
පවතින ආර්ථික අහේනිය හේතුවෙන් සාමාන්‍ය ජනතාව රත්රන් ඇතුළු සිය වත්කම් දිගින් දිගටම උකස් කරන්නට පටන් ගෙන තිබේ. එසේ රත්රන් උකස් කර ඇති බහුතරය මධ්‍යම පන්තියට අයත් වන අතර, ඔවුන් එම මුදල් වැඩිපුරම වැය කර ඇත්තේ, සිය කෘෂිකාර්මික කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය, වසන්ත අතුකෝරල මේ පිළිබඳව කළ සමීක්ෂණය තුළින් සොයා ගත් කරුණු අනාවරණය කළේ මෙසේයි.
"ජනතාව සතු වත්කම් අතර රත්රන් කියන්නේ ප්‍රධානම වත්කමක්. ඊට හේතුව ක්ෂණිකව මුදල් කර ගැනීමේ ඇති හැකියාවයි. ඒ අනුව රත්රන් කියන්නේ ඉහළ ද්‍රවශීලතාව ඇති වත්කමක්.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තමන් සතු රත්රන් කොපමණ උකස් කර තිබෙනවාද යන්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ ආචාර්යවරු කිහිප දෙනකු ඇතුළු අප කණ්ඩායම නිරීක්ෂණය කළා. අප මේ සඳහා ලංකාවේ උකස් කටයුතු කෙරෙන ප්‍රමුඛ පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන13ක් තෝරා ගත්තා. මහජන බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව වැනි මහා පරිමාණ උකස් ගන්නා බැංකු හා මූල්‍ය සමාගම් ඒ අතර වනවා. අද වන විට ලංකාව පුරා මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මට්ටමේ උකස් ගැනීමේ ව්‍යාපාර 200ක් පමණ ක්‍රියාත්මකයි. ඊට අමතරව, උකස් පමණක් ගන්නා ආයතනත් 200ක් පමණ තිබෙනවා. අප මෙම සමීක්ෂණය සඳහා රට පුරා ජනතාව නියෝජනය වන පරිදි විවිධ පළාත්වල පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගත්තා.
2019 වන විට ලංකාවේ රන් උකස් වෙළෙඳපොළ තුළ රු. බි. 363ක් මුදල් ලෙස ලබා දී තිබෙනවා. නමුත් ජනතාව උකස් තබා තිබෙන රන් භාණ්ඩවල වටිනාකම ඊට වඩා වැඩියි. එය 2020 වන විට රු. බි. 408ක් දක්වා වැඩි වෙලා, 2021දී රු. බි. 493ක් ලෙස තවත් ඉහළ ගොස් තිබෙනවා. 2022 ජනවාරි පළමු වැනි දා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා කාල පරිච්ඡේදය තුළ එය රු.බි. 662ක් දක්වා විශාල වශයෙන් ඉහළ ගිහින්. මේ වැඩි වීමට අමතරව, උකස් ගන්නා ආයතනවලත් ඒ පසුගිය මාස 10 තුළ රු.බි. 25ක වැඩිවීමක් තිබෙනවා. ඒ නිසා සමස්තයක් විදියට 2022 ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා පළමු මාස 10 තුළ පමණක් මේ රටේ ජනතාව, රන් බඩු උකසට තබා රු.බි.194ක් මුදල් ලෙස ලබා ගෙන තිබෙනවා.
තවත් විදියකට කිව්වොත්, 2019ට සාපේක්ෂව 2020 දී එය 12% ක ඉහළ යෑමක්. 2021 වෙද්දී එය 21%ක් ලෙස තවත් ඉහළ ගිහින්. 2022 ඔක්තෝබර් මාසය වන විට එය 34%ක ශීඝ්‍ර වැඩි වීමක් බවට පත් වෙලා. ඒ කියන්නේ, මේ තුළ මිලියන 3ක් තරම් ජනතාවක් සිය රන් භාණ්ඩ උකස් තබා තිබෙන බවයි අනාවරණය වුණේ. ඒ වගේම ලංකාවේ වැඩියෙන්ම උකස් ගැනීම කර තිබෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකු බවයි අප සොයා ගත් කරුණුවලින් අනාවරණය වුණේ.
ජනතාව මේ තරම් රන් බඩු උකස් කිරීමට ඇයි පෙලැඹුණේ කියන කාරණාවත් අපි සොයා බැලුවා. දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රධාන කාරණාවක් විදිහට හුඟ දෙනෙක් ප්‍රකාශ කළා. ළමයින්ට ඉස්කෝලේ යන්න පොත්පත් ටික ගන්න විදියක් නැහැ. සපත්තු දෙකක් ගන්න විදියක් නැහැ. වගා කරන්න පොහොර ටික ගන්න විදියක් නැහැ.
කෘෂිකර්මාන්තයේ යෙදෙන බොහෝ අය අද කණකර උකස් කර අවසන්. තව පිරිසකට එහෙම පිටින්ම ආදායම් අහිමි වෙලා. මේ බොහෝ අය ගම්වල කඩෙන් බඩු ටික ගන්නේ ණයට. දැන් වගා පාළුව සහ පොහොර ප්‍රශ්නය නිසා බොහෝ දෙනෙකුට කරකියා ගන්න දෙයක් නැති තැනට වැටිලා. තව දුරටත් උකස් කරන්න ඔවුන්ට රන් භාණ්ඩත් නැහැ. කඩෙන් ගත්තු ණය ටික ගෙවා ගන්න බැරිව, එදා වේල කන්න නැති තැනට ඔවුන් වැටිලා. මෙයින් උද්ගත වී ඇති ප්‍රධානම සමාජ ගැටලුව තමයි, බොහෝ පිරිසකට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වී තිබීම. තමන් සතු වත්කම් විකුණාගෙන විකුණාගෙන ගිහින් මේ අසරණ ජනතාව නවතින්නේ කොතැනක ද...?
මේ ප්‍රශ්නය පැති දෙකකින් අද ඉස්මතු වෙලා. මින් පෙර මිනිස්සු රන් බඩු උකස් තැබුවේ, නැවත බේරා ගැනීමේ බලාපොරොත්තු ඇතිව. ඔවුන් අතට ගත්තේ, අවම ගාන විතරයි. නමුත් දැන් තත්ත්වය වෙනස්. සින්න වුණත් කමක් නැහැ, කියන තැන ඉඳලා ගන්න පුළුවන් උපරිම මුදල ගන්න මේ වන විට ජනතාව පෙලැඹී තිබෙනවා. ආයෙමත් බේරාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ. ඒ නිසා අද මේ පුද්ගලයන් සතු ප්‍රධානම වත්කම අහිමි වී තිබෙනවා. රන්බඩු ඇතුළු තමන්ගේ සේසතම උකස් තබා මේ වෙලාව ඔවුන් කළමනාකරණය කර ගත්තත්, තව මාස කිහිපයකින් යළි ජීවත් වීමේ ගැටලුව පැන නඟිනවා. ආයෙමත් ඔවුන්ට විකුණන්න දෙයක් නැති වෙනවා. එය ඉදිරියේදී විශාල සමාජ ගැටලුවක් බවට පත් වනවා ඒකාන්තයි. රන් භාණ්ඩවල වටිනාකම අද දෙගුණයක් පමණ වී තිබෙන නිසා උකස් තැබූ භාණ්ඩවල වටිනාකමත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 28 වැනිදා වන විට කැරට් 22 රන් පවුමක් පැවතියේ රු.152,850.00 ක වටිනාකමට. එය දෙසැම්බර් 12 වැනිදා වන විට, රු.168,400.00ක් ලෙස ඉහළ නැඟුණා. දෙසැම්බර් 29 වැනිදා වන විට කැරට් 22 පවුමක මිල වාර්තා වුණේ රු. 170,300.00 ක් ලෙසින්. ඒ වගේම, කැරට් 24 රන් පවුමක වටිනාකම පසුගිය සැප්තැම්බර් 28 වැනි දා විට පැවතියේ රු.183,650.00 ක් ලෙසින්. එය, දෙසැම්බර් 29 වැනිදා වන විට රු. 185,700.00 ක් ලෙස ඉහළ නැඟ තිබෙනවා. එහෙම බලද්දී, දැඩි ආර්ථික අහේනියකට මුහුණ පා සිටින අපේ රටේ ජනතාව මේ වනවිට උසස් කර ඇති රන් භාණ්ඩවල සැබෑ වටිනාකම දළ වශයෙන් රු.කෝටි 66,200ක් පමණ වෙනවා" ජනතාවට සිය රන් භාණ්ඩ දිගින් දිගටම උකස් කිරීමට සිදු වීම, සමාජ විද්‍යාත්මකව රටකට බලපාන ආකාරය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය වසන්තා සුබසිංහ පැහැදිලි කළේ මෙලෙසිනි.
"1977න් පසු සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍ර නියෝජනය කළ ප්‍රතිපත්ති හෙවත් ආර්ථික, අධ්‍යාපනික, රැකියා වෙළෙඳපොළ, භාණ්ඩ පරිභෝජන රටාව යන සියලුම අංශවල ප්‍රතිඵලය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. අපේ රටේ ජනතාව රත්රන් බඩු මිලදී ගැනීම ක්‍රම දෙකක් යටතේ සිදු කරනවා. ආභරණයක් ලෙසින් සහ විශාල සංස්කෘතියක් සමඟ ඉදිරියට යනවා. ලෝකයේ රත්රන්වලින් 40%ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඉන් සියයට 11% ක්ම තිබෙන්නේ දකුණු ඉන්දියාවේ. රත්රන් කියන්නේ සමාජ සංස්කෘතිය හා බැඳී පවතින දෙයක්. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න මුදල් නැතුව මවුපියන් අන්ත අසරණ වෙලා. දරුවන්ට කන්න බොන්න දෙන්න, පොත්පත් ගන්න, ගේ දොර වතුපිටි උකස් කරන්න, විකුණන්න ජනතාව ටිකෙන් ටික පෙලැඹිලා.
අන්ත අසරණ වූවන් ශරීරයේ අවයව විකිණීම දක්වාම මේ විකිණීම දැන් ව්‍යාප්ත වෙලා. කාන්තාවන් වැඩි වැඩියෙන් අඩු පඩියට හෝ මැද පෙරදිග ගෘහ සේවයට යන්න පටන් අරන්. උද්ධමනය පිටුපස තිබෙන සංඛ්‍යා දත්ත අරගෙන බැලුවම පේනවා ඉලක්කම්වලට එහා ගිය විශාල සමාජ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව. රත්රන් උකස් කිරීමේ කතාව පිටුපස තිබෙන්නේ මෙන්න මේ බරපතළ ඛේදවාචකය. මේ තත්වෙන් ගොඩ එන්න පුංචි පුංචි ආයෝජනවලින් වැඩක් නැහැ. රටට දැනෙන දැවැන්ත ආයෝජන එන්න ඕනේ. අද බංග්ලාදේශය වැනි රටවල think tank එකක් තිබෙනවා. ඒකෙන් කරන්නේ, රටේ ප්‍රශ්න හඳුනා ගෙන ඉදිරි අවුරුදු කිහිපය තුළ ප්‍රශ්නය උද්ගත වුවහොත් අවශ්‍ය ඉදිරි සැලසුම් සෑදීම. අපේ රටේ දේශපාලනඥයන්ට උනන්දුව තිබෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර ගැන විතරයි. නමුත් මේ රන් බඩු විකිණීම, උකස් තැබීම, බේරා ගන්න බැරිව අත් හැර දැමීම, කියන කාරණා පසු පස තිබෙන්නේ, ඉතාම ශෝචනීය සහ ඛේදනීය ඉරණමක්..."
මෙම තත්ත්වය ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසූයේ මෙවැනි අදහසකි.
" සාමාන්‍ය ජනතාව තමන්ගේ ලොකුම වත්කමක් වන රත්රන් විකුණන්නේ ඇයි? මේ උකස් කිරීම් කරන්නේ මහා පරිමාණ මට්ටමේ අය නෙවෙයි. කසාද මුද්ද, බෙල්ලේ බඳින තැල්ල, අමාරුවෙන් හරි හම්බ කර හදා ගත් චේන් පොට, කරාබු ජෝඩුව මේ විදියට උකස් තබා තිබෙන බහුතරය මධ්‍යම පාන්තිකයන් බවයි හෙළි වී තිබෙන්නේ. ජනතාව ආර්ථික අහේනියක් ඇති වූ අවස්ථාවල තමන් සතු වාහන, රන් බඩු උකස් කරන එක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ උදා වී තිබෙන්නේ, හිතනවාට වඩා බරපතළ තත්ත්වයක් බව ඉහත සමීක්ෂණයේ සංඛ්‍යා දත්ත අනුව පේනවා. අද තිබෙන ආර්ථිකය තුළ මේ මිනිස්සු උකස් කරන තමන්ගේ වත්කම් නැවත බේරා ගැනීමට හැකියාවක් ලැබේද, කියන එක බරපතළ ගැටලුවක්. මොකද, ශ්‍රී ලංකා ආර්ථිකයේ පිබිදීමක් ඇති නොවන තත්ත්වයක් තමයි දිගින් දිගටම පෙනෙන්නට තිබෙන්නේ.
මේ ආකාරයට තමන් සතු වත්කම් උකස් තැබුවායින් පසු, නැවත බේරා ගැනීමට හැකියාවක් නැති වුණොත් ඔවුන්ට සිය රන් භාණ්ඩ අහිමි වනවා. ඒ හරහා මධ්‍ය හා දිගුකාලීන වශයෙන් ඔවුන් ආර්ථික බෙලහීනතාවට ලක් වනවා. කුටුම්භ වත්කම් දිය වී යෑම යනු කුටුම්භ ආර්ථිකයේ කඩා වැටීමට, පාරිභෝජනයට, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතාමත් නරක විදියට බලපෑම් එල්ල කරන තත්ත්වයක්.
රජය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වන්නේ මේ මොහොත වන විටත් සාමාන්‍ය ජන සමාජය තුළ විශාල ආර්ථික පිරිහීමක් පටන්ගෙන ඇති නිසයි. රජය ඔවුන්ගේ උකස් තැබූ රන් භාණ්ඩ නැවත නිදහස් කර ගැනීම සඳහා සහන කාලයක් දීර්ඝ කිරීමෙන් හෝ වෙනත් ආකාරයක සහනයක් ලබා දීමෙන් හෝ ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
අනෙක් පැත්තෙන් උකස් තබන අයත් මේ මුදල් නිසි කළමනාකාරිත්වයකින් අත්‍යවශ්‍ය දෙයට පමණක් පාවිච්චි කිරීම සහ නිසි අවධානයක් ඒ සඳහා යොමු කිරීම ඉතාම වැදගත්. කිසිසේත් නාස්තියට ඉඩක් නොතැබිය යුතුයි. මෙසේ උකස් කර ලබා ගන්නා මුදල්වලින් මත්ද්‍රව්‍ය, දුම්වැටි, දුරකතන භාවිතය, ෆේස්බුක්, ඩේටා වැනි අනවශ්‍ය වියදම් සඳහා කිසිසේත් පාවිච්චි නොකළ යුතුයි. උකස් තැබූ භාණ්ඩවලින් ලබාගන්නා මුදල් නිසි කළමනාකරණයට ලක් කිරීම තුළ පුංචි හෝ සහනයක් ජනතාවට ලබා ගත හැකියි.
ඒ වගේම ජනතාව අමතර ආදායම් සොයා ගැනීම සඳහා වහාම පෙලැඹිය යුතුයි. වියදම් අවම වන ලෙස තීන්දු තීරණ ගන්නා අතර, පවුලේ වියදම් සඳහා අමතර ආදායමක් සොයා ගන්නා ක්‍රමවේදයකට යා යුතුයි. අනෙක් අතට සකසුරුවමින් ජීවත් වීමේ වැදගත්කම ද ජනතාව අවබෝධ කර ගැනීම මේ වෙලාවේ ඉතාම වැදගත්. තමන් සතු රන් භාණ්ඩ උකස් කර ආර්ථික අර්බුදය තුළ විසඳුම් සොයනවා වෙනුවට, වියදම් පැත්ත නිසි කළමනාකරණය කරමින් විසඳුම් සෙවීමේ වැදගත්කම ජනතාවත් තේරුම් ගත යුතුයි. ඉස්සර විදියටම කාලා බීලා ෆෝන් පාවිච්චි කරලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මේ.
අපේ ජීවන රටාව, පාරිභෝජන රටාව වෙනම තැනකට තල්ලු වෙමින් තිබෙන්නේ. එය වෙනස් කළ හැක්කේ සකසුරුවමින් පමණයි. එසේ නොවුණහොත් පවුලේ සහ රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් දැඩි බංකොලොත්භාවයකට ලක් වන බව කිව යුතුයි "