
21 වන ඩකා අන්තර්ජාතික චිත්‍රපට උලෙළ දී “සිරිමාවෝ” පළමු තැනට
මම උත්සහ කළේ මැතිනිය කියන ගැහැනිය ගැන කතා කරන්න
අනෝමාට හිමිවූයේ කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ කණ්ඩායම යටතේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානයයි
පසුගියදා නිමාව දුටු බංග්ලාදේශයේ 21 වන ඩකා අන්තර්ජාතික චිත්‍රපට උලෙළ සඳහා මෙරට වෘතාන්ත සිනමාපට 5ක් හා එක් වාර්තා චිත්‍රපටයක් තරග වැදුණා. ඉන් හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නට අනෝමා රාජකරුණා මහත්මිය සමත් වූවා. ඒ ඇය අධ්‍යක්ෂණය කරන ලද OUR MOTHER, GRANDMOTHER, PRIME MINISTER: SIRIMAVO නම් කෙටි චිත්‍රපටය වෙනුවෙන්. සිළුමිණ රසඳුන ඇය ලද සම්මානයට සුබ පතන ගමන් ඇය සමඟ ඇයගේ නිර්මාණය ගැන කළ කෙටි කතාබහයි මේ...
ඩකා අන්තර්ජාතික චිත්‍රපට උලෙළ ගැන අපි කතා කළොත්?
21 වන ඩකා අන්තර්ජාතික චිත්‍රපට උලෙළ 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වුණා. ඩකා සිනමා උලෙළ කියන්නේ කාන්තාවන්ගේ සිනමා නිර්මාණ සඳහා විශේෂ අවධානයක් යොමු කරන සිනමා උලෙළක්. මේ සිනමා උලෙළ පැවැත්වෙන කාලයේ සමාරම්භක උත්සවයෙන් පස්සේ මූලිකවම දින දෙකක කාලයක් සිනමාවේ කාන්තාවන් පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එය පැවැත්වුණේ නව වෙනි වතාවට. ඒ සඳහා සිනමාවේ නියැළී ඉන්න කාන්තාවන් සහ සිනමාව අධ්‍යයනය කරන අය සහභාගී වුණා. එම සම්මන්ත්‍රණයෙන් පස්සේ තමයි චිත්‍රපට උලෙළේ ප්‍රදර්ශනය ආරම්භ වුණේ. ඩකා සිනමා උලෙළේ දී වෘතාන්ත චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමෙන්නේ ආසියානු අංශය මඟින්. ඒ එක්කම කාන්තා සිනමා අංශය ලෝකයේ ඕනෑම කෙනෙක්ට විවෘතයි. මෙවර කාන්තා අංශයට චිත්‍රපට 23ක් තෝරා ගෙන තිබුණා. මේ සඳහා සිටි ජූරිය වෘතාන්ත සිනමාපට, කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට කියන සියල්ලම නරඹලා තමයි සම්මාන පිරිනැමීම සිදු කරන්නේ. ඒ අනුව මෙවර හොඳම වාර්තා චිත්‍රපටයට තමයි මට සම්මානය හිමි වුණේ.
මෙවර සම්මානිත වූ “සිරිමාවෝ“ වාර්තා චිත්‍රපටයේ නිර්මාණ පසුබිම ගැන අපි කතා කළොත්
2016 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 100 වැනි ජන්ම දිනය යෙදී තිබුණා. 2015 වසර අග භාගයේදී මෙම ජන්ම දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධානය වෙමින් තිබුණා. මම දීර්ඝ කාලයක් තිස්සේ ක්ෂේත්‍ර පර්යේෂිකාවක් විදියට කටයුතු කරන කෙනෙක්. ඉතින් මැතිනිය සහ විශේෂයෙන්ම දේශපාලනයේ නියැළී ඉන්න කාන්තාවන් පිළිබඳවත්, ලංකාවේ දේශපාලනයට කාන්තාවන්ගේ දායකත්වය ගැනත් උනන්දුවක් දක්වන කෙනෙක්. ඒ නිසා මැතිනිය ගැන යම් කිසි හැදෑරීමක් තිබුණා. අපි මැතිනිය ගැන හැමදාම කතා කරන්නේ ලෝකයේ පළමු අගමැතිනිය කියලා. නමුත් මට අවශ්‍ය වුණා එතනින් එහාට එතුමිය ගැන අපි කොච්චර දුරට දන්නවා ද කියන එක සොයා බැලීමක් කරන්න. මම උත්සාහ කළේ මැතිනිය කියන ගැහැනිය ගැන කතා කරන්න. එතුමිය කොයි වගේ කාන්තාවක් ද, එයා කොයි වගේ අම්මා කෙනෙක් ද? ආච්චි කෙනෙක්ද? ඒ වගේ එයත් එක්ක වැඩ කරපු රාජ්‍යය සේවකයන් එතුමියව දකින්නේ කොහොමද? වගේ කරුණු එක්ක අපි හැමදාම එතුමිය ගැන කතා කරන කරුණුවලින් එහාට ගිහින් මෙතුමිය සැබවින්ම මොන වගේ කාන්තාවක් ද කියන එක සොයා යෑමක් තමයි මම මේ වාර්තා චිත්‍රපටය තුළින් උත්සාහ කළේ.
මෙම වාර්තාමය කෙටි චිත්‍රපටය නිර්මාණයේ දී යොදා ගත්තේ කවුරුන්ද?
මම මෙතැනදී මැතිනිය ගැන කතා කරන්න හය දෙනෙක් යොදා ගත්තා. ඒ වෙද්දී දරුවන්ගෙන් ජීවතුන් අතර හිටියේ දුවලා දෙන්නා පමණයි, ඒ වගේම මුනුපුරා සහ මිනිබිරිය මම මේ සඳහා එකතු කර ගත්තා. ඒ එක්කම අග්‍රාමාත්‍ය ලේකම් විදියට එවකට වැඩ කරපු ධර්මසිරි පීරිස් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විදියට එවකට සිටි නිහාල් ජයවික්‍රම කියන අය සම්බන්ධ කරගනිමින් මතකය ආවර්ජනය කිරීමක් එක්ක මේ අයගේ සංවාදයන් එක්කයි මේ වාර්තා චිත්‍රපටය මම නිර්මාණය කළේ. කිසිදු නැරේෂන් එකක් මම මේකට යොදා ගත්තේ නැහැ. මෙතැනදී මම ඒ මතකයන් ගැන තියෙන ජායාරූප සටහන් එකතු කළා.
මම මේ වාර්තා චිත්‍රපටය කරද්දී දැනගන්න ලැබුණු දේ තමයි මැතිනියගේ සමහර වාර්තාගත වූ දේවල්වල අද වෙද්දී සලකුණක්වත් හොයාගන්න නැති බව. මට මතකයි ආචාර්ය ධර්මසේන පතිරාජ එක්ක ඒ කාලේ කතා කරද්දී දැන ගත්ත දෙයක් තමයි ඔහුත් වාර්තා චිත්‍රපටයක් හදලා තිබුණා ඔය ඉඩම් ජනසතු කිරීමක් පිළිබඳ. හැබැයි ඒ දේවල් වල නෙගටිව් එකක්වත් දැන් හොයාගන්නත් නැහැ. ඒ විතරක් නෙවෙයි මැතිනියගේ ජීවිතේට සම්බන්ධ ගොඩක් දේවල් මේ වෙද්දී හොයාගන්න නැහැ. ඉතුරු වෙලා තියෙන දේවල් එක්කයි මම මේ වාර්තා චිත්‍රපටය හැදුවේ.
මෙහි ධාවන කාලය කොපමණද?
පැය එකහාමාරක කාලයක් දිවෙන වාර්තා චිත්‍රපටයක්. (මිනිත්තු 83) මෙය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම උපයෝගී කරගෙන නිර්මාණය වූවක්.
මෙම වාර්තා චිත්‍රපටය ලංකාවේ පෙන්වීමක් සිදු කරන්නේ කවදද?
මේ වාර්තා චිත්‍රපටය ආරම්භ කරලා වැඩ කරමින් ඉන්න අවධියේදී මෙහි විනාඩි 20ක වගේ කුඩා කොටසක් 2016 අප්‍රේල් මාසයේදී මැතිනියගේ 100 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවති උත්සවයේදී පෙන්නුවා. ඊට පසුව චිත්‍රපටය නිම කළාට පස්සේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා මැතිනියගේ 22 වන ගුණානුස්මරණය වෙනුවෙන් පවුලේ අය සහ පවුලේ සමීපතමයන් වෙනුවෙන් මෙහි විශේෂ දර්ශනයක් එතුමියම මූලික වෙලා හදපු ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වූවා. ඊට පස්සේ ඩකා අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ දී සිදු වුණේ ජාත්‍යන්තර මංගල දර්ශනය. දැනට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සිනමා උලෙළ කිහිපයකින්ම ඇරයුම් ලැබිලා තියෙනවා. ඊළඟට අපි ඉන්දියාවේ ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දකුණු ආසියානු කලාපයේ තවත් දර්ශන වාර කිහිපයක්ම කරන්න බලපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි මේ වසරේ තව මාස කිහිපයකින් පසුව ලංකාවේ ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. වාර්තා චිත්‍රපට සංස්කෘතියක් තවම ලංකාවට නැහැ. ඒ නිසා අපි යම් ඉඩක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලබාගෙන ප්‍රදර්ශන වාරයක් හදාගන්න අපි උත්සහ කරනවා.