අවසානයට ටිකකට කලින් | සිළුමිණ

අවසානයට ටිකකට කලින්

නවරත්න අර්ථනායක මුඩුක්කු පේළියේ අන්තිම කොනේම ගේ ඇතුළේ සිට එහි දොරකඩට ආවේ කලිසමේ බඳ පටියට කමිසය යට කරමිණි.

මෙතුවක් වේලේ දැනුණ දූවිල්ල මුසු හඩු ගඳ ද ඊට නොදෙවැනිව සඳලතාගේ සිරුරෙන් නික්ම ආ වත්සුණු පුසුඹ ද නවරත්නගේ නාසයෙන් දැන් නික්ම ගොසිනි. ඒ එක්කම එහෙන් මෙහෙන් තෙත මාත්තු වී තිබුණ ඔහුගේ මුහුණ සිප ගත්තේ කොහේදෝ සිට හෙමින් හෙමින් විත් දැවටුණු සුළං රැල්ලකි. වටාපිටාවේ උණුසුමත් සමඟ සුළං රැල්ල තරමක් කර්කශ වුවද නවරත්නගේ මුහුණේ තෙත ගතියත් සමඟම එය ඔහුට සුවදායක බවක් ගෙනාවේය. ඔහු යළිත් වතාවක් ප්‍රබෝධවත් වූවාක් මෙනි.

තමා මෙතුවක් වේලා රැඳී සිටි කාමරය පැත්තට නැවත වතාවක් ඔහු මුහුණ හරවා බැලුවේ ද එබැවිනි. කුඩා මේස කබලක් ද යාන්තමට මෙන් අටවා තිබුණු ඇඳන් කබලක් ද සඳලතාගේ මුඩුක්කු කාමරයේ විය. ඊට වැඩිමනක් දෙයක් එහි වූයේ නම් ඒ, මුහුණ බලන කන්නාඩියක් සහ සුවඳ විලවුන් කුප්පි දෙක තුනක් ද ලිප්ස්ටික් කූරක් ඇතුළු තව තවත් කාන්තා ආටෝප බඩු මුට්ටු කිහිපයක් ද සමඟ අපිරිසුදු වතුර ජෝගුවක් පමණි. හුණ්ඩුවක් වැනි කාමරයේ මුල්ලක කරාමයක් වූ අතර කාන්තා ඇඳුම් කීපයක් ඇඳ විට්ටමේ ඔහේ එල්ලෙමින් තිබිණි.

නවරත්න අර්ථනායක සිය උරහිසේ තිබුණ ගමන් මල්ල හරියටම තමන්ගේ වම් අතට සමාන්තරව තබාගෙන මේ මොහොතේ මුඩුක්කු පෙළින් නික්ම යෑමට ලක ලෑස්ති වෙන්නේ හොර පූසකු කුරුල්ලකු අල්ලා ගැනීමට මාන බලනා අයුරෙනි.

මුඩුක්කුවේ පැළැල්ලෙන් එළියට කර පෙවූ ඔහුට පෙනෙන්නේ පැල්පත් දෙපේළිය මැද්දෙන් වූ මාවතේ කොල්ලන් හත් අට දෙනෙකි. නාම්බන් වූ කොල්ලන් කිහිප දෙනා අතර නාවර පෙරාගත් පොඩි එව්වෝ දෙතුන් දෙනෙක් ද වූහ. ඔවුන් කිහිප දෙනා එකතුවී සිටියේ ලෑලි කැබැල්ලක් විකට්ටුවට තබාගෙන පාරේ ක්‍රිකට් ගසන්නටය. තවත් නාම්බන් කොල්ලන් කිහිප දෙනකු කොහෙන් හෝ සොයාගත් ස්මාර්ට් වර්ගයේ දුරකතනයක් වටා රොක්ව සිටින්නේ අනර්ඝ මිණි කැටයක් වටා සිටින මුදලාලිලා රොත්තක් ලෙසිනි. ඔවුන් ඊට ලන්සු තියන්නේ එය කීයකට විකුණා ගත හැකිදැයි කියා කතිකාවක ද යෙදෙමිනි.

මේ අතර දවසේ ගතමනාව කොහෙන් හෝ සොයා ගත් පිරිමි කිහිප දෙනකු අසල වූ විදුලි කණුව යටට වී බූරුවා අතක් ගසන්නේ කාල වේලාව ගෙවා ගැනීමේ අදහසිනි. තව ටික වේලාවකින් අහල පහළ තැනකට ගොස් මත්පැන් වඩියක් දෙකක් මුවට හලා ගැනීමේ අරමුණ ද ඔවුන්ගේ සිත්වල යටි කොනක පැලපදියම් වී තිබෙයි. ඒ අතරින් යාබද පැල්පත් දෙකක ගැහැනු දෙතුන් දෙනකු ටිකක් හයි හයියෙන් කතා කරන්නේ රෙදි වැලක ඇඳුම් කීපයක් නැතිවීම ගැනය. නැතිනම් කාගේ හෝ ඇදයක් කියමිනි. තවත් දෙතුන් දෙනකු ඈතට වී උකුළු මුකුළු කරමින් ඉන්නේ මොකක් හෝ කුණු හරුපයක් ද ඈඳා ගනිමිනි. මේ අස්සේ අසික්කිත කතාවක් කියාගෙන යන තරුණයකුට ඔවුන් උත්තර දෙන්නට යන්නේ ද එක්කෝ දෙපිට කැපෙන කතාවකිනි. නැතිනම් අත ද දිග හැර හොඳවායින් පදයක් කියමිනි.

දවස පුරා සිදුවුණ හැම හොර රහසක්ම දැන කියා ගත් හිරු මේ වන විට මිනිසුන්ගෙන් වසන් වන්නට තවත් සෑහෙන වේලාවක් තිබුණෙන් මාවත දෙපස වු විදුලි කණුවල පහන් දැල්වීමට තවමත් කිසිවකුගේවත් ඕනෑකමක් නොවිණි. මුඩුක්කු දෙපේළියට එපිටින් වූ සුවිසල් ගොඩනැඟිල්ලේ දැවැන්ත තාප්පය මෙහි වූ බොහොමයක් රහස් හංගාගෙන සිටියේය. තාප්පය උඩට කොහොමින් හෝ බඩ ගා ගන්නා හයි හක්තිය ඇති පිරිමි මේ මුඩුක්කු පෙළෙහි බොහොමයක් රහස් පිටත ලෝකයාට එළි නොවන්නටත් ඇතුළට කඩා වදින අතුරු ආන්තරාවලින් බේරා ගැනීමටත් වග බලා ගත්හ.

දැන් මේ වෙද්දී කොල්ලන්ගේ ක්‍රිකට් ගැටුම උණුසුම් වෙමින් පවතී. කෑ කෝ හඬ ද උද්වේගකර බව ද වැඩිව ඇත්තේ පාරේ තිබෙන දූවිලි වලාවන් මුහුණවල් සිප ගෙන යන තරමටය. මේ අතර ඉඳහිට මහ හඬින් කුණුහරුපයක් දෙකක් අවට වාතලයට එකතු වන්නේ කොල්ලන්ගෙන් කෙනකු උඩ පන්දුවක් අතහැරි විටෙක හෝ අනෙක් පිලේ එකකු දුවද්දී දවා ගැනීමට තිබු අවස්ථාවක් ගිලිහී ගිය විටෙකදීය. නැතහොත් දූවිල්ල නාගෙන ක්‍රිකට් ගසන කොල්ලන්ගේ බෝල පහරක් දෙකක් පාරේ යන මුඩුක්කුවේ මිනිසකුගේ දෙන්නකුගේ ඇඟේ හෝ මුහුණේ හෝ වැදුණාමය.

මුඩුක්කු පැල්පත් ගොන්නේම වහල සියල්ලම මේ වෙද්දී දුහුවිල්ලෙන් වැසී තිබුණේ සෑහෙන කාලයකින් වැහි වතුර පොදක්වත් ගෑවී නොතිබුණ හෙයිනි. එහි උඩින් වූ ටයර් ගොඩවල් ද දූවිල්ලෙන් වැසී තිබුණේ ඒවා නොපෙනී යන තරමටම තට්ටු බැඳෙමිනි. මළ ගෙවල්වල බැනර් ටින් කෑලි මෙන්ම එක එක කොම්පැණිවල දැන්වීම් පුවරු එහි වහල මත්තේ තිබුණේ වැහි කාලයට ගෙවල් ඇතුළට එන වතුර වළක්වා ගන්නට මිස සෝබනයට රට්ටුන්ට පෙනෙන්නට නොවීය.

"මහත්තයා........."

නවරත්න අර්ථනායක ආපසු හැරී පැල්පතේ දොර දෙස බැලුවේ ඔහු පාරට අඩිය තබනවාත් එක්කය. ඔහු වචනයක්වත් නොදොඩා සඳලතා දෙස බලා උන්නේය. ඇය දොරකඩට විත් සිටියේ ගවුමට උඩින් චීත්තයක් හැඳ මොහොතකට පෙර තමන් සමඟ දඟ කොට අවුල් වූ කොණ්ඩය ද බඳිමින්ය.

"මහත්තයා .... ආයි මේ පැත්තට නාවාට කමක් නෑ...."

"ඇයි ... ඒ... ?" නවරත්න අර්ථනායක එසේ ඇසුවේ කිසිත් සිතා ගත නොහැකිවය.

"නෑ... නෑ..... මහත්තයා, බාග වේලාවට අදින් පස්සේ ආයෙ කවදාවත් මහත්තයා හම්බ වෙන එකක් නෑ..."

ඒ වදන් පෙළත් සමඟ නවරත්න අර්ථනායකගේ හිත කීරි ගැසී ගියාක් මෙනි. ඔහුට ඇය මුලින්ම මුණ ගැසුණේ බොරැල්ලේ මගී පාලම යට තහනම් අඩවියකදීය. ඒ වැඩ ඇරී ගෙදර යන ගමන් ඔහු නිරන්තරයෙන්ම දකින සුපුරුදු ගැහැනු රොත්තේ මුහුණු අතරේය. දඩයමට මාන බලාගෙන සිටින සිංහ ධේනුවන් රොත්තක් පරිද්දෙන් සිටින මේ ගැහැනු රොත්තේ ඔහු අනෙක් අයට වඩා විශේෂත්වයක් ඇය වෙතින් දුටුවේ ඔහුට ද සිතා ගත නොහැකි අයුරිනි. දිගැටි දෑසක් ද සිහින් සිරුරක් ද උරුමව තිබුණ ඇය එතැන සිට් අනෙක් ගැහැනුන් මෙන් පාරේ යන එන පිරිමින් දෙස ගිජු බැලුම් නොහෙළුවාය.

මහ පාරෙන් එන දුවිලිවලින්ද එයින් නැඟෙන රශ්මියෙන් ද විඩාපත්ව සිටි ඔවුන් විටින් විට මාවතට එබිකම් පාන්නේ කාකි ඇඳුම් ඇඟලා ගත් පිරිස්වලින් බේරෙන්නට ද බලාගෙනය. එසේ වුවත් බොහෝ විට පිරිමින්ගෙන් වසන් වෙන්නට බලන සඳලතා, නවරත්න අර්ථනායකගේ සිතට වැදුණේ අනෙක් බොහෝ පිරිමින් සේම ඔහු ද ඔවුන් දෙස හොරැහින් බලද්දීය.

"ඇයි... මොකෝ තැන වෙනස් කරන්නවත් හදනවද...?"

"අනේ ... නෑ... නෑ.... මහත්තයා .... මම ආයෙමත් ගමට යන්නයි හදන්නේ..."

"ගමට යන්න.... කොහෙද ගම....?"

"කැබිතිගොල්ලෑව ........... සමහරවිට මහත්තයලා අහලත් නැතුව ඇති..."

"අපොයි මොකද මම අහලා නැත්තේ... අර ඒ කාලේ කොටි පැනපු තැන්නේ.... මගෙ අම්මෝ ඇවිල්ල තියෙන දුර...? ඇයි ගමට ගිහිල්ලා ආයෙ මෙහෙ නොඑන්නද කල්පනාව..? මොකෝ එහෙ ගිහින් මේ වැඩේ පටන් ගන්නද යන්නේ...?"

"ආයෙ මම කිසිදාක මේ වැඩේ කරන්නේ නෑ... ඒ වගේම ආයෙ කිසිදාක මම මෙහෙ එන්නෙත් නෑ... ජීවිතේ කිසිදාක නොකරපු දේවල් කළේ එකම එක බලාපොරොත්තුවක් ඇතුවයි මහත්තයා ... ඒත් ඒ බලාපොරොත්තුවත් අදින් පස්සේ සඳහටම ඉවරයි.

"මට නම් මේ සඳලතා මොනවා කියනවද කියලා තේරෙන්නේ නෑ.."

"මහත්තයාට ඒක තේරුණත් කමක් නෑ... නොතේරුණත් කමක් නෑ... මොකද මහත්තයාත් මමත් අතරෙ තියෙන්නෙ නිකම්ම නිකම් ගනුදෙනුවක් විතරයි... අනික් එක මහත්තයාටත් සමහරවිට මම තව එක ගෑනියෙක් විතරක් වෙන්න පුළුවන්... ඒත් මට මේ කතාව මම ළඟට එන කාට හරි කියලා යන්න ඕනෑ කියලා හිතුවා.."

"නෑ.... ඇත්තම කියනවනම් මම සඳමාලි දැක්ක දවසේ ඉඳන් ලොකු අමුත්තක් දැක්කා.. ඒ අමුත්ත හින්දයි මම දිගින් දිගටම හොයාගෙන ආවේ. ඒත් පාරෙ ඉන්න ගෑනියකුට ආදරය කරන්න කොයිම පිරිමියකුටවත් පුළුවන්ද කියලා හිතලා බලන්න වෙනවා..."

"මටත් මහත්තයාගේ ලොකු අමුත්තක් තේරුණා ... ඒ හින්දයි මම මෙතැනට එන්න කිව්වේ... ඒත් මම කවදාවත් කිසිම කෙනකුගෙන්වත් මොනම විදියකවත් අනුකම්පාවක් බලාපොරොත්තු වුණේ නෑ.. මොකද මට තිබුණේ එකම එක බලාපොරොත්තුවක් විතරක් හින්දා.. අපි ගනුදෙනුවක් කළා.... ඒකට මම ගතමනාවක් ගත්තා... එයිට එහායින් දෙයක් සිද්ධ වුණේ නෑ... අනික එහෙම වෙන්ඩ ඕනෑත් නෑ... මේක මේ නිකම්ම නිකම් ගනුදෙනුවක් විතරයි..."

"කොයික වුණත් මම සඳලතාගේ නම දැන ගත්තෙත් බොහොම අමාරුවෙන්නේ..

"මහත්තයා මේ වගේ ගනුදෙනුවකට නම් ගම් වගතුග අහවල් කාරියකටයැ.. පිරිමින්ට ඕනෑවට වඩා බුරුලක් දුන්නාම කොහෙන් නවතීද කියලා කියන්න බෑනේ මහත්තයා... මොක වුණත් මම හිතන්නේ මට හම්බ වුණ අනිත් මිනිස්සුන්ට වඩා මහත්තයා ටිකක් කරුණාවන්තයි කියලයි.. කොයික වුණත් මහත්තයා ගොඩක් වෙලාවට කොයි පිරිමියාත් එකයිනේ...? අනෙක් හැම මිනිහාම හැදුවෙ තමන්ගේ වැඩේ කරගෙන පුළුවන් නම් සල්ලිත් නොදී පැනලා යන්නයි.. ඒත් මහත්තයා කවදාවත් එහෙම කළේ නෑ... ඒ හින්දමයි මම මේ කතාව කියන්න හිතුවේ.."

 

"සඳලතා ළඟ ඉදලා යද්දී කොයි කවමදාකවත් මට එහෙම කරන්න හිතුණේ නෑ... අනික මම එහෙම කරන්නෙත් නෑ..."

"සමහර උන් බැලුවේ පුළුවන්නම් මගෙනුත් සල්ලි අරන් යන්නයි. මට ඕනෑකම තිබුණේ සල්ලි හොයා ගන්න මිසක් වෙන දෙයක් කරන්න නෙමෙයි... කොටින්ම මිනිස්සුත් එක්ක හුරතල් වෙවී තොඳොල් වෙවී ඉන්න කිසිම ඕනෑකමක් තිබුණේ නෑ මහත්තයා... මම දැන් පාරේ ඉන්න... එක එකා එක්ක නන්නත්තාරේ යන ගෑනියෙක් විතරයි.. මොන දේවාලෙකට ගිහින් හතර අතේ දිවුරුවත් ඕනෑම කෙනෙකුට පිටින් පේන්නේ ඒ ටික විතරයි. අපේ හිත්වල තියෙන දේවල් මේ ලෝකෙ මවාපු මහබඹාටවත් පේන්නේ නෑ. අනෙක ඇත්තම කියනවා නම් මහත්තයා මම මේ වැඩේ කළේ කොහෙත්ම කැමැත්තකිනුත් නෙමෙයි..."

"සඳලතා කියන දේවල් ඇහුවම පුදුමත් හිතෙනවා... සඳලතා කීයේ පන්තියට යනකම් ඉගෙන ගෙන තියෙනවද..? කොයික වුණත් සඳලතා වගේ සමාජය ගැන සෑහෙන දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් මෙහෙම තත්ත්වයකට වැටෙයි කියලා හිතන්නත් අමාරුයි.."

"මිනිස්සු අසරණ වුණාම මොන තැනකට වැටෙයිද හිතන්න බෑ මහත්තයා.. කොටින්ම ප්‍රශ්නවලට හිරවෙලා ඉන්න මිනිසුන්ට ඒවාට උත්තර නැතිවෙනකොට .. ඒකට කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද නැද්ද කියන එක ගොඩක් වෙලාවට ගෑවිලාවත් යන්නේ නෑ.."

"ඒක ඇත්ත... වෙන්න පුළුවන් අනෙක කෙනෙකුට පාළුව තනිකම එක්ක ජීවත්වෙන්න වුණාමත් එක එක විකාර ඔළුවට එනවා.. මමත් මගේ නෝනා පිළිකාවෙන් මළාට පස්සේ ඇත්තටම මේ හැන්දෑ කාලය ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්.."

"මොනව හරි කරලා මගෙ මනුස්සයා බේරා ගන්න ඕනැයි කියලා මෙහෙ එන්න වුණේ එහෙ මට කරන්න දෙයක් නොතිබ්බ හින්දයි... කොහොම වුණත් මම මෙහෙ ආවාම මගේ කතාව අහල හුඟ දෙනෙක් උදවු කළා.. මගෙත් එක්ක බොරැල්ලේ පාලම යට හිටපු අනෙක් ගෑනු ටික වගේම මේ වත්තේ ඉන්න පිරිමිත් උදවු කළා.. සල්ලි නොදී පනින්න හදපු එවුන්ටත් හොඳ පරිප්පුවක් දුන්නා.. ඒ මොක වුණත්.. අද ... මේ දැන් ටිකකට කලින් මම කිව්වේ මගේ ළඟ ඉතුරු වෙලා තිබුණ එකම බලාපොරොත්තුවත් නැති වුණා කියලා.."

"මොකක්ද ඒ බලාපොරොත්තුව ...?"

"මහත්තයා යන්න එළියට බහින්න ඔන්න මෙන්න කියලා ආව කෝල් එකෙන් කියවුණේ අවුරුදු ගාණක් තිස්සේ වකුගඩු අමාරුවෙන් දහ දුක් වින්ද මගෙ මනුස්සයා දැන් විනාඩි කීපයකට කලින් ඉස්පිරිතාලෙදී මැරුණා කියලයි. දැන් මට ආයෙමත් සල්ලි හම්බ කරන්න කිසිම ඕනෑකමක් නෑ.. මම මේ හැම දෙයක්ම කළේ ඒ මනුස්සයගේ ජීවිතේ බේරා ගන්නයි.... දැන් අනාගතයක් බලාපොරොත්තුවක් කියන කිසිම දෙයක් මං ගාව ඉතුරු වෙලා නෑ... ඒත් දැන් තව එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු වෙලා තියෙනවා..."

"ඒ මොකක්ද...?"

"මගේ මිනිහගේ අන්තිම කටයුතු ටික පුළුවන් තරම් හොඳට කරන්න.... මගේ මිනිහගෙන් පිට වෙන මිනිහෙක් එක්ක හිටිය පළවැනි දවසේ මුළු ලෝකෙම කඩා වැටුණා වගේ මට දැනුණා.. මගෙන් මිනිහට වෙච්ච ද්‍රෝහිකම්වලට වන්දි ගෙවන්නත් එක්ක එයාගේ මිනියේ වැඩ ටික හොඳට කරන්න ඕනෑ, දැන් මට සැනහෙන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි..."

 

lඋපුල් වික්‍රමනායක

 

Comments