතිය නිසා ඕනෑම භාරදූර කටයුත්තකට අත ගසන්නට හැකියාව මේ වර්ෂයේදී ඔබට අවස්ථාව සැලසේ. විනෝදකාමී බවට වැඩි ප්‍රවණතාවක් ඇතත් දියුණු තත්ත්වයකට පැමිණේ. එහෙත් වසර ආරම්භයේ සිටම ඔබ මුල්තැනක් දිය යුතු වන්නේ ධාර්මික කටයුතුවලටය. එයින් ඔබගේ ජීවිතයට ආශිර්වාද රැසක් ලැබේ.

ප්‍රවීණ ‌ෙජ්‍යා්තිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

Comments