නිවුස් ඉවර වුණාමයි මං හරියට හුස්ම ගන්නේ | Page 2 | සිළුමිණ

නිවුස් ඉවර වුණාමයි මං හරියට හුස්ම ගන්නේ

මාව ඇද වැට්ටූ වගේම පීඩාවට පත් කළ මිනිස්සු මා සමඟ තවමත් කතා කරනවා

අවුරුදු විස්සක් මම ඒ අභියෝගය ජය ගත්තා

නිවැරදි උච්චාරණය, සුපිරිසිදු දිය මෙන් වෙන්වූ වචන විග්‍රහය, ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නා සුළු සිනහව සහ පෞරුෂයෙන් හෙබි ඇය ප්‍රේක්ෂක සවන් හා දෙනෙත් කාන්දමක් මෙන් සොරකම් කර ගන්නේ නිමේෂයකිනි. ප්‍රවෘත්ති නිවේදිකාවක හා වැඩසටහන් මෙහෙයවන්නියක වන ඇය සොනාලි පෙරේරායි.

 

ඔබ ක්ෂේත්‍රයට පිවිසීම අහම්බයක් ලෙස සිදු වූවක් නේද?

1998 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිදහස් නිවේදක නිවේදිකාවන්ට අයදුම්පත් කැඳවා තිබුණා. ඒ වෙනකොට මට මගේ දරුවා ලැබිලා අවුරුදු දෙකක්. යම් වෘත්තියක නියැලී නි‍ෙවසටම කොටවී සිටි මගේ පීඩනය මව මගෙන් දුටු නිසා ඇය ඊට ඉල්ලුම් පත්‍රයක් යොමුකර තිබුණා. ඔවුන් කැඳවීම් ලිපිය මගේ මවට යවා තිබුණා. ඇය සම්මුඛ පරීක්ෂණයට යන ලෙස මට බල කළත් මම ඊට අදිමදි කළේ එය මට නුහුරු වෘත්තියක් නිසයි. මම සංගීතයට බොහොම ළැදි කෙනෙක්. ඒ නිසා ගුවන් විදුලි සංස්ථාවේ රැකියාව මට හොඳින්ම ගැලපේ යැයි මගේ මව තදින්ම විශ්වාස කළා. ගුවන් විදුලි සංස්ථාවේ වසර දෙකක් පමණ සේවය කරන විට රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන බවට ආරංචියක් ලැබුණා. නමුත් එයට සහභාගී වීමට ලොකු කැමැත්තක් නොතිබුණේ. ඒ මාව පුංචි තිරය තුළින් මිනිස්සුන්ට දිස්වන නිසයි. නමුත් යහළුවෙකුගේ බල කිරීමට මම එයටත් සහභාගී වුණා. එම සම්මුඛ පරීක්ෂණය සමත්වෙලා මාසයකට පසුව මට රූපවාහිනියෙ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කිරීමට අවකාශ ලැබුණා.

 

සජීවී ප්‍රවෘත්ති නිවේදනය කරන විට අමතක නොවන සිදුවීම් බොහොමයක් සිදුවී ඇති. ඒ මතකයන් ගැන කිව්වොත්?

අපේ කණ්ඩායම ප්‍රවෘත්ති අංශය තුළ කටයුතු කළේ රටේ කලබලකාරී අවධියකයි. එනම් ඒ 1998 පීඩන සමයෙයි. රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව එවකට අධි ආරක්ෂිත කලාපයක් ලෙසයි පැවතුණේ. ඒ නිසා ප්‍රවෘත්ති නිවේදනයට අප සූදානම් වුණේ ලොකු පීඩනයකයි. වහලය කඩන් වැටුණත් සජීවී විකාශනයක් නිසා හැඟීම් නොපෙන්වා ප්‍රවෘත්ති නිවේදනය කරන්න එහිදී අපට සිදුවුණා. පාලන අංශයට කරන බලපෑම්, තර්ජන ඉයර් ෆෝන්ස් වලින් අපට ඇහෙනවා. නමුත් සාමාන්‍ය ලෙස ප්‍රවෘත්ති නිවේදනය කිරීමට සිදුවුණා. ප්‍රවෘත්ති කොටස් විසි දෙකක් පමණ දිනකට වෙන්වෙනවා. නමුත් අප ප්‍රවෘත්ති මැදිරියට යන්නේ ප්‍රවෘත්ති කොටස් අටක් හෝ නවයක් අතෙහි තබාගෙනයි. ඒ මොහොතේ ලබා දෙන ප්‍රවෘත්ති අප එවෙලෙම කියවන්නේ දෙයියො සිහි කරගෙනයි. සිංහල වචන විශේෂයෙන් නම්, ගම් ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන කොට වැරදි උච්චාරණයෙන් කියවීමට ඇති ඉඩකඩ වැඩියි.

ඒ වගේම අධිතාක්ෂණික කැමරා පද්ධතියක් එවකට රූපවාහිනියේ පැවතුණා. ඒ නිසා ප්‍රවෘත්ති නිවේදනය කර මුල් කාලයේ අවබෝධයක් නොමැතිව අහක බලාගෙන ප්‍රවෘත්ති කියූ අවස්ථාත් තිබුණා.

 

ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමේ දී, හැඟීම් විරහිත පුවත් ඉදිරිපත් කිරීමේ දී, ඔබට අපහසුතාවයක් දැනුණේ නැද්ද?

සැබැවින්ම ඔව්. මම ගොඩක් අතින්, පයින් අංග චලනවලින් කතා කරන කෙනෙක්. ප්‍රවෘත්ති කියන පැය භාගය තුළ තැන්පත්ව වගේම වඩා බැරෑරුම් මූණක් මවාගෙන සිටීම මට හරිම අමාරු කර්තව්‍යයක්. රූපවාහිනියේ නිවුස් කියන නෑදෑයෙක් ඉන්නවද කියලා මාව ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස නොහඳුනන අය මගෙන් අහනවා. ඔයා කතා කරනකොට හැම තිස්සෙම ඔලුව එහෙ මෙහෙ කරකවන නිසා ඒ නම් ඔයා නෙමෙයි. හැබැයි ඔයා වගේ කෙනෙක් රූපවාහිනියේ නිවුස් කියනවා කියලා එයාලා කියනවා. ඒ මම බව සනාථ කළත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔයා කොහොමද ඔච්චර වෙලා හෙලවෙන්නෙ නැතුව ඉන්නෙ කියලා එවිට එයාලා අහනවා. අවුරුදු විස්සක් මම ඒ අභියෝගය ජය ගත්තා. නිවුස් ඉවර වුණාමයි මං හරියට හුස්ම ගන්නේ. ඒක හරියට ගැට ගහලා පීනන්න කියනවා වගේ වැඩක්.

 

කාන්තාවක් වීම තුළ ඔබගේ වෘත්තිය කිරීමේදි අභියෝගයක් වුණාද?

ඔව්. අභියෝගයක් වූ අවස්ථා බොහොමයි. යම් වෘත්තීයක් තුළ කෙනෙක් කැපී පෙනෙනවා නම් වෙනස් යමක් කිරීමට උත්සහ කරනවා නම් කැපිලි කෙටිලි එවන් කෙනෙකුට පොදුයි. අප කරන යම් කාර්යයක් තවත් කෙනෙකුගේ පැවැත්මට බාධාවක් යැයි ඔවුන් විශ්වාස කරනවා නම් එවැනි විටෙක අපිව කැපීමට ඔවුන් උත්සාහ දරනවා. මම යම් කාර්යයක් කරනවා නම් මගේ ශක්ති ප්‍රමාණයෙන් සීයට සීයක් එහි උපරිමය කිරීමට උත්සාහ කරනවා. ඒ නිසාම වෘත්තීය ජීවිතය තුළ මුහුණ දුන් අභියෝග බොහොමයි. නමුත් ඒ අභියෝග මම සාර්ථකව ජය ගත්තා.

මගේ වෘත්තීය ජීවිතය තුළ මිනිසුන් සමඟ සුහදව ගනුදෙනු කිරීමට අවශ්‍යයි. නමුත් කාන්තාවක් ලෙස එසේ සුහදව කතා බහ කිරීමේ දී ගැටලුකාරී තත්ත්වයන් පැන නඟිනවා. ඒ නිසා වෘත්තීය ජීවිතය තුළ මා සුවයන් මම පණවා ගත්තා. එවිට ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන වෘත්තිය කටයුතු කරගෙන යන්න පහසුයි.

 

ඔබ වෘත්තීය ජීවිතය තුළ තෘප්තිමත්ද?

ඔව්. මම ගොඩක් තෘප්තිමත්. මං මගේ වෘත්තීය කරන්නේ විනෝදාංශයක් විදියට. එය කිරීමට උත්තේජනයක් ඇති කරන්නේ එකී ආත්ම තෘප්තියයි. ඒ නිසා වෘත්තීය තුළින් පීඩනයක්, වේදනාවක් දැනෙන ඕනෑම මොහොතක එයින් සතුටින් සමුදෙන්න වුණත් මම සූදානම්.

 

ඔබගේ පවුල් ජීවිතය හා වෘත්තීය ජීවිතය ඔබ සම්බන්ධ කරගත්තේ කොහොමද?

මේ දෙක අතරින් එකක් තෝරා ගන්න අවස්ථාවක් දුන්නොත් මම තෝරාගන්නේ පවුල් ජීවිතය. නමුත් යම් වෘත්තීය කාර්යයක් භාර ගත්තොත් පවුල තුළ කුමන අසීරුතාවක් තිබුණත් එය මගේ උපරිම ශක්තියෙන් මම ඉටු කරනවා. ඒ නිසා පවුල වගේම වෘත්තීය ජීවිතය සමබර කරගත්තා යැයි මම විශ්වාස කරනවා.

 

 

Comments