‘ශ්‍රි ලංකාවේ සංචාරය කරන්න එන්න’ මම මුළු ලෝකයටම ආදරයෙන් ආරාධනා කරනවා | සිළුමිණ

‘ශ්‍රි ලංකාවේ සංචාරය කරන්න එන්න’ මම මුළු ලෝකයටම ආදරයෙන් ආරාධනා කරනවා

හෙද වෘත්තිය මගේ අධ්‍යාපනික වෘත්තීය මාර්ගයයි

නිරූපණ ක්ෂේත්‍රය මම ආදරේ කරන විනෝදාංශයක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කිරුළක් දිනාගැනීම මට ආඩම්බරයක්

ලාංකික රූ සපුව, පෞරුෂය ඇය ජාත්‍යන්තරයට ගෙන ගොස් කිරුළු දරා හමාරය. ජාත්‍යන්තර තරඟයක් වන Miss Earth Australia තරඟාවලියේ ජාතීන් ගණනාවක් සමඟ උරෙනුර ගැටුණු ඇය එකී අභිමානවත් කිරුළ හිස රුවා ගත්තේ ලාංකික නාමය ජාත්‍යන්තරයෙ සනිටුවන් කරමිනි. පුංචි මුතු ඇටයේ ඉපදී ලෝකෙම බබළන හිමායා විජයවීර ගැනය මේ සටහන.

 

Miss Earth Australia තරගාවලියේ කිරුළ දිනාගත් සොඳුරු මොහොත ගැන මතක් කළොත්?

මම මුලින්ම වික්ටෝරියා හී පැවැති තරගාවලියට සම්බන්ධ වුණා. ඒ සඳහා සම්බන්ධීකාරිණියක් ලෙස කටයුතු කළේ නීශා කුලතුංග. ඇගේ ඉල්ලීමට මම අයදුම්පතක් යොමු කළා. මෙල්බර්න්වල පැවති තරගාවලියෙන් ජයග්‍රහණය කර සිඩ්නිවල පැවති ජාතික තරගාවලියට සම්බන්ධ වීමට මට එහිදී අවකාශය ලැබුණා. එය දින හයක් ඇතුළත පැවැත්වුණා. එම දින හය තුළ පැවති කුඩා තරඟ කිහිපයකින් අනතුරුව එකී තරගාවලියේ අංශයන් පහක් යටතේ ජයග්‍රාහිකාවන් පස් දෙනකු තෝරා පත් කර ගත්තා. එහිදී මට හිමි වුණේ Miss Earth Australia කියන කිරුළයි. ඒ වගේම මට එයත් සමඟ සම්මාන දෙකකුත් හිමිවුණා. එකී සම්මාන හිමි වන්නේ ජනතා ඡන්දයෙනුයි. ඒනිසා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වගේම විදේශිකයනුත් ලොකු සහයෝගයක් ලබා දුන්නා. වික්ටෝරියාවෙ තරගාවලිය ජයග්‍රහණයෙන් පසුව මම ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳ වැඩසටහනක් සංවිධානය කළා. එකී වැඩසටහන පැවැත්වූයේ පරිසර හිතකාමි උද්‍යානයකයි. තරඟාවලිය සඳහා සහභාගී වන සියලු දෙනාම එකී වැඩසටහන සංවිධානය කළ යුතුව තිබුණත් මගේ වැඩසටහන හොඳම වැඩසටහන ලෙස තේරී පත් වුණා. මීට අමතරව මුහුදු වෙරළේ කුණු කසළ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය, ළමයින්ට ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම කරන ආකාරය කියාදීම වැනි සුබසාධන කාර්යයන් රැසක් එහිදී මම ඉටු කළා.

 

Miss Earth Australia කිරුළ දිනා ගැනීමට ඔබ තුළ තිබූ සුවිශේෂතා මොනවාද?

මගේ සාමාන්‍ය ජීවිතය තුළ සිදුකරන සුබසාධන කාර්යයන් හා මගේ පෞරුෂය මේ කිරුළ දිනාගැනීමට සුවිශේෂී වන්නට ඇති.

 

ඔබ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළේ කුමන කාලයකට පෙර ද?

මම වයස අවුරුදු 18 දී පටන් නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. 2018 වසරේ දී Miss Teen Srilanka Australia යන තරගාවලියේ කිරුළු පැලඳීමට මට වාසනාව උදාවුණා. ඊට අමතරව විවිධ ආයතනවල නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබෙනවා.

 

හෙදියකගේ භූමිකාව හා නිරූපණ ශිල්පිනියකගේ වෘත්තීය කාර්යභාරය එකිනෙකට ඉඳුරාම වෙනස්. ඔබ මේ ද්විත්වය සමබර කර ගත්තෙ කොහොමද?

හෙද වෘත්තිය මගේ අධ්‍යාපනික වෘත්තීය මාර්ගයයි. නිරූපණ ක්ෂේත්‍රය මම ආදරේ කරන විනෝදාංශයක්. හෙද වෘත්තිය තුළ පවතින පීඩනය, අපහසුතාවය මඟ හරවා ගන්න නිරූපණ කාර්යය අපූරු ඖෂධයක්. ඒ නිසා එම ද්විත්වය හරි අපූරුවට සමබර වෙනවා.

 

ලංකාවෙ නම ජාත්‍යන්තරයට ගෙන ගිය සතුට ඔබට දැනෙන්නේ කොහොමද?

ලංකාව තුළ ඉපදී, ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණත් වැඩිපුරම මට බැඳීමක් ගොඩනැඟී තිබුණේ ලාංකික ආභාෂය තුළයි. ඕස්ට්‍රේලියාවේ දහම් පාසල් අධ්‍යාපනය මම ලැබුවා. ඒ නිසා ලංකාව සමඟ ගැඹුරු සම්බන්ධයක් මට ගොඩනැඟීමට එයත් හේතුවක් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කිරුළක් දිනාගැනීම මට ආඩම්බරයක් වගේම සතුටක්.

 

පරිසර දූෂණයට විකල්ප ඉදිරිපත් කරන්නියක් ලෙස ලංකාවේ දූෂණය වෙමින් පවතින ස්වභාව සෞන්දර්යය ගොඩනැඟීමට ඔබ කරන යෝජනා මොනවාද?

ශ්‍රී ලංකාවේ පරිසර දූෂණය වැළැක්වීමට යොදා ඇති ක්‍රියාමාර්ගවලින් සැලකිය හැකි බලපෑමක් කිරීමට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස ගාලු කොටුව කියන්නේ විදේශීය ආකර්ෂණය බෙහෙවින් හිමිවන ස්ථානයක්. නමුත් එහි තබා ඇති කසල බඳුන්, කුණු කසළවලට ප්‍රමාණවත් නැහැ. ඒ වගේම කුණු කසල පිරුණු බෑග් එකක් ගඟට විසි කරනවා මං ඇස් දෙකෙන්ම දැක්කා. එවැනි පුංචි පුංචි අත් වැරදීම්, නොදැනුවත්කම් වලින් පවා විශාල පරිසර දූෂණයක් විය හැකියි. එසේ පරිසරය කොපමණ දූෂණය වී තිබෙනවාද කියනවා නම් 2019 වසරේ අප දුටු ඩොල්ෆින් මාළු එකෙකුවත් මේ වසරේදී අපට බලා ගැනීමට නොහැකි වුණා.

 

හිමායාගේ පවුලේ විස්තර මොනවාද?

මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනයි, අයියයි ඉන්නවා. අපේ මුළු පවුලම පදිංචිවෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. වසරකට වරක් අපි ලංකාවට එනවා. මගේ ජයග්‍රහණ පිටුපස රැඳී සිටින්නේ වගේම මගේ සිහිනවලට පණ පොවන්නෙ මගෙ අම්මයි තාත්තයි.

 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මේ වසරේ හෙද වෘත්තීය පිළිබඳ උපාධියක් මට හිමි වෙනවා. එකී අධ්‍යාපන වැඩකටයුතු නිම කිරීමෙන් පසු මම නැවත ලංකාවට එනවා. එහිදී ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව යම් අධ්‍යාපනයක් ඕස්ට්‍රේලියාවෙ පාසල් දරුවාට වගේම එකී ව්‍යාපෘතිය ලංකාව තුළත් මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් රූ රැජින තරගාවලිවලට සම්බන්ධ වී ජයග්‍රහණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

 

ලංකාවට ජාත්‍යන්තරයේ අවධානය ලබා දීමට ඔබට මෙය අවස්ථාවක් කර ගත හැකියි නේද?

ඔව්. මම මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳව යම් විග්‍රහ කිරීම් වගේම වීඩියෝ මුදා හැර තිබෙනවා. මට ලංකාවේ සුන්දරත්වය වගේම වටිනාකම ලෝකයට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා අපේ පුංචි රටේ සංචාරය කරන්න මම මුළු ලෝකයටම ආදරයෙන් ආරාධනා කරනවා.

 

Comments